V2025

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉරණම සිරිසේනගේ ගිලටීනය අභියස

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 ‘‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’’ යන්න ප‍්‍රචලිත කියමනකි. එහි අන්තර්ගත වුණේ දේශපාලඥයා සම්බන්ධයෙන් බලපවත්වන බාහිර චර්යා ධර්ම ස්වභාවයකි. එසේ වෙතත්, දේශපාලඥයා ද මනුෂ්‍යයෙකු වන බැවින් මේ කියමන කෙරෙහි ඇතැම් කොන්දේසි බලපවත්වන බවට විශ්වාසයක් අප තුළ විය. ඊළඟට, මනුෂ්‍යයා සංස්කෘතික ජීවියෙකු ද වන බැවින් තවත් කොන්දේසියක් හෙවත් ශිෂ්ටත්වයක් යම් මට්ටමකින් හෝ ඉහත කී පාඨය කෙරෙහි සීමා පනවන බවට විශ්වාසයක් ද අප තුළ විය. එහෙත් ඒ සියල්ල බොරුවක් විය හැකි බව, සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ සිරිසේන අපට පෙන්වා දුනි. මනුෂ්‍යත්වය සහ ශිෂ්ටත්වය අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත ලමින්,  ඕනෑම මොහොතක,  ඕනෑම තත්වයක් යටතේ, ස්වාර්ථය පමණක්ම හඹා යාමටත්, එහිදී ලජ්ජා බය, ප‍්‍රතිපත්ති සහ සම්ප‍්‍රදායයන් පමණක් නොව, නීතිරීති සහ ව්‍යවස්ථා අණපනත් පවා අමු අමුවේ ¥ෂ්‍ය කිරීමට මනුෂ්‍යයෙකු සතු හැකියාව මේ යැයි ඒ කෙටි කාලය තුළ අපට පෙන්වා දීමටත් සිරිසේන සමත් විය. ‘‘මිනිස් සම්බන්ධතා තුළ සදාකාලික මිතුරන්වත් සදාකාලික හතුරන්වත් නැත, ඇත්තේ කුපාඩි කම පමණි’’ යන්න, මේ කෙටි කාලය තුළ ඔහු ආදර්ශයෙන් පෙන්නුම් කළ පාඩමයි.

යහපාලනය අසාර්ථක වුණේ සහ රාජපක්ෂවාදය යළි හිස එසැවූයේ, විමල් වීරවංශ සහ ගම්මන්පිල වැනි දූෂිත සහ උසාවි ඉදිරියේ කප්පරක් නඩු වැටී සිටින අවස්ථාවාදී දේශපාලඥයන්ගේ විරෝධතා දේශපාලනයේ නිපුණත්වයක් හෝ ඔවුන් නොනවත්වා ගෙන ගිය අරගලයක් නිසා හෝ නොව, ඔවුන් ගෙන ගිය අරගලයේ ආත්මය සමග මුල පටන්ම සිරිසේන අන්‍යාකාරයෙන් අනන්‍ය වී සිටි නිසා බව දැන් පැහැදිළියි. එදා, සුසිල් පේ‍්‍රමජයන්ත හෝ ඩිලාන් පෙරේරා යහපාලන පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් ඉතා ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ නිකුත් කරමින් සිටි අවස්ථාවේ අප එය වටහා ගත්තේ, යහපාලනික විනය උල්ලංඝණය කිරීමක් සහ ඊට එරෙහිව පක්ෂ නායකත්වය විසින් විධිමත් විනය පියවර නොගැනීමක් වශයෙන් පමණි. වරක් මේ කාරණය මා මතු කළ අවස්ථාවේ ජනාධිපතිවරයා මට කීවේ, ‘‘මම ඩිලාන්ට හොඳටම බැන්නා’’ කියා ය. එහෙත්, ඇත්තෙන්ම සිදුව තිබෙන්නේ, එදා පටන්ම ඔවුන්ගේ ශබ්දය පසුපස ජනාධිපතිවරයාගේ අප‍්‍රකාශිත අරගලය සටහන්ව තිබී ඇති බවයි. ඒ නිසා ඔවුන්ගේ අරගලයේ විශාල වීරත්වයක් නැත. ‘වීරත්වය’ ඇත්තේ, සිරිසේනගේ ද්‍රෝහීත්වය තුළ ය.

මා කිසි සම්මත ආගමක් අදහන්නෙකු නොවන නිසා සිරිසේනට මනුෂ්‍යයෙකු වශයෙන් පල දීමක් ගැන කිසිවක් කීමට පුළුවන් කමක් නැත. එහෙත්, දේශපාලනික සහ නෛතික වශයෙන් රටට වගවීමට ඔහුට අනිවාර්යයෙන් සිදු වන බව නම් ඉඳුරා කිව හැකිය. ඒ තරමට, ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ව්‍යවස්ථානුකූල නෛතිකත්වයේ අතිමූලික ප‍්‍රමිතීන් මේ වන විට සාපරාධී අන්දමින් දූෂ්‍ය කරමින් සිටින නිසා ය.

ඔක්තෝබර් 26 වැනි දා සිට ඔහු රටේ ව්‍යවස්ථාව දෙවරක් සෘජුව උල්ලංඝණය කොට තිබේ. ඒ, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය අස් කිරීමෙන් සහ පසුගිය සිකුරාදා (9* පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙනි. ඒ අතරේ, එක් වරක් ඔහු ආනුෂංගිකව ව්‍යවස්ථාව උල්ලංඝණය කොට තිබේ. එනම්, වෙනත් උල්ලංඝණයක් හේතු කොටගෙන (අගමැතිවරයා ඉවත් කිරීම හේතු කොටගෙන* තවත් උල්ලංඝණයක් සිදු වීමට ඉඩ හැරීමෙනි. ඒ, තවත් අගමැතිවරයෙකු පත්කිරීමෙනි. තව ද, ඒ අලූත් අගමැතිවරයා කෙරෙහි තිබිය යුතු පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ වගකීමෙන් මගහැරීම සඳහා ඔහු පාර්ලිමේන්තුව වාරාවසාන කෙළේය. එය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් නොවෙතත්, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ තිබිය යුතු සදාචාර ප‍්‍රමිතිය උල්ලංඝණය කිරීමකි.

   පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණේ ඉහතින් කී දෙවැනි ව්‍යවස්ථා උල්ලංඝණය හෙවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක‍්‍රියාවයි. දැනට, එම ක‍්‍රියාව හෙවත් ජනාධිපතිවරයාගේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙසැම්බර් 7 වැනි දා දක්වා අත්හිටුවා තිබේ. එහි සෘජු ප‍්‍රතිඵලයක් වශයෙන් ඊයේ (14* දිනයේ පාර්ලිමේන්තුව යළි කැඳවුණි. අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉවත් කොට මහින්ද රාජපක්ෂ අලූත් අගමැතිවරයා වශයෙන් පත්කිරීම එහිදී සාර්ථකව අභියෝගයට ලක්කෙරුණි. ඒ අනුව, පාර්ලිමේන්තුවේ බහුතරයක් අලූත් අගමැතිවරයාට නැති බව ඔප්පු වුණි. මේ ඔප්පුව වැළැක්වීම සඳහා රාජපක්ෂ-සිරිසේන සන්ධානය හූ කියමින් පාර්ලිමේන්තු පරිපාටිය අඩාල කිරීමට සහ කඩාකප්පල් කිරීමට හැම ප‍්‍රයත්නයක්ම ගත්තත්, ජනතා විමුක්ති පෙරමුණ ගෙනා යෝජනා සම්මතයක් මගින් රාජපක්ෂගේ අගමැති භාවය ව්‍යවස්ථානුකූලව අවලංගු කෙරුණි. අද වන විට, රනිල් වික‍්‍රමසිංහ පෙර පරිදිම අගමැති වන්නේ ද, නැත්නම් ජනාධිපතිවරයා විසින් නැවත අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් පත්කළ යුතුව ඇත් ද යන්න තවම නිශ්චිත නැත. 

කෙසේ වෙතත්, ඊයේ පාර්ලිමේන්තුවේ ඇති කර ගන්නා ලද යෝජනා සම්මතය කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දන්වන ලදුව, ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත අද දැනුම් දීමක් කර තිබේ. එහි මෙසේ සඳහන් වෙයි: 

 ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මවිසින් අග‍්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේදී මාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට විධිවිධාන ඇති නමුත්, අග‍්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවක් හෝ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් නොමැති බව දැනුම් දෙනු කැමැත්තෙමි.’’ 
   හිතවත් පාඨකය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, නීතිය, සම්මතය හෝ සම්ප‍්‍රදායය මොහොතකට පසෙකින් තබන්න. සිරිසේන කියන ඉහත සඳහන් වාක්‍යය පමණක් සැලකිල්ලට ගන්න. එම වාක්‍යය තුළ, ‘‘පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති’’ යන්න ඉවත් කරන්න. එවිට ඔහුගේ සමස්ත වාක්‍යයට තාර්කික අර්ථයක් ලැබෙයි. එහෙත් පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පුද්ගලයා යැයි එහි සඳහන් වන නිසාත්, ජනාධිපතිවරයාගේ ‘මතය’ ඒ උපරිම විශ්වාසයට යටත් විය යුතු නිසාත්, අදාළ විශ්වාසය උරගා බැලීම අනිවාර්ය කෙරේ. මන්ද යත්, එය එසේ නොවන්නේ නම්, ඒ වාක්‍යය ලියැවිය යුතුව තිබුණේ මෙසේ බැවිනි:

 ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මවිසින් අග‍්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේදී මාගේ මතය අනුව... පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට විධිවිධාන ඇති හෙයින්, අග‍්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවක් හෝ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් නැති බව දැනුම් දෙනු කැමැත්තෙමි.’’

 වෙනස පැහැදිළි ද? දැන්, පාර්ලිමේන්තුවේ ‘උපරිම විශ්වාසය ඇති’ කෙනා යන්නෙන් අදහස් කෙරෙන්නේ, වැඩිම විශ්වාසය ඇති කෙනා ය. පාර්ලිමේන්තුවක් යනු මිනිස් ඒකකවලින් සමන්විත ස්ථානයක් නිසා, ඒ ‘උපරිම විශ්වාසය’ ගණන් බැලිය හැකිව සහ ගණන් බැලිය යුතුව තිබේ. යමෙකු ඒ ගණන් බැලීම  ඕනෑකමින්ම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හෝ කඩාකප්පල් කරන්නේ නම් (මේ මොහොතේ පවා පාර්ලිමේන්තුවේ සිදුවන පරිදි*, උපරිම විශ්වාසය ඇති පුද්ගලයා පිළිබඳ ජනාධිපතිවරයාගේ ‘මතය’ ශූන්‍ය වන්නේය. 

ඊළඟට, කතානායකවරයාට ලියූ එම ලිපියේම මෙසේ ද සඳහන් වෙයි:

‘‘2015 ජනවාරි මස 09 වැනි දින එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගරු දි. මු. ජයරත්න මැතිතුමාට පාර්ලිමේන්තුවේ ආසන 162 ක් තිබියදී එතුමා ඉවත් කර, පාර්ලිමේන්තුවේ ආසන 41 ක් පමණක් හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරන ලද්දේ ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂයේ ඉල්ලීම මත බව ද මතක් කරමි.’’

මේ කියන දවසේ ලංකාවේ ක‍්‍රියාත්මකව පැවතියේ වෙනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි. එහි 47 (අ* වගන්තියේ සඳහන් පරිදි, ‘ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කරනු ලැබිය හැකි‘ ය. එබැවින් එදා දි.මු. ජයරත්න අගමැතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල ක‍්‍රියාවකි. එහෙත්, අද පවතින 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉහත කී 47 (අ* වගන්තිය මුළුමණින් ඉවත් කර තිබේ. වර්තමාන ව්‍යවස්ථාව තුළ අගමැතිවරයා ඉවත් කිරීමේ කිසි බලයක් ජනාධිපතිවරයාට දී ඇති බවක් ව්‍යවස්ථාවේ කිසි තැනක සඳහන් නොවේ. මේ නිසා, 2015 ජනවාරි 9 වැනි දා දි. මු. ජයරත්න අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය ධුරයේ පිහිටුවීම සහ 2018 ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍ය ධුරයේ පිහිටුවීම වූ කලී, වෙනස් ව්‍යවස්ථාමය සන්දර්භයන් දෙකක් යටතට ගැනෙන වෙනස් කාරණා දෙකකි. එදා ඉවත් කිරීම ව්‍යවස්ථා-විරෝධී නොවන අතර, අද ඉවත් කිරීම ව්‍යවස්ථා-විරෝධී වන්නේය.

ව්‍යවස්ථාමය තත්වය එසේ වෙතත්, ආසන 162 ක් තිබූ දි. මු. ජයරත්න ඉවත් කොට ආසන 41 ක් පමණක් තිබූ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්කිරීම සදාචාර විරෝධී ක‍්‍රියාවක් නොවේද යන සාධාරණ ප‍්‍රශ්නය මෙහිදී පැන නැගේ. එහිදී අප කරුණු දෙකක් සැලකිල්ලට ගත යුතුය. එකක් නම්, 2015 ජනාධිපතිවරණයට සිරිසේන ඉදිරිපත් වන අවස්ථාවේ, තමන් ජනාධිපතිවරණය ජයගත්තොත් අගමැතිවරයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ පත්කරන බවට සිරිසේන එදා ඡුන්දදායකයාට පොරොන්දුවක් දී තිබීමයි. එබැවින් ඔහු ලැබූ ජනවරම තුළ ඒ අංගයත් ඇතුළත් විය. ඊළඟට, මේ සදාචාරාත්මක ප‍්‍රශ්නය (දි. මු. ජයරත්න ඉවත් කිරීම සහ රනිල් වික‍්‍රමසිංහ පත්කිරීම* එදා මතුකොට ඊට එරෙහිව නැගී සිටිමේ හැකියාව තිබූ 162 ක් මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටියහ. එහෙත් ඒ එක් කෙනෙකු හෝ දි. මු. ජයරත්න ඉවත් කිරීම සහ රනිල් වික‍්‍රමසිංහ පත්කිරීම ගැන කිසි විරෝධයක් පෑවේ නැත. එහි අදහස වුණේ, අසාධාරණයක් හෝ සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නයක්, ඒ අලූත් පත්කිරීමේ වින්දිතයන් විණැයි සිතිය හැකි පිරිස තුළ පවා එදා නොතිබුණු බවයි. හෙවත්, 2015 ජනවාරි 8 ජයග‍්‍රහණයේ සුජාත භාවය ඒ 162 ක් වූ සියල්ලන් විසින් පිළිගත් බවයි.

ඉතා පහසුවෙන් ඒ ආකාරයෙන් ඔවුන් ඒ සුජාත භාවය පිළිගත්තේ ඇයි? එසේ නොවුණි නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බව දැන සිටි බැවිනි. ඊටත් වඩා, එදාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට ගියේ නම් තමන්ට අන්ත පරාජයක් අත්වන බව ඒ කවුරුත් හොඳින් දැන සිටි බැවිනි. එය, පසු අවස්ථාවක සිරිසේන විසින්මත් ඔවුන්ට පෙන්වා දී තිබූ කාරණයකි. එයින් පෙනී යන්නේ, ව්‍යවස්ථාමය සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නය රාජපක්ෂලා විසින්ම, එදා තමන්ගේ පටු දේශපාලන වාසි තකා ඉවත ලා තිබුණු බවයි. මෙය, ඉහත ලිපිය කතානායකවරයාට අද ලියන සිරිසේන නොදන්නවා නොවේ.     ඉහත සඳහන් පාඨය ලිවීමේදී සිරිසේන තවත් කරුණක් හිතමතා වසං කරයි. එනම්, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී, අගමැති වශයෙන් රනිල් වික‍්‍රමසිංහ පත්කරන බවට පොරොන්දුවක් රට ඉදිරියේ තැබීමට තමාට සිදුවුණේ මන්ද යන්නයි. එය, හුදෙක් එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම නිසා ද? කොහෙත්ම නැත. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡුන්දයෙන් බලයට පත්වීම සඳහා ඒ අගමැති ‘වරය’ දිය යුතුව තිබුණු බැවිනි. අද සිරිසේන ජනාධිපති පුටුවේ වාඩි වී සිටින්නේ, එම ‘අල්ලස’ එක්සත් ජාතික පාක්ෂිකයාට දීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. දේශපාලනික සහ සදාචාර ‘අල්ලසක්’ එක්සත් ජාතික පාක්ෂිකයාට දීමෙන් ජනාධිපති පුටුවට එදා පැන ගත් ඒ අසත්පුරුෂයා, ‘රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්කරන ලද්දේ ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂයේ ඉල්ලීම මත’ යැයි කතානායකවරයා අමතා අද කියන්නේ, තවත් වාරයක් ජනාධිපති පුටුවට පැන ගැනීම සඳහා මෙවර එම අල්ලසම රාජපක්ෂලාට දීමෙන් පසුව වීම, ඉතිහාසයේ අපූරු සරදමකි. 

සිරිසේනගේ ගිලටීනය දැන් ලෙළදෙයි. ඒ ඉදිරියේ මාරක පරදුවට වැටී ඇත්තේ, රනිල් වික‍්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය හෝ නොවේ. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ශිෂ්ටත්වයයි. 

ගාමිණී වියන්ගොඩ

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found