Language Switcher

V2025

කොරෝනා : දෘෂ්ටිවාදය නිරෝධායනයක් !

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
ඕනෑම මිනිස් ක්‍රියාවක් වන්නෙම චින්තනයයි. මිනිස් ක්‍රියාවක නිවැරදිතාවය විමසීම ඉතා තීරණාත්මක වන්නෙ සමස්ත සමාජයම උඩුයටිකුරු කරවනා කොරෝනා වසංගතය වැනි සිදුවීමකදීය. මාක්ස්වාදය තුළ 'දෘෂ්ටිවාදය' (ideology) නමින් සිද්ධාන්තයක් සාකච්ඡා වන්නේ අපගේ සිතීම හා ක්‍රියාවේ නිරවද්‍යතාව පිළිබඳව වන මාතෘකාවට අදාලවය. කෙනෙක් හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකටද දෘෂ්ටිවාදය ගැන සාකච්ඡාවක් කියලා ? ඊටත් වඩා හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකද මාක්ස්වාදය ගැන කතාවක් කියලා? සාධාරණයි. නමුත් නොවැලැක්විය හැකි ලෙස මේ කාරණා දෙකටම වෙලාව මේකමය. මම ඇයි එහෙම කියන්නෙ ? එකක් මේ වෙලාවේ බොහෝමයක් පුද්ගලයන්ගේ චින්තනය හා ක්‍රියාව අතර අන්තර් සම්බන්ධය විමසීමේ අරමුණිනි. අනෙක මෙවැනි ඛේදවාචකයක් අභිමුව අප හමුවේ දේශපාලනික විකල්පයක් නොමැති වීමේ ගැටළුව විමසීමක් ලෙසිනි. 

දෘෂ්ටිවාදය කියන්නෙ සරලව අප අභිමුඛ ප්‍රපංචයන් පිළිබඳව මිනිස්සු කිසිදු වගවිභාගයකින් තොරව එළඹෙනා නිගමනාත්මක අදහස් පද්ධතියයි. එහෙමත් නැත්නම් දැනුම, සහේතුකත්වය හෝ තොරතුරු වල වලංගු බව අවසන් වූ හෝ නොදැනුමේ මොහොතට පසුත් මිනිසුන් චින්තනය පවත්වාගන්නා ආකෘතියයි. දැනුම හෝ සබුද්ධිකත්වය අවසන් වූ තැන දෘෂ්ටිවාදය උපදී. දෘෂ්ටිවාදී අදහස් වල සත්‍ය අසත්‍යතාවය මිනිසුන් නොසලකයි. සොයා නොබලයි. 

දෘෂ්ටිවාදී වසංගතය !

කොරෝනා වසංගතයේ මූලය ධනවාදයට සම්බන්ධයක් තිබුනද නොතිබුනද ඊට දක්වන ප්‍රතිචාරය ධනවාදයට සෘජුව සම්බන්ධය. මන්ද සාමූහිකව ලෝකපරිමානව ඊට මුහුණ දීම සදහා මිනිසුන් ලෙස අපට මේ මොහොතේ සක්‍රීය වෙනත් විකල්ප නොමැති නිසාවෙනි. සමකාලීන සාමූහිකත්වයේ හෝ දේශපාලනයේ ක්ෂිතිජය එයයි. නමුත් එම ක්ෂිතිජය අනිවාර්යයක්ද ? 

කොරෝනා වසංගත තත්ත්වය විසින් ඇතිකර තිබෙන ගෝලීය දේශපාලනික සංකීර්ණතාවය ඉතා තීරණාත්මකය. බටහිර දර්ශනය තුළ සිදුවීමක් (event) ලෙස හැඳින්වෙන්නේ අදාල සිදුවීම විසින් අපට තවදුරටත් යථාර්ථයට මෙතුවක් සම්බන්ධ වූ ආකෘතියෙන් සම්බන්ධ වීමට ඉඩ අහෝසි වීමයි. සරල තත්ත්වයක සිට සංකීර්ණ ආකෘතීන් දක්වා අපගේ සම්බන්ධයන් පූර්ණ ලෙස උඩුයටිකුරු වීමයි.  ලංකාව තුළ තත්ත්වය සැලකුවද අධිපති දේශපාලනික දෘෂ්ටිවාදය ලෙස පසුගිය දශකයකට ආසන්න කාලයක් තිස්සේ අත්පත් කරගත් 'ජනප්‍රිය ජාතිකවාදය' පවා වලංගු නොවන තත්ත්වයකට පත්වෙමින් ඇත. උදාහරණයකට මුස්ලිම් ජාතිය කෙරෙහි වූ ආන්තිකකරණය නැතහොත් ජාතිවාදය දැන් චීන ජාතිකයන් කෙරෙහි පමණක් නොව ඉතාලියේ සිට පැමිණෙන සිංහලයන්, සංචාරක උපදේශකයන් මෙන්ම ඇතැම්විට ඉන් ඔබ්බට පවා බෙදීම ව්‍යුත්පන්න වී ඇත. අවම වශයෙන් හෙම්බිරිස්සාව ඇති පුද්ගලයෙකු පවා අපව සලිත කිරීමට සමත් සරල එහෙත් සංකීර්ණ භීතිකාවක් බවට දෛනික ජීවිතය පරිවර්තනය කොට ඇත. අපේ සමීපම අනෙකා යනු මාරාන්තික සතුරෙක් යන දැක්ම අප තුළ ක්‍රමයෙන් පැලපදියම් වෙමින් පවතී. තවද ව්‍යාජ ප්‍රවෘත්ති, ව්‍යාජ විසඳුම් හා ව්‍යාජ භීතිකා වසංගතයක් අපට සමාජ මාධ්‍ය වල සිට සියලුම සමාජ ප්‍රකාශනවල නිරීක්ෂණය කළ හැක. ඒ අර්ථයෙන් දෘෂ්ටිවාදයක් ලෙස ජාතිවාදයේ නිර්නායකයන් පවා උඩි යටිකුරු කරවන සිදුවීමක් බවට කොරෝනා සංසිද්ධිය පත්ව ඇත. 

ධනවාදයේ නිදහස් වෙළඳපල (free market) ආකෘතිය විසින් ලෝකවාසීන්ට අත්පත් කර දී තිබූ දෘෂ්ටිවාදී සීමාව මේ මොහොතේ ඉතා තීරණාත්මක කාර්යභාරයක් කරමින් සිටී. ඒ කුමක්ද? සුබසාධන රාජ්‍ය (welfare state) ආකෘතිය පිළිබඳව මහජනතාවගේ තිබූ විශ්වාසය ක්‍රමයෙන් දියවී ගෝලීය සමාජයක් ලෙස අප මුහුණ දෙන සියලු ප්‍රශ්න වෙළඳපලට භාරදීමේ පුරුද්දක් පසුගිය දශක හතරකටත් වඩා වැඩි කාලයක් තුළ මිනිසුන් අභ්‍යාස කර ඇත. ඒ තුළින් කේවල පුද්ගලයන්ට අත්පත් කරදුන් දෘෂ්ටිවාදී ආකෘතිය වන්නේ පුද්ගලවාදයයි (individualism). සංකීර්ණව සලකතොත් ජීවන ප්‍රශ්න සදහා සාමූහිකත්වය වෙනුවට වෙළඳපල ආදේශ වීමයි. මේ මොහොතේ මිනිස්සුන්ගේ හැසිරීම් ලෙස මහා පරිමාණ කොරෝනා අභියෝගය හමුවේ ඊට විසඳුම් ලෙස අත්සෝදන දියර, සනීපාරක්ෂක තුවා වල සිට මුව ආවරණ ද ඇතුළු අනෙකුත් පරිභෝජන භාණ්ඩ අත්පත් කරගැනීම සදහා ඇති හදිසිය කොළඹට පමණක් නොව ලන්ඩන් වලට ද පොදු වී ඇත. නැතහොත් පුද්ගලයාට මෙවන් භාණ්ඩ හා පරිභෝජනයෙන් අවදානමෙන් මිදීමට හැකියාවක් ඇතැයි පරිකල්පනය කිරීමට තරම් භීතිය සාමාන්‍යකරණය වී ඇත. සුබසාධන ආකෘතියේ ජාතික රාජ්‍යන් සියල්ල කොරෝනා හමුවේ බෙලහීන වී ඇත. මේ වන විට කොරෝනා වැළඳී ඇති රෝගීන් සියළු දෙනා රෝහල් ගත වුවහොත් ඒ සඳහා අවශ්‍ය සේවාවන් සැපයීමට තරම්වත් ධනවාදය දියුණු වී ඇතිද? කිසිවෙකුටත් ලාභ රේට්ටුව මුල්කරගත් වෙළඳපල විසින් මෙවන් උභතෝකෝටික සමාජ ඛේදවාචකයකට විසඳුම් තිබේ යැයි දේශපාලනිකව පරිකල්පනය කළ හැකිද? 

තවත් සරලව කියතොත් සමාගම් විසින් මෙම ප්‍රශ්නයට විසඳුම් සඳහා ඇති වගකීම භාර ගනු ඇතැයි අපට සිතිය හැකිද? ඒත් නැතිනම් ධනේශ්වර ජාතික රාජ්‍ය මීට මුහුණ දීම සඳහා ශක්තිමත් යැයි අපට විශ්වාස කළ හැකිද? අවාසනාවන්ත ලෙස පිළිතුර 'නැත' ය. 

මීට අමතරව කොරෝනා වසංගතය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ 1918 ස්පාඤ්ඤ වසංගතයටත් වඩා ව්‍යාප්ත වීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක තිබීමයි. සුප්‍රකට දේශපාලනික දාර්ශනිකයෙකු වන ස්ලොවේනියානු ජාතික ස්ලේවෝ ජිජැක් පෙන්වා දෙන්නේ ගෝලීයකරණය විසින් මිනිස් ශ්‍රමය හා සංස්කෘතිය මිශ්‍ර වීමේ වේගවත් අවධිය අප දැනටමත් පසු කොට හමාර වී ඇති අතර එනිසාවෙන්ම ජාතික රාජ්‍යයන් අතර සංක්‍රමණයට සිදුකරන පූර්ණ වාරණයන් යනු තවදුරටත් ප්‍රායෝගිකත්වයක් උසුලනා යෝජනාවක් නොවන බවයි. එක් අතකින් කොරෝනා මගින් ජීවිතය අහිමි වනවට වඩා මිනිස්සුන් බිය වී සිටින්නේ ගෝලීය ආර්ථිකය බිදවැටීමට සහ අපගේ පරිභෝජන හැකියාවන් සීමා වේවිය' යන දෛනික භීතියකට නොවේද?  පසුගිය දශක කීපයක් තිස්සේ තත්‍යසම යථාර්ථයේ (virtual reality) බහුලවම භාවිතා වූ පදයක් වන 'වෛරසය' අද යථාර්ථය තුළ අපගේ දෙපා මුලට පැමිණ ඇති බව ජිජැක් මතක් කර දෙයි. ඒ අර්ථයෙන් අප කුරිරු ප්‍රබන්ධයකින් අවදි වී ඇත්තේ ඊටත් වඩා කුරිරු යථාර්ථයකටය. ප්‍රබන්ධයෙන් ගැලවීමට යථාර්ථයක් ඇති නමුත් යථාර්ථයෙන් ගැලවීමට ප්‍රබන්ධ ගොඩනඟා ගැනීම තවදුරටත් ප්‍රායෝගික නොවී ඇත. 

සිදුවෙමින් පවතින්නේ දේශපාලනික නාභිගත වීමක් වෙනුවට පුද්ගලවාදීව මීට විසඳුම ලෙස පරිභෝජනය නැවතත් ආදේශ වීමයි. විකල්පය වී ඇත්තේ ආහාර තොග ගබඩා ගත කිරීමෙන් හෝ මීට අදාළ ආරක්ෂණ උපක්‍රම වෙළෙඳපළ හරහා භාණ්ඩ හා සේවා ලෙස පරිභෝජනය කිරීමෙන් මේ උවදුරෙන් ගැලවී සිටීමට ආකෘතියක් හමුවේ'ය යන මායාමතික ප්‍රේක්ෂාවය. තවද මීට අතිරේකව බෝධි පූජා, නාග ශාපයන් ආදී ප්‍රාථමික මිත්‍යාවන්ගේ සිට රක්ෂණ වාරික අලුත් කරවීම දක්වා දෘෂ්ටිවාදී ආරක්ෂණ ආකෘතීන් කොරෝනා විසින් හාස්‍යයක් බවට පත්කොට ඇත. 

ප්‍රජාතන්ත්‍රවාදී කොරෝනාව !

කොරෝනා වෛරසයේ ඇති ඉතාම දේශපාලනික ධනාත්මක අවස්ථාවක් ලෙස කියවීමකට ලක් කළ හැක්කේ අපගේ ඕනෑම දෘෂ්ටිවාදයක් ඉතා කෙටි කාලයකින් අවලංගු කිරීමට ඇති හැකියාවයි. ඉමැනුවල් කාන්ට් නම් ජර්මානු දාර්ශනිකයා විද්‍යාවේ මූලධාර්මික ගැටළුවක් ලෙස නිරීක්ෂණය කළේ උපන්‍යාසයක් ලෙස "සෑම සිදුවීමකටම හේතුවක් ඇත" යන ප්‍රාථමික එළඹුමයි. කාන්ටියානු මූලධර්මය දෘෂ්ටිවාදය හරහා කියවීමකට ලක් කළොත් අපට පෙනී යන්නේ අදටත් බොහෝදෙනා කොරෝනා වෛරසයේ අවදානම තමන් නොදන්නා මහා අනෙකෙකුට භාරදී පුද්ගලිකව වඩා උනන්දුවක් දක්වන්නේ තමන්ගේ සුපුරුදු දෛනික ජීවිතයේ ගිලී යාමටය. හේතුව හා විසදුම යන අන්ත දෙකම මහා අනෙකාගේ වගකීමක් කොට ඇත. නමුත් තත්වය එතරම් සරලද? කොරෝනා වෛරසය තවදුරටත් වර්ධනය වේද නැතිනම් පහව යයිද යන්න පිළිබඳව අනාවැකි කීම මේ සටහනේ අරමුණ නොවේ. ජිජැක් පවා පෙන්වා දෙන්නේ සාර්ස් වෛරසය අවස්ථාවේද ලොවපුරා විශේෂඥයන් පෙන්වා දුන්නේ ගෝලීය වසංගතයක සංකීර්ණ අභියෝගයක් අපගේ දෙපාමුල නුදුරේදීම අභිමුඛ වන බවයි. 

විද්‍යාත්මකව හෝ පරිකල්පනීයව අප එළඹෙන බොහෝ නිගමන කොරෝනා වෛරසය විසින් දිනෙන් දින අභියෝගයට ලක් කරයි. ආරම්භයේදී මුවා ආවරණයක් පැළඳ අවදානමින් මිදීමට කල්පනා කළද තත්ත්වය එම ආරක්ෂණය ඉක්මවා බෙහෙවින් සංකීර්ණ විය. මුල් අවස්ථාවේදී මූලික රෝග ලක්ෂණයක් ලෙස මැලේරියාව සැලකුවද රෝග ලක්ෂණ තත්ත්ව දැන් ඉන් ඔබ්බට විහිද ඇත. අදාල වෛරසය අධික උෂ්ණත්වයට නිෂ්ක්‍රීය වන බවක් පැවසුවද දැන් දැන් වෛරසය සංකීර්ණ අනුගත වීම් හරහා පරිවර්තනයන්ට ලක් වන බවට අනාවැකි පළවෙමින් ඇත. මුලදී සඳහන් කළ පරිදි ශිෂ්ටාචාරය විසින් ගොඩනඟාගෙන ඇති දැනුම් පද්ධතීන් හා විශ්වාස පද්ධතීන් කොරෝනා විසින් ඉතා වේගයෙන් අහෝසි හා අවලංගු කරමින් පවතී. 

එහෙත් මෙම අනතුරුවලින් බැරෑරුම් ලෙස බාරගත් බවක් පෙනෙන්නට ඇත්ද? ඒ වෙනුවට අප ඕනෑම කෙනකුගේ ආරම්භක සිතිවිල්ල වන්නේ මෙවන් ඕනෑම අවදානම් සහගත තත්වයකින් මිදීමට වෙළෙඳපොළ විසින් අපට අවස්ථාවක් උදාකර දෙනු ඇති බවයි. නැතහොත් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය මෙම උභතෝකෝටික වසංගතයෙන් ආරක්ෂා වීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි. අප තාමත් හැසිරෙන්නේ එලෙසමය. නමුත් කොරෝනා වෛරසය මීට ප්‍රතිපක්ෂව පන්ති භේදයකින් තොරව කැනෙඩියානු හා  ස්පාඤ්ඤය අගමැති බිරිඳගේ සිට සුප්‍රකට හොලිවුඩ් නළුනිළියන් දක්වා අවදානමක ජීවත්වන බව මතක් කර දී ඇත. ධනවාදයේ සැබෑ අවදානම සමස්ත ගෝලීය සමාජයටම මිස නිශ්චිත පන්තියකට ද සීමා නොවන බව මූලධාර්මිකව හා වාස්තවිකව කොරෝනා ඔප්පුකොට ඇත. ඒ අර්ථයෙන් කොරෝනා වෛරසය විසින් ජාතික රාජ්‍යයන් හා වෙළෙඳපළෙන් ඔබ්බෙහි වූ සාමූහික අරගලයක්  උදෙසා අවස්ථාවක් ලෝක වාසීන්ට නැවතත් උදා කර දී ඇත. එකම ගැටළුව වන්නේ මිනිසුන් එම අවස්ථාව ගනීද හා සංවිධානය කරයිද යන්න පමණි. 
 
බොහෝ දෙනා උපදෙස් දෙමින් සිටින්නේ කලබල නොවන්න (dont panic) ලෙසය. නමුත් ජිජෙක්ගේ අදහස වන්නේ කලබල වීමට පවා අප දැන් ප්‍රමාද වැඩි බවය. කලබල වනවානම් කලබල වීමට තිබුණේ අවම වශයෙන් සාස් වෛරසයේ අවදානම අප හමුවට අභිමුඛ වූ අවස්ථාවේය. එහෙත් අපට වටපිටාවෙන් අසන්නට ලැබෙන්නේ අතොරක් නැති තහංචිය. "අල්ලන්න එපා, ගෑවෙන්න එපා එළියට යන්න එපා" ආදී අනන්තයක් දක්වා වූ තහංචිය. අවම ආරක්ෂාව මෙවැනි විටෙක අත්‍යවශ්‍ය බව සැබෑය. එහෙත් අවමය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීමයි ගැටළුව. පුද්ගලික තලයේ එසේ වෙද්දී ජාතික තලයේ සියලු ආර්ථික හා පරිපාලන ක්‍රියා අක්‍රීය වන තරමට ගෝලීය අවදානම් සහගත තත්වයකට ද මුහුණ පා ඇත. ගුවන් සේවාවල සිට දෛනික ජීවිතය දක්වා අවම නඩත්තුව බරපතල අභියෝගයක් බවට පත්වෙමින් ඇත. 

ධනේශ්වර ඒකාකාරී කාලකන්ණි දෛනික ජීවිතය තුළ මෙසේ කලබල වීමට අවිඥනික දෘෂ්ටිවාදී අර්ථයක් ද ඇත. ෆ්‍රොයිඩ් කිව්වේ මනෝ විශ්ලේෂණාත්මකව එකම අව්‍යාජ මිනිස් හැඟීම වන්නේ කාංසාව (anxiety) බවයි. අපිට ෆ්‍රොයිඩ්ගේ ඉගැන්වීම මතක් කර ගනිමින් දෘෂ්ටිවාදීව මෙම වාක්‍ය නැවත රචනා කළ හැක. "ධනවාදයේ අපට හමුවන එකම අව්‍යාජ හැඟීම වන්නේ හිංසනය (violence)යි." බොහෝ දෙනාට ලංකාවේ උතුරේ යුද්ධය අවසන් වූ පසු ඇතිවූයේ අවිඤ්ඤාණික කාංසාවක් නොවේද? ඉතාම නීරස දෛනික ධනේශ්වර ජීවිතයක් ගෙවන පාරිභෝගිකයන් වන සමකාලීන මිනිසුන්ට මෙවන් බාහිර හිංසනයක අභියෝගයක් යනු තමන් ජීවත් වනවා'ය කියා උද්වේගකර වීමට ලැබෙන මහඟු අවස්ථාවකි. ඒ අර්ථයෙන් මෙය ධනේශ්වරයේ අවිඤ්ඤාණික ප්‍රාර්ථනයක් යථාර්ථවත් වීමකි. නීරස ජීවිතයක් ගෙවූ අයට උද්වේගකර යථාර්ථයක් එකවරම නිර්මාණය වී ඇත. ගිය වර්ෂයේ එය සහරාන්ගේ බෝම්බය වූ අතර මේ වර්ෂයේ කොරෝනාය. 

ලොව පුරා දස දහසක් මිනිසුන් දෛනිකව මෙවන් කුරිරු යථාර්ථයන්ට මුහුණ දෙමින් සිටි නමුත් කිසිවකුත් ඒ උදෙසා කම්පා වූයේ හෝ කලබල වූයේ නැත. නමුත් සමාජයක් උද්වේගකර වන්නේ හෝ විප්ලවීයව ප්‍රතිචාර දැක්වීම මෙවන් තාර්කික සංගත භාවයකට පූර්ණ ලෙස ලඝු කළ හැකිද?. සමාජ දේශපාලනික නැගිටීමක් හෙවත් ක්‍රියාරම්භකයක් (trigger) ඇති වන්නේ ඇතැම්විට ඉතා සංකීර්ණ ලෙස අථාර්කික සිදුවීම් මතය. ඉතිරි ඕනෑම බරපතළ දේශපාලනික ඛේදවාචකයක් කොරෝනා වලට වඩා අඩු තක්සේරුවකින් සැලකිය නොහැකි බව සැබෑවක් වුවද ඊට මහා සමාජය (masses) ප්‍රතික්‍රියා කරන්නේ අහඹු ලෙසය. මැදිහත්කාරකයක් සහිතව සංවිධානාත්මක ආකෘතියකින් නොවන විටකදී මෙම තත්ත්වය අනිවාර්යයක් ද විය හැක. 

මේ අතරේ ඊනියා ප්‍රගතිශීලීන් සහ වාමාංශිකයන් මේ සඳහා ඉදිරිපත් කරන ජනප්‍රිය විවේචන තවදුරටත් වලංගු නොවන්නේ මන්ද? උදාහරණයක් ලෙස 2020 වසරේ කොරෝනාවලට වඩා මාර්ග අනතුරු හා අනෙකුත් අනතුරු හෝ රෝග මගින් මාර්තු මාසය වන විට මියගොස් ඇති බවට කරුණුමය තොරතුරු ඕනෑතරම් පවතී. මෙවන් තොරතුරු මහින් තවත් වටයකින් අපට පැමිණිය හැකි එකම හිත හදා ගැනීම වන්නේ කොරෝනා නිසා අපගේ දෛනික ජීවිතය කියනා තරම් අනාරක්ෂිත නොවන බව අපටම පරිකල්පනීයව තහවුරු කර ගැනීමකට වඩා අන් කවරක්ද?  මනෝවිශ්ලේෂණය පෝෂණය ලැබූ දෘෂ්ටිවාද අධ්‍යයන අර්ථයකින් කියන්නේ නම් "අප ජීවත් වන්නේ මරණය සමග නොවේ. මරණාශය (death drive) සමගය". මරණාශය යනු ජීවත් වන්නා වූ මරණයකි. අවසානයක් අත්පත් කර නොගන්නා මරණයකි. කොරෝනා යනු මරණීය අවසානයක් නොව දෘෂ්ටිවාදීව නිරන්තර මරණයත් සමග ජීවත්වන්නට සිදුවීමකි. මන්ද කොරෝනා රෝගලක්ෂණ යනු අති සරල සෙම්ප්‍රතිශ්‍යාව හා සමාන්තර පොදු ලක්ෂණ වලින් හෙබි වසංගතයකි. එම නිසාවෙන්ම දෛනික භීතිය හා අවදානම ද ඉහළය. 

ජිජැක් පෙන්වාදෙන පරිදි මේ වනවිට මතුව තිබෙන එක් ප්‍රකාශමාන වීමක් වන්නේ කොරෝනා හරහා සමාජවාදී නාම පුවරුවක් සහිත ඉතා කාර්යක්ෂම ලෙස ධනවාදය සංවිධානය කරන ජාතික රාජ්‍යය වන චීනය මෙමගින් දේශපාලන ආර්ථික සමාප්තියකට පත්වේද යන්නයි. නමුත් ඊට ප්‍රතිපක්ෂව සිදුවන්නේ ගෝලීය ධනේශ්වරය මාරාන්තික අවසානයක් හෙවත් සමාපත්තියත් කරා ළඟාවෙමින් සිටීමක් නොවේද? එය සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමේදී ෂොනොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවීමට සමාන්තරව සංසන්දනය කළ හැකිද? 

අපි දැන් මෙම කෙටි සටහනේ පළමු ඡේදයෙහි මතුකළ ප්‍රශ්න යළි විමසමු. අවශ්‍ය නම් අපි කොමියුනිස්ට්වාදය සාකච්ඡා කිරීම අමතක කරමු. අර්ධ ශතකයකට වඩා ලෝකය සංවිධානය කරන එකම දේශපාලන ආර්ථික මාදිලිය ලෙස ධනවාදය අද පැමිණ ඇති තත්ත්වය පිළිබඳව කොරෝනා අතරේම අනිවාර්යෙන් සාකච්ඡාවට ගමු. ධනවාදය මිනිස්සුන්ව රැගෙනවිත් ඇත්තේ ධනේශ්වර ප්‍රාණවාදයකටය (capitalist animism). නැතහොත් සියලු සමාජ ගැටලු වලට වෙළඳපල විසින් විසඳුම් තිබෙනවාය' යන මායාමතික ප්‍රේක්ශාවටය (spectre). මිනිස්සුන්ගේ විශ්වාස පද්ධතියක් ලෙස කාලයක් පුරාවට පැවති මෙම දෘෂ්ටිවාදය අද වරුවෙන් වරුවට අභියෝගයට ලක්වෙන ප්‍රපංචයක් බවට පත්වී ඇත. ඇතැම්විට කොරෝනා අර්බුදයෙන් ධනවාදය සීමා වීමකට හෝ බාධාවීමකට ලක්වීම හරහා සිදුවිය හැකි එකම යහපත ලෙස අවශ්‍ය නම් පරිසරයට සිදුවන හානිය අවම වීම අපට උපහාසාත්මකව සිහි කළ හැක. එපමණකුදු නොව මෙතුවක් සිදු වූ ලෙස කොමිනිස්ට්වාදීන් ලිබරල්වාදීන් හෝ උග්‍ර ධනවාදීන් බවට පත්වීම වෙනුවට ලිබරල්වාදීන්ට පවා නැවතත් කොමියුනිස්ට් උපන්‍යාසය සැලකිල්ලකට ලක් කිරීමට අවස්ථාවක් උදා වූවා ද විය හැක. නැතහොත් සමාජයේ ක්‍රමික සියුම් පරිවර්තනයක් ප්‍රාර්ථනා කළ උදවියට සිය ස්ථාවරයෙන් මිදී රැඩිකල් විප්ලවීය වෙනසක් කරා පය තැබීමට සිදු වනවා ද විය හැක. 

ඉහත විග්‍රහ කළ පැරිදි ධනේශ්වර සුබසාධන රාජ්‍යයේ හා නිදහස් වෙළඳපලේ සීමාව නැවත නැවතත් සලකුණු වෙමින් ආ නව සහශ්‍රකයේ කූටප්‍රාප්ති සමාප්තිය ලෙස අපට කොරෝනා වසංගතයේ අභියෝගය සාරාංශගත කළ හැක. තවදුරටත් අයෙක් ධනේශ්වර ජාතික රාජ්‍ය හෝ නිදහස් වෙළඳපොළ විසින් මිනිසුන්ගේ සාමූහික ප්‍රශ්න සඳහා දිගු කාලීන විසඳුම් ඉදිරිපත් කරන්නේ යයි පරිකල්පනය කරන්නේ නම් එය මරණය කරා අත වැනීමකි. නමුත් විකල්පයක් ලෙස කොමියුනිස්ට්වාදයද ලෝකය පුරා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් අත්පත් කරගැනීමට අසමත් වී තිබීම කොමියුනිස්ට්වාදීන් ස්වයං විවේචනාත්මකව මේ මොහොතේ භාරගත යුතු බරපතලම වගකීමයි. අවම වශයෙන් මහා පරිමාණව මිනිසුන් දැනුවත් කිරීමට තරම් හෝ දෘෂ්ටිවාදී විවේචනයක් ඉදිරිපත් කිරීමට තරම්වත් අප කොමිනිස්ට්වාදීන් ලෙස සමාජ පැවැත්මක් අත්පත් කරගැනීමට අවශ්‍ය ගෙදර වැඩ කර නැත. එනිසා දේශපාලනික ඒජන්තයන් ලෙස වඩාත් බරපතළම පරාජය පවතින්නේ කොමියුනිස්ට් නියෝජනයේයි. ඒ අර්ථයෙන් නැවතවරක් කොරෝනා වෛරසය ‍ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාමූහික ගෝලීය පැවැත්මේ බෙලහීනත්වයකින් අපව දේශපාලනික සමානයන් බවට පත්කොට ඇත. නමුත් කළු වළා අතරින් පායනා එකම රිදී රේඛාවක් ලෙස කොරෝනා අභියෝගය හරහා සෑම කේවල මනුෂ්‍යයෙකුටම ඉදිරිපත් කර තිබෙනවා ස්වර්ණමය අවස්ථාවක් ද වේ. ඒ කුමක්ද? ඉතාම ගැඹුරු දේශපාලනික දාර්ශනික අර්ථයකින් දේශපාලනික නායකත්වය යනු ගැටලුවකට පිළිතුරක් තිබීමම නොව, ඊට ප්‍රතිපක්ෂව ගැටලුවට පිළිතුරක් සඳහා වූ මාවත ගොඩනැගීමේ පූර්ණ වගකීම තමන් සතු කර ගැනීමය. හරියට ගෙදරක තාත්තා කෙනෙක් ප්‍රශ්නයක් ආ විට තමන් පිළිතුර නොදන්නා වුවද බිරිඳටත් දරුවන්ටත් ආරක්ෂාව පිළිබඳව අව්‍යාජව වගකීම් සහගතව හා බලාපොරොත්තු සහගත ආස්ථානයකට ස්ථානගත වන්නාසේය. විප්ලවාදී දේශපාලනයේ ගැඹුරුතම අර්ථය වන අපගේ සාමූහික දේශපාලන ගැටළු උදෙසා පිළිතුරක් දන්නා මහාඅනෙකෙන් නොපවතින බව තේරුම් ගැනීමේ මහා පාඩම කොරෝනා නැවත නැවතත් අපට පසක් කර දී ඇත. 

බූපති නලින් වික්‍රමගේ 

බලන්න :

* Zizek, Slavoj. My dream of Wuhan. 
* Zizek, Slavoj. Global Communism or the jungle law. 
* Zizek, Slavoj. Coronavirus is ‘Kill Bill’-esque blow to capitalism and could lead to reinvention of communism

 (මුල් වරට 'අනිද්දා' පුවත්පතේ පලවිය) 