V2025

නිදහසින් පසු රටවැසියාගේ කතාව - ජයවර්ධන සම්ප‍්‍රාප්තිය තෙක් වසර 30 ක ජීවිතය :  1

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආසියාවෙන් ගෝලීය ආර්ථිකය නැතිනම් ලෝක වෙළඳපල සමග පළමුවෙන්ම ගැට ගැසුනු රට ශී‍්‍ර ලංකාවය. ‘77 ජූලි මහ මැතිවරණයෙන් අනපේක්ෂිත විශාල ජයක් ලබා ගත් එ.ජා.ප නායක ජේ.ආර්. ජයවර්ධන බලයට පැමිණි විගස බරපතල, සමගාමී වෙනස්කම් 02ක් වහා සිදු කළේය. පළමු වැන්න, එතෙක් ආනයන අපනයන වෙළඳාමට පනවා තිබූ සීමාවන් හා ඒ වෙනුවෙන් පවත්වා ගත් රාජ්‍ය මැදිහත්වීම් සියල්ල ඉවත්කර අපගේ ආර්ථිකය ලෝක වෙළඳපල ආනයන හා අපනයන සඳහා නිදහස් කිරීමය. දෙවැන්න, එවැනි රාජ්‍ය ප‍්‍රතිපත්තියක් පහසුවෙන් ගෙන යාම සඳහා සමාජීය බලපෑමට සෘජුව හසු නොවන ආකාරයේ බාල්දු කෙරුණු නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තුවක් සමග විධායක බලයක් ඇති බලසම්පන්න ජනාධපති ධූරයක් හැදීමත් ඊට අනුරූපි මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීමත් ය. ඒ මුලූ පැකේජය මීට අවුරුදු 40 ට පෙර 1978 දී අපට හඳුන්වා දුන්නේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය, ලෝකයට විවෘත වීමක් ලෙසින්ය. 

විවෘත වෙළඳපල ආර්ථිකය යැයි ජනාධිපති ජයවර්ධන කි‍්‍රයාවට නැගූ මේ නව ලිබරල් ආර්ථික කි‍්‍රයාවලියට පෙර නිදහසින් පසු එතෙක් දසක 03 ක් පැවතියේ රාජ්‍ය කේන්ද්‍රීය සංවර්ධන මූලෝපායකි. සමාජයට ඔරොත්තු දීමට අපහසු වන තරමේ සැළකිය යුතු ගැටළු එහි තිබිණ. එය මූලික වශයෙන් රාජ්‍ය යොදා ගනිමින් ආර්ථිකයේ දිසා නිති සහ වර්ධන ක්ෂේත‍්‍ර ආණ්ඩු විසින් තීන්දු කළ සැළසුම්ගත සංවර්ධනයක් විය. එහි සංවර්ධන ප‍්‍රමුඛතා තීන්දු කෙරුවේ බලයට පත්වන ආණ්ඩුව විසින් ය. බලයට පත් ආණ්ඩු වලට යම් පමණකට රටවැසියාගේ හ`ඩට සවන් දෙන්නට සිදුවුනි. ආසන මට්ටමෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්තී‍්‍රවරුන්ට ඔවුන්ගේ ඡුන්දදායක බලපෑමෙන් නිදහස් වීම අසීරු වූවකි. 

එහෙත් එහි මූලික ගැටළුව තිබූයේ සමාජ ඉල්ලීම් හා අවශ්‍යතා ඉටු කිරීමේදී වෙළඳපලෙහි පාරිභෝගිකයෙකුට කිසිදු ඉඩක් නොතැබීමෙහිය. සංවර්ධනය යනු ජනමූල කි‍්‍රයාවලියක් යැයි හරියාකාරව අර්ථ ගන්වා නොගැනීමෙන් නිෂ්පාදනය කෙරෙන්නේ කාටදැයි කුමට දැයි යන්න එහි ගැටළුවක් විය. තවත් ආකාරයකට කියන්නේ නම්, රාජ්‍ය මැදිහත්වීම් අත්‍යාවශ්‍ය වූ නිෂ්පාදන හා සේවා ක්ෂේත‍්‍ර හඳුනා වෙන් කරගෙන නොතිබූයෙන් පළමු දසකය කෙළවරදී පෞද්ගලික ආයෝජනයට ආර්ථිකයෙහි ඉඩක් නොතැබීමේ සංවර්ධන ආරවුලක් මතුව තිබිණ. ඒ ආරවුලෙහි රටවැසියා වෙළඳපලෙහි වැදගත් සාධකයක් නොවුනි.

වෙළඳපල තේරීම්ද කෙමෙන් රජයේ වගකීමක් හා තීන්දුවක් බවට පත්ව තිබිණ. ඒ ගමනෙහි නිදහසින් පසු පළමු දසකය අවසන් වනවිට අවශ්‍ය අයුරු සමාජ සංවර්ධනයක් සිදු නොවුනු බැව් අත් දුටුවකි. එනිසා යටත් විජිත යුගයේ ස්ථාපිත වූ සමාජ සුභසාධනය සමාජ බලපෑම් මත පුළුල් කෙරුණත් ඒවා ප‍්‍රාථමික රාජ්‍යවාදී සේවාවන් ලෙස සමාජයට බරක් විය. එවැනි පසුබිමක, නිදහසින් පසු දෙවන දසකය වූ 60 දසකයෙහි වමේ දේශපාලන බලපෑමෙන් විශේෂයෙන් සෝවියට් දේශය හා චීනය පොදු සමාජ සංවර්ධනයෙහි පරමාදර්ශී ආකෘති ලෙස තහවුරු කෙරුණි. ජනතාවාදී ග‍්‍රාමීය දේශපාලන නැඹුරුවක් තිබූ ශී‍්‍ර.ල.නි.පය ඊට ප‍්‍රතිචාර දැක්වීමේදී වඩ වඩා වාම පෙනුමක් ගත්හ. එහි ප‍්‍රතිපලයක් ලෙස සංවර්ධනය වෙනුවෙන් රාජ්‍යවාදී ආර්ථිකයක් මත තැබූ දේශපාලන විශ්වාසය විසින් ඒකාධිකාරී පෞද්ගලික ව්‍යවසායන් රජයට පවරා ගැනීමේ ප‍්‍රවණතාවයක් 60 දසකයෙහි පළමු භාගයේ දැකිය හැකි වන්නේය. පෞද්ගලික ක්ෂේත‍්‍රයේ වර්ධනයට තිබූ ඉඩ ඉන් තවදුරටත් සීමා කෙරිණ. ඒ හේතුවෙන් රැුකියා උත්පාදනය රාජ්‍ය ආර්ථිකයේ වගකීමක් බවට පත් වුනි. පුළුල් කෙරුණු රාජ්‍ය සේවා හා නිෂ්පාදන ආයතන ආණ්ඩු විසින් රැුකියා ලබාදීමට යොදා ගනු ලැබුවේ එබැවින්ය. ඒවායේ රැුකියා සැපයුමෙහිදී ආණ්ඩු පක්ෂයේ දේශපාලන වුවමනාවන්ද නිතැතින්ම බලපෑවේය. එවැනි රාජ්‍ය ආයතන පාලනයට හා කලමනාකරණයට දේශපාලන පත්වීම් ලබා දීම රීතියක් බවට පත් විය. එමගින් කාර්යක්ෂම, ලාභදායි ආයතන ලෙස ඒවා කලමනාකරණය කිරීමේ අවකාශය ඇහිරිණ.

මේ රාජ්‍යවාදී සංවර්ධන ආකෘතියෙහි හොඳ නරක දෙකම ඇත. අනාගතය වෙනුවෙන් ගත යුත්තක් වාගේම නොගත යුත්තක්ද ඇත. සංවර්ධන ආකෘතියක් ලෙස එහි වැදගත් සාධකය වන්නේ ජාතික ආදායම හා වත්කම බෙදී යාමේ සමාජ සාධාරණත්වයට ප‍්‍රමුඛතාවක් දීමය. එබැවින් නගරය හා ගම අතරත් පොහොසත් හා දුප්පත් සමාජ අතරත් පැවති ‘‘ඇති නැති පරතරය’’ සමනය කරගැනීමේ උත්සාහයක් එහි විය. එය මූලික දේශපාලන සිද්ධාන්තයක් ලෙස තබා ගනිමින් එම සංවර්ධනය අර්ථ ගන්වනු ලැබූයේ ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් මෙරට නිෂ්පාදනය දිරි ගැන්වීමට ආනයනය සීමා කෙරෙන ජාතික ආර්ථික කි‍්‍රයාවලියක් වශයෙනි. එය ආනයන ආදේශන නිෂ්පාදන කි‍්‍රයාවලියක් විය. එනමුත් එහි තිබූ ඓන්ද්‍රීය සීමාව වූයේ අත්‍යාවශය පරිභෝජනය සඳහා වූ ආනයන වෙනුවෙන් මෙරට ආදේශක නිෂ්පාදන නොවීමෙහිය. නිදසුනක් ලෙස වාර්ෂිකව විශාල ආනයන වියදමක් දරන්නට වූ පරිප්පු, තිරි`ගු, සීනි සඳහා උක්, ලොකු ළුනු හා කොත්තමල්ලි වැනි කෘෂි නිෂ්පාදන සඳහා ආදේශන නොවුනි. අපගේ ආදේශක නිෂ්පාදන වූයේ සමාජයේ දෛනික පරිභෝජනයට එතරම් අදාල නොවුනු බැර කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නිෂ්පාදනය. ආදේශ නිෂ්පාදනය වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීමෙන් පිහිටුවනු ලැබූයේ වානේ, සිමෙන්ති, ටයර්, ලෝහ භාණ්ඩ, පි`ගන් වැනි රාජ්‍ය සංස්ථාවන් ය.  

ඒ ආවේනික ඓන්ද්‍රීය සීමාවන් සමග එහි අහිතකර පැත්ත වූයේ පුද්ගල පරිභෝජනයද ආණ්ඩු විසින් තීන්දු කිරීමය. ස්වාධීන ජනතා කි‍්‍රයාකාරිත්වයෙන් විවිධ සේවා සමූපාකාර මුදවා රජයේ බලපෑමට ඒවා යටත් කෙරුණේද පරිභෝජනය නියාමනය කිරීමේ රජයේ අවශ්‍යතාව වෙනුවෙනි. ඒ වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග ආණ්ඩු විසින් ලේඛනගත කර රජයේ ගණන් හැදීම මත සළාකයට ලබා දෙනු ලැබිණ. එය දේශපාලනිකව, සැමට එකසේ සැළකීමේ ප‍්‍රගතිශීලිත්වයක් ලෙස ඉදිරිපත් කෙරුණි. භාණ්ඩ ආනයනය හා ආදේශන නිෂ්පාදනය සහමුලින් රජයේ ආධිපත්‍යයට යටත්කර ගැනීමෙන් ආර්ථිකයෙහි පෞද්ගලික ව්‍යවසාය හා ආයෝජන අවකාශය අතිශය බරපතල ලෙස සීමා කෙරුණි. එබැවින් වෙළඳපල තරගයක් මත නිෂ්පාදිත භාණ්ඩ ගුණයෙන් හා පෙනුමෙන් වැඩි දියුණු කිරීමේ වුවමනාවක් ඉල්ලූමක් නොවුනි. එම නිෂ්පාදනවල තත්ත්වය හා පෙනුම වැඩි දියුණු කළ නොහැකිවූ තවත් බරපතල හේතුවක් වූයේ අපගේ ප‍්‍රධාන වෙළඳ හා ආධාරක රාජ්‍යයන් සෝවියට් කලාපීය රාජ්‍යයන් වීමය. ඒවායෙන් අපට ලබාගත හැකිවූ තාක්ෂණය දියුණු තාක්ෂණයක් නොවුනි. ඔවුන් සතු වූයේ ‘‘සඳ තරණය’’ සඳහා තරග වදින තාක්ෂණයක් මිස පාරිභෝගික තේරීම් සඳහා දියුණු කළ තාක්ෂණයක් නොවේ. ජපානය, බටහිර යුරෝපය හා ඇමෙරිකාව දියණු කළ නවීන තාක්ෂණ හා කලමනාකරණ පිළිවෙත් මේ රාජ්‍යවාදී සංවර්ධනයට නොලැබිණ. 

නිදහසින් පසු තෙවන දසකය වූ 70 දසකය අවසන් වනවිට එම සංවර්ධන ආකෘතියෙහි වූ ‘‘සමාජ සාධාරණත්වය’’ දියුණු පොහොසත් සමාජයක ඉහළ අගයන්ට ගැලපෙන්නාවූ සමාජ සාධාරණත්වයක් දක්වා වැඩි දියුණු වූවක් නොවුනි. සාමාන්‍ය රජයේ සේවයේ අතිකාල නොමැතිව යහපත් ජීවිතයක් සඳහා පැය 08 ක වැඩ දිනයකට ප‍්‍රමාණවත් වැටුපක් නොලැබිණ. සේවා පරිසරය හා කාර්යාලීය පහසුකම් රළු, හිර කෙටුණු, විධාන මත ගෙවුනු පසුගාමී පරිසරයකි. විධිමත් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් වූවත් 70 දසකය අවසන් වනවිටද පංති කාමරයේ කි‍්‍රයාකාරිත්වය ඊට පෙර දසක වලට වඩා දියුණුවක් ලැබූ අධ්‍යාපනයක් නොවුනි. 60 දසකය වනවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය බි‍්‍රතාන්‍යයින්ගේ ආකෘතියෙහි සිංහල දිගුවක් වූවා පමණි. එබැවින් එය රාජ්‍ය රැුකියා වෙනුවෙන් සුදුසුකම් සැපයූ උසස් අධ්‍යාපනයක් ලෙස නතර වී තිබිණ. 70 ආණ්ඩුව ඒ අධ්‍යාපන අර්බූදය සඳහා ඉදිරිපත් කළ ‘‘නව අධ්‍යාපන ක‍්‍රමය’’ වැඩවසම්වාදී නැඹුරුවක් තිබූවකි. නිදහස් සෞඛ්‍ය සේවය හා පොදු මගී ප‍්‍රවාහනයද තොග සේවා සඳහා ව්‍යාප්ත කෙරුණා මිස, කාර්යක්ෂමතාව, සුව පහසුව හා නවීනත්වය වැදගත් යැයි සැළකූ සේවා නොවීය. 70 දසකය අවසන් වන විට තිබූ සංවර්ධන ආකෘතිය එබැවින් ආණ්ඩුවේ දේශපාලනය මත තවදුරටත් ශක්තිමත් කළ රාජ්‍ය යාන්ත‍්‍රණයක් විසින් පුද්ගල හා සමාජ අවශ්‍යතා පාලනය කර තබා ගැනීමේ ආකෘතියක් විය. ‘‘අනාගත සෞභාග්‍ය’’ සඳහා ‘‘වර්තමානයේ කැප කිරීම’’ ලෙස එයට ජනතාවාදී අර්ථයක් දෙනු ලැබිණ. එහෙත් එය එළෙසින් බාර ගැනීමට සූදානම් වූ සමාජයක් නොසිටියහ.

දේශපාලන බලය මත කොළඹට කේන්ද්‍රගත කෙරුණු රාජ්‍ය කි‍්‍රයාවලියක් මත මුදල් බෙදී යාමේ සමාජ සාධාරණත්වයක් තබා ගැනීමට උත්සාහ දැරූ සංවර්ධන මූලෝපායෙහි තිබූ සිංහල ආධිපත්‍ය විසින් දෙමළ ප‍්‍රදේශ අත හැරෙන්නේය යන්න ඔවුන්ගෙන් මතු වූ වැදගත් වලංගු විවේචනයක් විය. රාජ්‍ය මැදිහත්වීමෙන් ආරම්භ කළ දුසිමකට වැඩි නිෂ්පාදන සංස්ථා අතුරින් උතුරු නැගෙනහිරට ගෙන යනු ලැබුවේ 04 කි. ඉන් කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කෙරෙන්නේ දෙමළ දේශපාලන නායකත්වය ඞී.එස්. සේනානායකගේ ආණ්ඩුවේ වැදගත් හවුලක්ව සිටියදී කර්මාන්ත දෙපාර්තමේන්තුවේ කම්හලක් ලෙස 1950 දීය. එහෙත් 1956 දී එය රාජ්‍ය සංස්ථාවක් බවට පත් කෙරෙන විට එහි අති බහුතර සේවක පිරිස සිංහල බෞද්ධ විය. එබැවින් ඔවුන් වෙනුවෙන් කනකසන්තුරේ සිංහල විදුහලක් සහ පන්සලක් පිහිටුවනු ලැබිණ. වාලච්චේනි කඩදාසි කම්හල එහි ආරම්භ කෙරුණේ ප‍්‍රධාන අමුද්‍රව්‍ය පිදුරු වූ හෙයින් එයට අම්පාර වැදගත් වූයෙනි. පරන්තන් රසායන හා පුල්මුඩෙයි ඛනිජ වැලි සංස්ථා ආරම්භ කෙරුණේද අමුද්‍රව්‍ය වෙනත් පළාත්වල නොතිබුණු හෙයිනි. නමුත් බහුතර සේවක පිරිස් ඒ පළාත්වල දෙමළ පිරිස් නොවුනි. බහුතරය සිංහල විය. 

එයට විසඳුමක් ලෙස ඔවුන් ඉල්ලා සිටියේ දෙමළ භාෂාව බහුතරයක් භාවිත කරන ප‍්‍රදේශ සඳහා දෙමළ පරිපාලනයකි. එවැනි බලයක් සිංහල පළාත් සඳහාද ඉල්ලා සිටියේ නම්, රාජ්‍ය කේන්ද්‍රීය සංවර්ධන මූලෝපායේ පුද්ගලයාට හා ප‍්‍රජාවට තීන්දු ගැනීමට තිබූ බාධා සහ තහංචි යම් පමණකට අභියෝග කෙරෙන්නට ඉඩ තිබිණ. සියල්ල කොළඹින් තීන්දු කිරීම සීමා වන්නට ඉඩ තිබිණ. එහෙත් ඒ වෙනුවට සිංහල දේශපාලනය විසින් ඒකීය රාජ්‍යයක් ඉල්ලා සිටීමෙන් රාජ්‍යවාදී සංවර්ධනයෙහි ප‍්‍රජා සහභාගිත්වය අහෝසි විය. කොළඹින් සියලූ තීන්දු ගැනීම දිගින් දිගටම සිංහල පළාත් වලටද අවාසි වූවත් දෙමළ ප‍්‍රදේශ වලට ඔවුන් ඉල්ලා සිටි බලය නොදීමේ චණ්ඩිකම හමුවේ සිංහල සමාජය සියලූ අවාසි ඉවසා දරා ගනු ලැබීය.

ඒ ආර්ථික බර ප‍්‍රකාශයට පත් වන්නට වූයේ රජයේ සේවකයින්ගේ පැත්තෙනි. එයද ආණ්ඩුවේ සිටි වමේ ප‍්‍රධාන පක්ෂ දෙකෙහි වෘත්තීය සමිති සහ ශී‍්‍ර.ල.නි.ප සමිති හරහා නොවේ. ඒවා දිගින් දිගටම ආණ්ඩුවේ රාජ්‍යවාදී සංවර්ධන මූලෝපාය ‘‘සමාජවාදයට’’ මුල පිරුමක් ලෙස තේරුම් ගැනීම නිසාවෙන් ආණ්ඩුවට එරෙහිව වෘත්තීය සමිති පියවර ගැනීමෙන් ඔවුහු මග හැරියහ. එබැවින් සේවක විරෝධය මතු වන්නේ 1976 ඔක්තෝම්බරයේදී රත්මලාන දුම්රිය වැඩපළෙහි ආධුනික කම්කරුවෙකු විසින් අලූත් පාසල් වර්ෂය සඳහා දරුවන්ගේ පාසල් පොත් මිළදී ගැනීමට රුපියල් 50 ක දීමනාවක් ඉල්ලා ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය ඔස්සේය. ආරම්භයේදී එය හෑල්ලූ කිරීමට එයට ‘‘ජා-ජා මොරේ කණ්ඩායම’’ යැයි වෘත්තීය සමිති නායකයින් කීවත් සේවක ආකර්ශනය හමුවේ දුම්රිය සමිති සියල්ලටත් පසුව අනෙක් රජයේ වෘත්තීය සමිති වලටත් එම ඉල්ලීම සමග ඊට හවුල් වන්නට සිදු විය. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව අර්බූදයට තල්ලූ කිරීමටත් ජයවර්ධන බලයට ඒමටත් පසුබිම හැදෙන්නේ එමගින්ය. 

එනමුත් ඒ කිසිවකින් රාජ්‍ය කේන්ද්‍රීය සංවර්ධනය පිළිබඳව ප‍්‍රශ්න කිරීමක් නොවුනි. එබැවින් ජයවර්ධන ජනාධිපතතිට කිසිදු සමාජ කතිකාවකින් තොරව, රටේ සංවර්ධනය වෙනුවෙන් යැයි ඔහුගේ න්‍යාය පත‍්‍රය එලි දැක්වීමට ඉඩ ලැබිණ. එහි පල විපාක අවුරුදු 40 ක් පුරා අපි අත් විඳිමු. ඒ ගැන කතාව ලබන සතියට ඉතිරි කරමි. 

කුසල් පෙරේරා

ඉරිදා ලක්බිම

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found