Language Switcher

V2025

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ප‍්‍රශ්නයේ බර තවත් වැඩි කර ගැනීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ රාජ්‍ය ව්‍යවසායකත්වයන්, හොඳම කාලවලදී පවා, විවාදාපන්න මාතෘකාවක් බවට පත්ව ඇත. එහෙත් දැන් ‘රාජ්‍ය ව්‍යවසාය ආයතන පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ’ හෙවත් ‘කෝප් කමිටුවේ’ පරීක්ෂණ සැසිවාර මාධ්‍යයටත් විවෘත කොට ඇති තත්වයක් තුළ, එවැනි රාජ්‍ය ව්‍යවසාය ආයතන පිළිබඳ ලොමු දැහැගැන්වෙන තොරතුරු වැඩි වැඩියෙන් මහජන අවධානයට ලක්වීම හේතුකොටගෙන, ඒවා ප‍්‍රතිසංස්කරණය කිරීමේ ඇති අතිශය වැදගත්කම වෙනදාට වඩා ඉස්මතු වී තිබේ. එසේ තිබියදී, ළඟදී විවෘත කිරීමට නියමිත ‘නෙළුම් කුලූනත්’ වාණිජ ව්‍යාපෘතියක් බවට පත්කිරීම සඳහා තවත් රාජ්‍ය ආයතනයක් වශයෙන් ස්ථාපිත කිරීමට ගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබී තිබීම පුදුමඑලවන සුළු ය.

පසුගිය ආණ්ඩුව කාලයේ ආරම්භ කෙරුණු මේ නෙළුම් කුලූන යන ව්‍යාපෘතියම ප‍්‍රශ්නාකාරී ය. එය ආරම්භ කෙරුණේ, ආණ්ඩුවේ විශේෂ ඉල්ලීමක් නැතිව, බාහිරින් ගෙනෙන ලද ආයෝජන යෝජනාවක ප‍්‍රතිඵලයක් වශයෙනි. පසුව එම ව්‍යාපෘතිය විවිධ පමාවීම්වලට ලක්වූ අතර, විගණකාධිපතිවරයා එහි අවකලමණාකරණය සහ නාස්තිය පිළිබඳ චෝදනා මතුකොට තිබුණි.

එහි ගොඩනැගීම් කටයුතු ආරම්භ කිරීමේ පටන් වසර ගණනාවක් තිස්සේ එම ව්‍යාපෘතිය ඇදෙමින් පැවතියත්, ‘චයිනා එක්සිම් බැංකුවේ’ ඩොලර් මිලියන 104.3 ක වියදමින් ඇරැුඹී තිබූ එවැන්නකින් රටට ඇති ආර්ථික අවශ්‍යතාව කුමක්ද යන්න පැහැදිලි කිරීමට මේ දක්වා කිසිවෙකුට හැකි වී නැත. මේ අතර එය, මහින්ද රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා පොදුජන පක්ෂයේ ලාංඡනය වන ‘පොහොට්ටුවට’ දැඩි රූපමය සමානත්වයක් දක්වන බවක් ද පෙනෙන්ට තිබේ.

විවිධ පමාවීම් මධ්‍යයේ, කෙසේ වෙතත් අවසානයේ එහි ගොඩනැගීම් කටයුතු සමාප්ත වී දැන් මේ මස අවසානයේ එය විවෘත කිරීමට නියමිතව තිබේ. එහෙත් එය වාණිජමය ප‍්‍රතිලාභ සහිත ව්‍යාපෘතියක් වශයෙන් පවත්වාගෙන යාමට ඉදිරිපත් වන කිසි පාර්ශ්වයක් සිටින බවක් පෙනෙන්ට නොවුණි. ඒ තත්වය තුළ, තවත් එක් රාජ්‍ය ව්‍යවසායයක් වශයෙන් එය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට දැන් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ වන විට රාජ්‍යය සතුව පවතින වෙනත් ව්‍යවසායික ව්‍යාපෘතිවල අපමණ නාස්ති තිබියදී, මෙය ඉදිරියට පවත්වාගෙන යාම විනිවිදභාවයෙන් යුත් අධීක්ෂණයක් සහිත, රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වශයෙන් ස්ථාපිත කිරීමට තීරණය නොකර, එය ගොඩනැගීම සඳහා චීනයෙන් ලබාගත් ණය ආපසු ගෙවීමේ බරෙන් මේ වන විටමත් මිරිකී සිටින රටේ බදු ගෙවන්නන්ට අමතර බදු බරක් පටවන තවත් රාජ්‍ය ව්‍යාපෘතියක් බවට එය පත්කිරීමට ප‍්‍රතිපත්ති තීරකයන් තීන්දු කෙළේ මන්ද යන්න හිතාගත නොහැක.

ශ‍්‍රී ලංකාව, දශක ගණනාවක් තිස්සේ විශාල රාජ්‍ය අංශයකින් සමන්විත රටකි. මහ භාණ්ඩාගාරයේ දත්තවලට අනුව, මේ වන විට රාජ්‍ය ව්‍යවසාය ව්‍යාපෘති 400 ක් පමණ අපට තිබේ. ඒවායේ සේවක සංඛ්‍යාව දස ලක්ෂයකට අධික ය. එහෙත් මෙකී ව්‍යාපෘතිවලින් ලාභ ලබන්නේ හෝ ජනතාවට ප‍්‍රතිලාභ ගෙන දෙන්නේ අතලොස්සක් පමණි. බොහෝ වශයෙන් මේ රාජ්‍ය ව්‍යවසායයන් පවතින්නේ මහජන සේවා සැපයුම්කරුවන් වශයෙන් නොව, රැුකියා සපයන ආයතන වශයෙනි. ඒ සඳහා අති විශාල සම්පත් ප‍්‍රමාණයක් වැය කරනු ලැබේ. වත්කම් රාශියක් පාවිච්චියට ගනු ලැබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීම පසුගිය ජුනි මාසයේ පෙන්වා දුන් පරිදි, රාජ්‍ය ව්‍යවසාය 70 කින් 2018 දී ලැබූ පාඩුව රුපියල් බිලියන 160 කි. එය, ඊට කලින් පැවති එම රාජ්‍ය ආයතනවල අලාභය දෙගුණ වීමකි. මෙසේ අධිකතර පාඩු ලබන ‘ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම’ වැනි ආයතන පිළිබඳව නිතර පාර්ලිමේන්තුවේ සඳහන් කරනු අපට ඇසේ. මෑතකදී සිදුව ඇති එවැනි නාස්ති සහ පාඩු පිළිබඳ හේතු අලූතෙන් සොයා බැලිය යුතු බවට ‘රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව’ හෙවත් ‘කෝප් කමිටුව’ නිර්දේශ කොට ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වසරක් පාසා ලබන පාඩු කෙනෙකුගේ ඇසට කඳුළු නංවන තරම් ය. එහෙත් ඒ ගැන බලධාරීන් කිසි පියවරක් ගන්නා බවක් පෙනෙන්ට නැත. හේතුව, ඒවා මගින් මහජන සේවාවන් සැපයෙන්නේය යන්නයි.

එහෙත් රථවාහන දෙපාර්තමේන්තුව වාහන ලියාපදිංචි කිරීමේ දියුණු පද්ධතියක් ලබා ගැනීමට නොහැකිව වසරක් පාසා රුපියල් බිලියන 4 ක පාඩුවක් ලැබීමත්, 2008 සිටි මුදල් අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත, සම්මුඛ පරීක්ෂණවලින් තොරව, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මාණ්ඩලික සහායකයන් සහ කාර්යාල කාර්ය සහායකයන් 2600 ක් බඳවා ගැනීමත්, හය මසක සේවා දිගුවක් ලබා දිය යුතු නැතැයි කෝප් කමිටුව විශේෂයෙන් නියෝග කොට තිබියදී පවා මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයාට බී.එම්.ඩබ්. වර්ගයේ වාහනයක් ඇතුළු වාහන දෙකක් ගෙදර ගෙන යාමට ඉඩ දීමත්, ඒ සා පහසුවෙන් ඉවතලිය හැකි කාරණා නොවේ.

මෙවැනි රාජ්‍ය ව්‍යවසායයන් තුළ පවතින අවකළමනාකරණය සහ නාස්තිය පිළිබඳ කෝප් කමිටු පරීක්ෂණවලින් එළිදරව් වී ඇති අපමණ තොරතුරු ගැන කෙනෙකු විස්මයට පත්වන්නේ, හුදෙක් ඒවා එසේ සිද්ධ වීම ගැනම නොව, මහජන විශ්වාසය කඩකරන ඒවාට අදාළ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් ඒ සියල්ලෙන් නිදහස් කිරීමේ වටපිටාවක් පැවතීම ගැන ය. රාජ්‍ය ව්‍යවසායයන් අර්ථවත් ආකාරයෙන් කළමණාකරණය කර ගැනීමට හැකි වන ආකාරයේ ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට ආණ්ඩුවට නොහැකි නම්, අඩු වශයෙන් එම ප‍්‍රශ්නය තවදුරටත් ඔඩුදුවන තත්වය වළක්වා ගැනීමටවත් ආණ්ඩුවකට පුළුවන් විය යුතුය.

2019 සැප්තැම්බර් 12 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ නමැති කතුවැකියේ සිංහල පරිවර්තනය “Adding to the SOE Problem" ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found