V2025

පුවත්

සිගරට්ටුව රුපියල් 05 කින් ඉහළට

ගෝල්ඩ්ලීෆ් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් යන සිගරට් වර්ග දෙකෙහි සිගරට්ටුවක මිල රුපියල් 05 කින් වැඩි කර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි.

ඒ අනුව ගෝල්ලීෆ් සිගරට්ටුවක නව මිල රුපියල් 85 ක් වන අතර බෙන්සන් ඇන්ඩ් හෙජස් සිගරට්ටුවක නව මිල රුපියල් 90 ක් දක්වා වැඩි වන බවද සමාගම පවසයි.

පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ බද්ධ පෙරේදා (01) දින සිට ක්‍රියාත්මක වීම මෙම සිගරට්ටුවක මිල වැඩිවීමට ප්‍රධාන හේතුව බව සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර සමාගමේ අනිකුත් සිගරට් නිෂ්පාදන වන කැප්ටන්, බ්‍රිස්ටල්, සහ ඩන්හිල් යන සිගරැට් වර්ග වල සිගරට්ටුවක මිල වැඩි කර නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

සමාජ ආරක්ෂණ බද්ද අය කිරීම ඔක්. 01 සිට

පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඊයේ (1) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම බද්ද අය කෙරෙන්නේ වාර්ෂිකව රුපියල් කෝටි දහයකට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලිනි.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් කෝටි 1400කි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී විවිධ බදු ඉවත් කිරීම නිසා රජයට රුපියල් කෝටි පනස් දහසකට ආසන්න බදු මුදලක් අහිමිවූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

සජිත්ගේ කෙරුවාව : විගණන වාර්තාවෙන් ලීක් වෙයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2015 සිට 2019 දක්වා යහපාලන ආණ්ඩු සමයේ නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සිදුවූ රාජ්‍ය මුදල් රුපියල් බිලියන ගණනක අවභාවිතයක් පිළිබඳ විගණන වාර්තාවක් නිකුත්ව ඇත .

විගණකාධිපති විසින් නිකුත්කර ඇති එම වාර්තාව තහවුරු කර ඇත්තේ සංස්කෘතික අරමුදල අවභාවිත කර ඇති ආකාරය යි.

මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහා මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ දෙස් විදෙස් සංචාරකයින් මෙරට සංස්කෘතික උරුමයන් නැරඹීම සඳහා ලබාගන්නා ප්‍රවේශ පත්‍රවලින් ලැබෙන ආදායමෙන්‍ ය.

එම අරමුදලේ ප්‍රමුඛතම අරමුණ වන්නේ පුරාවිද්‍යා කැණීම්වලට සහ සංරක්ෂණ කටයුුතුවලට මුදල් වෙන්කිරීම ය.

නමුත් සජිත් ප්‍රේමදාස විෂය භාර අමාත්‍යවරයා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදල අවභාවිතා කර ඇත්තේ අත්තනෝමතික ලෙස සේවක නඩත්තුව සඳහා ය.

විගණන වාර්තාව පෙන්වා දෙන ආකාරයට 2015 සිට 2019 දක්වා කාලය තුළ සංස්කෘතික අරමුදලේ සමස්ත වියදමෙන් සියයට 38ත් සියයට 58ත් අතර මුදලක් සේවක නඩත්තුව පිණිස වැයකර ඇත.

පුරාවිද්‍යා කැණීම්වලට සහ සංරක්ෂණ කටයුුතුවලට මුදල් වෙන්කර ඇත්තේ අවම ප්‍රතිශතයක් ය.

එහිදී අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා බඳවාගැනීම් සිදුව ඇති බවත්, කාර්යමණ්ඩල සංයුතියේ නොමැති තනතුරු සඳහා පවා බඳවාගැනීම් සිදුකර ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වෙයි.

2017 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාවේ තනතුරු තුළ ඇතුළත් නොවූ මුරකරුවන් 2,271ක් සහ කම්කරුවන් 1,130ක් වශයෙන් සේවකයින් 3,401ක් බඳවාගැනීමට පාලක මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අදාළ විගණන වාර්තාවට අනුව 2019 වසර තුළ අතිරික්ත සේවක තනතුරු සංඛ්‍යාව 1,596කි.

2018 වසරේදී මෙලෙස බඳවාගත් සේවකයින් වෙනුවෙන් රුපියල් හතලිස් හත් කෝටි අනූ තුන්ලක්ෂ පනස්හයදාස් නවසිය අනූ තුනක් (479,356,993.00) සහ 2019 වසරේදී රුපියල් පනස් අට කෝටි දාහත් ලක්ෂ හැත්තැ තුන්දහස් එකසිය අටක මුදලක් වැටුප් වශයෙන් ලබාදී තිබේ.

එසේම 2015 වසරේ සංස්කෘතික අරමුදලේ ආදායම රුපියල් බිලියන 2.9ක් වනවිට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 2.01ක් ලෙස සඳහන් වෙයි.

2019 වසරේදී ආදායම රුපියල් බිලියන 4.037ක් වනවිට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 4.168කි.

2019 වසරේ ආදායම ඉක්මවා රුපියල් බිලියන 0.131ක් වියදම් කර ඇති බව විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

සංස්කෘති අරමුදලේ මුදල් වැය කිරීම සඳහා ඉටුකරන ලද ව්‍යාපෘතිවලට සහ ඉටු කරමින් පවතින ව්‍යාපෘති සඳහා අග්‍රාමාත්‍යවරයා සභාපතිත්වය දරන පාලක මණ්ඩලය අනුමැතිය ගත යුතුව ඇත.

කෙසේවෙතත් 2019 වසරේ මාර්තු 15 වැනිදායින් පසුව පාලක මණ්ඩලය රැස්වී නොමැත.

නමුත් එම වසරේ පැවති ජනාධිපතිවරණයට දින 04කට පසුව එනම් නොවැම්බර් මස 20 වැනි දින සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය රැස්වීමක් නොපවත්වා එහි සාමාජිකයින්ගෙන් අදාළ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදෙන පාලක මණ්ඩල පත්‍රිකාවකට අනුමැතිය ලබාගෙන ඇති බවත් මෙම වාර්තාවේ සඳහන් වෙයි.

විධිමත් රීති මාලාවක් සම්පාදනය කිරීමෙන් තොරව 2018 සහ 2019 වසරවලදී සංස්කෘතික අරමුදලේ මුදල් වලින් ආදාහන පූජෝත්සවය, පින්කම් සඳහා, පෙරහර මංගල්‍ය, සාහිත්‍ය මංගල්‍ය, කලාකරුවන්ට , ලේඛකයින්ට, චිත්‍ර ශිල්පින්ට, සංගීතඥයින්ට , මූර්ති ශිල්පින් ඇතුළු විවිධ පුද්ගලයින්ට රුපියල් තුන්කෝටි විසි එක්ලක්ෂ හැටතුන්දහස් එකසිය පනහක් (32,163,150) ලබාදී ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වෙයි .

සජිත් ප්‍රේමදාස නිවාස හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස සිටියදී සංස්කෘතික අරමුදලේ මුදල් යොදාගෙන සිදුකළ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් සහ වැඩ අවසන් කර නොමැති ඉදිකිරීම්වල ඡායාරූප පවා විගණන වාර්තාවට ඇතුළත් කර ඇත.

ඒ අනුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ලෙස නියමිත කාර්‍ය නිසිලෙස ඉටුකර නොමැතිවා පමණක් නොව මධ්‍යම සංස්කෘතික අරමුදල හිඳින තැනට වැඩකටයුතු සිදුකර ඇති බව මෙකී වාර්තාව හරහා තහවුරු වෙයි.

කිසිම දැක්මක් වැඩපිළිවෙළක් නෑ !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයකු ලෙස කොතරම් අසාර්ථක ද සහ වගකීම් විරහිතව කටයුතු කර ඇති බව මේ වාර්තාව හරහා ඔප්පු කර ඇති බවය.

විෂය භාර අමාත්‍යවරයා ලෙස වගකීම නිසිලෙස ඉටුකිරීම වෙනුවට තමන්ගේ පෞද්ගලික දේශපාලන ව්‍යාපෘතිය වෙත අවධානය යොමුකර ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි .

එමෙන්ම නිසි දැක්මක් වැඩපිළිවෙළක් තිබුණේ නම් මේ ආකාරයට කටයුතු කිරීමක් කොහෙත්ම සිදුනොවන බවත් විගණන වාර්තාව අනුව ඊළඟ රාජ්‍ය නායකයා ලෙස නොව අවම වශයෙන් රාජ්‍ය අමාත්‍යවරයකු වීමට තරම්වත් දේශපාලන පරිණතභාවයක් පෙන්නුම් කර නොමැති බවත් දේශපාලන විචාරකයන් ගේ අවධාරණය වී තිබේ.

මුදාගත් අරලිය ගහ මන්දිරයේ : පළමු උත්සවය සූදානම් !

අරගලකරුවන් වෙතින් යළි අත්පත් කරගැනීමෙන් පසුව අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන පළමු උත්සවය ලෙස ලෝක ජනාවාස දින ජාතික සැමරැම සංවිධානය කර ඇත .

එම උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් හෙට (03) පැවැත්වෙයි.

“වෙනසක් නොකරමු, කිසිවකු හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු” යන්න එහි තේමාවයි.

සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පළමු සඳුදා දිනයේදී ලෝක ජනාවාස දිනය සමරන අතර මෙවර පැවැත්වෙන්නේ එහි 36 වැනි සැමරුමයි.

ලෝක ජනාවාස දින සැමරැමට සමඟාමීව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එක්ව නාගරික ජනාවාසවල ජනතාව වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ළමා චිත්‍ර, කෙටි චිත්‍රපට හා ගෙවතු වගා තරඟවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රධානය කිරීම මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස හිමිකම් ඔප්පු ප්‍රධානයක්ද මෙහිදී සිදුවේ.

‍නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන , අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනෙහි මෙරට ප්‍රධානී ලක්ෂ්මන් පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක් නෑ !

රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් අඩක් පමණක් ගෙවන බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි .

රාජ්‍ය සේවකයින්ට වැටුපෙන් අඩක් පමණක් ඉදිරියේදී ගෙවන බවට ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

 

ජපන් සැහැල්ලු දුම්රිය නැවැත්වීම ගැන : විශේෂ විගණන පරීක්ෂණයක් !

ජපානයේ සහාය මත ක්‍රියාත්මක වෙමින් පැවැති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ඒකපාර්ශ්වීය අවසන් කිරීම පිළිබඳ විගණකාධිපතිවරවයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි .

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න සඳහන් කර සිටියේ කඩිනමින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ජපන් තාක්ෂණය භාවිත කරමින් කිලෝමීටර් 15.7ක දුම්රිය ස්ථාන 16ක් ඇතුළත් කර ඉදිකිරීමට නිමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, අගනුවර තදබදයට ලාභදායී විසඳුමක්, නොවන බව පවසමින් අහෝසි කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කරනු ලැබුවේය.

අධි ආරක්ෂක කළාප ගැසට් නිවේදනය : අවලංගුයි !

කොළඹ ප්‍රදේශයේ මර්මස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (01) සිට අවලංගු කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් මෙම අවලංගු කිරීම කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි .

rahas gasset

මවුපියන්ගෙන් අනවශ්‍ය ලෙස මුදල් එකතු කිරීමට වැටක් !

අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරන පාසල් ගාස්තු හැර ළමා, ගුරු ඇතුළු විවිධ දින මූලික කරගත් උත්සව සඳහා මවුපියන්ගෙන් මුදල් එකතු කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ පාසල් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇත .

පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් 2015/5 චක්‍රලේඛය නිකුත් කර ඇති බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා මවුපියන් දැඩි ආර්ථික අපහසුතා මැද සිටින අවස්ථාවක ඔවුන් මත අනවශ්‍ය බර පටවමින් කටයුතු නොකිරීමට විශේෂයෙන් විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බවද ප්‍රකාශ කර තිබේ.

පාසල් දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් විවිධ ආකාරයේ මුදල් ඇයි කිරීමේ සිද්ධීන් ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල තොරතුරු අනාවරණය කෙරිණ.

අසූචි පොහොර එවූ චීන සමාගම අසාධූ ලේඛනයට : කෝටි 138 පාඩුවට නඩු !

ආන්දෝලනාත්මක චීන පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් එකසිය තිස්අට කෝටි විසි ලක්ෂයක් පාඩුවී ඇති බව හෙළිකරන විගණකාධිපතිවරයා අදාළ ගනුදෙනුවට සම්බන්ධ සියලු දෙනාට නඩු පවරා එම පාඩුව පියවාගෙන චීන කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ලංකාව තුළ අසාධූ ලේඛනගත කරන්නැයි නිර්දේශ කර තිබේ.

පසුගිය මහ කන්නයේ මෙරටට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් චීනයේ කින්ඩාඕ සමාගමෙන් ආනයනය කිරීමේ ගනුදෙනුව පිළිබඳ සිදුකළ විශේෂ විගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් විගණකාධිපතිවරයා මෙම නිර්දේශය සිදුකර ඇත.

රසායනික පොහොර රට තුළ තහනම් කිරීමෙන් අනතුරුව කාබනික පොහොර නිෂ්පාදනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය රජය චීනයේ කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගමෙන් මෙම කාබනික පොහොර තොගය ආනයනය කිරීමට පියවර ගෙන තිබිණි.

මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බැවින් ශ්‍රී ලංකාවට නොගැළපෙන පොහොර බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කළ විශේෂ කමිටුවක් හරහා ලබාදුන් නිර්දේශ මත අදාළ කාබනික පොහොර තොගය ආනයන කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට රජයේ පොහොර සමාගම් දෙක කටයුතු කර ඇති අයුරු විගණනය වාර්තාව පෙන්වා දෙයි.

අනතුරුව ටොන් 20,550කින් යුත් චීන කාබනික පොහොර කොළඹ වරායට ගොඩබෑමට උත්සාහ කළද එය ශාක නිරෝධායන නීතියට පටහැනි බැවින් මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ අතර, ඒ ගනුදෙනුව මුල්කරගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ ගෙන ගිය නඩුකරය සමථයකට පත්වී ඇත්තේ සමස්ත නැවේ පිරිවැයෙන් 75%ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට රජය කටයුතු කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව, මෙම ගනුදෙනුව හරහා රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

අත්තිකාරම් ගෙවීම සිදුකර ඇත්තේ කිසිදු සුරක්ෂිතයකින් තොරව බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙස නිර්දේශ කරන විගණකාධිපතිවරයා යෝජනා කර සිටින්නේ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුව සහ ගිවිසුමට අනුව ක්‍රියා නොකිරීම නිසා සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙසයි.

lankasara

සජිත් අගමැති ධූරය ප්‍රතිකේෂ්ප කළ හේතුව සංශෝධනය වෙයි !

අරගලය අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සිදුකළ ආරාධනය ප්‍රතිකේෂ්ප කළ හේතුව සංශෝධනය වී ඇත.

ඒ සමගි ජන බලවේගය විසින් පැවැත්වූ ජන හමුවක් අමතමින් ඔහු මෙසේ සංශෝධනය කළ හේතුව දක්වා තිබේ.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ , "තමන්ට අගමැති ධූරය බාරගන්න ආරාධනා කොට එම කණ්ඩායම බලාපොරොත්තු වුනේ දින කිහිපයකින් පසු විශ්වාසභංගයක් ගෙන විත් තම දේශපාලන ජීවිතය අවසන් කර දැමීම" බවය.

තමන් මේ බව තේරුම් නොගැනීමට තරම් දේශපාලනය අපරිණත අයෙකු නොවන බවත් එවන් ලොසිංජර වලට තමන් නොරැවටෙන බවත් විපක්ෂ නායකවරයා පවසයි .

ආණ්ඩුවට වැඩක් කරන්නට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කොට ඇති බවත් එවන් ආණ්ඩුවෙන් තමා ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙසට බවත් ඔහු පවසයි .

පුරවැසියන් විසින් දියත් කළ අරගලය හේතුවෙන් හිටපු මුදල් ඇමති, හිටපු අගමැති සහ හිටපු ජනාධිපති පිළිවෙලින් ගෙදර ගිය බවත් ඒ වෙනුවට උපක්‍රමශීලීව පොහොට්ටුවේ නායකයන් විසින් තමන්ට හිතවත් වර්තමාන ජනාධිපතිවරයා පත්කර සිටින බවද විපක්ෂනායකවරයා තව දුරටත් කියා ඇත .

හොරු එක්ක හිටගන්න බෑ !

කෙසේ වුවත් මීට පෙර විපක්ෂ නායකවරයා පවසා සිටියේ හොරු සමග හිටගන්න ඇති බලවත් අකමැත්ත නිසා අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවය.

පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අරගල නායිකාවක් ලෙස පෙනීසිටි රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න ද ඒ බව තහවුරු කළාය.

කෙසේ වුවත් මේ වන විට එකී ස්ථාවරය සංශෝධනය වී තිබේ.

මේ හමුවේ ඉතිරිවන ප්‍රශ්නය නම් , අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමට සූදානම් වන බව දැනගෙන තමන්ද අගමැති ධූරය ලබාගන්නට සූදානම් බව දැනුම්දීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නියෝජිතයන් යවනු ලැබුවේ, විශ්වාසභංගයෙන් පරාජය කිරීමේ සූදානම ගැන නොදැනද යන්නයි.

 

ලංකා IOC සමාගමත් පෙට්‍රල් මිල පහළ දමයි !

ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසයි .

ඒ අනුව, ලංකා IOC සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 410.00 ක් ලෙස සඳහන් වෙයි.

එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීරටයක මිල රුපියල් 30කින් පහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රු. 510.00 ක් වෙයි.

සෙසු ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවත් ලංකා IOC සමාගම පවසයි .

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් මිල පහත දැමූ ලෙස ලංකා IOC සමාගමත් කටයුතු කර ඇත .

පෙට්‍රල් මිල පහළට !

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් හා පහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 410.00 ක් වශයෙනි .

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීරටයක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 510.00 ක් වශයෙනි .

ඩීසල් හා සෙසු ඉන්ධන වර්ගවල මිල වෙනස් වීමක් සිදුව නැත.

මීට අදාළ නිවේදනය පහත දැක්වෙයි .

IMG 20221001 WA0004

කොසු මිටි ප්‍රහාරය ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළා දකී

විදුහල්පතිවරයකු සිය පාසලේ සිසුවියකට පහරදීම දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් දැඩි ලෙස හෙළා දැක තිබේ.

ලංකා ගුරු සංගමය පවසන්නේ චෝදනා ලබන නුවරඑළිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිගේ ක්‍රියාව සමස්ත ගුරු හා විදුහල්පතිවරුන්ට කැළලක් ඇති කිරීමට හේතු වන බවයි.

නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල, බෝගහවත්ත සිංහල මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකට විදුහල්පති විසින් කොසු මිටකින් පහර දිම නිසා තුවාල සිදු ලැබු සිසුවිය සැප්තැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා කොටගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී ශාවිත්‍රි ශර්මා පවසයි.

පාසලේ පැවැත්විමට නියමිත ගුරු උපහාර උළෙලක් සදහා රුපියල් 300 ක මුදලක් එම පාසලේම අධ්‍යපනය ලබන තම සහෝදරයා විසින් නොගෙවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා තම සහෝදරයාට පරුෂ වචනයෙන් බැන වදින අවස්ථාවේ තමන් ," සර් මල්ලිට බනින්න එපා. තාත්තා මේ ලග වැඩ කරන්නේ. මම තාත්තට කියලා සල්ලි ඉල්ලා දෙන්නම්," යි කී අවස්ථාවේ විදුහල්පතිවරයා තමන්ට පන්න පන්නා අමානුෂික ලෙස කොසු මිටකින් පහර දුන් බව සිසුවිය පවසා තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ රටේ පවතින ආර්ථික තත්වය හමුවේ ඇතැම් ගුරුවරුන් තම නිවසින් ආහාර ගෙනවිත් පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් කටයුතු කරන මොහොතක ඉහත විදුහල්පතිගේ ක්‍රියාව සමස්ත ගුරු හා විදුහල්පතිවරුන්ට කැලලක් ඇති කිරීමට හේතු වු බවයි.

පාසල් සිසුන්ගෙන් මුදල් අය කිරීම් සිදු කළ නොහැකි බවට චක්‍රලේඛ නිකුත් කර තිබියදීත් රජය සිසුන්ගෙන් මුදල් අය කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවට චෝදනා කරන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායක ඉල්ලා සිටින්නේ, පාසල් සිසුන්ගෙන් මුදල් අයකරගැනීමට කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

පාසල් දරුවන්ට ශාරීරික හා මානසික දඩුවම් පැමිණවීම සිදු නොකළ යුතු බවට නිකුත් කර තිබෙන චක්‍රලේඛ පවා නොතකා හරිමින් සිදු කරන මෙවැනි පහරදීම් සංගමයක් වශයෙන් දැඩි ලෙස හෙළා දකින බවයි ලංකා ගුරු සංගමය වැඩි දුරටත් පවසයි.

රටේ පාසල්වල විදුහල්පතිවරුන් මීට වඩා ඉදිරිගාමීව කටයුතු කළ යුතු බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් වැඩි දුරටත් අවධාරණය කරයි.

දරුවන්ට සහ වැඩිහිටියන්ට සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වීමට අවසර..

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් අද (01) දිනයේ ළමුන්ට හා වැඩිහිටියන්ට සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වීමට අවසර ලබා දී ඇතැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වී විනෝද වීමට අවස්ථාව සලසන්නැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි.

සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීම සඳහා අධ්‍යාපනික වැඩසටහන් රැසක්ද එහි සංවිධානය කර තිබේ.

 වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී බව අමාත්‍යයා වැඩිදුරටත් පවසා සිටී. 

 

ගෝඨාභය යළිත් ජනාධිපති කරන්න : ජවිපෙ වසන්තගෙන් තර්කයක් !

අරගලය වැරදි නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත්ව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් ජනාධිපති විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි.

එමෙන්ම දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කල යුතු බවද ඔහු පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මේ අදහස් දක්වා සිටියේ අනුරාධපුර පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටියේ අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් සත්‍ය වශයෙන්ම පුනරුත්ථාපනය කළ යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් බවත්ය.

 

ඔක්තෝබර් අග දේශපාලන සුනාමියක් : හිරුණිකාගෙන් අනාවැකියක් !

මෙම ඔක්තොබර් මස අවසාන වන විට දේශපාලන සුනාමියක් නැවත පැමිණෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

එම ජන සුනාමිය විසින් දූෂිත දේශපාලඥයන් මුලිනුපුටා දමනු ඇතැයි ද ඇය සඳහන් කරයි.

හිටපු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අත්වූ ඉරණම ජන සුනාමිය විසින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහටත් අත්වනු ඇතැයිද ඇය පැවසුවාය.

පැවැති අරගලයට පාරට බැස්සේ මධ්‍යම පාන්තික ජනතාව වුවත් ඊළඟ අදියරේ පෙරමුණ ගන්නේ දුප්පත් ජනතාව බවද ඇය සදහන් කලාය.

ජාතික කාලගුණික සැලැස්ම සංවර්ධනයට දායක කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් !

ජාතික කාලගුණික සැලැස්ම මෙරට සංවර්ධනයට දායක කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

“කාලගුණික අවදානම් සංසදයේ” උපදේශිකාවන් වන සාරා ජේන් අහම්ඩ් (Sara jane ahmed) සහ මිනියෙට් ෆැබ්බිනා (Miniyat fabbiha) ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවේ දී ඊට අදාළ දළ සැලැස්ම ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරිණි.

පරිසර අමාත්‍යාංශය මූලික කරගනිමින්, වාරිමාර්ග හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර මෙන්ම මේ සඳහා බලපාන සියලුම ක්ෂේත්‍රවල විභවතාවයන් හඳුනා ගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන සැලසුම්වලට ජාතික දේශගුණික සැලැස්ම ද දායක කර ගෙන ව්‍යාපෘතී සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

ලංකාවේ ණය අර්බුදය විසඳාගැනීමට පූර්ණ සහය : ජපාන මුදල් ඇමතිගෙන් ජාත්‍යන්තරයට සහතිකයක් !

ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදයට ජපානය පාර්ශවයෙන් සහාය ලබා දීමට සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ජපාන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ මහ බැංකු අධිපතිවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජපාන මුදල් අමාත්‍යවරයාගේ මේ අදහස් දැක්වීම ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වීමත් විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා වල තවදුරටත් සඳහන්ට වන්නේ, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළකර ඇති අතර, මෙම ණය අර්බුදය විසඳීමට මිත්‍ර රාජ්‍ය සමඟ පැවැත්වූ සාකච්ඡාවටයක ප්‍රතිඵලයක් ලෙස ජපානයේ සහයෝගය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා සමත්ව ඇති බවය,

කෙසේවෙතත්, චීනය, ඉන්දියාව ඇතුළු අනෙකුත් ණයහිමි රාජ්‍යවල සහාය ද මේ සඳහා හිමිවිය යුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එමෙන්ම, මෙම සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකාව විසින් ලබා දිය යුතු බවත් ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇති අතර, අනෙකුත් ණයහිමි රාජ්‍යවල සහයෝගය ද මේ සඳහා ලබා ගැනීම ශ්‍රී ලංකාව විසින්ම කටයුතු කළ යුතුව ඇති බව ද පෙන්වා දී තිබේ.

එය මෙම ක්‍රියාවලියේ පාරදෘෂ්‍යභාවයට වැදගත් වන බවත් ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි අවධාරණය කර ඇත.

හිටපු ජනපතිගෙන් රීට් පෙත්සමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අභියාචානාධිකරණය හමුවේ රීට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ.

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියමින් තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවරා ඇති අපරාධ පැමිණිල්ල බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙලෙස රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

එමෙන්ම එම පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ එහි රෙජිස්ට්‍රාර්වරිය නම් කරනු ලැබ ඇත.

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්කවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නොතීසි නිකුත් කළේ ඉකුත් 16 වැනිදාය.

Page 284 of 474