Language Switcher

V2025

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය චින්තනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය, විශේෂයෙන් සිංහල මාධ්‍ය මේ දිනවල ඉතා උනන්දුවෙන් සොයා බලන කාරණයක් තිබේ. එනම්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගීමට යෝජිත සන්ධානයේ ඉදිරි වගතුග ය. එවැනි උනන්දුවක් ඇති වීමට හේතු වී තිබෙන්නේ, එම මාතෘකාව මැද්දේ එවැනි සන්ධානයකින් ඉදිරිපත් කෙරෙන ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ඇමිණී ඇති බැවිනි.

දැනට පවතින්නේ, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනත්, රාජපක්ෂ පවුලේ සහෝදරයෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් අතර තේරීමක් බව පෙනෙන්ට තිබේ. එවැනි ජනාධිපතිවරණයකදී ඉදිරි පෙළ අපේක්ෂකයා නොවේ නම් අඩු වශයෙන් ඉදිරිපෙළ අපේක්ෂකයා වශයෙන් බරපතල ලෙස සලකා බැලෙන ප‍්‍රධාන තරගකරුවෙකු වශයෙන්වත් තමන්ගේ පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේ හැකියාව, පසුගිය වසරේ පෙබරවාරියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද ජයග‍්‍රහණය හරහා ඔවුන්ට ලැබී තිබේ.

එවැනි සන්දර්භයක් තුළ, අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වන පරිදි, ගිය සතියේ පැවති රාජපක්ෂ පවුලේ සාකච්ඡා වටයකදී ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය කර ගත් බව කියැවේ. මේ ගැන පළ කෙරෙන මාධ්‍ය වාර්තාවලට අනුව, එකී තීරණය ගෙන ඇත්තේ, ඉදිරි නොවැම්බරයේදී හෝ දෙසැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා දැන් තියාම ගෝඨාභයට තමන්ගේ ‘එළිය’ සංවිධානය හරහා ස්වකීය අපේක්ෂකත්වය ප‍්‍රවර්ධනය කර ගැනීමටත්, ඒ අතරේ ගම් මට්ටමේ ප‍්‍රජා ක‍්‍රියාවලීන් තුළින් බිම් මට්ටමේ සංවිධාන ජාලගත කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අවස්ථාව සැලසීමටත් ය. ඒ අනුව, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත්, එහි අපේක්ෂත්වයට පත්වන ගෝඨාභය රාජපක්ෂත් ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති සහ දේශපාලනය ගැන බරසාර සැලකිල්ලක් මේ අවස්ථාවේ යොමු කිරීම වැදගත් ය. මන්ද යත්, මහින්ද යටතේ නොව, ගෝඨාභය යටතේ අනාගතයේ ඇති කෙරෙන අලූත් රාජපක්ෂ ජනාධිපති තනතුරක් තුළ, එයම රටේ ජාතික ප‍්‍රතිපත්තිය බවට ද පත්වීමට ඉඩ ඇති බැවිනි.

මහින්ද චින්තනය දෙස ආපසු හැරී බලතොත් !

2009 යුද්ධය අවසන් වීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ දේශපාලනය ඇත්තෙන්ම පිවිසුණේ නව යුගයකටයි. 2019 මැයි මාසයෙන් පසු ඒ යුගය දෙවැනි දශකයට පියනගයි. මේ වෙනස් යුගයේ ස්වභාවය ගැන මහින්ද රාජපක්ෂට හොඳ අවබෝධයක් තිබුණි. 2009 මැයි මාසයේ කොටි සංවිධානය පරාජය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුව ඇමතීමේදී, ජාතික සංවර්ධනයේ පමාව, තවදුරටත් යුද්ධයක් අස්සේ සැඟවීමට අවසරයක් නැතැයි ඔහු කියා සිටියේ එබැවිනි. ඒ අනුව ශ‍්‍රී ලංකාව, ස්වකීය ආර්ථික සහ සමාජ සංවර්ධනයේදී, සාමය සහ සමෘද්ධිය මත ගොඩනැගෙන සංවර්ධනයක් මත රැුඳිය යුතුව තිබුණි. ඔහුගේ එම වචන ශ‍්‍රී ලංකාවේ ජනතාව පිළිගත්හ. ඒ අනුව, 2010 දී ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණයකින් අපේක්ෂකයෙකු ලබන දෙවැනි වැඩිම ඡුන්ද ප‍්‍රමාණයක් වන සියයට 57.8 ක් ඔහුට ලබා දුන්නේය. එය දෙවැනි වුණේ, 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ලබා ගත් සියයට 62.3 ක ඡුන්ද ප‍්‍රතිශතයට පමණි. 2010 දී මහින්ද ජනප‍්‍රියත්වය මුදුන්පෙත්තේ සිටියදී පවා, 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායකට තිබූ ජනප‍්‍රියත්වයේ කිට්ටුවටවත් ළඟා වීමට අපොහොසත් වූ බව අමතක නොකළ යුතුය.

රාජපක්ෂ ලබා ගත් මේ දෙවැනි ජනවරමින් පසු ක‍්‍රියාත්මක කළ මහින්ද චින්තනයේ ‘ඉදිරි දැක්ම’ තුළ, ජනාධිපතිවරණයේ දී තම ප‍්‍රතිවාදියා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාව හිරේ දැම්මේය. අගවිනිසුරුවරියව දෝෂාභියෝගයක් මගින් ඉවත් කෙළේය. ශ‍්‍රී ලංකාවේ කලාපීය සහ ජගත් අවශ්‍යතාවන්ට හානිකර වන ආකාරයෙන් චීනය කේන්ද්‍ර කර ගත් විදේශ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැගුවේය. විදේශ ණය උගුලක හිරවෙන, උපයෝගී වටිනාකමින් අඩු, සුදු අලි ව්‍යාපෘති ගණනාවක් දියත් කෙළේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය සහ පුද්ගල නිදහස හැකිලූවේය. මහ ජාතික අන්තවාදී සංවිධාන හරහා මුස්ලිම් විරෝධී හිංසනය ප‍්‍රවර්ධනයට රුකුල් දුන්නේය. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ මගින් හෝ රාජපක්ෂගේම සර්ව පාක්ෂික සමුළුව හෝ එහි විධායක අංශය වන ‘සර්ව පාක්ෂික නියෝජිත සමුළුව’ ආදියේ නිර්දේශ මගින් යෝජනා කොට තිබූ කිසි විදිහක පශ්චාත්-යුද කාලීන සංහිඳයා ක‍්‍රියාවලියක් පටන් නොගත්තේය. එවැනි යෝධ දේශපාලනික මංමුළාවක 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයකුත් අටවාගෙන රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඇති කරමින් පැවති හානිය, රටේ වාසනාවකට, පස් අවුරුදු කාලය ගතවීමට අවුරුද්දක් තිබියදී තුන්වැනි වරටත් බලය ලැබීම සඳහා කලින් කැඳවූ ජනාධිපතිවරණයකට පිංසිදු වන්නට අවසන් කෙරුණි.

ගෝඨාභය- අලූත් බෝතලයක පරණ වයින් !

ඉතිං, තවත් රාජපක්ෂ පාලනයක්, මෙවර ගෝඨාභය පන්නයේ පාලනයක්, කොයි වගේ විය හැකි ද? ‘එළිය’ සංවිධානයේ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් උදහස් දෙස බැලීමේදී පෙනෙන්නේ, අලූත් දවටනය තුළ ඇත්තේත් පරණ භාණ්ඩයම බවයි. සිංහල ජාතිකවාදී අලංකාරෝක්ති හරහා සමාජය එක අතකින් දෙකට බෙදන අතරේ, අනිත් අතින්, 2015 දී ඔවුන්ව පරාජය කළ වර්තමාන පාලකයන්ගේ පොරොන්දු පත‍්‍රවල අසාර්ථකත්වය පිළිබඳව වර්තමානයේ පවතින මහජන අසහනය සිය ප‍්‍රයෝජනයට ගැනීමට බැලීම ඒ පසුපස තිබේ.

ඒ සියල්ල මැද්දේ, ප‍්‍රජාතන්ත‍්‍රීය, සිවිල්, දේශපාලනික සහ මානව අයිතීන් කෙරෙහි වන ඛේදණීය නොතැකීමක් ද පෙනෙන්ට ඇත. ඒ වෙනුවට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ ශක්තිමත් නායකත්වයක් බවත්, වර්තමානයේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රීය සංවාදයේ සහ ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් වශයෙන් එවැනි නායකත්වයක් ඇති වීම දුර්වල කොට ඇති බවත් එම පිරිස පෙන්වා දෙනු ලැබේ. මේ තර්කය කිසිසේත්ම අලූත් එකක් නොවේ. එහි වයස, වසර දහසක් ගණනක් වෙයි. මේ තර්කය මුලින්ම සූත‍්‍රගත කෙරුණේ, පැරණි රෝම අධිරාජ්‍යයේ පරිහානි සමයේ ය. එහිදී අධිරාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා රෝම සෙනේට් මණ්ඩලය තව තවත් බලතල අධිරාජයා වෙත පැවරුවේය. එහෙත් ඉන් ප‍්‍රතිඵලයක් අත්නොවුණි. ඇත්ත වශයෙන්ම, ආඥාදායකයා යන ලතින් වචනය ව්‍යුත්පන්න වන්නේ, හදිසි අවස්ථාවකදී අධිරාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා අධිරාජයාට පවරනු ලබන, කිසිවකට හෝ කිසිවෙකුට යටත් නැති, පරම ආඥාවක අයිතිකරුවා යන අර්ථයෙනි. ගිය සියවසේ මැද භාගයේ යුරෝපයේ හටගත් ෆැසිස්ට්වාදී දේශපාලනික න්‍යායන් සහ භාවිතයන්, එකී අතීත සම්ප‍්‍රදායට අයත් විය.

2015 දී රාජපක්ෂලා ලද පරාජයෙන් ඔවුන් එක පාඩමක් උගෙන තිබේ. එනම්, ආණ්ඩුකරණය යන්න ඉතා වැදගත් බවයි. එම ජනාධිපතිවරණයේදී ජාතිකවාදී වාගාලාපවලින් රටට අඩුවක් නොවුණි. ඒ කෙතෙක්ද යත්, උතුරු කොරියාවේ කිම් ජොන් උං ගේ ප‍්‍රචාරණයටත් එහාට රාජපක්ෂ ප‍්‍රචාරණය ගිය තරම් ය. එහෙත් අවසානයේදී ජනාධිපතිවරණය ජය ගැනීමට එය ප‍්‍රමාණවත් නොවුණි. තමන්ට යහපත් පාලනයක් නොතිබුණු බව සහ තමන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන නොතිබුණු බව, ශ‍්‍රී ලාංකිකයෝ අවබෝධ කරගෙන සිටියහ. ඒ කාරණය සිහියේ තබාගෙන ඔහුගේ අනුගාමිකයන් දැන් ගෝඨාභයව විකුණන්නේ නිර්-දේශපාලඥයෙකු, වැඩක් කළ හැකි වෘත්තිකයෙකු, කොටින් කියතොත්, තාක්ෂණධරයෙකු වශයෙනි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් ගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ගෝඨාභය හෝ ‘එළිය’ පෙනෙන්ට නොතිබීම විශේෂිත ය. ගෝඨාභය ඇමරිකාවට වී සිටියේය. ‘එළිය’ නිවාගෙන සිටියේය. දැන් එක්සත් ජාතික පෙරමුණ ගැන ඔවුන් විවේචන ඉදිරිපත් කරතත් තමන්ගේ වැඩපිළිවෙලක් පැහැදිලිව ඉදිරිපත් කොට නැත. මහින්දගේ ‘2018 ඔක්තෝබරය’ වැඩ කෙළේ නම් එය ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂා බොඳ කරන්ට තිබුණි. එහෙත් එම අනතුර දැන් පහව ගොසිනි. රාජපක්ෂ ප‍්‍රතිපත්ති සහ දේශපාලනය දැන් තුන් වරක් පරාජයට පත්ව තිබේ. අවසාන වරට එය පරාජයට පත්වුණේ පසුගිය ඔක්තෝබරයේ කලබැගෑනියේදී පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා ගැනීමට නොහැකි වීමෙනි.

2018 පෙබරවාරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 40 ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් බව ඇත්ත. එහෙත් ජනාධිපති අපේක්ෂකයෙකු සඳහා අවශ්‍ය කරන සියයට 50 සීමාවට වඩා එය තිබෙන්නේ ඉතා පහළිනි. තව සියයට 10 ක ජනතාවක්, සමහර විට 2018 පෙබරවාරියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ඡන්දය පාවිච්චි කළ පිරිස, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර ගැනීම සඳහා නම්මවා ගැනීමට ‘එළියට’ හැකි වේ ද යන්න ඉදිරියේදී බලා ගැනීමට තිබෙන දෙයකි. දැනට ගෝඨාභය රාජපක්ෂගේ ස්වභාවය පෙන්නුම් කරන්නේ, මහින්ද චින්තනයම අලූත් ආකාරයකින් දවටා ඉදිරිපත් කරමින් ඇති සෙයකි. හොඳ වයින් වර්ග නම්, කල් යන තරමට, නිවැරදිව බෝතල් කොට, නිවැරදිව ගබඩා කොට තබා ගන්නා තරමට, අගයෙන් මෙන්ම ගුණයෙන් ද ඉහළ යයි. එහෙත් 2010-2014 කාලයේ රාජපක්ෂ පාලනයේ රහ බලා ඇති ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බොහොමයක් දෙනා, මැදමුලනේ මිදි ඵලදාව ගැන කොහොමත් දෙවරක් සිතනු ඇත.

හරීම් පීරිස්

2019 මාර්තු 18 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ SLPP & the Gotabaya Chinthanaya නැමැති ලිපියේ සිංහල පරිවර්තනය -‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි .

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found