Language Switcher

V2025

දෙවැනි වේදිකාවට පැමිණි දුම්රිය 'දුම්රියක්' නොවේ : දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම් සහ පොදු අපේක්ෂයන් ගැන කතා !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
දේශපාලනය යනු කණ්ඩායම් ක්‍රීඩාවකි. ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීම වනාහි සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේදී පැවැත්වෙන ජාතික ක්‍රීඩාවක් වන ග්‍රීස් ගසේ නැගීමේ තරගයට සමරූපී වෙයි. එම තරගයට එළැඹෙන දෙපිලම ජයග්‍රහණය සඳහා යොදා ගත හැකි ශක්තිමත්ම කණ්ඩායම තෝරාගන්නා අතර, හැම සාමාජිකයාම තමන්ට හැකි පමණට ග්‍රීස් ගසේ ඇති ග්‍රීස් ඉවත් කිරීමට වැර වෑයම් කරයි. අවසානයේ කොඩිය රැගෙන ඔල්වරසන් මැද ජයග්‍රාහී වන්නේ එක පුද්ගලයෙකු බව සැබෑය. එහෙත්, ඒ ජයග්‍රහණය විශාල පිරිසකගේ කැපවීම සහ අප්‍රතිහත ධෛර්යය නිසා සිදුවූවක් බව අමතක නොකළ යුතුය. ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහක් සහ තව එක ඡන්දයක් වත් අඩු ගණනේ ලබා ගත යුතුය. යම් හෙයකින් එම සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකිව ප්‍රතිවාදී අපේක්ෂකයාගේ කණ්ඩායම එම සංඛ්‍යාව ලබා ගත්තේනම් උරුම වන්නේ පරාජයයයි. දේශපාලන පක්ෂයකට හෝ බලවේගයකට තම පදනම් ඡන්ද ප්‍රමාණයෙන් පමණක් ජයග්‍රහණය කිරීමට අපහසු බැවින් මේ 'ඉතිරි ටික ' ගෙන ඒමට දායක වන පුද්ගලයන් සහ බලවේගයන්හි බලපෑම ජනාධිපතිවරණ ජයග්‍රහණයේදී තීරණාත්මකය.
 
සාමාජිකයකු නොවූ අපේක්ෂකයා සහ පොහොට්ටුවේ ඉවසීම !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරාගනු ලැබූවේ සිය පක්ෂයේ සාමාජිකයෙකු නොවන ගෝඨාභය රාජපක්ෂ මහතා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය වෙනුවෙන් ඉවසිලිවන්තව කටයුතු කළ අතර, ඒ සඳහා වෙනත් පක්ෂ සහ සිවිල් සංවිධාන විශාල සංඛ්‍යාවකින් යුතු සන්ධානයක් ගොඩ නගා ගත්තේය. එම සන්ධානයෙහි නම ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයයි. පැරණිතම වාමාංශික දේශපාලන පක්ෂයන් වන ලංකා සමසමාජ පක්ෂය (තිස්ස විතාරණ) , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (ඩිව් ගුණසේකර, රාජා කොල්ලුරේ) , මහජන එක්සත් පෙරමුණ (දිනේෂ් ගුණවර්ධන) ඒ සන්ධානයෙහි කොටස් කරුවන් විය. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ආ ජාතික නිදහස් පෙරමුණ (විමල් වීරවංශ), ජාතික හෙළ උරුමයෙන් බිඳී ආ පිවිතුරු හෙළ උරුමය (උදය ගම්මන්පිල) සහ නව සමසමාජ පක්ෂයෙන් බිඳී ආ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ (වසුදේව නානායක්කාර) ආදී පක්ෂ ද එහි කොටස් කරුවන් ලෙස ක්‍රියා කළේය. මීළඟට උඩරට දෙමළ ජනතාව නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය (ආරුමුගම් තොණ්ඩමාන්) සහ උතුරේ කිසියම් පීඩිත ජන නියෝජනයක් සහ වාමාංශික පසුබිමක් සහිත ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඩග්ලස් දේවානන්දා), නැගෙනහිර පළාතේ තමිළ් මක්කල් විඩුතලෛ පුලිහල් හෙවත් දෙමළ මහජන විමුක්ති කොටි (පිල්ලෙයාන්) ද මේ මහා සන්ධානයේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ.
 
සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය !

ඉහත පක්ෂවලට අමතරව කිසියම් ආකාරයක සිවිල් සමාජ බලවේගයක්ද මෙම ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළේය. බෞද්ධ භික්ෂූන් වහන්සේ ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. ඒ අතර 'සයිටම් ආයතනයට අයත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමේ සටන ජයග්‍රාහීව අවසන් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ වැඩ පිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ 'යුතුකම' සංවාද කවය (ගෙවිඳු කුමාරතුංග, ලසන්ත වික්‍රමසිංහ ), නීතිඥයන්, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ඇතුළු විවිධ වෘත්තික සංවිධාන, වෘත්තීය සමිති, වියත් මග, එළිය ආදී සංවිධාන, මාධ්‍යකරුවන්, මාධ්‍ය හිමිකරුවන් ඇතුළු විශාල පිරිසක්ද මේ ව්‍යායාමය පිටුපස වූහ.
 
ශ්‍රිලනිප ඉරණම !

මෙසේ ගොඩ නඟා ගත් බලවේගය ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් වෙත්ම, ආණ්ඩුව තුළ හවුල්කරුවන් වශයෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි ප්‍රධානීන් වරින් වර තම කඳවුර හැර ගොස් විපක්ෂයට එක්වීම සිදු විය. මෙසේ වරින් වර තනි පුද්ගලයන් වශයෙන් සහ පසුව කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වූ පිරිසගේ විගමනය නිසා එම මාතෲ පක්ෂය කේඬෑරි වී ගිය අතර, අවසානයේදී -බැරිම තැන- එයට සිදු වූයේ තමන්ගෙන් බිඳී ගොස් ගොඩ නැගුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ගොඩ නගන ලද සන්ධානයට කනිෂ්ඨ පාර්ශ්වකරුවෙකු ලෙස එකතු වීමටය.

මේ අනුව 2/3 ක පාර්ලිමේන්තු බලයක් සහිත යහපාලන ජාතික ආණ්ඩුවෙන්ද, නිල විපක්ෂය වශයෙන් කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන්ද, එම ආණ්ඩුවට පිටුබලය සැපයූ විවිධ සිවිල් සමාජ බලවේගයගෙන්ද උපලක්ෂිත වූ 'යහපාලන ව්‍යාපෘතිය' පරාජය කිරීම සඳහා එළැඹෙන තීරණාත්මක 'ගල උඩ සටන' වූ ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ප්‍රමණවත් බලවේගයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය විවිධ සංඝටක සුසම්බන්ධ කරන මහා සන්ධානයක් ගොඩ නැගුණි. එම සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දරන ලද නමුත් එහි සංකේතීය නායකත්වය සහ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා 'තෝරා ගන්නා ලද්දේ ' නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස සැලකිය හැකි ගෝඨාභය රාජපක්ෂ මහතා ය.
 
ගෝඨාභයගේ ගොඩ වැඩිවීම !

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 69ක් ලබා ගෙන ජයග්‍රහණය කළේය.  ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවේ සාතිශය බහුතරයකගේ සහයෝගය ලබන දේශපාලන පක්ෂ වන දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (රවුෆ් හකීම්), සමස්ත ලංකා මහජන කොංග්‍රසය (රිෂාද් බදිඋදීන්), ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඇතුළු දමිළ ප්‍රගතිශීලී සන්ධානය (මනෝ ගනේසන් සහ පලනි දිගම්බරම්) වැනි බලවේගයන්හි සම්පූර්ණ සහය තිබියදීත් සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 55ක් පමණකි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් වැඩි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 14 කි. දෙමළ මුස්ලිම් ජනකොටස් බහුතරයක් වාසය කරන උතුරු නැගෙනහිර ප්‍රදේශ ඉවත් කළ විට සෙසු පළාත් හතේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 66ක් ලබා ගෙන ඇති අතර සජිත් ප්‍රමදාස මහතා ලබා ඇත්තේ ඡන්ද ලක්ෂ 44ක් පමණකි. ඒ අනුව මේ පළාත්වලදී පරතරය ඡන්ද ලක්ෂ 22ක් තරම් විශාල සංඛ්‍යාවකි. උතුරු නැගෙනහිර පළාත්වල ඡන්ද සහ සෙසු පළාත්වලද සුළුතර ජනකොටස්වල ඡන්ද 'ගෙඩිය පිටින්ම' සජිත් ප්‍රේමදාස මහතාට ලැබී තිබියදී පවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම ලෙස සැලකිය හැකි, ආසන්නම ඡන්දය වන පළාත් පාලන ඡන්ද විමසීමේදී එම පක්ෂය විසින් ලබා ගත් ඡන්ද ලක්ෂ 45 ට තවත් ලක්ෂ 19 ක් එකතු කර 'ඉතිරි ටික' ලබා ගැනීම සඳහා වීවිධ සංඝටක සුසම්බන්ධ කරගැනීමට එම බලවේගය විසින් දක්වන ලද හැකියාව මතය.
 
2015 ජනාධිපතිවරණ ජයග්‍රහණය !

මෙම තත්ත්වය 2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරණය සමග සංසන්දනය කර බලන ලෙස මේ අවස්ථාවේදී යෝජනා කිරීමට ලියුම්කරු කැමැතිය. 2019 ජයග්‍රහණයේ පදනම් පක්ෂය එක්සත් ජාතික පක්ෂය වූ නමුත් ග්‍රීස් ගහට නැඟ කොඩිය ලබා ගැනීමට එම පක්ෂයේ ඡන්ද පදනමේ ශක්තිය ප්‍රමාණවත් නොවීය. මෙහිදී විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ විවිධ සිවිල් සමාජ කණ්ඩායම් විසින් නොයෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ගොඩනගන ලදී. ජනාධිපතිවරණය ජයගැනීමට නොහොත් පැවැති රෙජීමය පැරැදවීමට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම අත්‍යවශ්‍ය නමුත් එය ප්‍රමාණවත් නොවීය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම නොමැතිව ජයග්‍රහණයක් ගැන සිතීම සිහිනයකි. සියළු බලවේගයන්ගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙත ලබා දුනහොත් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් ඇති බවට තර්කයක් ගොඩනැගුණු අතර එයට පදනමක් තිබිණි. එක් අතෙකින් එ මගින් ජයග්‍රහණය ලබා ගත හැකිද යන්න පිළිබඳව සෙසු බලවේගයන්ට සැකයක් තිබූ අතර, අනෙක් අතින් යම් හෙයකින් ජයග්‍රහණය කළහොත්, තම දේශපාලන ඉල්ලීම් ලබා දීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කැපවෙනු ඇත්ද යන්න ගැන ද ඔවුනට සැකයක් විය. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ යන විපක්ෂයේ තීරණාත්මක දේශපාලන කණ්ඩායම් මෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුතුව ගොඩ හැගුණු සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය ප්‍රමුඛ සිවිල් සමාජ බලවේගයන්ද ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සුදුසු නොවන බවයි; ඒ සඳහා ඉදිරිපත් කළ යුත්තේ සියළු දෙනාටම පිළිගත හැකි පොදු අපේක්ෂකයකු බවයි. පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා තම සහයෝගය ලබා දීමටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කරන ලද්දේ මෙන්න මේ 'ඉතිරි ටික' ගෙන ඒමට සමත් බලවේගයන්හි බලපෑම පිළිගනිමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වන්නේද, ඉන් පසුව මෙතෙක් අන් අය විසින් අසීරුවෙන් ග්‍රීස් ඉවත් කර සූදානම් කර තිබූ ග්‍රීස් ගසට නැග ජනාධිපතිවරණ ජයග්‍රහණය නමැති කොඩිය අතට ගන්නේද ඒ ආකාරයට පැවැති ආණ්ඩුවෙන්ද කොටස් එකතු කරගෙන, විවිධ සංඝටක සුසම්බන්ධ කරගනිමින් 'නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' නම් බලවේගයක් ගොඩනැගීමට සමත්වීමේ ප්‍රතිඵලයක් හැටියටය,
 
කඩවුණ පොරොන්දුව !

2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට එකතු වූ විවිධ බලවේගයන්ට සහ පුද්ගලයන්ට තමන්ගේම වූ දේශපාලන අභිප්‍රායයන් තිබිණි. ඒවා ඉටු කරගැනීම සඳහා ඉඩක් පාදා ගැනීම පිණිස පොදු සටනේදී එකට එකතු වීමට ඔවුනට වාස්තවික තත්ත්වය විසින් බලකෙරිණි. එහිදී පොදු අරමුණෙන් කිසියම් ප්‍රමාණයක් ජයග්‍රහ‍ණය කරන ලදී. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අවශ්‍ය මූලික ආයතන පද්ධතිය ස්ථාපිත කරගැනීම මගින් ප්‍රකාශ වූයේ එයයි. එසේ වුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පළාත්වලට බලය බෙදා හැරීම සහ මධ්‍යයේ බලය බෙදා හදා ගැනීම ඇතුළු අපේක්ෂාවන් ඉටු කරගැනීම සඳහා වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ උත්සාහය අසාර්ථක විය. එමෙන්ම පසුගිය පාලක රෙජීමය තුළ සිටි 'හොරුන් ඇල්ලීම' හෙවත් රජයේ සම්පත් සහ දේපළ අවභාවිතා කළ වුන්ට දඬුවම් කිරීම සම්පූර්ණ කිරීමට නොහැකි විය. යුද ගැටුම හේතුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම ආරම්භ කිරීමට පවා නොහැකි විය. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස යහපාලන ව්‍යාපෘතිය ගෙන ඒමට එකතු වූ සංඝටකයන් එකිනෙකාට චෝදනා එල්ල කරගැනීමෙන් එම ව්‍යාපෘතිය පරාජයට පත් වී අවසන් විය.

ලියුම්කරු තර්ක කරන්නේ, 2019 ජනාධිපතිවරණයෙන් පසු පාලන බලය ලබා ගත් බලවේගය 'පොහොට්ටුවෙන්' සහ රාජපක්ෂ නාමයෙන් සංකේත්වත් වුවද, එම ජයග්‍රහණය සඳහා සුසම්බන්ධ කරගන්නා ලද විවිධ සංඝටකයන්ටද වෙනස් වූ දේශපාලන අභිමතාර්ථ පවතින බවයි. 'ඊනියා යහපාලනය ' නමැති පොදු සතුරා පැරදවීමට එක්සත් වුවද, මෙම බල ව්‍යාපෘතිය තුළ තම අභිමතාර්ථ ඉෂ්ඨ කරගැනීම පිණිස එකී සංඝටක අතර සුහද තරගයක් මතුවීමට නියමිත බවයි. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන බලවේගයන් තම අනාගත න්‍යාය පත්‍රය සැකසීමේදී අතීතයෙන් පාඩම් ඉගෙනීමත්, වර්තමානයේ ඇතිවෙමින් පවතින වර්ධනයන් විවෘත මනසින් නිරීක්ෂණය කිරීමත් අවශ්‍ය වේ. එසේ නොමැතිව පරණ පුරුදු මාවත ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කළහොත් ප්‍රතිඵලය වන්නේ වරක් ඛේදවාචයක් ලෙස අවසන් වූ සිදුවීම් මාලාව මී ළඟ වටයේදී ප්‍රහසනයකින් කෙළවර වීමයි. 

-අවසානයි-
සුදර්ශන ගුණවර්ධන
මෙම ලිපිය 2019 ජනවාරි 26 දින අනිද්දා පුවත්පතේ පළ විය

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found