Language Switcher

V2025

දෘෂ්ටිමය අරාජිකත්වය ජය ගැනීම !

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 
 
වලක වැටීමත් මොළයට ලාභයක් බව කියා තිබෙන්නේ මාවෝ සේතුං ය. එහෙත් ලංකාවේ ඇතිවී තිබෙන ඇද වැටීම ලාංකික මොළයට නම් විශේෂ ලාභයක් ඇති කිරීමට හේතු වී නැත. මේ අර්බුදය තුළ රටේ මතවාදි තලය මුළුමනින්ම වාගේ වසාගෙන තිබෙන්නේ අරාජිකවාදි අදහස් වලිනි. එම විශේෂ මානසික ස්වභාවය රට ඇද වැටී සිටින අගාධයෙන් ගොඩ ඒමට රටට තිබෙන හැකියාව විශාල ප්‍රමාණයකට දුර්වල කිරීමට හේතු වී තිබේ. ලංකාව වැටී තිබෙන්නේ තල දෙකකින් යුතු මහා අගාධයක පළමු තලයටය. දැන් ලංකාව තිබෙන්නේ වඩා ගැඹුරු හා විනාශකාරී දෙවැනි අගාධයට වැටෙන්නට ආසන්න තත්වයකය. පළමු අගාධයෙන් ගොඩ ඒමට රට අසමත් වී දෙවැනි අගාධයට ඇද වැටුනහොත් පිළිසකර කර ගැනීමට පහසු නැති විශාල විනාශයක් රටට සිදුවනු නොවැලැක්විය හැකිය.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට නුසුදුසු පුද්ගලයෙක් බවට සැකයක් නැත. මේ අර්බුදය ඔහුගේ නිර්මාණයක් නොවෙතත් ඔහු තනතුරට පත්වීමෙන් පසු අනුගමනය කල වැරදි ප්‍රතිපත්ති අර්බුදය උග්‍ර කොට පුපුරන තත්වයට පත් කිරීමට හේතු විය. එසේම ඔහු දූෂිත හා අපකීර්තිමත් දේශපාලන පවුලක සාමාජිකයෙකු ලෙසද සැළකිය හැකිය. ඔහු තනතුරෙන් ඉවත් කොට මෙම අර්බුදය ප්‍රශස්ත ලෙස කළමණාකරනය කල හැකි දක්ෂ නායකයෙකු ඒ තනතුරට ගත හැකි නම් එය රටේ පොදු යහපතට හේතුවනු ඇති බවටද සැකයක් නැත. එහෙත් ඒ අරමුණ සපුරා ගැනීමට අර්බුදය උග්‍ර කිරීමට හේතු නොවන පිළිගත හැකි යහපත් ක්‍රමයක් නැතිව ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට අවිධිමත් ලෙස ඔහු තනතුරෙන් පහ කරීමට දරන  උත්සහායන් රටේ අර්බුදය උග්‍ර කොට වඩා නරක හා ගොඩ ඒමට ඉතා දුෂ්කර දෙවැනි අගාධයට රට තල්ලු කිරීමට හේතු විය හැකිය.
 
ජනාධිපති ක්‍රමය
 
ජනාධිපති ක්‍රමය ගොඩනගා තිබෙන්නේම ජනාධිපති ධුරයට පත්වන පුදගලයා ධූරයේ සිටින කාලය තුළ දෝෂාභියෝගයකින් හැර වෙනත් අකාරවලට ධූරයෙන් පහකල නොහැකි අකාරයට ය. ලංකාවේ ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු කිසිම ජනාධිපති වරයෙක් ධුරයේ සිටියදී ධුරයෙන් පලවා හැරීමක් සිදු වී නැත. ඇමරිකාවේ ජනාධිපති ක්‍රමය අවුරුදු 230 කට වඩා පැරණිය. රිචර්ඩ් නික්සන් හැර කිසිවෙක් ධුරයේ සිටියදී ධුරයෙන් ඉවත්  කිරීමක් හෝ පළවා හැරීමක් සිදුවී නැත. නික්සන්ට ද තනතුර අතහැර යන්නට යන්න සිදු වුනේ දෝෂාභියෝගයක් හේතු කොට ගෙනය.
 
පිලිපීනයේ මාකෝස්ව 1986 දී බලවත් ජනතා උද්ගෝෂණයක් මගින් පළවා හැරියේ ද තනතුරේ සිටින අවස්ථාවකදී නොවේ; තනතුරෙන් බැහැරව ජනාධිපතිවරණයකට තරඟ කරමින් සිටි අවස්ථාවකදීය. ලඟ ලඟ තරඟයකින් ඔහු ලැබූ ජයග්‍රහණය දූෂිත එකක් බව ප්‍රකාෂ වීමත් සමග මහජනයා  ඔහුට එරෙහිව ඉතා බලවත් ලෙස වීථි බැසීම නිසා ඔහුට පලා යන්නට සිදුවූ අතර ඔහු ගේ ප්‍රධාන තරඟකාරිය ඒ සමග ජනාධිපති ධූරයට තේරී පත් විය.
 
 2019 බොලිවියාවෙ සිදු වුයේ ද ඒ හා සමාන දෙයකි. Evo Morales ඔහුගේ සිව්වැනි ධුරකාලය සදහා 2019 දී තරඟ කළේය. එම තරඟයේ පලමුවැනි වටයේදී ඔහු ඉදිරියෙන් සිටියත් ඔහු එම තත්වය හිමි කරගත්තේ දූෂිත ආකාරයෙන් බවට අන්තර් ජාතික මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ප්‍රකාශ කිරීමත් සමහ ජනතාව ඔහුට එරෙහි ඉතා බලවත් ලෙස වීථි බැසීම නිසා ඔහුට පලායන්නට සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ප්‍රතිවාදි තරඟකාරිය (Jeanine Anaez) රටේ ජනාධිපති බවට පත් විය. 
 
ගෝඨා ගෝ හෝම් සටන් පාඨය ගෙනා අරගලකරුවන් හෝ පසුව එම සටන් පාඨය ඔවුන්ගෙන් ණයට ලබා ගත් විරුද්ධ පක්ෂ හෝ ඒ අදහස  කරළියට ගැනීමේදී එහි ප්‍රායෝගිකතාවය ගැන හොඳින් කරුණු සලකා බැලීමක් කර නැත.
 
ජනාධිපති තනතුරෙන් පහකිරීම
 
ජනාධිපති සිය කැමැත්තෙන් ධුරය අත් නොහරින්නේ නම් පාරේ කරන අරගල මගින් ඔහු තනතුරෙන් පහකිරීම ඉතාමත් දුෂ්කර දෙයක් වනු නොවැලක්විය හැකිය. 
 
ඒ සදහා දරන උත්සහායන් ඇති කරන අවසාන ප්‍රතිපලය කුමක් වුවත් ගෙවුම් ශේෂ අර්බුදය හා ඒ ආශ්‍රිත ආර්ථික අර්බුදය විසඳා ගැනීමට තිබෙන හැකියාව ඒනිසා අවුල් කිරීමට හේතුවනු නොවැලැක්විය හැකිය. 
 
අනෙක් අතට පළමු මහජන නැගිටීමෙන් පසු තැනින් තැන සිදුවන අසංවිධිත අරගල මිස වඩා විශාල තවත් මහජන නැගිටීමක් ඇතිවීමේ හැකියාවක් නැත. ආණ්ඩුව උපරිම මට්ටමකට පිරිහී ඇතත් කිසිදු විරුද්ධ පක්ෂයක් ඊට ගැලපෙන ප්‍රමාණයකට වර්ධනය වී නැත. වෘත්තීය සමිති ව්‍යාපාර වලට තිබෙන  පිළිගැනීමේ ද සීඝ්‍ර පරිහානියක් දැකිය හැකිය. එක ළඟ ලොකු නැගිටීම් දෙකක් ඇතිවන අවස්ථා ලෝක ඉතිහාසයේ අසන්නට ලැබෙන්නේම නැති තරම් ය.
 
 රුසියාවේ පළමු විප්ලවය ඇතිවූයේ 1905 දී ය. දෙවැනි විප්ලවය ඇතිවූයේ ඉන් අවුරුදු 12 කට පසුව 1917 දී ය. ජේවීපී පළමු කැරැල්ල 1971 දී සිදුවූ අතර, ඔවුන්ගේ දෙවැනි කැරැල්ල ඇතිවූයේ ඉන් අවුරුදු 17 කට පසුව 1986 දීය. දේශපාලන පක්ෂ කරන කැඳවීමක් මත ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට තරමේ ප්‍රබල මහජන නැගිටීමක් නැවත ඇතිවනු ඇතැයි සිතිය නොහැකිය.
 
විරුද්ධ පක්ෂ බලවේගයන්ගේ බලවත් විරෝධය නිසා ගෝඨාභය තනතුර අත්හැර යන තත්වයක් ඇති වූ අවස්ථාවකදී පවා ඊළඟ ජනාධිපති තීරණය කිරීමේ බලය විරුද්ධ පක්ෂයට ලැබෙන්නේ නැත. ඊලඟ ජනාධිපති තීරණය කරනු ඇත්තේ ද පොහොට්ටුව පක්ෂයට වැඩි බලයක් ඇති පාර්ලිමේන්තුව විසිනි. ඒ ආකාරයට තේරී පත්වන ජනාධිපතිවරයෙකු මේ ජනාධිපතිට වඩා කාර්‍යක්ෂම හා යහපත් වනු ඇති බවට සහතික කළ හැක්කේ කෙසේද? එසේ පත්වන ජනාධිපති ද මහජනයාගේ හාස්‍යයට හේතු වෙතොත් ඇතිවන ප්‍රතිඵලය කුමක්ද? එවැනි පැහැදිලි අවසානයක් නොපෙනන වැල් වටාරම් දේශපාලන වැඩසටහනක් වෙනුවට "ප්‍රතිසංස්කරණ සදහා වන ව්‍යාපාරය" ඉදිරිපත් කර තිබෙන ප්‍රතිසංස්කරණ වැඩසටහනින් යෝජනා කර තිබෙන ආකාරයට ජනාධිපති ද තනතුරේ තබා ගනිමින් ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ වෙනුවෙන් අන්තර් කාලින සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගත නොහැක්කේ ඇයි?
තෝරා ගත යුතු මග
 
අන්තර් ජාතික මූල්‍ය අරමුදල ඉල්ලා සිටින හා එම අරමුදලේ ද, ලෝක බැංකුවේ ද පිළිගැනීමට හේතු වන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සදහා පොදු ජාතික එකඟතාවයක් ඇති කර ගත හැක්කේ ද එවැනි ආණ්ඩුවකට ය. එසේම අර්බුදය විසින් ඇතිකර තිබෙන ආපදා තත්වය කාර්‍යක්ෂම ලෙස පාලනය කරගැනීමට අවශ්‍ය ඵලදායි උපාය මාර්ගික වැඩසටහනක් ඇති කර ගැත හැකිවනු ඇත්තේ ද එවැනි ආණ්ඩුවකට ය. රට ඇද වැටී තිබෙන අසමත් තත්වය ජයගනිමින් ජාතික සමගිය හා නීතියේ ආධිපත්‍යය රජයන අදූෂිත නව රටක් ප්‍රතිනිර්මාණය කර ගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සදහා පොදු එකඟත්වයක් ඇති කර ගැනීමේ හැකියාව තිබෙන්නේ ද එවැනි ආණ්ඩුවකට ය.
 
 IMF සහාය සදහා පවා එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් නැතිවම බැරි බව ඇමරිකන් සෙනට් මණ්ඩලය IMF වෙත යෝජනා කර තිබෙන අළුත් කොන්දේසි අනුවද පෙනීයයි. අප ව්‍යාපාරය යෝජනා කර තිබෙන ආකාරයට ව්‍යවස්ථාමය අර්ථයෙන් අන්තර් සම්බන්ධයක් ඇති අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ ද අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා පොදු එකඟතාවක් ඇති කර ගත හැකිය. වසරකින් අවසන් විය යුතු පළමු අදියරය කරුණු සොයා බැලීම සදහා කොමිසන් සභා හෝ නිලධාරි කමිටු පත් කරනවාට අතිරේකව සුදුසු ආණ්ඩු ක්‍රමයක් තෝරාගෙන එහි ව්‍යවස්ථාදායකය සඳහා පැවැත්වෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීමට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ඇති කර ගනිමින් තමන් කැමති ආණ්ඩුවක් තෝරාපත් කර ගැනීමේ අයිතිය මහජනයාට ලබා දීමට මැතිවරණයක් පැවැත් විය හැකිය. 
 
ඒ මගින් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අදියරය අවසන් කළ හැකිය. දෙවැනි අදියරයට ඇතුළත් වනු ඇත්තේ මහජනයා තෝරා පත් කරගත් නව ආණ්ඩුව 
සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පත්වී අන්තර් වාර ව්‍යවස්ථාවෙන් නියම කර තිබෙන ආකාරයට " මහජන සහභාගි" ව්‍යවස්ථා සම්පාදනය ඇතුළු අනෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමය.
 
එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් බලාපොරොත්තු අහිමි කරගෙන සිටින ජාතිය තුළ අළුත් බලාපොරොත්තු ඇති කරයි. ජනතාව ඒකාග්‍ර කොට දේශපාලන පක්ෂ ද එකට එකතු වී වැඩ කරන තත්වයක් ඇති කරයි. කැබලි වී තිබෙන ජාතිය ඒකාග්‍ර කොට කඩා බිඳ වැටී තිබෙන රට ගොඩ නැඟීම එම සමස්ථ ජාතිය විසින් කළ යුතු මහා ජාතික කාර්‍යබාරයක් බවට පත් කරයි. එවැනි වැඩසටහනක් ලංකාව දැන් සිටින අසමත් තත්වය ජයගෙන වඩා ශක්තිමත් ලෙස නැගී සිටීමට හැකියාව රටට ලබා දෙනු ඇත. එසේම අහිමි කරගෙන තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම ද වඩා ශක්තිමත් ලෙස ගොඩනගා ගැනීමට පුළුවන්කම ලබා දෙනු ඇත◼️
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි වික්ටර් අයිවන් 
ෆේස්බුක් ගිනුමෙනි