Language Switcher

V2025

ශුද්ධ වූ සියල්ල කෙළෙසී යයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම විවේචන එල්ල වෙමින් ඇත්තේ අස්ගිරි මහනායක හාමුදුරුවන්ගේ ප්‍රකාශයකට එරෙහිවය; ඒ සමගම මෑතකදී ප්‍රකාශන නිදහස සම්බන්ධයෙන් මතබේධාත්මක වූ අධිකරණ තීන්දුවලට එරෙහිවය.

සමාජ පරිවර්තනය සම්බන්ධයෙන් ගත් කල මෙය වැදගත් සංසිද්ධියකි. මන්ද යත්, ප්‍රභූ ආගමික තන්ත්‍රය සහ නෛතික ආයතන යනු මේ වනතෙක්ම මහජන තලයේ විවේචනයට හෝ විචාරයට අඩුවෙන්ම ලක් වූ දේය. ඒවා විවේචනයට ලක් නොකළ යුතු යැයි අප්‍රකාශිත එකඟතාවක් තිබූ සෙයකි.

මෙයින් කියැවෙන්නේ සියල්ල කෙළෙසෙන යුගයක එම ආයතන පමණක් නොකෙළෙසී ඇතැයි මහජනයා විශ්වාස කළ බව නොවේ. ඒවායෙහි කෙළෙසීම මහජන සංවාදයට ලක් නොකළ යුතුය යන සංකේතීය රීතියක් පැවති බවයි. ලකානියානු මනෝ විශ්ලේෂණය අනුව, නීතිය සහ සම්මතය පවතින්නේම එහි නෛසර්ගික විරෝධයද දරාගෙනය. උපමා රූපීකව කිව හොත්, රජු නිරුවතින් බව අපි සැවොම දනිමු. නමුත්, අපි එය නොදන්නවා සේ හැසිරෙමු. අපි සැබැවින්ම නිවසේදී සහ මිතුරු කවයන් තුළ රජුගේ නිරුවත ගැන පවසා කොක් හඬලා සිනාසෙන්නෙමු. නමුත්, මහජන අවකාශය තුළදී ඒ පිළිබඳව කිසිත් නොදන්නවා සේ හැසිරෙමු. නීතිය සහ සමාජ සම්මතය පවතින්නේ එයාකාරයෙනි. මිනිස් විෂයන් ප්‍රකාශිත නීතිය සමග සම්බන්ධ වන්නේ ඒ සමග යම් දුරස්තභාවයක් පවත්වා ගනිමින්ය.

හොඳයි. රජු නිරුවතින් බව මහජන තලය තුළ ප්‍රකාශයට පත් කළ හොත් සිදුවන්නේ කුමක්ද? එවිට එතෙක් කලක් අප අපගේ සමාජ පිළිවෙල පවත්වාගෙන ගියේ කිසියම් සංකේතීය ප්‍රබන්ධයක් මගින්ද, එම ප්‍රබන්ධය බිඳ වැටේ.

පසුගිය දශක කිහිපය තුළදී වෙළඳපලකරණය මගින් එවන් සංකේතීය ප්‍රබන්ධ බොහොමයක් බිඳ වැටුණේය. 1977 න් පසුව සාහිත්‍ය කලාව විකිණෙන දේ බවට පත් විය; ජාතික සංස්කෘතිය විදේශීයකරණය විය (වඩා නිවැරදිව කිවහොත් එවැන්නක් සැබවින්ම නොපැවති බව පසක් විය); චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1994 විවෘත ආර්ථිකයට මානුෂික මුහුණක් පැළඳවීම සමග දේශපාලන පක්ෂ අතර පැවති දෘෂ්ටිවාදීමය සීමා බොඳව ගියේය; අධ්‍යාපනයේ මානුෂවාදී හරයන් පිළිබඳ විශ්වාසයන් සුනු විසුණු වී ගියේය. 2004 ජාතික හෙළ උරුමයේ ආගමනයෙන් පසුව දේශපාලන ගේම් ගැසීම සඳහා බෞද්ධ සංඝ සංස්ථාව වුවත් භාවිතා කළ හැකි බව කාට කාටත් පසක් විය. 2015 න් පසුව දේශප්‍රේමීන් මහජන දේපළ සොරා කන සොර දෙටුවන් බවට පත් විය; වැඩි කල් නොයවාම දූෂණ විරෝධීන් බැංකු මංකොල්ලකරුවන් බවට පත් විය. මෙලෙස ඝන වූ බොහෝ දේ වාෂ්ප විය; ශුද්ධ වූ බොහෝ දේ කෙළෙසී ගියේය.

ඉහත කී ක්‍රියාවලිය තුළ ආගමික ප්‍රභූ තන්ත්‍රයට සහ නෛතික ආයතනවලට නහුතෙටම කෙළ වූ බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත්, පැවති වෙනස වූයේ ඒවා මහජන තලය තුළ එතරම් විවේචනයට ලක් නොවීමයි; ඒවා භාෂාවට රැගෙන නොඒමයි (වික්ටර් අයිවන් වැනි නිර්භීත සමාජ විචාරකයින් කිහිපදෙනෙකු පමණක් ඒ ගැන කතා කළ බව සැබෑය); නමුත්, නිහඬතාවේ අප්‍රකාශිත සම්මුතිය වඩා බලවත් විය; එම නිහඬතා සම්මුතියෙහි දේශපාලනයක් තිබේ. එනම්, ගරා වැටුණු සමාජ ක්‍රමය වාරුවෙන් හේත්තු වී සිටින්නේ එකී සංකේතීය කුළුණුවලටය.

රජුගේ නිරුවත ගැන ප්‍රශ්නය භාෂාවට ගෙන ඒම දේශපාලනික වන්නේ මේ අරුතිනි. ග්‍රීක මිත්‍යාවකින් නිදසුනක් ගෙන එන්නේ නම්, ඊඩිපස්ගේ දියණිය වූ ඇන්ටිගනී කළ බලවත්ම වරද දේශද්‍රෝහීයෙකු ලෙස තම මියගිය සොහොයුරාගේ (පොලිනීසස්ගේ) අවසන් චාරිත්‍ර ඉටු කිරීමෙන් තීබ්සයේ නීතිය කඩ කිරීම නොවේ; තමන් එසේ කළ බව මහජන අවකාශය තුළ ප්‍රකාශ කිරීමය. තීබ්සය කැළඹී යන්නේ ඇය රහසින් කළ ක්‍රියාවෙන් නොව එය සංකේතීය විශ්වයට රැගෙන ඒමෙන්ය.

දැන් පශ්චාත්-සහරාන් යුගයේ ශ්‍රී ලංකාවේ මහජන අවකාශය කැළඹී යමින් තිබෙන්නේ පැරණි ලෝකයේ විශ්වාස කළ හැකි කිසිවක්ම ඉතිරිව නොමැති බව ප්‍රකාශයට පත්වෙමින් තිබීම නිසාය.

මාවෝ සේතුං පැවසූ ලෙස "දෙව් ලොව යට සියල්ල ඉමහත් අවුලකට පත්ව ඇත; පවත්නා තත්ත්වය ඉතා කදිමය!"

-සුමිත් චාමින්ද
කතිකාචාර්ය - කොළඹ විශ්වවිද්‍යාලය

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found