V2025

පුවත්

මහින්ද ඉල්ලා අස්වීම : ආණ්ඩුවේ හිතවත් මාධ්‍ය ජාල ප්ලාන්ට් එකක් !

අගමැති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වෙත යොමුකර ඇති බව ආණ්ඩුව හිතවාදී මාධ්‍ය ජාල වාර්තා කරයි.

අදාළ ඉල්ලා අස්වීම ජනාධිපති වෙත යොමුකිරීම අද (08) අගමැති ගේ අනුරාධපුර වන්දනාවෙන් පසුව සිදුවූ බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වෙයි .

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ අගමැති ගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩල සිය ලිපිගොනු සහ බඩු භාණ්ඩ ඉවත් කරන්නට කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වුවත් අගමැති ප්‍රමුඛ මහින්ද - බැසිල් පාර්ශ්වය නියෝජනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ආණ්ඩුව හිතවාදී මාධ්‍යවල මේ වෙනස් කම් සම්බන්ධයෙන් විරෝධය එල්ල කරමින් සිටියි.

එසේම අරලිය ගහ මන්දිරය අසල විරෝධතා පවත්වන "මයිනාගෝගම " ද වෙනදාට වඩා වැඩි පිරිසක් රැස්ව ඇති බවත් වාර්තා වෙයි .

රනිල් සිස්ටම් වෙනසක් ඉල්ලයි !

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (7) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තරුණ වෘත්තිකයන් හමුව ඇති අතර එහිදී ඔහු ආර්ථික ක්‍රියාවලියේ සමස්ථ වෙනසක් අවධාරණය කළ බව වාර්තා වෙයි .

එහිදී අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැහැදිලි කර සිටියේ රට තුළ මේ වනවිට ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 25කට අඩු සංචිත මුදලක් බවයි. රජය විසින් බදු අඩු කිරීම හේතුවෙන් රටට අහිමි වූ මුදල රු. බිලියන 800 ක් බව ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක මෙසේද සඳහන් වෙයි.

"අපිට දැන් අපේ ණය ආපසු ගෙවීමට නොහැකියි. ඒ නිසා අපි මුලින්ම ණය ආපසු ගෙවීමේ ව්‍යුහයක් ඇති කළ යුතුයි", ඔහු ප්‍රකාශ කළේය. රජය අනවශ්‍ය වියදම් කපා හැර ජනතාවට කළ හැකි සහන සැලසිය යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා , රජයට ආදායම් වැඩිකර ගැනීමට නම් තවදුරටත් ඉන්ධනවල මිල ඉහළ දැමීමට රජයට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය.

රජය විසින් ලබාගෙන ඇති ණය ගෙවීමට නොහැකි වීමෙන් අපේ බැංකු පද්ධතිය කඩාවැටීමේ අවදානමකට මුහුණ දී සිටින බවට ඔහු අනතුරු ඇඟවීය. වැඩිම උනොත් වසරක් දෙකක් ඇතුළත මේ ප්‍රශ්න විසඳාගත හැකි බවද ඔහු පැවසීය.

ක්ෂණික ආර්ථික අර්බුදය නිරාකරණය වූ පසු අප අනාගතය දෙස බැලිය යුතු බව ඔහු පැවසීය.

"එහෙම කරන්න නම් දේශපාලන ක්‍රියාවලිය, ආර්ථික ක්‍රියාවලිය ඇතුළු සමස්ත ක්‍රියාවලියම වෙනස් කළ යුතුයි. රටේ දේශපාලන ක්‍රමය පිළිබඳව ජනතාවගේ විශ්වාසය නැති වී ඇති බවත්, සියලු දේශපාලඥයින් ගෙදර යන්න, ගෝටා යන්න, රාජපක්ෂ ගෙදර යන්න, දක්වා විරෝධතා වර්ධනය වී ඇති බව" ඔහු පැහැදිලි කළේය.

ඒ අර්බුදයට විසඳුම් ලබාදීමට පාර්ලිමේන්තුව අපොහොසත් වීම හේතුවෙන් බවද ඔහු අවධාරණය කළේය.

ක්‍රමය වෙනස් කිරීමකට අධ්‍යාපනයට නව ප්‍රවේශයක් අවශ්‍ය වන බව වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. මෙම නව අධ්‍යාපනික මාර්ග සඳහා තරුණ තරුණියන් මූල්‍යමය වශයෙන් ආධාර කළ යුතු බව ඔහු පැවසීය.

ක්‍රමය වෙනස් කිරීමට සමගාමීව නව දේශපාලන ක්‍රමයක් ද අනුගමනය කළ යුතු බව ඔහු පැවසීය. විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නය පමණක් නොව සමස්ත නියෝජිත ක‍්‍රමයටම ආමන්ත්‍රණය කළ යුතු බවද ඔහු පැවසීය. දේශපාලන පක්‍ෂ කීයක් තිබිය යුතුද, ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද, මනාප ඡන්ද යාන්ත්‍රණය අනුගමනය කරනවාද නැතහොත් නව පිරිවැය ඵලදායී ඡන්ද ක්‍රමයක් අනුගමනය කරනවාද?

දේශපාලන සංස්ථාපිතයේ පිරිවැය ද විසඳිය යුතු බව හිටපු අගමැතිවරයා පැහැදිලි කළේය.

"අපි කොහොමද වැඩිපුර තරුණ තරුණියන් දේශපාලනයට ඇතුළත් කරන්නේ. ක්‍රමය වෙනස් වීමත් සමඟ ශ්‍රී ලාංකීය සමාජය 21 වැනි සියවසට ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පැවසීය.

අපගේ අධ්‍යාපනය සහ ශ්‍රම බලකාය සියලු වෙනස්කම් වලට අනුගත විය යුතු අතර එමඟින් රටේ මධ්‍යම පන්තියේ නැවත වරක් නැගීමක් දැකිය හැකි බවත් ඔහු පැවසීය .

නිදහස ලබන විට ශ්‍රී ලංකාව ජපානය හා සමව තිබූ අතර දැන් අපි ඇෆ්ගනිස්ථානයටත් පහළට වැටී ඇත. 2048 දී රට නිදහසේ 100 වන වසර සමරනු ඇත, ඒ වන විට අපි අපගේ හැකියාවන් කරා ළඟා වී තිබිය යුතුය.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ජාතික ප්‍රතිපත්තියක් සඳහා නව යකඩ රාමුවක් ගෙන ආ යුතුයි. එමගින් විටින් විට ආණ්ඩු වෙනස් විය හැකි නමුත් රටේ දිශානතිය වෙනස් නොවේ. ඉන්දියාව ජපානය වැනි රටවල් ක්‍රියාත්මක වන්නේ අද මේ ආකාරයටයි.

ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය. නව පාර්ලිමේන්තු කාරක සභා හඳුන්වාදීම හරහා රාජ්‍ය මූල්‍ය පාලනය නැවත පාර්ලිමේන්තුව යටතට ගෙන ඒම පළමු පියවරයි. එවිට මෙම කමිටුවලට තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක වන ආකාරය දැක ගත හැකි බව ඔහු පැවසීය.

මේ තුළින් නව ආර්ථිකය සමඟ රටේ නව නායකයන් බිහිවන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් මතුව ඇති දේශපාලන අර්බුදය, ව්‍යවස්ථා සංශෝධන, විශ්වාසභංග යෝජනා පිළිබඳ ප්‍රශ්න සියල්ල විසඳිය යුතු බව ද ඔහු පැවසීය.

සියලු දෙනා එක්ව කටයුතු කර මේ සියලු ගැටලු විසඳා ගත යුතු බව ඔහු පැවසීය. ඒවාට පුද්ගලයන්ට ආමන්ත්‍රණය කළ නොහැක, මහජනතාව ද මැදිහත් විය යුතුය.

අර්බුදය අස්සට චන්ද්‍රිකාත් මැදිහත් වෙයි !

ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් මතුවූ උග්‍ර ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති අතර ඊට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද මැදිහත්වීමක් සිදුකර ඇත .

ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිනිය මේ මොහොතේ රජයට විසඳුම් දෙකක් පමණක් ඇති බව අවධාරණය කර ඇත .

මේ මොහොතේ රජයට ඇත්තේ විසදුම් දෙක ලෙස ඇය පහත යෝජනා සඳහන් කර ඇත .

1. ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස් වී, අන්තර්කාලීන පාලනයක් හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කර, රටේ සශ්වර පාලනයක් පිහිටුවීමට අවස්ථාව ලබා දීම.

2. ඒ සදහා පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සූදානම් නැතිනම් වහා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් බලයට පත්කර ගැනීම.

හිටපු ජනාධිපතිනිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

ජනතාව මහජන නියෝජිතයන්ට බලය ලබා දෙන්නේ තම අභිමාතාර්ථ ක‍්‍රියාත්මක කරවා ගැනීමටය. එය කෙටි කාලීනව ලබා දෙන බලයක් විනා, ඔවුන්ට සදහට හිමිකර ගත හැකි බලයක් නොවන බව අවබෝධකර ගත යුතුය. ඔවුන්ට ජනතා කැමැත්ත තිබෙන තාක් කල් බලයේ රැදිය සිටිය හැකි අතර ජනතාව ප‍්‍රතික්‍ෂේප කළහොත් වහා බලය අත් හැරීමට සූදානම් විය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී යාන්ත‍්‍රණය මැනවින් ක‍්‍රියාත්මක වන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක නම් මේ වන විටත් රජය ඉල්ලා අස් වී අවසානය.

එහෙත් අප රටේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පිරිස මහජනතාවගේ සියලු විරෝධතාවලට කන් නොදී, තවදුරටත් බලයේ එල්ලී සිටීමට නින්දා සහගත උත්සාහයක නිරත වේ.

ජනාධිපති යවන්න : පොහොට්ටු බලය අරලිය ගහ මන්දිරයට කැඳවයි !

හෙට දින (09) අරලියගහ මන්දිරය ඉදිරිපිටට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් රැසක් කැඳවා ඇති බව වාර්තා වෙයි .

සමාජ මාධ්‍ය ඇතුළු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ‘අගමැති මහින්ද රැකගනිමු’ යන තේමාවෙන් අගමැතිවරයාට සහාය පල කරමින් සිදු කරන විරෝධතාවක් සදහා මෙම කැඳවීම කර ඇත.

ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා එම පක්‍ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් ද හෙට දිනයේ කැඳවා ඇති බවත් වාර්තා වෙයි .

එහිදී එම ජනාධිපති ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිත බවත් පවතින තත්ත්වය මත පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් වහා කැඳවීමට නියමිත බවත් පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් පවසා ඇති බවත් වාර්තා වෙයි .

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව විරෝධතාවයක් දැක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි

ලබන මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමත් හබක් ?

දැනට තිබෙන තත්ත්වය අනුව ආණ්ඩුවට ලබාගත හැකි ණය උපරිම සීමාවට ලඟා වී ඇති බවත් ණය සීමාව ඉහල දමා නොගතහොත් ලබන මාසයේ සිට රජයේ සේවකයන්ගේ පඩි ගෙවීමට වත් මුදල් නැති බවත් මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි .

මුදල් ඇමති මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හදිසි කැබිනට් රැස්වීමේදී ය.

ආණ්ඩුවට ණය ගත හැක්කේ ට්‍රිලියන 2.9 පමණක් බවත් ඒ සීමාව ට‍්‍රිලියන හතරක් දක්වා ඉහළ දැමිය යුතුව ඇති බවත් එහිදී අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.

කෙසේ වුවත් ණය සීමාව ඉහළ දැමීමට නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු නමුත් මේ මොහොතේ එය කර ගැනීමට බැරි තත්ත්වයක ආණ්ඩුව සිටින බවද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

අප්පච්චි වඳින්නම් දැන් ඇති යන්න : අනුරපුරේ ජනතාව මුහුණටම කියලා !

අද (08) ශ්‍රී මහ බෝධිය ඇතුළු අටමස්ථානය වන්දනාව සඳහා අගමැති මහින්ද රාජපක්ෂ ගිය අවස්ථාවේ අනුරාධපුරයේදී ජනතා විරෝධයක් එල්ල වී ඇත .

එහිදී පුද්ගලයන් කිහිපදෙනෙකු ” බුදු අප්පච්චි වදින්නනම් දෙයියනේ කියලා හෙට සුබ මොහොතින් ඔබතුමා තිරණයක් අරගෙන රට බේරලා දෙන්න බුදු අප්පච්චි. ඔබගෙන් ඉල්ලන්නේ එච්චරයි. රට බේරලා දෙන්න. ඔබගෙන් සුබ පණිවිඩයක් බලාපොරොත්තු වෙනවා අපි හෙට උදේට.ඔබතුමා කරා තමයි දැන් ඇති” යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ ගේ මුහුණටම පවසා ඇත .

අගමැති අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ එහි සිටි ජනතාවගෙන් මෙම විරෝධය එල්ල වූ බව වාර්තාකරුවන් පවසයි .

එසේම අනුරාධපුර වන්දනාව අවසන් කර එයින් පිටත්ව ඒම අවස්ථාවේ ඒ අසලට රැස්වූ පිරිසක් විරෝධතා පුවරු ඔසවමින් හූ තැබූ බවත් වාර්තා වෙයි .

ජනාධිපති ඉවත් වෙන්න : ආණ්ඩුව බාරගන්න සජබය සූදානම්!

ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් විපක්ෂනායකවරයා හට අගමැතිකම බාරගන්නා ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේය.

එහිදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද යෝජනාව සම්බන්ධයෙන් පැය 4ක පමණ දීර්ඝ සාකච්ජාවක් පැවැත්වීමට සජබ මන්ත්‍රී කණ්ඩායම පියවර ගෙන ඇත.

මෙම සාකච්ජාවේදී අතිබහුතරයක් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා එම තනතුරේ තබාගෙන කිසිසේත්ම ආණ්ඩුව බාර ගැනීමට කටයුතු නොකළ යුතු බවකි.

නමුත් තවත් පිරිසක් රට පත්ව ඇති මෙම අර්බූදකාරී මොහොතේ යම් කොන්දේසි මාලාවක් යටතේ රට ගොඩනැගීමට පියවර ගත යුතු බව පෙන්වා දී ඇත.

ඒ අනුව විපක්ෂනායකවරයා සදහන් කොට ඇත්තේ එසේ නම් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනාවලිය මත පදනම්ව ආණ්ඩුව සමග සාකච්ජා කර තීන්දුවක් ගත යුතු බවකී. එහිදී නියත වශයෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවටත්, ජනාධිපති ක්‍රමය වෙනස් විය යුතු බවටත් යෝජනා වී තිබේ.

දෙවන යෝජනාව වී ඇත්තේ ජනාධිපතිවරයා ඉවත් වන්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් ජනාධිපති ධූරය බාර ගැනීමට සජිත් ප්‍රේමදාස  එකගතාව පළ කිරීමය. එහිදී විධායක ජනපති ක්‍රමයේ බලතල පාර්ලිමේන්තුවට පැවරීම හරහා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට හැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම යෝජනා දෙක මත පදනම්ව ජනාධිපතිවරයා හා සාකච්ජා ආරම්භ කිරීමට සජබය තීන්දු කොට තිබේ.

නීතීඥ සංගමය ඉදිරිපත් කර තිබූ යෝජනා !

මෙරට තුළ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් යෝජනා 13ක් ඉදිරිපත් කර ඇත .

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ, විධායකය පිළිබඳ අර්ථවත් පාර්ලිමේන්තු අධීක්‍ෂණයක් නොමැතිකම, විශේෂයෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව වගවීම සහ විනිවිදභාවය නොමැතිකම පිළිබඳ චෝදනා සහ දූෂණය මේ මොහොතේ රට තුළ පවත්නා දේශපාලන නොසන්සුන්තාවයට හේතු වී ඇති බවයි.

ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ස්වාධීනව කටයුතු කිරීමට හේතු වී ඇති බවද නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි .

සියලුම ක්‍රියාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අදාළ නෛතික ප්‍රතිපාදනයන්ට අනුව යමින් විනිවිදභාවයකින් සහිතව විය යුතු බව එම සංගමය පෙන්වා දෙයි .

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසි කර 19 වැනි සංශෝධනය ප්‍රතිෂ්ඨාපනය කරමින් රජය වහාම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දිය යුතු බවයි නීතීඥ සංගමයේ යෝජනා අතර වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු අමාත්‍යාංශ සඳහා සියලුම ලේකම්වරුන් පත් කළ යුතු අතර අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අනෙකුත් සියලුම ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා කරයි.

ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යාංශයක් නොදැරිය යුතු බව ද එම නිවේදනයේ දැක්වෙන අතර 2022 නොවැම්බර් 30 වැනිදාට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් සම්මත කළ යුතු බව ඔවුන් පවසයි .

විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම මෙන්ම ඒ යටතේ අගමැතිවරයා ආණ්ඩුවේත් කැබිනට් මණ්ඩලයේත් ප්‍රධානියා ලෙස පාර්ලිමේන්තුවට වග කිව යුතු බවටද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය යෝජනාවෙන් දක්වා තිබේ.

කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත අන්තර්වාර ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා අතර ඇති අතර පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාව දිනාගත හැකිවෙතැයි කථානායකවරයා විසින් පිළිගන්නා අයෙකු එහි අගමැතිවරයා විය යුතු බව එහි සඳහන්.

අමාත්‍යාංශ 15 ට අනුරූප විෂය ක්ෂේත්‍රවලින් සුදුසුකම් ලත් වෘත්තිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක් පත් කිරීමද ඔවුන්ගේ තවත් යෝජනාවක්.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අවලංගු කළ යුතු බවයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ද ඔවුන් යෝජනා කර තිබේ.

අන්තර් වාර ජාතික සමගි ආණ්ඩුව විසින් පොදු අවම අරමුණුවලට අනුකූල අයවැයක් ඉදිරිපත් කළ යුතුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාවක්.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා කරන ජාතික සමගි භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුත්තේ මාස 18 ක කාලයක් සඳහා පමණයි.

ඉන් අනතුරුව ඒ ආණ්ඩුව මාස 6 ක් භාරකාර ආණ්ඩුව ලෙස මැතිවරණය පැවැත්විය යුතු අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වීමත් සමඟ එම ආණ්ඩුවේ කාල සීමාව අවසන් බව ඔවුන් පවසයි .

ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය පත්කළ යුතු බවද නීතීඥ සංගමයේ යෝජනාවලට අයත් වෙයි .

මේ සම්බන්ධයෙන් සජබ නිකුත් කළ නිල නිවේදනය ‌පහත දැක්වේ.

සෙල්ලම් බෑ : හදිසි නීතිය ගැන ඇමරිකාව විමසිල්ලෙන් !

නැවත වරක් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත .

එහිදී ඇය සඳහන් කර ඇත්තේ සාමාකාමී පුරවැසියන්ගේ හඬ සියලු දෙනාට ඇසිය යුතු බවයි .

ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සත්‍ය ප්‍රශ්නවලට දීර්ඝකාලීන විසඳුම් අවශ්‍ය බවත් රට සෞභාග්‍ය කරා ගෙන යෑමටත්, සියලු දෙනාට අවස්ථා සැලසීමටත් එය අවශ්‍ය බව ඇය පවසා ඇත.

හදිසි නීතිය පැනවීමෙන් ප්‍රශ්න නොවිසඳෙන බව ද ඇය සඳහන් කර ඇත.

july c

ආණ්ඩුව රකින්නේ සජිත් : විචාරකයන්ගෙන් චෝදනා !

අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමට සලස්වා පොදුජන අරගලය ශක්තිමත් කිරීමේ අවස්ථාව ඉතාම අවස්ථාවාදී ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මඟහැරීමට උත්සාහ කරන බව දේශපාලන විචාරකයන් පවසයි .

ඔවුන් පෙන්වා දෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ සඳුදා (09) ධුරයෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කරනු ඇති බවත් විපක්ෂ නායක ලෙස එම අභියෝගය භාර ගැනීම ඔහුගේ වගකීම වන බවයි.

විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නොමැති නම්,පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ආරාධනා කර, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මාර්තු ජන්දයක් තිබුණොත් සජිත් එන්නේ නැද්ද ?

මෙහිදී ජනවරමක් නොමැති බව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බවට විවිධ තර්ක ඉදිරිපත් කරන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක අරගලය අඩපණ කිරීමට ආණ්ඩුවට අනියමින් සහය දෙන බවක් පෙන්නුම් කරන බවත් පවසයි.

එළැඹෙන මාර්තු මාසයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති වෙත බලය ලැබෙන බවත් , එවිටත් අරගලකරුවන් ජනාධිපති ගෝඨාභය ව ධුරයෙන් ඉවත් කිරීමට අසමත් වුවහොත් සජිත් ප්‍රේමදාස අගමැති ලෙස දිවුරුම් දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ නොවේද යනුවෙන් ද ඔවුන් ප්‍රශ්න කර සිටියි.

සජිත්‍ට බැරි නම් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සූදානම් !

මේ අතර අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්,අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී අද (07)දහවල් රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි .

සමගි ජන බලවේගය ආණ්ඩුව බාරගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බව එහිදී ප්‍රකාශ වී ඇති බවත් වාර්තා වෙයි .

පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයිද වාර්තා වෙයි .

නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර ,ලසන්ත අලගියවන්න ,දුමින්ද දිසානායක,උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ ජයන්ත සමරවීර , ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ,ආචාර්ය විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග , අතුරලියේ රතන හිමි මේ අවස්ථාවට එක්ව ඇති බවත් වාර්තා වෙයි .

රනිල්ගේ නිවස අසල : විරෝධතා දෙකක් !

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට අද (07) විරෝධතාවක් පැවැත්විණ .

ඒ ඔහු ආණ්ඩුවට සහය දෙන බවට චෝදනා කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිතවාදීන් පිරිසක් මේ උද්ඝෝෂණය දියත්කර ඇත.

කෙසේ වුවත් එම විරෝධතාවයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ද ඒ අසලට පැමිණ ඇති බවත් වාර්තා වෙයි .

ඔවුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට සහය පළකරමින් සටන් පාඨ කියූ අතර , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ නිවස අසල ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය යොදවා ඇති බවත් වාර්තා වෙයි .

 

විරෝධතා සාමකාමී : හදිසි නීතිය අනවශ්‍යයි - නීතිඥ සංගමය

මැයි 06 මධ්‍යම රාත්‍රියේ සිට වහාම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

රටේ මේ වනවිට උද්ගත වි ඇති තත්ත්වයට හදිසි නීතිය පිළිතුරක් නොවන බැවින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටීයි.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීමට පහසුවක් නොවනු ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.

ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන අතර, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවාගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බව ද එම සංගමය අවධාරණය කරයි.

හදිසි නීතිය පැනවීම මගින් ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝණය වන බව එම සංගමය පෙන්වාදෙයි.

මෙවන් අවස්ථාවක හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙලෙස හදිසි නීතිය පැනවූ බව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන යටතේ මෙලෙස හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

ඉල්ලා අස්වීමට මුලින්ම බෑ කියපු මහින්ද පස්සේ හා කියලා !

අගමැති මහින්ද රාජපක්ෂ ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ ඊයේ (06) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදීය.

රට තුළ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදයත් ,ජනතාවගෙන් එල්ල වී ඇති දැඩි විරෝධයක් හමුවේ රටේ ආර්ථිකය පවත්වා ගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

අර්බුදකාරි තත්වය හමුවේ සංචාරකයන් නොඑන බවත්, කර්මාන්ත ශාලා පවා වැසීමෙන් බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීම ජනාධිපති යෝජනා කර ඇත්තේ මේ කරුණු පැහැදිලි කිරීමෙන් පසුව බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළමු අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ ඊට ප්‍රබල විරෝධයක් මතුකර ඇත.

නමුත් එහිදී අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ඉදිරි කටයුතු ගැන තීන්දු තීරණ ගැනීමට මේ මොහොතේ ඉල්ලා අස්වීම වැදගත් බවට අදහස් දක්වා තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම සඳහා එකඟතාව පළකර ඇත්තේ ඒ අනුවය.

ඒ අර්බුදයට විසඳුම තමා ඉල්ලා අස්වීම නම් අගමැති ධුරයෙන් ඉවත්ව විපක්ෂයට යාමට සූදානම් බව ප්‍රකාශ කරමිනි.

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලය ද ඉබේම අහෝසි වනු ඇත.

 

සියඹලා යළිත් ඉල්ලා අස්වෙයි !

නියෝජ්‍ය කථානායක ධුර සඳහා තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නැවත වතාවක් තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේදී මැයි 05 පැවති ඡන්ද විමසීමේදී ඔහු නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරී පත් විය.

ඊට පෙරද ඔහු එම ධුරය දරන ලද අතර ඉන් ඉල්ලා අස්වූයේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමිනි.

මෙවර රංජිත් සියඹලාපිටිය සිය ඉල්ලා අස්වීම වෙනුවෙන් යොමුකළ ලිපිය පහත දැක්වෙයි .

IMG 20220506 WA0011

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතියත් කැඳවයි

ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කර තිබේ.

රටේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති හදිසි කැබිනට් හමුවක් කැඳවයි !

අද (06) හවස විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට අද පස්වරු 5ට මෙම රැස්වීම ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත .

අද හර්තාලය සමග රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.

කෙසේ වුවත් විපක්ෂය ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ මේ වන විට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයක් හෝ නොමැති බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය වගකීම කරට නොගෙන සිටීම හේතුවෙන් පොහොට්ටු ආණ්ඩුව තවදුරටත් තිබෙන බවටත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් චෝදනා කරයි.

රාසමණික්කම්ගේ චෝදනාවලට රනිල් පිළිතුරු දෙයි !

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (06) තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රසමානික්කම් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය තරයේ හෙළා දැක්කේය.

2013 පෙබරවාරි 21 වැනි දින මහින්ද රාජපක්ෂගෙන් මඩකලපුව පද්දිරුප්පු ආසනයේ සංවිධායක ධූරය ලබාගත් රාසමණික්කම් මුලින් සන්ධාන මන්ත්‍රීවරයකු වීම පිළිබඳව ඔහු අවධානය යොමු කළේය.

තමන් කිසිවිටෙක රාජපක්ෂවරුන් සමඟ ඩීල් තබා නොමැති බව ප්‍රකාශ කළ හිටපු අග්‍රාමාත්‍යවරයා, 2005 ජනාධිපතිවරණයේදී තමන්ව පරාජය කිරීමට රාජපක්ෂවරුන් එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ ඩීල් දමා තිබූ බව ජනතාවට සිහිපත් කළේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ පසු නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට රංජිත් සියඹලාපිටිය ගත් තීරණයට සහය පළ කරන බවත් ඒ වෙනුවට විපක්ෂයේ සිට එම ධූරය නැවත ලබා ගැනීමට සභාවේ විශ්වාසය ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය. එය හොඳ පූර්වාදර්ශයක් ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය කතා නායක ධූරයට සියභලාපිටිය  විපක්ෂයේ ඡන්දවලින් තරග කරන්නේ නම් ඊට තමා සහයෝගය ලබාදෙන් බවද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

එයට සියඹලාපිටිය මන්ත්‍රීවරයා එකඟ වූ බැවින් තමා ලබාදුන් වචනය වෙනස් කිරීමට කිසිදු හේතුවක් නොතිබුණු බවද ඔහු පැවසීය.

බදාදා සවස වන විට සියඹලාපිටියට එරෙහිව පාර්ලිමේන්තුවේ බහුතර බලය උරගා බැලීමට රජය උනන්දු නොවන නිසා රජය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව මාධ්‍ය මගින් තමා දැනුවත් වූ බවත් ඔහු පැවසීය .

පසුදා ශ්‍රීලනිප පා.ම. නිර්මාල් සිරිපාල ද මේ කතාවම තහවුරු කළේය. ස්වාධීන කණ්ඩායමෙන් සියඹලාපිටිය යෝජනා කරන්නේ නම් තමා සහය පළ කරන බවද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය .

සියඹලාපිටියට සහය පළ කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ගැටලුවක් පවතින බවට ලැබුණු දැනුම්දීම අනුව දෙමළ ජාතික සන්ධානයට කතා කරලා මේ දෙපිරිස එකට එන්න පුළුවන්ද කියලා ඇසූ බවත් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ SJB අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළහොත් ඔවුන් විසින්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව යැයිද දැනගන්නට ලැබී ඇත.

එවිට ඔහු යෝජනා කළේ රජය අපේක්ෂකයෙකු නම් නොකරන බැවින් විපක්ෂයේ කණ්ඩායම් දෙකට ඡන්දයකට යා හැකි නමුත් පසුව නැවත එක්ව කටයුතු කළ යුතු බවයි.

මනෝ ගනේෂන්, අනුර දිසානායක සහ ශ්‍රීදරන් යන මන්ත්‍රීවරුන් ඒ අවට සිටි අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමන්තිරන්, රාසමණික්කම් සහ අඩෙයිකලනාදන්ද සමඟ තමන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඔහු පැවසීය. මෙම ගැටලුව විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බව ඔහු පැවසීය.

රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන් ඊට සහය පළ කරන බව ප්‍රකාශ කළ බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සුමන්තිරන් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට මුලින්ම සහයෝගය දුන්නේ ඔහුයි.

රාසමණික්කම් තමාට එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බවත් එහි ප්‍රතිඵලය වී ඇත්තේ මෙම අසත්‍ය චෝදනාව මත ජනතාව මේ වනවිට තම නිවස වට කිරීමට සූදානම් වීම බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනතාව තමන්ට එරෙහිව පෙළපාලි යාමට අවශ්‍ය නම් තමාට ප්‍රශ්නයක් නොමැති බව පැවසූ රනිල් වික්‍රමසිංහ, නමුත් පාර්ලිමේන්තු කතා යොදා ගනිමින් ජනතාවට තර්ජනය කිරීම වැරදි බව ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයත් සමඟ මුළු රටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි වී ඇති බවයි. මන්ත්‍රීවරුන් පෞද්ගලික න්‍යාය පත්‍ර මත රණ්ඩු කරමින් මුළු දවසම නාස්ති කරන බවට ඔවුහු චෝදනා කළහ. රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන සභාවට නොපෙනී ගොස් ඇති බව ඔහු පැවසීය. ජනතාවට ඉන්ධන හෝ මුදල් නැත, ජුනි මාසය වන විට රටේ කුමක් සිදුවේදැයි අපි නොදනිමු.

පාර්ලිමේන්තුවේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තුවට නොහැකි වී ඇති බවත්, මහජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. සභාව කතා කර ඇත්තේ එකිනෙකාට පහර දීම පමණක් බවත් ඔහු පැවසීය.

තමන් ජනතාව සමඟ සිටින බව හෝ මහජනතාවගේ විශ්වාසය ඔවුන්ට ඇතැයි පාර්ලිමේන්තුවට පැවසිය හැකිද යන්න ඔහු ප්‍රශ්න කළේය. සභාවේ එකම උත්සුකය විය යුත්තේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම බවද ඔහු කියා සිටියේය

ඔවුන් වෙනුවෙන් කටයුතු කරන මහජනතාවට සහතිකයක් ලබාදීමට සභාව පියවර ගන්නා ලෙසත් එසේ නොකළහොත් මහජනතාව විසින් පාර්ලිමේන්තුව වටලනු ඇති බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කුමක් කිරීමට සැලසුම් කර ඇත්ද යන්න පිළිබඳව අද දිනයේ කටයුතු ආරම්භ කිරීමට පෙර තීරණයක් ගත යුතු බවත් එසේ නොමැතිනම් සියලු දෙනාම ගෙදර යා යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

පාර්ලිමේන්තුව 17 දක්වා කල් තියලා !

මැයි මස 17 වෙනිදා පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කර ඇත .

හොරු ගෝ ගම වෙත එල්ලවූ නින්දිත පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය දැක්වූ බවත් එහිදී කතානායක සිය කාමරයේ නිහඬව සිටීම ගැනත් බරපතළ විරෝධයක් එල්ලවී ඇති බවත් වාර්තා වෙයි .

එහිදී කතානායක කාමරයට පොලිසිය පවා පැමිණි බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ ඔවුන් ඉවතට ගිය බවත් වාර්තා වෙයි .

 

හොරු ගෝ ගමට : දරුණු පොලිස් මර්දනයක් !

බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුමෙහි පිහිටවූ හොරු ගෝ ගම විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය අද (06) අමානුෂික කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර සිටියේ ය.

මේ දරුණු මර්දන පිළිවෙත හේතුවෙන් මේ වන විට කිහිපදෙනෙකු රෝහල් ගතකර ඇති බවත් දැනගන්නට තිබේ .

මෙහිදී වඩාත් නින්දිත අමානුෂික සිදුවීම වන්නේ විරෝධතාකරුවන් වෙනුවෙන් ජනතාව සපයා තිබූ ආහාර සහ පානීය ජල බෝතල් තොග විනාශ කරවීමට කැරලි මර්දන ඒකක යොදවා තිබීමය.

කෙසේ වුවත් පුරවැසි අරගලකරුවන් පොලිසියේ දරුණු මර්දනය හමුවේ පවා හොරු ගෝ ගම ආසන්නයේ රැදී සිටිමින් නැවත සංවිධානය වන බවත් වාර්තා වෙයි.

ඊයේ (05) විරෝධතා පාගමනකින් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රමුඛ පුරවැසි ජනතාව මේ ස්ථානයේ හොරු ගෝ ගම පිහිටවූ අතර , ඒ රටේ මතුව ඇති අර්බුදය විසඳීමට පාර්ලිමේන්තුව නිසි දායකත්වයක් නොදීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ය.

ඊයේ දිනයේද පොලිසිය විසින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් දියත් කළේය .

එය පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසලට සීමා නොකළ පොලිසියේ ඉහළ නිළධාරීන් කිහිපදෙනෙකු කැරලි මර්දන ඒකක යොදවා , දියත උයන, ඒ අසල කඩ සාප්පු සහ මහා මාර්ගය දෙසටත් ප්‍රහාරය ව්‍යාප්ත කළ බව මාධ්‍ය වාර්තා තහවුරු කර තිබිණ .

ඒ හේතුවෙන් දියත උයන වෙත පැමිණි සිටි කුඩා දරුවන් පවා ප්‍රහාරයට ලක්වූ ආකාරය සමාජ මාධ්‍ය හරහා වාර්තා කරනු දකින්නට ලැබිණ .

Page 257 of 387