V2025

දෙව්ලොවේ දුෂ්ට පැත්ත- නරකාදියේ ධර්මිෂ්ට පැත්ත (2)

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

අපාය දෙව්ලොවක් බවට පරිවර්තනය කර ගැනීම
 
2011 දී පෘතුගාලයත් මේ ප්‍රශ්නයට මුහුණදුන්නේය. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි මිනිසුන් ඝාතනය කරනවා වෙනුවට එරටේ බලධාරීන් කෙළේ මත්ද්‍රව්‍ය නියාමනය කිරීමේ නිර්භීත පියවර ගැනීමයි. ඒ අනුව, නොමිලේ හෝ අඩු මිලට එන්නත් කටු සහ උපත් පාලන කොපු අදාළ පුද්ගලයන්ට සැපයෙන ක්‍රමයක් මුලින් ක්‍රියාත්මක කෙරුණි. එසේම ඒ සම්බන්ධයෙන් උපකාර අවශ්‍ය කරන පුද්ගලයන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථාන ආරම්භ කෙරුණි. ඊටත් අමතරව, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට රැකියා අවස්ථා සොයා ගත හැකි සහ සාමාන්‍ය ප්‍රජාවේ කොටස්කරුවන් බවට පත්විය හැකි මධ්‍යස්ථානත් ආරම්භ කෙරුණි. විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නා දුප්පත් පුද්ගලයන් සඳහා නියම කෙරෙන දඬ මුදල් අඩු කෙරුණු අතර පොහොසතුන් සඳහා වන දඩ මුදල් වැඩි කරන ලදි. එතැන් සිට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සැලකුණේ, දඬු කඳේ ගැසිය යුතු අපරාධකරුවන් වශයෙන් නොව, උපකාර විය යුතු රෝගීන් වශයෙනි.
 
අවුරුදු කිහිපයක් ගත වන විට, එච්.අයි.වී. වයිරසයට ගොදුරු වන සංඛ්‍යාව සියයට 17 කින් අඩු වූ අතර, අධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ගැනීම නිසා සිදුවන මරණ සංඛ්‍යාවත් සෑහෙන ප්‍රමාණයකින් අඩු විය. එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන බාල වයස්කාර ප්‍රතිශතය සියයට 50 කින් අඩු විය. ඒ සියල්ල අවසානයේ, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට දැරීමට සිදුවූ පිරිවැයත් අඩු කර ගැනුණි.
 
භීතිය, සදාතන නිරය සහ නරකාදියේ ගිනිදැල් පිළිබඳ මිථ්‍යාව
 
ආගමික මිථ්‍යාවන් නිසා සහ විද්‍යාත්මක කරුණු පිළිබඳ වැරදි අවබෝධය නිසා, බිය ජනනය කිරීමෙන් මනුෂ්‍යයාව පාලනය කළ හැකි බවට වැරදි මතයක් ඇති වී තිබේ. නූතන ධර්ම දේශකයන් කියන්නේ, ‘අයහපත’ නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳ බියක් මිනිසා තුළ ඇති කිරීමෙන් ඔවුන් වැරදි ක්‍රියාවන් කිරීමෙන් වළක්වා ගත හැකි බවයි. යහපත සහ අයහපත පිළිබඳ අර්ථකථනයත් ධර්ම දේශකයන් විසින්ම ඉදිරිපත් කරනු ලැබේ. එහෙත් ආගමික මිනිස්සු බොහොමයක් දෙනා ‘පව්’ කරති.
 
එහෙත් ආගමික පතපොත කියෙව්වොත් අපට දැන ගැනීමට ලැබෙන්නේ වෙනම කතාවකි. ත්‍රිපිටකයේ සඳහන් කර්මය පිළිබඳ අර්ථකථනය උදාහරණයක් වශයෙන් ගතහොත්, සෑම යහපත් ක්‍රියාවකටම ආනිශංස ඇති බවක් හෝ සෑම අයහපතක්ම පලිසන් දෙන බවක් හෝ කියන්නේ නැත. එහෙත් භික්ෂූන් වහන්සේලා දේශනා කරන්නේ එසේ වන බවයි. බයිබලය කියෙව්වොත්, පව නිර්වචනය වන්නේ අදාළ සන්දර්භයක් තුළ බව සඳහන් වෙතත්, වර්තමාන කිතුණු පූජකවරයන් කියන්නේ, හරි වැරදි යනුවෙන් සදාකාලික සහ සදාතන වශයෙන් ගත හැකි පරම දෙයක් ඇති බවයි. කුරානය තුළ මේ සම්බන්ධයෙන් පරස්පර ස්වභාවයක් දක්නට ලැබේ. එහෙත්, හරි වැරැද්ද ගැන දේශනා කෙරේ. මෙවැනි සදාචාරමය සහ ආචාර ධාර්මික නිර්වචන ඊසොප්ගේ උපමා කතාවලත්, ස්පයිඩර්මෑන් විකට කතාවලත් අපට හමු වෙයි. ඒවා, කලින් කී ආගමික කතාවලට වඩා සමහර විට නූතන යුගයට ගැලපෙයි.
 
ලෝකය න්‍යෂ්ටික යුද්ධයක මුවවිටට පැමිණි අවස්ථාව, අපට අවශ්‍ය නම්, තවත් උදාහරණයක් වශයෙන් ගත හැකිය. බොහෝ අයගේ විශ්වාසය වන්නේ, න්‍යෂ්ටික යුද්ධක් පිළිබඳ අවදානම විසින් ජනිත කරන ලද බිය නිසා, එවැනි යුද්ධයක් සැබවින් ඇති වීම එදා වළක්වා ගැනීමට අපට හැකි වූ බවයි. (අනිත් පැත්තෙන්, ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ පාපය වැඩි වී ඇති බව අදහන පිරිසක් ද වෙති. දත්තමය වශයෙන් එය වැරදි බව පෙන්වා දිය හැකිය. ඒ ගැන සැක හැර දැන ගැනීමට අවශ්‍ය කෙනෙකු වෙතොත්, “ද බෙට(ර්) ඒන්ජල්ස් ඔෆ් අව(ර්) නේච(ර්)” නැමැති පොත කියැවිය හැකිය). පළමු ලෝක යුද්ධය අවසන් වන විටත්, ඒ දක්වා මිනිස් වර්ගයා දැක නොතිබුණු, සෙපලින්, කාලතුවක්කු සහ විස වායු වැනි භයානක අවි ආයුධ ලෝකයාට තිබුණි. න්‍යෂ්ටික අවි තරම් ඒවා විනාශකාරී නොවුණත්, ඒවාවලිනුත් දස ලක්ෂ ගණන් මිනිසුන් ඝාතනය කෙරුණු අතර, එදා පැවති තාක්ෂණ ක්‍රමවේද මගින් ඉන් ආරක්ෂා වීමේ හැකියාවක් ද නොතිබුණි.
 
ඇත්තෙන්ම ලෝකය වෙනස් වුණේ, එවැනි විනාශයන් වළක්වා ගැනීම සඳහා ලෝකයා එක්සත් වීමත්, ගැටුම්වලින් තොර සාමකාමී කාල වකවානුවල අත්කර ගත හැකි වූ ආර්ථික ජයග්‍රහණයනුත්, තනි රටවල්වලට සහ රජවරුන්ට තිබූ ඒකාධිකාරී බලය අහිමි වී යාමත්, එම බලය වඩාත් පුළුල් ජන කොටස් සහ කණ්ඩායම් අතර විසිරී යාමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වැනි සංවිධාන මගින්, තනි රටවල්වල නොව, ලෝක ප්‍රජාවගේ අවශ්‍යතා සහ මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැනි කරුණුත් නිසා ය. ලෝක සාමයට සහ ලෝක ප්‍රජාවගේ පොදු සැපතට සහ සන්තුෂ්ටියට හේතු වුණේ එවැනි සාධනීය වර්ධනයන් ය.
 
උදාහරණයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගත්තොත්, වසංගත මැඩලීම සඳහා ජනතාවට එන්නත් ලබා දීමට, යුද්ධය මරණය හෝ සදාතන නරකාදිය වැනි තර්ජන කිරීමේ අවශ්‍යතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පැත්තෙන් මතු වුණේ නැත. එසේම, තමන් විසින් මහා වසංගත මැඩලීම ගැන හෝ රෝග නිවාරණය ගැන හෝ කීර්තිය ලබා ගැනීමේ අවශ්‍යතාවක් ද එම සංවිධානයට නැත. එසේ තිබියදීත්, වෙනත් ඕනෑම ආගමකට වඩා එම සංවිධානයේ ක්‍රියාවන් නිසා ලෝකය යහපත් තැනක් වී තිබේ.
 
භීතිකාව වැපිරීම විටෙක විද්‍යාත්මකවත් සිදු කෙරේ. ලෝකය උණුසුම් වීම පිළිබඳ ප්‍රශ්නය නිදසුනට ගත හැකිය. මේ භීතිකාව බොහෝ දෙනා ගණන් ගත්තේ නැත. ඌෂ්ණත්වය වැඩි වීමෙන් ලෝකය මිනිසුන්ගෙන් වඳ වී යනු ඇතැයි විද්‍යාඥයන් කියන විට ඒ ගැන තැකීමක් කෙළේ අතලොස්සකි. එහෙත් විද්‍යාඥයන් සහ ආර්ථික විද්‍යාඥයන් එක් වී ඒ ගැන අධ්‍යාපන වැඩ පිළිවෙලක් දියත් කිරීමෙන්, පරිසරයේ ඵල නෙලා ගන්නා අතරේම පරිසරය ආරක්ෂා කර ගැනීමටත් හැකි බව අවබෝධ කර ගත් විට, ඒ සම්බන්ධයෙන් ජනතාව දැරූ ආකල්පය වෙනස් විය. (ගල් අඟුරු සහ න්‍යෂ්ටික බලශක්තිය නිසා ලෝකය ගිනි ගෙන, මිනිස් වර්ගයා වැනසී, මහ පොළොව නිරයක් වනු ඇතැ යි කියනු වෙනුවට, ඔවුන් කෙළේ, ලාභදායී සූර්ය බලශක්තිය පාවිච්චියට ගත හැකි ක්‍රමවේද සොයා ගැනීමත්, ප්‍රතිචක්‍රීයකරණයේ ලාභදායී ක්‍රම සොයා ගැනීමත්, හරක් මස්වලට වඩා රසවත් සහ හිතකර විකල්ප ආහාර සොයා ගැනීමත් ය.)
 
දේව වසඟය, සාතන් භීතිය (හෝ එහි අනිත් පැත්ත)
 
මිනිස් සිතේ ඇති වන බිය ගැන සහ වරදේ බැඳීම ගැන බොහෝ දෙනා කතා කරන්නේ මනෝ විද්‍යාවේ හසල දැනුමක් ඇත්තන් මෙනි. කෙනෙකුව අවශ්‍ය තරමින් බිය වැද්දුවොත්, වරදට පෙළඹීමේ නැමියාවෙන් ඒ පුද්ගලයා අත්මිදෙන බව ඔවුහූ සහතික කොට කියති. එසේ බිය වැද්දීමෙන් සාතන්ව පරාජය කළ හැකි බවත් කියති. සාතන්ට එරෙහිව නැගී සිටීමට හයිය සපයන එම බියට වඩා, ස්වර්ගයේ ප්‍රීතිය සොයා යාමට ඇති ආශාව බලවත් බව විශ්වාස කරන්නේත් මේ මිනිසුන්ම ය.
 
රුසියාවේ ප්‍රථමයෙන් පටන් ගත්, ලිංගිකාශ්‍රිත රෝග පිළිබඳ එක් රෝහලක චර්ම රෝග සහ සමාජ රෝග අංශයේ සායනික පුහුණුවක් ලැබීම මගේ වෛද්‍ය අධ්‍යාපනයේ එක් අංගයක් විය. එහි සිටි ඉතා උද්‍යෝගීමත් එක් ගුරුවරයෙකු නිසා, සමාජ කළමනාකරණයේ ඉතිහාසය සහ පරිණාමය පිළිබඳ බොහෝ දේවල් මට උගත හැකි විය. විවිධ වෘත්තිකයන්ට අදාළව ලිංගිකාශ්‍රිත රෝග ගැන මෑතකදී කරන ලද එක් අධ්‍යයනයක් වරක් ඔහු ඉදිරිපත් කෙළේය. එහිදී මගේ ඉමහත් විමතියට තුඩුදුන් කාරණය වුණේ, ලිංගික සේවනය නිසා සමාජ රෝගවලට ගොදුරු වන කණ්ඩායම් අතරින් ගණිකාවන් වැටෙන්නේ 14 වැනි ස්ථානයට වීමයි. එහිදී පළමු තැන ගෙන ඇත්තේ ටැක්සි රියැදුරන් ය. වෛද්‍යවරුන් 7 වැනි ස්ථානය ගෙන ඇත. එසේ බලන විට, න්‍යායාත්මකව ගත්තොත්, ගණිකාවකට වඩා සමාජ රෝග වැළඳීමේ ඉඩක්, වෛද්‍යවරයෙකු වන මට තිබේ. මේ අවබෝධය, ඒ රැකියාව ගැන එතෙක් මා තුළ පැවති පටු ආකල්පය ඇත්තෙන්ම වෙනස් කෙළේය. ඒ අලුත් අවබෝධය ඇතිව, එක් ගණිකාවකගේ දේශනයකට අගතියෙන් තොරව සවන්දීමට මට හැකි විය. ඈ සහ ඇගේ වෘත්තීය සහෝදරියන් මුහුණදුන් ප්‍රායෝගික ප්‍රශ්න ගැනත්, ඇගේ රටේ ගණිකා වෘත්තිය නීත්‍යානුකූල කොට ඇති තත්වය තුළ වෙනත් ඕනෑම වෘත්තිකයෙකුට ඇති ආරක්ෂණය ඈටත් ලැබී තිබීම ගැනත් ඈ කරුණු පැහැදිළි කළාය. එහෙත් ඇගේ සමාජ සමීක්ෂණ සඳහා ඈ ගිය වෙනත් බොහෝ රටවල ගණිකාවන් මහත් වධ බන්ධනයට ලක්කෙරෙන හැටි, අපයෝජනයට ලක්කෙරෙන හැටි සහ ගණිකාවන්ට සතුන්ට සේ සලකන සැටි ඈ විස්තර කළාය. ඇගේ සමස්ත කතාව මට මතක නැතත්, ඈ කී එක කාරණයක් මට කිසි දවසක අමතක නොවේ.
 
“හුඟාක් තාත්තලාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ දුවෙක් ජීවත් වීම සඳහා යම් දවසක මේ ඇඟ විකුණන රස්සාවට වැටෙයි ද කියන එක. ඒත්, තමන්ගේ පාලනයෙන් පිටස්තර හුඟාක් දේවල් තියෙන බව ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත්, මොන තරං උත්සාහ කළත්, මොන තරං පරිස්සං කෙරුවත්, දවසක ඔබේ දුවෙක් මේ රස්සාව තෝරා ගන්න පුළුවන්. එහෙම නැත්නං, ඒ රස්සාවට එයාව තල්ලු කෙරෙන්න පුළුවන්. ඒක නිසා තාත්තා කෙනෙක් තමන්ගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ වෙන්නේ, “තමන්ගේ දුවෙක් ගණිකාවක් වෙනවා දකින්න තමන් කැමති ද?” කියන එක නෙවෙයි, “යම් හෙයකින් ඈ එසේ වුණොත්, ඈට ආරක්ෂාවක් තියෙනව ද?” කියන එකයි.”
 
නූතන ආගම්වල දේශනා අනුව වනචර වැඩක් විදිහට සැලකෙන වෛශ්‍යා වෘත්තියෙන් ලෝකය නිදහස් කර ගැනීමට බලනවා වෙනුවට ඈ කරන්නේ, දූෂිත ආණ්ඩු සහ ආධානග්‍රාහීන් විසින් අපායට දක්කා ඇති මිනිසුන්ට ස්වර්ගයක් නිර්මාණය කිරීමයි. ඈ කරන්නේ තම සහෝදරියන් වෙත දෙවියන් වහන්සේගේ කරුණාව පෑම ද, නැත්නම් සාතන්ගේ පරපීඩාකාමී ආශාවන්ට රුකුලක් වීම ද යන්න විනිශ්චය කිරීම ඔබේ බුද්ධියට මම භාර කරමි.
 
 
මේ වන විට ලෝකය පුරා තැනින් තැන, අප වැනි ‘වටිනා ඇත්තන්’ මැද්දේ ජීවත් වීමට නුසුදුසු යැයි සැලකෙන ත්‍රස්තවාදීන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් සහ තවත් එවැනි පුද්ගලයන්ට මරණ දඬුවම ඉල්ලා හඬ නැගේ. අපේ රටත් මෑතක සිට මේ මරණ දඬුවම ඉල්ලා කෑගසනු දැකීම මා තුළ ඇති කරන්නේ මහත් සංවේගයකි.
 
අපරාධකරුවන්ට මරණ දඬුවම පැනවීමේ ප්‍රතිවිපාක ගැන සමහර විට ඔබ අසා ඇති. එහෙත් ඒ සමගම වින්දිතයන් පත්වන අසරණ තත්වය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමත් වැදගත් ය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සේම දූෂණයට ලක්වූවන්ගේ ප්‍රශ්නත් ඉතා සංකීර්ණ ය. එසේම, පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒවා වෙනස් ය. එවැනි ප්‍රශ්න හඳුනාගෙන ඒවාට ප්‍රතිකර්ම කිරීම සඳහා ජීවිත කාලයම ගත කරන පිරිස් සිටිති.
 
ලේ ඉල්ලා සිටිමින් තමන්ම විනිශ්චරයකරුවන් බවට පත්වන සහ ලෝකයේ සකල කලමනාව ගැන තමන් දැනුවත් යැයි සිතන කිසිවෙකු, ඒ ගැන ප්‍රශ්න කළ විට, මරණයේ ප්‍රතිවිපාක ගැන කිසිවක් දන්නා බවක් පෙන්නුම් කොට නැත. මගේ අනුමානය වන්නේ, මරණයෙන් පසු සදාතන පැවැත්මක් ඇතැයි යන පදනම මත ඇති කර ගත් විශ්වාස පද්ධතියක් ඔවුන්ගේ ලෝක දැක්ම බවට පත්වන විට, තවත් කෙනෙකුගේ ජීවිතය ගැනීම ගැන දෙවරක් සිතා බැලීමේ අවශ්‍යතාවක් කෙනෙකු තුළ ඇති නොවන බවයි. කෝපාග්නියෙන් දැවෙන විට කෙනෙකු පහසුවට සොයන්නේ පලිගැනීමයි. ඒ මගින් ප්‍රශ්නය නිරාකරණය වන්නේද යන්න හෝ විපතට පත් පුද්ගලයාට යහපතක් වන්නේද යන්න හෝ වැදගත් නැත. මත්ද්‍රව්‍ය නිසා සහ දූෂණය නිසා වින්දිත භාවයට පත් මිතුරු මිතුරියන්ට පිලිසරණක් වීමට නොහැකි වීම ඇත්තෙන්ම කණගාටුවට කාරණයකි. කෙසේ වෙතත්, ඊට සරළ විසඳුම් නැත. අපට ගෙදර හෝ කාර්යාලයේ පුටුවක වාඩි වී සිටිමින්, එහෙන් මෙහෙන් අල්ලා ගත් කෙනෙකු මරා දමන්නැයි ඉල්ලා සිටින්ට හෝ එසේ කිරීමෙන් මේ සංකීර්ණ ප්‍රශ්න විසඳී යනු ඇතැයි සිතන්ට පුළුවන් කමක් නැත.
 
ඔබට අවශ්‍ය කරන්නේ දීර්ඝ කාලීන විසඳුම් මිස ව්‍යාජ යුක්තියක් හෝ තුට්ටු දෙකේ දේශපාලඥයෙකුගේ සංදර්ශනයක් නොවේ නම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වෙනුවෙන් කැප වීමට, ඔවුන් තුළ ජීවිතාපේක්ෂාව දල්වමින් ඔවුන්ව යළිත් සමාජයට උකහා ගැනීමට ඔබේ කාලය සහ ශ්‍රමය යෙදවිය යුතුව තිබේ. එසේම මේ ක්ෂේත්‍රයේ සිදු කොට ඇති දීර්ඝ අධ්‍යයනයන් පිළිබඳව ඔබත් දැනුවත් විය යුතු අතර සෙස්සන්වත් දැනුවත් කළ යුතුව තිබේ. අපේ රටේ වඩාත් සමානාත්මතාවයෙන් යුත්, වඩාත් සාධාරණ සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා වැඩ කළ යුතුව තිබේ. මානසික විෂාදිය පිළිබඳව, ලිංගික කරුණු පිළිබඳව, තව තවත් දැනුවත් විය යුතුව තිබේ. දරුවන්ටත් වැඩිහිටියන්ටත් ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුව තිබේ. මා මේ සඳහන් කළ සෑම දෙයක්ම, මරණ දඬුවමට වඩා, මත්ද්‍රව්‍ය භාවිතය සහ ස්ත්‍රී දූෂණය අඩු කිරීමට පාදක වී තිබේ. (ඇත්තෙන්ම මරණ දඬුවම නිසා අත්වුණු සුගතියක් පිළිබඳ කිසි සාක්ෂියක් නැත).
 
ඒ නිසා, මරණය නෙලා ගැනීම වෙනුවට, නොපවතින ස්වර්ගයක් සහ නරකාදියකට මිනිසුන් දක්කනවා වෙනුවට, සෑම කෙනෙකුටම, කැමති නම් පිය නැගිය හැකි ස්වර්ගයක් මිහි මත ඇති කර ගැනීමට කටයුතු කළ යුතු කාලය එළඹ ඇතැයි මම සිතමි.
 කසුන් කමලදාස

(2018 ජුලි 27 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Wrong Side of Heaven-Righteous Side of Hell නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found