V2025

අවසාන අනතුරු ඇඟවීමයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අවසාන අනතුරු ඇඟවීමයි

කලණී කුමාරසිංහ

ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ දේශගුණ විද්‍යාඥයන් අවසාන අනතුරු ඇඟවීම නිකුත් කොට තිබේ. ලෝකය වෙනස් විය යුතු බව පෙන්වා දෙන ඔවුහූ වසර දොළහක කාලයක් තුළ එම වෙනස සිදු කර ගත යුතුව ඇති බව පෙන්වා දෙති. අප සිතන පතන ආකාරය, කන බොන ආකාරය සහ කොටින් කිවහොත් අප ජීවත් වන ආකාරය මේ කාලය තුළ අප වෙනස් කර ගත යුතුව තිබේ.


මේ දොළොස් වසරක කාලය තුළ, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ක උපරිමයකට යටත් කොට තබා ගැනීම අපේ ඉලක්කය විය යුතුය. ඉන් එහා අංශක භාගයකින් හෝ සිදුවන සුළු වෙනසක් වුව ඉතා ව්‍යසනකාරී විපර්යාසයන් ඇති කිරීමට හේතුකාරක වනු ඇත. ගංවතුර, නියඟ, අධික උෂ්ණත්වය සහ අවසානයේ ඒ සියල්ලේ ප‍්‍රතිවිපාකයක් වශයෙන් ලෝකය පුරා දසලක්ෂ ගණන් ජනතාවක් අන්ත දරිද්‍රතාවට පත්වීම ආදිය ඊට ඇතුළත් ය. එය මෙතෙක් ශ‍්‍රී ලංකාව අත්දැක නැති ව්‍යසනකාරී තත්වයකි.

පසුගිය ඔක්තෝබරයේ නිකුත් කරන ලද ‘දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර්-රාජ්‍ය මණ්ඩලයේ වාර්තාව’, පෙර නොවූ විරූ විපර්යාසයන් පුරෝකථනය කොට ඇති අතර මිහිකත ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග පෙන්වා දෙයි. මේ වාර්තාවත් සමගම 2019 වසරේ ‘ගෝලීය දේශගුණික අවදානම් ශූචිය’ ද නිකුත් විය. දේශගුණයට අදාළ කාරණා හේතුවෙන් විවිධ රටවල් සහ කලාප ආශ‍්‍රයෙන් සිදුව ඇති අහිතකර බලපෑම් ඒ වාර්තාවෙන් පෙන්වා දෙයි. ඉතා මෑතකදී, එනම් 1998-2017 අතර කාලය සඳහා ගණනය කොට ඇති දත්තවලට අනුව, 2017 තුළ වඩාත් හානිකර බලපෑමකට ලක්ව ඇති රටවල් අතරින් ශ‍්‍රී ලංකාව දෙවැනි ස්ථානයට වැටී තිබේ. පළමු ස්ථානය ගෙන ඇත්තේ පුවෙර්තෝ රිකෝ රාජ්‍යයයි. 2018 වසර සඳහා ශ‍්‍රී ලංකාව හතරවැනි ස්ථානයට පත්ව ඇතත්, දේශගුණික විපර්යාසයන්ගෙන් වඩාත් පීඩාවට පත්වන්නේ කාර්මිකරණයට ලක්වූ දියුණු රටවල්වලට වඩා අර්ධ සංවර්ධිත රටවල් බව එම වාර්තාව පෙන්වා දෙයි.

කාලය සීමිත ය

හඩර්ස්ෆීල්ඞ් විශ්ව විද්‍යාලයේ ‘ගෝලීය ව්‍යසන ප‍්‍රතිවර්තනීය කේන්ද්‍රයේ’ ප‍්‍රධානී, මහාචාර්ය දිලන්ති අමරතුංග පෙන්වා දෙන පරිදි ගෝලීය විපර්යාසය අප සිතනවාට වඩා වේගයෙන් කඩාගෙන පැමිණෙයි. ඒ නිසා, වෙනස් වන දේශගුණික තත්වයන් සහ ගෝලීය උෂ්ණත්වයේ වර්ධනයන් සම්බන්ධයෙන් කඩිනම් සහ කාර්යක්ෂම පියවර ගැනීමේ ඇති වැදගත්කම ඈ අවධාරණය කරයි. එහිදී ඈ මෙසේ කියන්නීය: ‘‘ලෝකයේ රටවල් 195 ක් විසින් 2015 දී ‘සාමුහික පැරිස් ගිවිසුම’ පිළිගනු ලැබීම ඉතා වැදගත් සංසිද්ධියකි. ඒ ගිවිසුමේ 2 වැනි වගන්තියට අනුව එහි මුඛ්‍ය අරමුණ වන්නේ, මේ ශත වර්ෂයේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම මැඩගෙන, එය සෙල්සියස් අංශක 2 ට අඩු මට්ටමකින් පවත්වා ගැනීම හරහා දේශගුණික විපර්යාසය කෙරෙහි දක්වන ලෝක ප‍්‍රතිචාරය තව තවත් ශක්තිමත් කර ගැනීමයි. එහි අදහස වන්නේ, ඊටත් වඩා අඩු මට්ටමකින්, එනම් සෙල්සියස් අංශක 1.5 සීමාව තුළ උෂ්ණත්වය පාලනය කර ගැනීමට හැකි සෑම පියවරක්ම අප ගත යුතුව ඇති බවයි.’’

දේශගුණික වෙනස්කම් පාලනය කර ගැනීමේ ප‍්‍රතිපත්තිමය පියවර පමණක් ගෝලීය ඌෂ්ණත්වය අඩු කර ගැනීමට නොසෑහෙයි. බිම් මට්ටමේ ක‍්‍රියාකාරකම් රාශියක් ද ඊට අවශ්‍ය කරයි. ‘‘උදාහරණයක් වශයෙන්, ආපදා අවදානම් අවම කර ගැනීමේ ප‍්‍රධාන පියවරක් වන ප‍්‍රති-වනරෝපණය ඒ ඒ ප‍්‍රජාවන්ගේ සහභාගීත්වයෙන් යුතුව දියත් කිරීම ඒ ඒ කලාපවල ඌෂ්ණත්වය දීර්ඝ කාලීන වශයෙන් පාලනය කර ගැනීම සඳහා වැදගත් වෙයි. එය ගෝලීය ඌෂ්ණත්වය සෑහෙන දුරකට පාලනය කර ගැනීමටත් ඉවහල් වනු ඇත.’’ ආපදා අවදානම් අවම කර ගැනීමේ පියවර සමග දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ පියවර එකට යා කර ගැනීමෙන්, දේශගුණික විපර්යාසයන් සහ ගෝලීය ඌෂ්ණත්වය පාලනය කර ගැනීමේ ක‍්‍රියාවලිය කඩිනම් කළ හැකි බව මහාචාර්ය අමරතුංග පෙන්වා දෙයි.

‘දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර්-රාජ්‍ය මණ්ඩලයේ’ විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි, සෙල්සියස් අංශක 2 ට අඩු මට්ටමකින් ගෝලීය ඌෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා ඒ ඒ රටවල් ප‍්‍රගාමී ක‍්‍රියාමාර්ගයන්ට සංයුක්තව අවතීර්ණ විය යුතුව තිබේ. එම කි‍්‍රයාකාරකම්, පහසුවෙන් කළ හැකිව ඇති, මිල අධික නොවන වැඩපිළිවෙලවල් වන්නේය. මේ අතර, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩපිළිවෙල යටතේ ප‍්‍රකාශයට පත් ‘සම්පත් වාර්තාවේ’ මූලික නිරීක්ෂණයන්ට අනුව, සමස්තයක් වශයෙන් ගෝලීය ඌෂ්ණත්වය ලෝකය පුරා ඉහළ යමින් පවතින අතරේ, ඒ ඉහළ යාම නිසා සමහර රටවල් සතු ජලය, පිරිසුදු වාතය, වනගහනය සහ ජෛව විවිධත්වය වැනි පාරිසරික සම්පත් විනාශ මුඛයට ඇද වැටීමේ තර්ජනයට මුහුණදී සිටී. විශාල පරිසර හානියක් කර ගනිමින් සංවර්ධනයක් ඇති කර ගැනීමට බලන ශ‍්‍රී ලංකාව නිසැකවම ඒ රටවල් අතරින් එකකි.

‘‘ආර්ථිකයේ සෞඛ්‍ය සම්පන්න භාවය උපදින්නේ පරිසරයේ සෞඛ්‍ය සම්පන්න භාවයෙන්’’ යැයි, එක්සත් ජාතීන්ගේ පරිසර අංශයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක සහ ඉහත වාර්තාවේ සම්බන්ධීකාරක පුෂ්පම් කුමාර් කියයි. ‘‘නඩත්තු කළ හැකි තිරසාර මාවතක යමින් නිවැරදි තේරීම් කිරීම සඳහා අපේ ප‍්‍රගතිය නිසියාකාරයෙන් තක්සේරු කිරීමේ හැකියාවක් අපට තිබිය යුතු’’ බව ඔහු එහිදී පෙන්වා දෙයි.

කතාවේ හැටියට වැඩ කිරීම

පරිසරයට කාබන්ඩයොක්සයිඞ් නිකුත් වීමෙන් සිදුවන හානියට විශාල වශයෙන් වගකිව යුත්තේ චීනය වැනි යෝධ කාර්මික රටවල් ය. ලංකාව වැනි රටක කාබන් විෂ වායුව පරිසරයට එක් කිරීම විශාල වශයෙන් සිදුවන්නේ මෝටර් රථවලින් නිකුත් කෙරෙන දුමාරයෙනි. යුද්ධය අවසන් වීමෙන් පසුව ලංකාව හදිසි ආර්ථික සංවර්ධනයක් අත්කර ගනිමින් සිටියදී එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රටේ නාගරික යටිතලය දැරිය නොහැකි මෝටර් රථ සංඛ්‍යාවකින් ඔද්දල් වී ගියේය. එය මහා අවදානමකි. මේ අභියෝගය ඉදිරියේ ශ‍්‍රී ලාංකීය නවෝත්පාදකයෙක් රටේ මහාමාර්ග පද්ධතිය පරිසර හිතකාමී ආකාරයකින් කළමනාකරණය කර ගැනීමේ එක් මාවතක් එළිපෙහෙලි කරමින් සිටී.

ඔහුගේ නම සිසිරංග ද සිල්වා ය. මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන ඔහු, ත‍්‍රීවීලර් රථ සඳහා පාවිච්චියට ගත හැකි විදුලි අනුවර්තන කට්ටලයක් නිර්මාණය කොට තිබේ. ‘‘ත‍්‍රීවීලර් රථවල දැනට තිබෙන බල සංයුතිය වෙනුවට විදුලි මෝටරයක් සහ ලිතියම් බැටර් කට්ටලයක් සවි කිරීම ඊට විසඳුමක්’’ බව ඔහු කියයි. තම කණ්ඩායමත් සමග එක්ව මේ කට්ටලය ත‍්‍රීවීලර් අයිතිකරුවන්ට ලබා ගත හැකි මට්ටමක මිලකින් නිෂ්පාදනය කිරීමට ඔහු උත්සාහ කරමින් සිටී. ඒ මගින්, පරිසරයට මේ වාහනවලින් මුදා හැරෙන අපවිත‍්‍ර දාහය මුළුමණින් ඉවත් කළ හැකි බව කියැවේ. එය මේ රටේ දැනට වාහනවලින් නිකුත් කෙරෙන අපවිත‍්‍ර දාහය පිළිබඳ ප‍්‍රශ්නයට ඉතා ප‍්‍රඥාගෝචර පියවරක් බව ඔහුගේ අදහසයි. කොළඹ නගරයේ පමණක් දැනට තී‍්‍රවීලර් 300,000 කට අධික ප‍්‍රමාණයක් තිබේ. ‘‘අපේ පරිසරයට විෂ වායුව එක් කරන ප‍්‍රධාන මාර්ගයක් තමයි ප‍්‍රවාහණ අංශය. එය ක‍්‍රමවත්ව පාලනය කරගන්න පුළුවන්. මගේ අරමුණ වෙන්නේ, මේ වාහනවලින් යැපෙන්නන්ගේ ජීවිකාවට ප‍්‍රශ්නයක් නොවී, පරිසර ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීමයි.’’

මේ වන විට ඔහු සිය නවතම සොයා ගැනීම තවත් අංගසම්පූර්ණ කර ගැනීමට වෙහෙසෙමින් සිටී. ‘‘තවම අපි මේ ක‍්‍රමය පාරේ අත්හදාබලලා නැහැ. දැනට ඒක කරලා තියෙන්නේ විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ විතරයි. ආරක්ෂාව පිළිබඳ කාරණාත් සැලකිල්ලට අරගෙන, වාහනේකට මේ ක‍්‍රමයෙන් දුවන්න පුළුවන් දුරත් සැලකිල්ලට අරගෙන කටයුතු කරන්න සිද්ධ වෙනවා. පාරට දාන්න වෙන්නේ ඊට පස්සේ.’’ ඔහු කියයි.

ලොකුම ප‍්‍රශ්නය වන්නේ මේ කට්ටලය නිර්මාණය කිරීමට වඩා, එය ප‍්‍රායෝගිකව භාවිතයේ යෙදවීමට යාමේදි මුහුණදීමට සිදුවන ඉහළ බදු වියදම් පිළිබඳ ප‍්‍රශ්නය බව ඔහු කියයි. ‘‘බැටරි කෝෂ, යාන්ත‍්‍රික අංගෝපාංග ආදිය සඳහා වන බදු ඉතා විශාලයි. ඒ නිසා යම් ආකාරයක සහනාධාර හෝ වෙනත් අනුග‍්‍රහයන් නැතිව, සාධාරණ මිලකට මේක නිර්මාණය කරන එක ප‍්‍රශ්නයක්. අලූත්ම ත‍්‍රීවීලර් රථයක් දැනට රුපියල් 700,000 ක් වෙනවා. මේ අලූත් ක‍්‍රමයට මාරු වීම සඳහා අමතර රුපියල් 300,000-400,000 ක් අතර මුදලක් වැය වෙන්න පුළුවන්. ඊටත් වඩා, ලිතුනියම් බැටරිය හුඟාක් මිලයි. ඒක නිසා, පරිවර්තන වියදම අලූතෙන් ත‍්‍ර‍්‍රීවීලර් එකක් ගන්න තරමටම වියදමක් වෙන්න පුළුවන්. ඒක තමයි, තියෙන ලොකුම ප‍්‍රශ්නය.’’

මේ අතර, නව ක‍්‍රමය භාවිත කරමින්, පෙට‍්‍රල්වලින් ධාවනය වන දුර ප‍්‍රමාණයම දිවීමට ඇති හැකියාව ඔහු පරීක්ෂාවට ලක්කරමින් සිටී. ‘‘බැටරි චාජ් කරගන්න තැන් ලංකාවේ වැඩිපුර නැති නිසා, මේ බැටරිය චාජ් කරගන්න කෙනෙකුට ගෙදරට එන්න වෙනවා. ඒක නිසා, අඩු ගානේ කිලෝ මීටර් 100 ක්වත් එක බැටරි චාජ් එකකින් දුවන්න පුළුවන් වෙන තත්වයක් ඇති කරගන්න ඕනේ.’’ ඔහු කියයි. ඔහුගේ කණ්ඩායම මගින් කරන ලද එක්තරා සමීක්ෂණයකට අනුව, වරක් බැටරිය චාජ් කර ගත් පසු, මේ ක‍්‍රමය යටතේ කිලෝ මීටර් 100-120 අතර දුර ප‍්‍රමාණයක් ධාවනය කළ හැකි බව සොයාගෙන තිබේ.

මේ වසරේ මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩපිළිවෙල යටතේ, ‘ආසියා-ශාන්තිකර අඩු-කාබන් ජීවන ශෛලීන් පිළිබඳ අභියෝග’ මැයෙන් වැඩ සටහනක් දියත් කෙරුණි. බලශක්ති කාර්යක්ෂමතාව සහිත, අඩු නාස්තියෙන් යුත්, අඩු කාබන් ජීවන ශෛලීන් කෙරෙහි අනුබල දෙන ආකාරයේ තරුණයන්ගේ ව්‍යපාරික අදහස් සහ යෝජනා සමීක්ෂණය කිරීම එහි කාර්යය විය. ඒ ආකාරයේ පරිසර හිතකාමී විසඳුම් ඉදිරිපත් කළ ආසියාවේ හොඳම නවෝත්පාදක ව්‍යවසායකයන් දොළොස් දෙනා අතරට සිසිරංග ද සිල්වා තේරී තිබේ. ‘‘මේ වැඩපිළිවෙල යටතේ ඉදිරිපත් වෙච්ච 180 දෙනෙකුගේ යෝජනා අතරින් අවසානයේ තෝරා ගත් දොළොස් දෙනා අතරට මාව තේරුණා’’ ඔහු කියයි.

සති දෙකක් තිස්සේ දිග් ගැස්සුණු මතභේද අවසානයේ, ‘පැරිස් රීති පොතට’, පසුගිය සතියේ ලෝකයම එකඟ විය. ගෝලීය උෂ්ණත්වය මැඩලීම සඳහා වන රීති පද්ධතියක් ඇති කර ගැනීම එහි අරමුණ විය. පෝලන්තයේ කැටොවිට්ස් නගරයේ පැවති ‘එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 2018 සමුළුවේ’ දී එකඟත්වයට පැමිණි මේ අවස්ථාව, ලෝක දේශගුණික රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය සම්බන්ධයෙන් තැබූ වැදගත් පියවරකි. විශේෂයෙන් මුහුදට කෙමෙන් බිළි වන ලංකාව වැනි කුඩා ¥පත් රාජ්‍යයන් එම සම්මුතියට එකහෙලා එකඟ විය.

කෙසේ වෙතත්, දේශගුණික විපර්යාසය පොදු සංසිද්ධියකි. ඒ අභියෝගය ජය ගැනීම සඳහා ලෝකයාගේම සාමූහික සහභාගීත්වය අවශ්‍ය කෙරේ. මේ කාරණය සම්බන්ධයෙන් ආණ්ඩු පස්ස ගසමින් සිටියත්, විශාල සහ කුඩා පරිමාණයේ ව්‍යපාරික අංශ ඒ කෙරෙහි තත්පර වෙමින් සිටී. සමහර විට, සිසිරංග ද සිල්වා වැනි තරුණ ව්‍යවසායකයන්, මේ සම්බන්ධයෙන් වන කඩිනම් පියවර ගැනීමේ ඇති වැදගත් කම අපේ ආණ්ඩුවල අවධානයට යොමු කිරීමේ විභවය සහිත පුද්ගලයන් විය හැකිය.

2018 දෙසැම්බර් 25 වැනි දා, ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ, කලණී කුමාරසිංහ ලියූ, ‘‘අවසාන අනතුරු ඇග’වීමයි’’ නැමැති මේ සමග අමුණා ඇති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found