V2025

පුවත්

දේශපාලන සංස්කෘතියේ රැඩිකල් වෙනසක් : ජයසූරිය වාර්තාව රනිල්ගෙන් පාර්ලිමේන්තුවට !

ආර්ථික වැඩපිළිවෙළට සමාන්තරව  රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය බවත්  එවැනි නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරලීමට ආංශික කාරක සභා ක්‍රමය බලවත් කරලීමේ වැඩපිළිවෙල ඉතා ශක්තිමත් පදනමක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .
 
අග්‍රාමාත්‍යවරයා මේ බව අද (06) පාර්ලිමේන්තුවේදී  පවසා සිටියේ අධීක්ෂණ ආංශික කාරක සභා බලවත් හා ශක්තිමත් කරන වැඩ පිළිවෙළක් වෙනුවෙන් වූ හිටපු කථානායක කරූ ජයසූරිය වාර්තාව සභාගත කරමිනි.
 
යෝජිත අධීක්ෂණ ආංශික කාරක සභා මගින් ප්‍රධාන අරමුණු හතරක් ඉටු  කරගැනීමට  බලාපොරොත්තු  වන බවත් ඒ වෙනුවෙන් අධීක්ෂණ ආංශික කාරක සභා 16 ක් යෝජනා කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය .
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි .
 
 
අද අපේ රට ඇද වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමේ දී මූලික  අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථිකය යළි ස්ථාවර කිරීමට. 
 
ඉන් පසුව නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට. මේ කටයුතු දැන් අපි සැලසුම් සහගතව ඉටු කර ගෙන යනවා.
 
ආර්ථික වැඩපිළිවෙලට සමාන්තරව අපි තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු බව මම අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. 
 
මේ අවස්ථාවේ හැකි පමණින් දේශපාලන  ප්‍රතිසංස්කරණ ගණනාවක් අප කළ යුතුයි. ඒ වැදගත් තැනක් හිමි වන්නේ පාර්ලිමේන්තුව යළිත් ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ආයතන දේශපාලනීකරණයෙන් මුදා ගැනීම. 22 වැනි සංශෝධනය එක් පියවරක්.  පාර්ලිමේන්තු ආංශික  කාරක සභා බලවත් කරලීම තවත් පියවරක්.
 
නිදහසට කලින් අපේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වුණු අධීක්ෂණ ආංශික කාරක සභා ක්‍රමය යළි බල ගැන්විය යුතු බව මම මීට කලින් අවස්ථා ගණනාවකදී අවධාරණය කර තියෙනවා. 
 
මේ ක්‍රමය යටතේ  පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මුළු මහත් පාර්ලිමේන්තුවම ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජ්‍ය පාලනය සඳහා දායක වෙනවා.
 
 
අපේ රටේ මේ දක්වා වර්ධනය වූ දේශපාලන සංස්කෘතිය මේ ක්‍රමය ඔස්සේ සම්පූර්ණ වෙනසකට ලක් වෙනවා. වර්තමානයේ අපි  ඡන්ද කාලයේදී පක්ෂ වශයෙන් බෙදෙනවා. පාර්ලිමේන්තුවට පැමිණියාට පස්සේත්  බෙදිල්ල තව තවත් වර්ධනය කරනවා. ආණ්ඩුව අණ පණත් ගෙන එනවා. ප්‍රතිපත්ති සම්පාදනය කරනවා . රාජ්‍ය පාලනය කරගෙන යනවා.  විපක්ෂය ඒවාට බොහෝ අවස්ථාවල විරුද්ධ වෙනවා.   රාජ්‍ය පාලනයට හා රාජ්‍ය පාලනය සම්බන්ධ  ප්‍රතිපත්ති සකස් කිරීමට එක් වීමේ ඉඩකඩක් විපක්ෂයට නෑ.
 
මේ කමිටු ක්‍රමයේදී  රජයට සිද්ධ වෙනවා තනි මතයෙන් බැහැර වෙලා පොදු මතයකට එළැඹෙන්න. විපක්ෂයට සිද්ධ වෙනවා විවේචනයට සීමා නොවී , විසඳුම් සෙවීමට දායකවෙන්න.
 
අද අපේ රටේ වැටී තියන තත්ත්වයෙන් ගොඩ එන්න නම් , පාර්ලිමේන්තුව තුළ මෙන්ම මේ විදිහේ වෙනසක්  සිදුවිය    යුතුයි. කවුරු බලයේ සිටියත්,  කවුරු විපක්ෂයේ සිටියත්, රට ගොඩ නැංවීමේ ක්‍රියාවලිට මුළු පාර්ලිමේන්තුවම එක ලෙස සම්මාදම් විය යුතුයි.
 
මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු බොහොමයක් ඉල්ලා සිටියා. විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරු.  අමාත්‍යාංශ කාර්ය භාරයක් නොමැති ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු වගේම විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුනුත්, රට ගොඩ නැංවීමේ වෑයමට සාමූහික දායකත්වයක් ලබා දීමේ වැදගත්කම ගැන වරින් වර අදහස් පළ කර තියෙනවා.
 
ඔන්න ඔය පසුබිමේ තමයි, අධීක්ෂණ ආංශික කාරක සභා බලවත් හා ශක්තිමත් කරන වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස මම හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ.
කරු ජයසූරිය මහතාගේ වාර්තාව අද  අපි පාර්ලිමේන්තුවට ලබා දෙනවා.  ඒ වාර්තාව අධ්‍යයනය කර,  සාකච්ඡා කර ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට මම මේ මුළු  පාර්ලිමේන්තුවේම සහයෝගය අපේක්ෂා කරනවා.
 
මම අවස්ථා කීපයකදීම මේ පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළ වැදගත් කරුණක් නැවතත් සිහිපත් කරන්න කැමතියි. මේ අර්බුදකාරී අවස්ථාවේ අප සියල්ලන්ගේම වග වගකීම හා යුතුකම වන්නේ,  අතීතය පාරමින් සිටීම නෙවෙයි.  මේ අර්බුදයෙන් ගොඩ ඒම උදෙසා ශක්ති ප්‍රමාණයෙන් සහය වීමයි.
 
අපේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි.  එවැනි නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරලීමට  මේ ආංශික කාරක සභා ක්‍රමය බලවත් කරලීමේ වැඩපිළිවෙල ඉතා ශක්තිමත් පදනමක් වෙන බව මගේ විශ්වාසයයි.
 
යෝජිත අධීක්ෂණ ආංශික කාරක සභා මගින් අපි ප්‍රධාන අරමුණු හතරක් ඉටු  කරගැනීමට  බලාපොරොත්තු වෙනවා.
1. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ප්‍රජාවට සහ පවුල්වලට සහනයක් ලබා දීම.
2. රටත්, රටේ ව්‍යවසායනුත් යළිත් ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් කිරීම.
3. ජනතාව සහ සමස්ත සමාජයම සුවපත් කිරීම.
4. ඉහත තුන් වැදෑරුම් ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ක්‍රමවේදයන් පුනර්ජීවනය කිරීම.
 
මෙන්ම මේ කරුණු මුදුන්පත් කරගැනීම උදෙසා අධීක්ෂණ ආංශික කාරක සභා දහසයක් බලගැන්වීමට මේ වාර්තාවෙන් යෝජනා කරනවා.
 
1. ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ කමිටුව.
 
2.  බලශක්ති සහ ප්‍රවාහන කමිටුව.
 
3. ආහාර සුරක්ෂිතතා සහ කෘෂිකර්ම කමිටුව.
 
4.  භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ අපනයනය ඉහළ නැංවීමේ කමිටුව.
 
5. අධ්‍යාපන කමිටුව.
 
6. සෞඛ්‍ය කමිටුව.
 
7. විවෘත සහ වගකියන්න රාජ්‍ය සේවකයන් සඳහා වූ කමිටුව.
 
8. ජාත්‍යන්තර සබඳතා කමිටුව.
 
9. ජාතික ආරක්ෂාව සඳහා වූ කමිටුව.
 
10. විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ වූ කමිටුව.
 
11. යුක්තිය හා නීති ගරුක සමාජයක් පිළිබඳ කමිටුව.
 
12. පරිසර ,ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධන කමිටුව.
 
13. මාධ්‍යය, තාරුණ්‍යය, ජාතික උරුමය හා නව පුරවැසියා පිළිබඳ කමිටුව.
 
14. සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ කමිටුව.
 
 15. ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කමිටුව.
 
16. ජාතික ආර්ථික හා භෞතික සැලසුම්කරණ කමිටුව.
 
මේ කමිටු සඳහා මන්ත්‍රීවරුන් නොවන තරුණ තරුණියන් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ එක් කර ගැනීමේ වැදගත්කමත් කරු කරු ජයසූරිය වාර්තාව මගින් පෙන්වා දී තියෙනවා. මේ කරුණත් ඉතා වැදගත්. දේශපාලනයට සෘජුව සම්බන්ධ සම්බන්ධවීමට අකමැති තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අදහස් සහ යෝජනා රටේ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමේදී ලබා ගැනීමේ මාර්ගයක් මේ ඔස්සේ සැලසෙනවා.
 
ඒ වගේම විද්වතුන් හා විශේෂඥ උපදෙස් ලබා ගැනීමේ අවකාශ වාර්තාව මගින් යෝජනා කර තියෙනවා.
 
මේ අනුව අධීක්ෂණ ආංශික කාරක සභා ක්‍රමය මගින්, මුළු පාර්ලිමේන්තුවම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට නැංවීමේ ක්‍රියාවලියට එක් වෙනවා. ඒ වගේම තරුණ ප්‍රජාවත්, විද්වතුන් හා විශේෂඥයිනුත් මේ කමිටුවලට සහභාගි කරවා ගන්නවා.
 
මේ  ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් එක අතකින් අපේ දේශපාලන සංස්කෘතියේ  දැවැන්ත වෙනසක් ඇති වෙනවා. අනික් අතින් රටේ අනාගතය ගොඩ නැංවීමට විශාල රුකුලක් ඇතිවෙනවා. සංවර්ධිත ශ්‍රී ලංකාවක් බිහිකරලීමේ  අරමුණට සවිමත් පදනමක් ගොඩ නැංවෙනවා.  සැබෑ සිස්ටම් චේන්ජ්  එකකට මුල පිරෙනවා.
ඉතින් මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ මෙම වාර්තාව අධ්‍යයනය කර, ඔබේ සාධනීය අදහස් හා යෝජනා ද ඊට එක් කරන ලෙසයි. අපි ඉතාමත් කඩිනමින්, හදිසි කාර්යයක් සේ සලකා මේ අධීක්ෂණ ආංශික කමිටු ස්ථාපිත  කරමු . බලගන්වමු.  නව දේශපාලන සංස්කෘතියකට පදනම දමමු.

ආණ්ඩුව ලේ වැනි කුමන්ත්‍රණයක : අනුරගෙන් බරපතළ චෝදනාවක් !

ආණ්ඩුව බියගුළු ලේ වැකි කුමන්ත්‍රණ වලට සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරයි.
 
අද (06) ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙසේ චෝදනා නැගීය.
 
මේ වන විට බෝම්බ බැඳගෙන ජනාධිපති මන්දිරය වටලන්න ජවිපෙ උපදෙස් නිකුත්කර ඇති ආකාරයට වීඩියෝ පවා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත් ඔහු පැවසීය .
 
අදාළ මාධ්‍ය හමුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක දැක්වූ අදහස් පහත දැක්වෙයි .
 
09 වැනිදා උද්ඝෝෂණයට සහය දෙනවා !
 
ආණ්ඩුවේ අසමත්කම නිසා එය පළවා හැරීමේ විශාල උද්ඝෝෂණයක් ගෝල්ෆේස් පිටිය පදනම් කරගෙන 09වැනිදා සූදනම් කර තිබෙනවා. ඒ සඳහා අපි පොදු ජනතාවට සහාය වෙමින් මැදිහත් වෙනවා. ආණ්ඩුව ජනතා නැගිටීම්වලට මුහුණ දෙන්නේ පොලිසිය, හමුදාව යොදවා අමානුෂික ලෙස පහර දී, එළවා දැමීම, බියවැද්දීම වැනි ක්‍රියාමාර්ගවලිනුයි. ඊට අමතරව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වටා අතුරු බලකායක් ගොඩනැගීමට තීන්දු කර තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ අණ පිළිපදින ග්‍රාම ආරක්ෂකයින් පස්දෙනෙක් ඔවුන් වෙත යොදවන්න තීරණය කර තිබෙනවා. 
 
පොලිස්පති ගේ ලියුම !
 
මේ කරුණු දෙකට අමතරව තුන්වෙනුව පසුගිය 27වැනිදා පොලිස්පති විසින් ආරක්ෂක ලේකම් වෙත යවන ලද ලිපියෙන් 05, 06 දෙදින පවත්වන කළුකොටි සැමරුම ඉලක්ක කරගෙන උතුරේ සහ දකුණේ බෝම්බ පිපිරවීමේ සැලසුමක් තිබෙන බවත්, එයට විදෙස් රහස් ඔත්තු සේවයත් කටයුතු කරමින් එල්.ටී.ටී.ඊ.ය පිට පැටවීමට සූදානමක් තිබෙන බවත්, ලිඛිතව දැනුම්දී තිබෙනවා. ඊට අමතරව අපේ පක්ෂයත් තවත් පක්ෂයක් සඳහන් කරමින් මන්ත්‍රීවරුන්ට පහරදීම, දේපළවලට හානි කිරීමට සැලසුමක් තිබෙන බවත්, පොලිස්පතිවරයා ඒ ලිපියෙන් දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මා මීට පෙර මාධ්‍ය හමුවේත්, 05වැනිදා පාර්ලිමේන්තුවේදීත් විශේෂයෙන් කරුණු දැක්වූවා.
 
 පොලිස්පතිවරයා මේ ලිපියට පදනම් කරගත් කරුණු රටට හෙළි කළ යුතුයි. මේ ලිපිය පොලිස්පතිවරයාගේ හිතළුවක්ද? නැත්නම් ආණ්ඩුව විසින් පොලිස්පතිවරයාට දැනුම්දීමේ ප්‍රතිඵලයක්ද? මෙවැනි ව්‍යාජ, භයානක ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් පිළිබඳව සම්පූර්ණයෙන් වගකියන්න ඕනෑ. 
 
භයානක බෝම්බ වීඩියෝවක් !
 
මේ සියලු කරුණුවලට වඩා ඉතාමත් භයානක වීඩියෝ පටයක් 05වැනිදා සිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. එහි තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ යම් කෙනෙක් පක්ෂයේ සාමාජිකයන්ට පෙට්‍රල් බෝම්බයක් සකස් කරන ආකාරය පිළිබඳව උපදෙස් දීමයි. 09වැනිදාට එම බෝම්බ ශරීරයේ බැඳගෙන ජනාධිපති කාර්යාලය වටලන ලෙසත් ජනාධිපතිවරයා පළවා හරින ලෙස මාගේ උපදෙස් ලැබී තිබෙන බවත්, ජනාධිපති පළවා හැරීමෙන් අනතුරුව මාව ජනාධිපති ධුරයට පත්කරන බවත් සටහන් වී තිබෙනවා. 
 
බෝම්බ වීඩියෝව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් !
 
මෙය අතිශය භයානක නිර්මාණයක්. ජනතා නැගිටීම් බෝම්බ ප්‍රහාරයන් දක්වා වර්ධනය වීමේ සැලසුම් තිබෙන බව, ඝාතනය කිරීමේ සැලසුම් තිබෙන බව සහ ජනතා විමුක්ති පෙරමුණ ඒවා මෙහෙයවන බවට සමාජයට පණිවිඩයක් දීමේ අරමුණ මේ වීඩියෝ පටයේ තිබෙනවා. දැන් තාක්ෂණය ඉහළයි. ආණ්ඩුව වහාම මේ වීඩියෝව නිර්මාණය කළේ කවුද, එය සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් කළේ කවුද කියලා පරීක්ෂණවලින් සොයාගත යුතුයි. ඊයේම මම පොලිසිය භාර අමාත්‍යවරයාට කතාකොට මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියා. 
 
අද දිනයේ අපේ නීතීඥ කණ්ඩායම් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම වීඩියෝව භාරදෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර, වීඩියෝ නිර්මාණය කළේ කවුද? හඬ කාගේද, සමාජ ජාලාවලට නිකුත් කළේ කවුද යන කරුණු රටට ඉදිරිපත් කළ යුතුයි.
 
 ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ භයානක බියගුලු, ලේ වැකි කුමන්ත්‍රණයකටයි. ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන පාලකයන් සමහර අවස්ථාවල ලංකාවේ ලෝකයේ බොහෝ රටවලත් පාලකයන් මෙවැනි ලේ වැකි කුමන්ත්‍රණ සිදුකර තිබෙනවා. ජනතාවගේ සාධාරණ නැගිටීම් බියගන්වන්න කුමන්ත්‍රණකාරී ලෙසත් අවලාදකාරී ලෙසත් දේශපාලන ව්‍යාපාරවලට එරෙහිව සැලසුම් සහගත ක්‍රියාමාර්ග දියත් කරනවා. පොලිස්පතිවරයාගේ මෙම ලිපියත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ආයුධ ඉල්ලීමත්, මේ වීඩියෝ පටයත් තුළින් එවැනි කුමන්ත්‍රණයක් පිළිබඳ බරපතළ සැකයක් මතුවෙනවා. 
 
කෙටි කාලයකින් පුළුල් විමර්ශනයක් කර සියල්ල හෙළිදරව් කරන්න !
 
කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කොට අදාළ කරුණු සියල්ල රටට හෙළිදරව් කළ යුතුයි. ජනාධිපතිවරයාට විරුද්ධව කුඩා පෝස්ට් එකක් දැම්මත් එක රැයෙන් තරුණයන්ව අත්අඩංගුවට ගත් අවස්ථා තිබුණා. කුඩා හඬ පටයක් සම්බන්ධයෙන් බියවද්දා අත්අඩංවට ගත් අවස්ථා තිබුණා. මෙම වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු සොයාගත නොහැකි වුණොත් එය ආණ්ඩුවේ වැඩක් බවට අපට සාධාරණ සැකයක් මතුවෙනවා. ගෝඨාභය-රනිල් විකෘති කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් බව තහවුරු වෙනවා.  මෙය ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් නොවේ නම්, කවුරු විසින් නිර්මාණය කර, සමාජ ජාලාවලට නිකුත් කලේද යන්න රටට හෙළිකළ යුතුයි. ගෝඨාභයගේ ආණ්ඩුවට අපි කියන්නේ මෙවැනි විහිළුකාරී මාරාන්තික දේවල්වලින් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට උත්තර දෙන්න එපා කියලයි. මෙවැනි බියගුලු ක්‍රියා හරහා ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගන්න, ව්‍යාජ චිත්‍රයක් නිර්මාණය කරන්න, ගොඩනැගෙමින් තිබෙන ජනතා විශ්වාසය පළුදු කරන්න උත්සාහ කරනවා නම් එය අසාර්ථක උත්සාහයක් බව ගෝඨාභය තේරුම්ගත යුතුයි. 
 
මාධ්‍ය අහපු ප්‍රශ්නය !
 
ප්‍රශ්නය:-
වීඩියෝව නිකුත් කිරීමට අදාළ යම් තොරතුරු ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවාද? 
 
පිළිතුරු:-
ඔව්. ඒ සම්බන්ධයෙන් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන්න සූදානම්

තෙල් ගන්න ණයක් ගන්න : ගෝඨාභයගෙන් පුටින්ට ඇමතුමක් !

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ තමන් අතර අද (06) දුරකථන සංවාදයක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි .

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීම සඳහා ණය ක්‍රමයක් ලබා දෙන ලෙසට තමන් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, මේ වන විට අත්හිටුවා ඇති ඒරෝෆ්ලෝට් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරන ලෙස ද රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇත .

ජනාධිපති ගෝඨාභය මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් සටහනක් තබමින්ය.

අතීතයේදී රුසියාව විසින් ශ්‍රී ලංකාවට සහය දැක්වූ කරුණු සම්බන්ධයෙන් තමන් ස්තුතිය පළකළ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත .

සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතිය වැනි අංශවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අපගේ ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛ වන කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කළ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

හිරුණිකා ඇතුළු 12කට පොලිස් ඇප

කොටුව ජනාධිපති මන්දිරය අසල පැවැත් වූ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  ඇතුළු 12 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වුණේ, ජනධිපතිවරයාට එරෙහිවයි.

පසුව පොලීසිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිස්ථානයට රැගෙන ගියේ ය.

ධම්මික කිපුණේ : රනිල්ගේ සූදු බදු සංශෝධන යෝජනාව නිසාද ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා අද(06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය

ඔහු මෙහිදී සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ආර්ථිකය ගොඩගැනීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බවයි.

එවැනි සැලැස්මක් තිබේ නම් තමා සමග විවාදයකට එන ලෙසත් ධම්මික පෙරේරා අමාත්‍යවරයා , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අභියෝග කළේය.

ධම්මිකගේ කිපුණේ ඇයි ?

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ ධම්මික පෙරේරා අමාත්‍යවරයකු වීමට පෙර අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයාව සිටි බව අමතක නොකළ යුතු බවයි .

පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන නියාමනය කිරීමට සහ ඒවායින් විධිමත් ලෙස නියමිත බදු අයකර ගැනීමට හැකිවන ආකාරයට සූදු බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් යෝජනාවක් ගෙන ආ බවත් ඔවුන් සිහිපත් කරයි.

මෙතෙක් කාලයක් සූදු බදු නිසි ලෙස රාජ්‍ය ආදායමට එක්නොවූ බවත් ඒ ආශ්‍රිතව බදු නොගෙවීම සම්බන්ධයෙන් පවා ව්‍යාපාරිකයන්ට චෝදනා ඇති බවත් ඔවුන් පවසයි .

එසේම මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ජනතා අවිශ්වාසය ගොඩනගන්න බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන ව්‍යාපෘතිය විය හැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි .

පසුගියදා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට සමුදුන් අතර ඔහු වෙනුවට පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තු පැමිණියේ ධම්මික පෙරේරා ය.

රනිල්ගේ යෝජනාව !

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඊට අනුව ,2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මඟින් ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන විධිවිධාන පනවා ඇත.

2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දිය යුතු නමුත්, එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට එකී පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැත.

එම තත්ත්වය යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකර ගැනීමට අපහසු වී තිබේ.

එබැවින්, එවැනි ව්‍යාපාර නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සුදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

 

ආණ්ඩුවට සැලැස්මකුත් නෑ : මට දෙන්නෙත් නෑ - ගොඩහේවා

ආන්ඩුවට සැලැස්මකුත් නෑ. සැලස්මක් ගැන කතාකරන්න අපිට ඉඩ දෙන්නෙත් නෑ ” ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය නාලක ගොඩහේවා කියයි.

ඔහු මෙසේ පවසා ඇත්තේ තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමිනි.

‘ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් උදේ කතාකරල මට කියනවා රටේ වත්මන් ආර්ථික අර්බූදය ගැන කතා කරන්න විනාඩි 3 යි දෙන්න පුලුවන් කියලා. විනාඩි 3 කින් මොනවද කියන්න පුළුවන්. එයාල වරු ගනන් කාලය දෙන අය මොනවද කියන රට හදන සැලැස්ම ?

ඊයේ අගමැති තුමා පාර්ලිමේන්තුවේ කල කතාවේ මම නම් දැක්කේ නෑ සැලැස්මක්. ආන්ඩුවට නිසි සැලැස්මක් නැති නිසා තමයි අද IMF එකත් පස්ස ගහන්නේ.

රජය කල යුතු, කල හැකි බොහෝ දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් රටේ ආදායම් හා වියදම් කලමණාකරනයේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය ගැන අගමැතිතුමා හෝ එකම කැබිනට් මන්ඩල සාමාජිකයෙක් විවෘතව කතා කරනවා මෙතෙක් මම අහලා නෑ.

පාර්ලිමේන්තුවේ COPE කමිටුවේ විමර්ශණයට ලක්වෙන රාජ්‍ය ආයතන 420 ක් පමන තිබෙනවා. මේ අතරින් මහා භාන්ඩාගාරය අඩුම ගානේ වාර්ෂිකව අධ්‍යයනයක් වත් කරන්නේ ආයතන 52 ක් ගැන පමනයි. ඔවුන් කියනවා මේ ආයතන 52 ක් උපායමාර්ගිකව වැදගත් කියලා. ඒ කියන්නේ ඉතුරු 370 ව උපායමාර්ගිකව කිසිම වැදගත් කමක් නෑ රජයට. ඒවා තියෙන නිසා පවත්වාගෙන යනවා. හැබැයි ඒවා නඩත්තු කරන්න වාර්ෂිකව මේ රටේ ජනතා මුදල් වියදම් කරනවා.

රාජ්‍ය ආයතන වෙනුවෙන් මේ රට විශාල ආයෝජනයන් කොට තිබෙනවා 2021 වන විට ලංකාවේ ප්‍රධානතම රාජය ආයතන 52 පමනක් සතුව තිබෙන සම්පත්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 12.437 එහෙමත් නැත්නම් බිලියන 12,437 ක්. කොටින්ම කියනවා නම් රජයේ අවුරුදු 12 ක විතර ආදායමට සමානයි මේ ආයතන 52 පමනක් තියෙන සම්පත්. මේ වගේම තවත් විශාල සම්පත් ප්‍රමාණයක් රජයේ ඉතුරු ආයතනත් ගත්තොත් තියෙනවා. දැන් අහන්න මේ හා විශාල සම්පත් ප්‍රමාණයක් කලමණාකරනය කරලා මේ රාජ්‍ය ආයතන රජයට වසරකට ගෙවන්නේ කීයද කියල. 2021 වසරේ ගෙවලා තියෙන්නේ රුපියල් බිලියන 30 යි. අර කොරෝනා කාලේ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දෙනකොට එකවරකට මේ බිලියන 30 ඉවර වෙනවා. ඊටත් වඩා වැදගත් කාරනේ තමයි මේ රාජ්‍ය ආයතන සියල්ල එකතු වෙලා රජයට රුපියල් බිලියන 30 ක් දෙන කොට රජය මේ ආයතන නඩත්තු කරන්න රුපියල් බිලියන 360 භාන්ඩාගාරයෙන් වියදම් කරලා තියෙනවා.

පෞද්ගලික අංශයේ ව්‍යාපාරක කරන කොට අපි return on investment ගැන කතා කරනවා. ඒ කියන්නේ ආයෝජනයට සාපේක්ශව ප්‍රතිලාබ. බැංකුවේ සල්ලි දාල අවුරුද්දට 15 ක් ගන්න පුලුවන්නම් ව්‍යාපාරය කරල අඩුගානේ 25% ක වත් ප්‍රතිලාබයක් තියෙන්න ඕනේ නේද. නමුත් මේ රජයේ ව්‍යාපාර වල return on investment කීයද ? බිලියන 12,000 ට බිලියන 30 කියන්නේ 0.25% ( සීයට දසම 25 යි)

මොන අපරාධයක්ද මේක . මොනවටද මේ ව්‍යාපාර තියන් ඉන්නේ ?

මම මුලින් කියපු රාජ්‍ය ආයතන 52 ක් අවුරුද්දකට 12 % ක ප්‍රතිලාබයක් රටට දුන්නා නම් ඒ කියන්නේ වසරකට රුපියල් බිලියන 1,400 ක්. ඒ කියන්නේ රාජ්‍ය ආදායම දෙගුන කරන්න පුළුවන් මේ උපායමාර්ගිකව වැදගත් කියන රාජ්‍ය ආයතන 52 නිසියාකාරව කලමණාකරනය කිරීමෙන් පමනක්.

ඉතුරු ආයතන 370 නම් තියාගෙන ඉදලා කිසිම වැඩක් නෑ ඒවා අනිවාර්‍යයෙන්ම එක්කෝ වහලා දාන්න ඕනේ නැත්නම් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ.

මේ රාජ්‍ය ආයතනවල අති විශාල නාස්ති හා දූෂණයන්ද සිදුවන බව පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවේ නිතර ඔප්පු වෙනවා. මේ නිසා ලාබ ලබන ආයතනවලත් ඒ සම්පත්ම වඩා කාර්‍යක්ෂමව කලමනාකරණය කිරීමෙන් ඊට වඩා ආදායමක් ලබා ගන්නට බැරිද යන ප්‍රශ්ණය ඇසිය යුතුයි. පාඩු ලබනා ආයතන වලත් තත්වය එයමයි. මේ බොහෝ ආයතනවල ඇත්තේ කලමණාකාරීත්ව දුර්වල තාවයයි. රාජ්‍ය ආයතන වල 220,000 සේවකයෝ වැඩකරනවා. මේ අයගෙන් උපරිම ඵලදායිතාව ලබා ගන්න ආන්ඩුව වැඩ කරනවද . ඒ අයට හරි පුහුණුව ලබාදීලා, අතිරික්ත සේවකයන් ඉන්න තැන්වලින් සේවකයන් අඩු තැන් වලට මාරු කරලා, ඉලක්ක ලබා දීලා, නිසි සේවය අගය කරන්නත් බොරු කරන අයට අවස්ථා නොදෙන්නත් පුලුවන් සැලසුම් හදලා මේ ආයතන පාලනය කරන්න ඒ කලමණකාරීත්වයන්ට පුළුවන් වෙන්න ඕනේ.

ඒ නිසා සියල්ලටම පෙර මේ ආයතනවලට ලාබ ඉපයීම සඳහා පැහැදිලි ඉලක්ක ලබා දී ඒ සඳහා දක්ෂ කලමණාකරුවන් පත් කල යුතුයි. ඉලක්ක සපුරා නොගන්නා ආයතන වසා දමනු ලබන බව කල් තබා දැනුම් දී ප්‍රතිපල පෙන්වීමට ඒවාට නිශ්චිත කාල සීමාවක් ලබා දිය යුතුයි.

තව බොහෝ දේවල් තියෙනවා දැන් හරි කරන්න පටන් ගත යුතු.

– මාධ්‍ය ඒකකය

ඇමති නිමල් ඉල්ලා අස්වෙයි !

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කර තිබේ.

නම සඳහන් නොකරමින් ජපානයේ සමාගමක් වෙතින් අමාත්‍යවරයකු කොමිස් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී චෝදනාවක් එල්ල කළේය .

ඒ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බවත් වාර්තා වෙයි .

පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇති අතර ඊට අදාළ ලිපිය පහත දැක්වෙයි .

n1 large

හිරුණිකා ඇතුළු 09ක් අත්අඩංගුවට !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 09 දෙනෙක් කොටුව පොලීසිය අද (06) අත්අඩංගුවට ගෙන ඇත .

ඒ ඔවුන් ජනාධිපති මන්දිරය ආසන්නයේ ඔරලෝසු කනුව ළඟට පැමිණ විරෝධතාවයක නිරතව සිටියදීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ අත්අඩංගුවටගත් පිරිස අතර හිරුණිකා ප්‍රේ්මචන්ද්‍ර සමඟ කාන්තාවන් 05 දෙනෙක්ද පිරිමි පුද්ගලයින් 04 දෙනෙක්ද සිටින බවය.

නිමල් කැබිනට් අමාත්‍ය ධූරයෙන් දොට්ට !

ජපානයේ ටයිසෙයි නැමැති ආයතනයෙන් නැමති සමාගමෙන් කොමිස් ඉල්ලූ බවට මෙරට ජපන් තානාපති කාර්‍යාලය හරහා බරපතළ චෝදනාවකට ලක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද ( 06) අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීමට හෝ ඉල්ලා අස්වීමක් නිවේදනය කිරීමට නියමිතව ඇති බවය.

ටයිසෙයි සමාගම 1987 දී ආරම්භ කරන ලද ජපන් සමාගමකි.. එහි ප්‍රධාන ව්‍යාපාර ක්ෂේත්‍රයන් වන්නේ ගොඩනැඟිලි ඉදිකිරීම්, සිවිල් ඉංජිනේරු විද්‍යාව හා දේපළ වෙළඳාම් සංවර්ධනය ය.

2020 වසරේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ බහු මට්ටමේ පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා ටයිසෙයි සමාගමට ඩොලර් මිලියන 564ක කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබිණ.

ජපානයේ ටයිසෙයි නැමැති ආයතනයෙන්, මෙරට කැබිනට් ඇමතිවරයෙක් පගාවක් ඉල්ලා ඇති බව , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

එම සිදුවීම දැනගත් ජනාධිපතිවරයා, බොහෝ සේ කලබල වූ බවත්, පගාව ඉල්ලූ ඇමතිවරයා කවුද කියා ජනාධිපතිවරයාගෙන්ම අහලා දැන ගන්න යනුවෙන් ද විපක්ෂ නායකවරයා පැවසීය .

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවසීය .

“ ගරු කතානායකතුමනි, මේ රටේ දූෂණ වංචා හොරකම් සියල්ලක්ම නතර කරන්නට ඕනේ. මම ගරු අගමැතිතුමාගෙන් අහනවා. ජනාධිපතිවරයා බොහෝ ලෙස කලබල උනාලු දැනට කැබිනට් එකේ ඉන්න ඇමතිවරයා ජපානයේ ටෙයිසෙයි කියන කොම්පැනියෙන් පගාවක් ඉල්ලලා. මම අහනවා මෙහෙම දූෂිත ආණ්ඩුවක් තුළ රට ගොඩනගන්න පුළුවන් ද?. එහෙනම් අග්‍රාමාත්‍යතුමා අපෙන් ඇහුවා විසඳුම්. කරුණාකරලා තමන්ගෙ කැබිනට් මණ්ඩලයේ දූෂිත ක්‍රියාකාරකම් කරන, කොමිස් ගන්න, පගා ගන්න අය ඉවත් කිරීම. ටෙයිසෙයි කම්පැනියෙන් පගාවක් ගත්තෙ කවුද? ජනාධිපති තුමාගෙන් ම අහගන්න. “

 

විභාග කාල සටහන් : පාර්ලිමේන්තුවේදී එළියට !

අපොස උසස් පෙළ, අපොස සාමාන්‍ය පෙළ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින වකවානු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (5) ප්‍රකාශයට පත් කළේය.

අමාත්‍යවරයා එම දින වකවානු ප්‍රකාශ කළේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක සභාව කල්තබන අවස්ථාවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

" පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අගෝස්තු මාසයේදී නිකුත් කෙරෙනවා. මීළඟ උසස් පෙළ විභාගය ඒ ප්‍රතිඵල නිකුත් කර අඩු තරමින් මාස තුනකින් පසු බොහෝවිට නොවැම්බර් දෙසැම්බර් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එසේම මේ වසරේදී පැවැත්විමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය උසස් පෙළ ආරම්භ කිරීමට පෙරාතු දිනයක පවත්වීමට අපේක්ෂා කරනවා. මේ වසර අවසානයේ තිබෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මාර්තු පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා.

ප්‍රධාන විභාග දෙකක් අතර යම් කාල පරිච්ඡේදයක් අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට ලබාදීම අවශ්‍යයි. අපොස උසස් පෙළ විභාගය පසු ගිය සැරේ පැවැත්වුණා. ඒ විභාගයේ ප්‍රතිඵල පරික්ෂා කිරීම අවසන් අදියරේ පවතිනවා.

කොවිඩ් තත්වය නිසා 2020- 21 වර්ෂවලදී බස්නාහිර පළාතේ පාසල් කාලය සියයට 50කින් පමණ අහිමි වුණා. පිට පළාත්වල එම කාලයේදී අහිමිවුණු පාසල් කාලය සියයට හතළිහකි.

නිලධාරීන් නිහඬයි : යාල වනය මැණික් ව්‍යාපාරිකයන් වනසයි !

යාල නැතහොත් රුහුණු ජාතික වනෝද්‍යාන සංකීර්ණයේ කලාප අංක 4 හි කුඹුක්කන්ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ දැවැන්ත මැණික් කැනීම් ජාවාරමක් ක්‍රියාත්මක වේ.

ඔක්කම්පිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ සේවකයන් 300 ක් පමණ යොදා ගෙන ජාතික වනෝද්‍යානයේ අක්කර සියයක් පමණ විනාශ කර මෙම ජාවාරම සිදු කෙරේ. බැකෝ යන්ත්‍ර හා යාන්ත්‍රික මැණික් ඉල්ලම් සේදුම් යන්ත්‍ර භාවිත කර සංවිධානාත්මක ව මෙම ජාවාරම ක්‍රියාත්මක කරයි.

මෙම නීතී විරෝධී ක්‍රියා හේතුවෙන් අලි - ඇතුන්ට ජාතික වනෝද්‍යානය තුළ ම රැකවරණය අහිමි වී එම සතුන් අවට ගම්මානවලට හා වගා බිම්වලට පිවිසීමෙන් අලි - මිනිස් ගැටුම් අලුතින් නිර්මාණය විය හැකි ය. එපමණක් නොව උග්‍ර නියං සමයක් පවතින මෙම කාල වකවානුව තුළ කුඹුක්කන්ඔයට මැණික් ඉල්ලම් සේදීමේ දී එක් වන අධික රොන්මඩ හේතුවෙන් එහි ජෛව ප්‍රජාව සම්පූර්ණයෙන් ම විනාශ වී යනු ඇත.

මෙම සියලු ක්‍රියාවන් සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි.

මෙම පනතේ 2 වන වගන්තියට අනුව 1969 ඔක්තොම්බර් මස 9 වන දින අංක 14875 දරන ගැසට් නිවේදනයට යටතේ හෙක්ටයාර 26418 ක් වන යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4 ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනතේ 5 වන වගන්තියට අනුව බලපත්‍රයක් නොමැති ව ජාතික වනෝද්‍යානයට ඇතුළු වීම ද නීති විරෝධී වෙයි.

පනතේ 6 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයේ ශාක විනාශ කිරීම, ඉඩම් එළි කිරීම, පතල් හෑරීම ඇතුළු සියලු ක්‍රියාවන් නීති විරෝධී වේ.

පනතේ 67ආ1 උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක ඕනෑ ම නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි ය.

එම ක්‍රියාවල නිරත වූ පුද්ගලයන්ට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇප ලබා දීමේ හැකියාව නොමැති අතර පනතේ 63 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කළ යුතු ය. මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලබන පුද්ගලයකුට රුපියල් විසි දහසත් ලක්ෂයත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

එපමණක් නොව එම වරද නැවත අවස්ථාවක දී සිදු කර අධිකරණයෙන් වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් හතලිස් දහසත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර 5 ත් 10 ත් අතර බන්ධනාගාර ගත කිරීමට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මෙම පනතේ 59 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද එම වරදට ම වරදකරුවකු වන්නේ ය.

නමුත් ඉන්දන අර්බුධයට මුහුණ දී සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයන් අත් අඩංගුවට ගෙන මෙම නීතී ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් සිදු කිරීමට නොහැකි වී තිබේ. එහෙත් ජාවාරම්කරුවන් ඔක්කම්පිටිය ප්‍රදේශයේ ඉන්දනහල් වලින් ඉන්දන ලබා ගෙන අඛණ්ඩ ව ජාතික වනෝද්‍යානය විනාශ කරමින් මැණික් ජාවාරමේ නිරත වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවා යටතට එක් කර ප්‍රමාණවත් පරිදි වාහනවලට ඉන්දන ලබා නොදීම නිසා මෙම ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගෙන නීති ක්‍රියාත්මක කිරීමට නොහැකි ව තිබේ.

එහෙත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් මේ සඳහා මැදිහත් නොවීම නිසා පොලීසියේ හා විශේෂ කාර්යය බලකායේ උදව් මත මෙම ජාවාරම මැඩලීම සඳහා යොමු වීමට ද නොහැකි වී ඇත.

අලි - ඇතුන් ඇතුළු ව ඉතා විශාල ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන මෙරට සුවිශේෂී ම ජාතික වනෝද්‍යාන සංකීර්ණය තුළ මේ තත්ත්වය ඇති වී තිබීම හා එම තත්ත්වය පාලනය කිරීම සඳහා නිලධාරීන්ට හැකියාව නොමැති වීම කණගාටුවට කරුණකි.

සංවිධානාත්මක ව සිදු කරන මෙම ජාවාරම මැඩ පැවැත්වීම සඳහා අදාළ සියලු අංශවල මැදිහත්වීම ලබා දිය යුතු බව විශේෂයෙන් අවධාරණය කළ යුතු ය. එසේ නොමැති වුවහොත් නීතියේ ආධිපත්‍යය අහිමි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බිඳ දැමීම, දූෂණ හා වංචා වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හා එම තත්ත්වයන් මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස දැනට දරුණු ලෙස වර්ධනය වී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදයට අමතර ව මෙම මැණික් ජාවාරම් හේතුවෙන් දැවැන්ත පාරිසරික අර්බුදයකට ද අපට ඉදිරියේ දී මුහුණ දීමට සිදු වනු ඇත.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

1

2

3

5

6

කැසිනෝ බදු ක්‍රමවත් කිරීමට : රනිල්ගෙන් පනත් සංශෝධනයක් !

ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන නියාමනය කිරීමට සහ ඒවායින් විධිමත් ලෙස නියමිත බදු අයකර ගැනීමට හැකිවන ආකාරයට සූදු බදු පනත සංශෝධනය කිරීමට නියමිතය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඊට අනුව ,2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මඟින් ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන විධිවිධාන පනවා ඇත.

2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දිය යුතු නමුත්, එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට එකී පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැත.

එම තත්ත්වය යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකර ගැනීමට අපහසු වී තිබේ.

එබැවින්, එවැනි ව්‍යාපාර නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සුදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

කන්දකාඩු රැඳවියාගේ මරණය ඝාතනයක් !

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය ජුනි (29) සිදුවූ රැදවියාගේ මරණය ඝාතනයක් බව අද (05) අනාවරණය කරගෙන ඇත.

එහිදී මොට ආයුධයකින් කළ පහරදීමක් මෙම මරණයට හේතුවී ඇති බවත් සිරුර පුරාම අභ්‍යන්තර තුවාල සිදුව ඇති බවත් එම තැලීම් තුවාලවල සංකූලතා හේතුවෙන් මරණය සිදුව ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අධීකරණ වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට ගුවන් හමුදවේ සහ යුද හමුදාවේ සැරයන්වරු සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත .

ඒ පහරදීම පිළිබඳව සෙසු රැඳවියන් ලබාදුන් සාක්ෂි මතය.

පහරදීමට යොදා ගත් අධිබලැති විදුලි රැහැනක අඩි 03ක පමණ කොටසක්ද, උණ පතුරු දෙකක් ද, කදවුරේ සඟවා තිබියදී පොලීසිය සොයාගෙන ඇති බවත් වාර්තා වෙයි .

මරණය සිදුව ඇත්තේ මෙම විදුලි රැහැනෙන් සහ උණ පතුරෙන් කළ පහරදීම්වලින් බවත් ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පැවැත්වෙන්නේ ඝාතනයක් ලෙස සළකා බවත් පොලීසිය සඳහන් කරයි.

ලංකා පාර්ලිමේන්තුවේ හූ කියා එලවා දැමූ : පළමු විධායක ජනාධිපති !

ලංකාවේ කිසිදු විධායක ජනාධිපතිවරයෙකු මුහුණ නොදුන් අවමන් සහගත අවස්ථාවකට ගෝඨාභය රාජපක්ෂ  අද මුහුණ දුන්නේය.

විධායක ජනාධිපතිවරු 06 දෙනෙකු වසර 44 ක ලංකා පාර්ලිමේන්තුව පැමිණ ඇත. එය අමතා ඇත. නමුත්, කිසිම අවස්ථාවක ජනාධිපතිවරයාගේ නම කියමින් පාර්ලිමේන්තුවෙන් පිටවන තැනට හු කියමින් විරෝධයක් එල්ල වූ වේ නැත.

2022 ජූලි 05 විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ටික වේළාවකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ල කළ විරෝධය, හූ හඩ නිසා පාර්ලිමේන්තුවෙන් නැගිය ගියේය.

ජනාධිපතිවරයෙක් සභාවේ සිටිය දී පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු වූවේ ද ලංකා ඉතිහාසයේ පළමු වතාවට ය.

දියවන්නා පාර්ලිමේන්තු කාමරයක දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමන්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එය ත්‍රස්ත ක්‍රියාවකි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය (2000 අගෝස්තු) කතා කරන විට එදා විපක්ෂයේ සිටි එජාපය එයට විරෝධය දැක්වීය. ව්‍යවස්ථා කෙටුම්පත ගිණි තැබුවේය. නමුත්, චන්ද්‍රිකා තමන්ගේ පාඩුවේ තමන්ගේ කතාව කරගෙන ගියේය.

පාර්ලිමේන්තුවේ කතා කරන විට එයට වාචික විරෝධය දැක්වීම පාර්ලිමේන්තු සම්ප්‍රාදයට අනුකූලය. පාර්ලිමේන්තුව ඇත්තේ කතා කරන්න, විරෝධය දක්වන්ට අදහස් දක්වන්නටය. එදා චන්ද්‍රිකා ජනාධිපතිනිය තම ශක්තිය, ආත්ම විශ්වාසය දක්වමින් විපක්ෂයේ අභියෝගයට සභාවේ දී මුහුණ දුන්නාය.

ගෝඨාභය ජනාධිපතිවරයා ඉතිහාසගත වන්නේ සභාවට පැමිණි මොහොතේ සිට පිටව යන තුරු විරෝධයට ලක්වූ, ඒ ගැන පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කිසිදු විරෝධයක්, ප්‍රතිචාරයක්, අභියෝගයක් නොකළ අයෙකු ලෙසය. සාමාන්‍ය යෙන් ජනපති, අගමැති, විපක්ෂ නායක, සභානායක, විපක්ෂයේ සංවිධායකට අනුපිළිවෙල අනුව කතානායකගෙන් තම මතය කියන්නට අවස්ථාව ලබාගත හැකිය. ජනපති ගෝඨාභයට තමන්ට එල්ල වන විරෝධයට වචනයක් කියාගත නොහැකි වූවේය.

කිසිවෙකුත් ජනාධිපතිවරයා (මතවාදීව) බේරාගන්නට සභාවට කරුණු දැක්වූවේ ද නැත. ‘ගෝඨා ගෝ හෝම්‘ යැයි කියන විට නැගිට ගියා පමණී.

රජිත් කීර්ති තෙන්නකෝන්

වී ගොවියන්ගේ නොගෙවූ ණය කපයි : යෝජනාව රනිල්ගේ !

වී ගොවීන් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති නොගෙවූ ණය කපා හැරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව හෙක්ටයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා ලබාගෙන ඇති ගෙවීමට අපහසු ණය මුදල් කපාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

පාස්කු ප්‍රහාරය හා ඉන්පසු ඇතිවූ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට තුළ නිර්මාණය වූ ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර වෙමින් සෑම ක්‍ෂේත්‍රයක් කෙරෙහිම ඍජු හා වක්‍ර ලෙක දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බවත්, සමස්ත ජනගහණයෙන් සියයට 30ක් පමණ වන ගොවි ජනතාවටද දරාගත නොහැකි තත්වයක් ඇතිවී ඇති බැවින් ඔවුන් ලබාගත් ණය ගෙවීම අතපසු වී ඇතැයි ද එම යෝජනාවේ දැක්වේ.

මේ හේතුවෙන් ගොවීන් විසින් ලබාගෙන නොගෙවූ ණය බැංකු විසින් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කර ඇතැයි ද එහි දැක්වේ.

එමෙන්ම රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සඳහා යොමුවීමත් සමඟ ගොවි ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතාවය හා ඉදිරි මහ කන්නයේ දී වී වගාව සඳහා ණය ලබාගැනීමට යාමේදී ගොවීන් පත්වන අසීරුතාවය ද ද සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන ඇත.

තෙල් නැව් එන්න ළඟයි : විපක්ෂයේ කළබලේ ඒකයි - හරීන්

ඉදිරි සති කිහිපය තුළ තෙල් නැව් හතක් පමණ මෙරටට පැමිණීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (05) පාර්ලිමේන්තුවේදී පැවති විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් ය.

හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

මේවා කැබිනට් මණ්ඩලයේ මණ්ඩලයේ කතා වුණු දේවල්. ඩීසල් හතළිස් දාහක තොගයක් ලබන 8-9 අතර එනවා. දැවි තෙල් නැවක් 10-11 අතර එනවා. තවත් ඩීසල් නැවක් දාහතර වෙනිදා එනවා.
13-15 අතර විටොල් එකෙන් පැට්‍රෝල් එකක් එනවා. පහළොස් වැනිදා බොර තෙල් නැවක් එනවා. එදිනම ඉන්දීය තෙල් සමාගමෙන් වෙනම ඩීසල් එකක් එනවා. විසි දෙවෙනිදාත් තොගයක් එනවා.

අද විපක්ෂය කලබල වෙලා තියෙන්නේ මේ වැඩේ කරාවි කියලයි. මොකද මේක කළොත් ඒ ගොල්ලන් ඉවර වෙනවා. අපි කොහොම හරි මේක කරනවා.

මේ වෙලාවේ කවුරු හරි හොරකම් කරන එකෙක් ඉන්නවනම් ඌට වැහි නැති හෙණ ගහන්න ඕන. හැබැයි අද කෝප් එක තියෙනවා. 70 ට තියනවනම් එකසිය විස්සට ගන්නෙ මොන පිස්සාද. අරගලයට ව්‍යසනය ගෙනැවිත් වෛරය වපුරන්න හදනවා. එහෙම කරන අයට හරි යන්නේ නෑ මේක වට්ටලා කිසිම අයෙකුට කිසිම බම්බුවක් කරන්න බැහැ. මේ වෙලාවේ අපි කවුරුත් එකතු වෙන්න ඕන. නැත්නම් මේ රට ගොඩ දාන්න අමාරුයි.

හමුදා පාපහරට විරුද්ධ වෙලා : සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බ්ලොක් වෙලා ?

කුරුණෑගල ඉන්ධන පිරවුම් හලක හමුදා නිළධාරියෙකු සිදු කළ පහරදීම ගැන යුධ හමුදාව පරීක්ෂණයක් ආරම්භ කළ බව මේ වන විට නිළ වශයෙන් ප්‍රකාශ කොට ඇත.

පසුගිය කාලයේදී හමුදාව සිවිල් වැසියන් වෙත එල්ල කරන ප්‍රහාර වල වීඩියෝ රාශියක් සමාජ ජාල හරහා වයිරල් වී ඇත. හමුදාව මේ ආකාරයට අමානුෂික ලෙස හැසිරෙන්නේ එජාමානව හිමිකම කාර්යාලය තුල ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන අතර තුරය.

තවත් අතෙකින් බංකොලොත් වී ඇති ලංකාවට, ඉන් ගොඩ ඒමට ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය වී ඇත.නමුත් ලංකාවේ පාලකයන් ශිෂ්ඨසම්පන්න වන තාක් ජාත්‍යන්තරය උදව් කරන්නේ නැත. කුරුණෑගල සිදුවීම සම්බන්ධව හමුදාව ක්‍රියා කළ ආකාරය භයානකය. ඔවුන් එක් වරදක් වසා ගැනීමට වැරදි ගණනාවක් සිදු කොට ඇත.

1. ලුතිනල් කර්නල් කුමාරසිංහ විසින් සිවින් වැසියෙකුට පහරදීම
2. අදාල පහරදීම සමාජ ජාල වෙත අප්ලෝඩ් කළ ශසික හේරත්ට හමුදා නිලධාරීන් තර්ජනය කිරීම
3.පහරදෙන සිදුවීම විවේචනය කළ සමාජ ජාල ක්‍රියා කාරීන් මර්ධනය කිරීම

මේවන විට ලංකාවේ ප්‍රකට සමාජ ජාලා ක්‍රියාරිණියක් වන තුෂාරා වන්නිආරච්චි ඇතුලු පිරිසකගේ සමාජ ජලා ගිණුම් තාවකාලිකව අත්හි‍ටුවා ඇත. ඇය Colombo Now වෙබ් අඩවියේ විමර්ෂණ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි. ඇයගේ මුහුණුපොතේ ගිණුම තාවකාලිකව අත්හි‍ටුවීමට හේතුව හමුදා නිළධාරියා සිදුකළ අනීතික පහරදීම විවේචනය කිරීමය.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

මාස 6 න් ආර්ථිකය ගොඩදාන වැඩපිළිවෙළට : අනුරට අගමැති ධූරය සහ නොබෙල් ත්‍යාගය !

"තමන්ට බාර දුන්නොත් මාස හයකින් රට යථා තත්ත්වයට පත්කරන බව  අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ප්‍රකාශ කර තියෙනවා. ඇත්තෙන්ම එසේ කළ හැකි නම් එය ඉතා යහපත් වැඩක්.  ඍන හයක් හතක් දක්වා  ආර්ථික වර්ධනය වේගය ඇද වැටුණු රටක් මාස හයක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන යාම  මෙතෙක් ලෝකයේ කිසිම රටක සිදුවී නැති ක්‍රියාවක්. හැබැයි මෙතෙක්  එහෙම වෙලා නෑ කියා අපිට අනුර කුමාර දිසානායක මහතාගේ අදහස බැහැර කරන්න බැහැ. මාස හයක් තුළ රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් එතුමා ළඟ ළඟ තියෙනවා නම් ඉතා හොඳයි. එවැනි සැලැස්මකින් කෙටි කාලයක් තුළ ආර්ථිකය යථා තත්ත්වයට  පත් කර ගැනීමට අපට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි
 ලෝකයටත් කදිම පූර්වාදර්ශයක් වෙනවා."  යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .
 
එවැන්නක් ඇත්නම් ජනාධිපතිට සහ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසත් , එහිදී ඊට අවස්ථාව ලබාදී ඉල්ලා අස්වීමට තමන් සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය .
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි .
 
මාස 6න් ආර්ථික අර්බුදය විසඳීමට වැඩපිළිවෙළක් පැමිණියහොත් එය ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබීමට සුදුසුකමක් බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි .
 
ආර්ථිකය යළි නංවන මාර්ග සිතියම පාර්ලිමේන්තුවට !
 
 අද වැටී තියන ආර්ථිකය යළි නංවාලීම සඳහා  අප අනුගමනය කරන මාර්ග සිතියම නැතිනම් ගමන් සැලැස්ම   ගැන තොරතුරු අද මේ සභාවත්, රටේ ජනතාවත් ඉදිරියේ පැහැදිලි කරන්න මම සූදානම්.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප පැවැත්වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්නට අපට හැකි වුණා.එකඟතා ගණනාවකට එළඹෙන්නට අපට පුළුවන් වුණා .මේ නිසා මාර්ග සිතියම වඩාත් සවිස්තරාත්මක ලෙස ඔබ ඉදිරියේ තබන්නට දැන් අපට පුළුවන්.
 
IMF සාකච්ඡාව : වෙනදාට වඩා බරපතළයි !
 
 මීට කලින් අවස්ථා ගණනාවකදී අපේ රට අයි එම් එෆ් සමඟ සාකච්ඡා පවත්වා තියෙනවා. හැබැයි ඒ සියලු අවස්ථාවට වඩා මෙවර තත්ත්වය වෙනස්. බරපතලයි. වෙනදා අපි සාකච්ඡා පවත්වා තියෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට. එවැනි අවස්ථාවක දෙපාර්ශවයට ඇත්තේ ආධාර ලබා ගැනීම සහ ඊ එෆ් එෆ් හෙවත් විස්තීරණ ණය ආධාර ගැන එකඟත්වයකට ඒම පමණයි. එය සරල රේඛාවක් දිගේ ගමන් කරනවා වගේ වැඩක්.
 
බංකොලොත් රටක් නිසා සිදුව ඇති වින්නැහිය !
 
නමුත් දැන් තත්වය වෙනස්. අපි දැන් සාකච්ඡා වලට සහභාගි වෙන්නේ බංකොලොත් රටක් විදිහට. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ සාකච්ඡා වලට වඩා දුෂ්කර සහ සංකීර්ණ තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වෙනදා මාණ්ඩලික මට්ටමේ එකගතාවයකට පැමිණීමෙන් පසු, ඒ එකඟත්වය අයි එම් එෆ් අධ්‍යක්ෂක මණ්ඩලය  වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්න පුළුවන්. ඒත් අපේ රට පත්ව ඇති බංකොලොත් තත්ත්වය නිසා අපිට සිද්ධ වෙනවා අපේ ණය තිරසරභාවය පිළිබඳ සැලසුම් වාර්තාවක් වෙනමම ඔවුන්ට ඉදිරිපත් කරන්න. ඒ සැලසුම පිළිබඳව ඔවුන් සෑහීමකට පත් වුණාම තමයි මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට අපට එළඹෙන්නට පුළුවන්. මේ ක්‍රියාවලිය කලින් වගේ සරල රේඛාවක ගමනක් නෙවෙයි. වංකගිරියක ගමනක්.
 
IMF සාකච්ඡා සාර්ථකයි !
 
නමුත් ඒ දුෂ්කරතා මැද සාකච්ඡාව වටය ඵලදායි ලෙස අවසන් කිරීමට ලැබීම සතුටට කරුණක්. අයි.එම්.එෆ්.   නිල නිවේදනයට අනුව "ආධාර කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාධනීය සහ ඵලදායි සාකච්ඡා පැවැත්වුණා. සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවුණා."
 
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ තිරසරභාවය පිළිබඳ සැලසුම් වාර්තාව හැදෙමින් තියෙන්නේ !
 
දැන් ඊළඟ පියවර වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා තිරසාරභාවය පිළිබඳ සැලසුම් වාර්තාව ඔවුන්ට ඉදිරිපත් කිරීම, මූල්‍ය සහ නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්‍ලිෆඩ් චාන්ස් සමාගම් දැන් ඒ වාර්තාව සකස් කරමින් සිටිනවා. අගෝස්තු මාසය වෙද්දී වෙද්දි ඒ වාර්තාව අයි.එම්.එෆ්. වෙත ඉදිරිපත් කරන්නට අප බලාපොරොත්තුවෙනවා. 
 
ඉන්පසුව මාණ්ඩලික එකඟතාවකට එළඹීමට අපට හැකි වේවි. ඊටත් පසුව ඒ එකඟතාව අයි.එම්.එෆ්.   අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනවා. අනුමැතිය ලැබුණු පසු, වසර 4 ක කාලයක් සඳහා විස්තීරණ ණය ආධාර වැඩ පිළිවෙලක් සකස් කෙරෙනවා අප දැන් ගමන් කරමින් සිටින්නේ අන්න ඒ මාර්ගයේ.
ඒ වගේම අයි.එම්.එෆ්.  මාණ්ඩලික එකගතාවය ලබාගත් පසු අප ඉන්දියාව, චීනය සහ ජපානය වැනි අපට ණය ආධාර වැඩි වශයෙන් ලබාදෙන මිත්‍ර රටවල් එක්කරගෙන ආධාර පූජා සමුළුවක් සංවිධානය කරන්න කටයුතු කරනවා. පොදු  එකඟතාවක් ඔස්සේ ණය ආධාර ලබා ගත හැකි ක්‍රමවේදයක් සකසා ගැනීමටයි  අප බලාපොරොත්තු වෙන්නේ.
 
ඉන්ධන අර්බුදය සහ ඊට සමාන්තර ආහර සුලබතාව පිළිබඳ ගැටලුව !
 
අද අප මුහුණදෙන ප්‍රශ්න අතරින් මූලිකමප්‍රශ්නය වන්නේ ඉන්ධන අර්බුදය. ඊට සමාන්තරව ආහාර සුලබතාව පිළිබඳ ගැටලුවටත් අපි මුහුණ දෙනවා. ඉන්ධන සහ ආහාර සම්බන්ධයෙන් අපේ රට කාලයක සිට අර්බුදයට යමින් සිටියේ. ඉන්ධන හිඟ වුණා. ආහාර මිල ඉහළ ගියා. 
 
නමුත් මෑතකදී ඇතිවුණු ගෝලීය අර්බුද නිසා මේ තත්ත්වය වඩාත් උග්‍ර වුණා වුණා කබලේ සිටි අප ලිපට වැටුණා.  යුක්රේන- රුසියා යුද්ධය නිසා අපේ ප්‍රශ්නය ඔඩු දිව්වා. දැන් සිදුවී තියෙන්නේ අපේ අර්බුදය උඩට ජාත්‍යන්තර අර්බුද කඩා පාත්වීම. මේ තත්ත්වය අපට පමණක්  නොවෙයි. වෙනත් රටවලටත්  බලපානවා. ඉන්දියාව හා ඉන්දුනීසියාව මේ බලපෑමෙන් පීඩාවට පත්වෙමින් යනවා. ඒ නිසා අපට ලබාදෙන ණය ආධාර සහන සීමා කිරීමට ඉන්දියාවට සිදුවී තිබෙනවා. 
 
මුළු ලෝකයටම මේ තත්ත්වය එකසේ බලපානවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධිත රටවල් සහ සංවර්ධනය නොවූ රටවල් අතර පරතරය ඉහළ නැංවෙන බවට එක්සත්ීම බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අනතුරු අඟවා තියෙනවා. ඒ වගේම රටක අභ්‍යන්තරයේ ඉහළ පන්තිය සහ පහළ පන්තිය අතර පරතරයත් වැඩි විය හැකි බවට ඔහු අනතුරු අඟවනවා. මේ ලෝක අර්බුදයෙන් පරිබාහිරව  හුදෙකලා වෙන්න ලෝකයේ කිසිම රටකට බැහැ. අපිත් මේ සියල්ලට මුහුණ දිය යුතු වෙනවා.
 
තවදුරටත් පරණ ක්‍රමයට යන්න බෑ !
 
අපට මුහුණ පාන්නට ඇති දේශීය සහ ගෝලීය අභියෝග සියල්ල ම  සලකා බලා තමයි මේ මාර්ග සිතියම, නැත්නම් ගමන් සැලසුම අපි සකස් කළේ. මේ මාර්ගයේ නොයා පරණ  ක්‍රමයේම අපට ඉන්න පුළුවන්. හැබැයි එහෙම හිටියොත් එක තැන පල් වෙලා මුළු රටම කඩා වැටෙනවා. 
 
ඒ නිසා අප වෙහෙසිය යුත්තේ මේ ගමන්මග ඉදිරියට යෑමයි. එය ලේසි පහසු ගමනක් නොවෙයි. මම ඒ බව වරින් වර ඔබට සිහිපත් කර දී තියෙනවා. අසීරු ගමනක්. දුෂ්කර ගමනක්. කටුක ගමනක්. ඒත් ඒ ගමන කෙළවර අපට සහනයක් ලබා ගන්න පුළුවන්. ප්‍රගතියක් දිනාගන්න පුළුවන්. 
අපේ ආර්ථිකය වර්තමානයේ හැකිලෙමින් පවතින්නේ. අපි එය ආපසු හැරවීමටයි මේ වෙහෙසෙන්නේ. මහ බැංකු සංඛ්‍යා ලේඛන අනුව අපේ වර්තමාන ආර්ථික වර්ධන වේගය ඍන හතරත්, ඍන පහත් අතර අගයක් ගන්නවා. අයි.එම්.එෆ්.  සංඛ්‍යාලේඛන අනුව එය ඍන හයත් ඍන හතත් අතර වෙනවා. 
 
ණය අර්බුදය සුළුපටු නෑ !
 
මෙය බරපතල තත්ත්වයක්. අපි මේ මාර්ග සිතියම ඔස්සේ අධිෂ්ඨානශීලී ගමනක් යෙදුනොත්, 2023 අවසන් වෙද්දී  ඍන එකක ආර්ථික වර්ධන වේගයක් අපට ලබාගන්න පුළුවන්.
 
2025 වෙද්දි ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ඇති කරගැනීම අපේ ප්‍රයත්නයයි.  ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම අපේ උත්සාහයයි. 2026 වෙද්දි  ස්ථාවර ආර්ථික පදනමක් ඇති කරගැනීම අපේ අපේක්ෂාවයි .
අපි මේ වන විට ගෙවන්නට ඇති ණය පිළිබඳව අදහසක් ඔබට ලබා දෙන්නට මා කැමතියි. මේ වසරේ ජූනි දෙසැම්බර් අතර ඩොලර් මිලියන 3489 ක්.  2023 දී මිලියන 5860 ක්. 2024 දී මිලියන 4916 ක්.  2025 දී මිලියන 6287 ක්. 2026  දී මිලියන 4030 ක්. 2027 දී මිලියන 4381 ක්.
 
2021 අවසානයේ රජයේ මුළු ණය බර රුපි 17,589.4 ක්.  2022 මාර්තු වෙද්දී රුපියල් බිලියන 21,696.6 ක්. 
මේ තමයි සැබෑ තත්ත්වය. මීට අමතරව ගෙවුණු වසර දෙක තුන තුල උග්‍ර වුණු ප්‍රශ්න ගණනාවක බලපෑම් අප හමුවේ තියෙනවා. ඒවා දවසින් දෙකෙන් විසඳිය හැකි ප්‍රශ්න නෙවෙයි. ඒ වගේම වසර ගණනාවක් පුරා අපේ රටේ ක්‍රියාත්මක වූ යම් යම් සාම්ප්‍රදායික අදහස් නිසා ඇති වුණු බලපෑම් වලින් අපි පීඩා විඳිනවා. ඒ නිසා මම කලිනුත් සඳහන් කළා වගේ 2023 වසරේ දී ත් අපට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. ජනතාවට සිහින ලෝක මවා පෙන්වා මේ යථාර්ථය අවසන් කරන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණක් බව කාලයත් සමඟ සනාථ වේවි. 
 
වසර අග උද්ධමනය 60%ක් වෙයි !
 
අපේ සැලසුම උද්ධමනය පාලනය කරලීම උදෙසා වෙහෙසීමයි. මේ අවුරුද්ද අවසාන වෙද්දී උද්ධමනය 60% දක්වා ඉහළ නැංවෙනවා. ලෝකයේ භාණ්ඩ මිල ඉහළ නැගීමත්, රුපියලේ අගය පහත වැටීමත් මීට ප්‍රධාන වශයෙන් බලපානවා.
 
වර්තමාන උද්ධමනය නිසා, රුපියලේ වටිනාකම අඩුවීම නිසා සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ දැන් ඇති මුදල් වල වටිනාකම 50%  කින් පහළ බැහැලා තියෙනවා  විශ්‍රාම වැටුප් වල සැබෑ වටිනාකමත්  සියයට 50% කින් පහළ බැහැලා. අපේ ජේෂ්ඨ පුරවැසියන්ට මේ තත්ත්වය බලපාන හැටි කල්පනා කරලා බලන්න. ඔවුන් සියලු දෙනා අතර දිළිඳුකම පැතිරෙමින් පවතිනවා. ඔවුන් අතට ලැබෙන  මුදලේ වටිනාකම සියයට 50%  කින් පමණ අඩු වෙලා. ඔවුන් ගේ මිලදී ගැනීමේ ශක්තිය 50% කින් පමණ අඩු වෙලා. සිහින ලෝක මවන එක ලේසියි. හැබැයි මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම අසීරුයි.
 
මුදල් මුද්‍රණය සීමා කිරීමට දැනටමත් සැලසුමක් ක්‍රියාත්මකයි !
 
මොකක්ද මේකට විසඳුම. හැකි ඉක්මනින් රුපියල ස්ථාවර කිරීම,  රුපියල වැටෙන්න නොදී ශක්තිමත් කිරීම. ඒ අරමුණින් ඉදිරියේදී මුදල් මුද්‍රණය කිරීම සීමා කිරීමේ සැලසුමක් අප ක්‍රියාවට නංවා තියනවා.
2023 වසරේ අවස්ථා කිහිපයකදී සීමා සහිතව මුදල් මුද්‍රණය කරන්නට අපට සිදු වේවි. නමුත් 2024 අවසන් වෙද්දී මුදල් මුද්‍රණය සම්පූර්ණයෙන්ම නවතා දැමීම අපේ අභිප්‍රායයි .
 
අප ඉලක්ක කරන්නේ 2025 වෙද්දි උද්ධමනය වේගය සියයට 4 ත්  6 ත් අතර මට්ටමකට පහත දමන්නයි. 
අප සිදුකළ යුතු තවත් ප්‍රමුඛතම කාර්යයක් වන්නේ බැංකු සහ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීම. ආර්ථික අර්බුදයක අර්බුදයකදී මේ පද්ධතීන් වෙත එල්ලවෙන පීඩනය මේ සභාවට අලුතෙන් විස්තර කළ යුතු නැහැ. නමුත් මේ පීඩනය නිසා බැංකු පද්ධතියට අබ මල් රේණුව කින් හෝ අගතියක් සිදු වන්නට අප ඉඩ දෙන්නේ නැහැ. බැංකු සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කරලීම සඳහා රජය ප්‍රමුඛත්වය ලබාදී තියෙනවා .
 
රාජ්‍ය ව්‍යවසායන් දිගින් දිගටම පාඩු ලබන විට  එයින් පීඩාවට පත්වෙන්නේ පුරවැසියන් !
 
මේ අතර රාජ්‍ය බැංකු පිළිබඳ ව අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඔවුන් දෙපැත්තකින් බැට කනවා. එක පැත්තකින් ආර්ථික අර්බුදය, අනිත් පැත්තෙන් රාජ්‍ය ව්‍යවසාය සඳහා ඔවුන් ලබා දී ඇති දැවැන්ත ණය ප්‍රමාණය. 
2021 මාර්තු 31 වෙනිදා වෙද්දි  ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන .....541.ක් ණයයි. 2022 මැයි 31 වෙනිදා වන විට විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 418 ක් ණයයි. ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන  1460  ණයයි. 
 
රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම පාඩු ලබද්දී එයින් බැට කන්නේ සමස්ත පුරවැසියන්. ජීවිත කාලය පුරා ගුවන් යානාවක ගමන් නොගත් ජනතාව   ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව වෙනුවෙන් දුක් විඳිනවා. ජීවිත කාලය පුරා මුදල් ලබාදී ඉන්ධන ලබා ගත් ජනතාව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව වෙනුවෙන් පීඩා විඳිනවා. පෝලිම් වල වරු ගණන්, දින ගණන්, රස්තියාදු වෙමින් ඉන්ධන ලබා ගන්නා වාරයක් වාරයක් පාසා ඔවුන් තෙල් සංස්ථාවේ සංස්ථාවේ පාඩුව පියවන්න වන්දි ගෙවනවා. ජීවිත කාලය පුරා මුදල් ගෙවා විදුලි බලය ලබා ගන්නා ජනතාව දවසකට පැය කිහිපයක් කලුවරේ ද හිඳිමින් විදුලිබල මණ්ඩලයේ  පාඩුව වෙනුවෙන් කරදර විඳිනවා. වන්දි ගෙවනවා. 
 
ජනතාවට බරක්ව ඇති ආයතන ගැන නැවත හිතන්න ඕන !
 
 ජනතාව විඳින මේ දුක්, පීඩා, කරදරත්, ආයතන වල පාඩුව වෙනුවෙන් ගෙවන වන්දි වසා දැමීම සඳහා කාලයක් තිස්සේ  පාවිච්චි කරන පිරුවටයක් තියෙනවා. ජනතා සම්පත්, ජනතා දේපල මෙන්ම මේ පිරුවටයෙන් ඒ ඒ ආයතන වල අසාර්ථකත්වය වසා ගන්නවා. මේවා සැබෑ ජනතා දේපළ සහ ජනතා සම්පත් නම්, ඒවායින් ජනතාවට සහනයක්, පහසුවක්, ලේසියක්, ලාභයක් සැලසිය යුතුයි. ඒත් මේවායින් ජනතාවට උරුම වී තියෙන්නේ දුක්, පීඩා, කරදර සහ පාඩු .
 
ඒ නිසා රටටත් ජනතාවටත් බරක් වී ඇති මෙවැනි ආයතන පිළිබඳව අලුතින් සිතන්නට අපට සිදුවෙනවා. වසර තිහ හතළිහක් තිස්සේ ජනතාවට මේ අයුරින් බර පැටවීම සාධාරණ ද ? තවදුරටත් ජනතාවට බර පටවමින් මේ ආයතන පවත්වාගෙන යා යුතු ද? මේ ආයතන මගින් ලබාදෙන සේවාවන් ජනතාවට බරක් නොවන ලෙස ලබා දෙන්න බැරි ඇයි? මේ සේවාවන්  ලබා දීමේ වෙනත් විකල්ප නැද්ද? මෙන්න මේ කරුණු සියල්ල සලකා බලා මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අප කඩිනමින් පියවර ගන්නවා. ඒවා රටට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යාම සහතික කරනවා.  
 
වත්මන් අභියෝගය ජයගැනීම : ආහාර !
 
 
වත්මන් අභියෝග ජයගැනීම සඳහා අප යන ඉදිරි ගමනේ දී අවධානය යොමු කළ යුතු තවත් කරුණු ගණනාවක් තියෙනවා. 
 
එකක් තමයි හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ පසුබිම සකස් කිරීම සහ ආහාර මිල ගණන් ඉහළ යෑම කිසියම් කිසි යම් පාලනයකට නතු කර ලීම. 
 
හිඟයක් නොමැතිව රසායනික පොහොර !
 
 අනෙක් අතින් ආහාර සුලභත්වය වැඩි කිරීම සඳහා පියවර ගැනීම. ලබන මහ කන්නයේ අස්වනු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම අප දැන් සකස් කර අවසන්. රසායනික පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න සියලු පියවර දැනටමත් ගෙන තියෙනවා. බීජ සහ රෝපණ ද්‍රව්‍ය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අන්තර්කාලීන අයවැය මගින් වෙන් කරනවා.
 
ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා එන සතියේ  ලංකාවට !
 
ඒ වාගේම ගේම ලෝක ආහාර වැඩසටහන සහ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සමග එක්වී ආහාර සුලභත්වය වැඩි කිරීමේ වැඩසටහනක් දැනටමත් අප ආරම්භ කර තියෙනවා. මේ වන විට ඔවුන්ගේ නියෝජිත පිරිසක් ලංකාවේ ආහාර අර්බුදය පිළිබඳ විමර්ශනයක නිරත වෙනවා. මගේ ආරාධනයෙන් ලබන සතියේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා ලංකාවට පැමිණෙනවා. 
 
කොයි තරම් දැවැන්ත ආර්ථික අර්බුදයකට මැදි වී සිටියත් සමාජයේ දිළිඳු ම කොටස් ආහාර සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටළු අපිට අමතක කරන්න බැහැ. ඉදිරියේ දී ගෙන එන අන්තර්කාලීන අයවැය මගින් සමාජයේ ඉහළම කොටස් සඳහා කෙටිකාලීන සහන ලබා දීමට මුදල් වෙන් කරනවා. සමාජ සුභසාධන ප්‍රතිලාභ නීතිය යටතේ මේ සහන ජනතාවට ලබා දෙනවා. 
 
මන්දපෝෂණ තත්වයන් වලක්වා ගන්නට වැඩසටහනක් !
 
ඒ වගේම ආහාර හිඟතාව නිසා ඇතිවෙමින් යන මන්දපෝෂණ තත්ත්වයන් වළක්වාලීමේ කටයුතු අප දියත් කරනවා. 
 
මේ කටයුතු වලට සමාන්තරව වගාවන් සදහා සඳහා අවශ්‍ය  දිරි ගැන්වීම් කරනවා. පහසුකම් ලබා දෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙනත් අදාළ අමාත්‍යාංශ එක්කරගෙන අග්‍රාමාත්‍ය  කාර්යාලයේ ද මැදිහත් වීමෙන් දීප ව්‍යාප්ත වගා වැඩසටහනක් දියත් කරනවා. මේ වැඩපිළිවෙළේ අරමුණ විමධ්‍යගත මට්ටමෙන් ආහාර සුලභතාව වැඩි කිරීමයි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සතිපතා රැස් වෙමින් අවශ්‍ය  ක්‍රීයාමාර්ග ගන්නවා. ඉදිරි  මාස හයක හතක කාලය තුළ සමස්ත ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට අප බලාපොරොත්තු වෙනවා .
 
අපනයන ආර්ථිකය ඉහළ නංවන ප්‍රතිපත්තිමය තීරණ අන්තර්කාලීන අයවැයෙන් !
 
අපනයන ආර්ථිකය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති තීරණ ගණනාවක් ගැනීමට අප පියවර ගන්නවා. ඉදිරි අන්තර්කාලීන අයවැයට ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වෙනවා. 
 
අප මේ සැලසුම්කර ඇති මාර්ගයේ ඉදිරියට ගියොත් අනාගතය ගැන යහපත් බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. අප සියලු දෙනාම එක්සත්ව හා එක්සිත්ව ඒ කාර්යය භාරයට උර දිය යුතුයි. අප පැටලී ඇති දැල ඔසවාගෙන පියාඹන්නට අපි හැමෝම එකතු විය යුතුයි. 
 
2019  තැනට යන්න වෙන්නේ 2025 දී !
 
එහෙම කටයුතු කළොත් අපට  2025 වෙද්දි යළිත් 2019 අවුරුද්දේ අප සිටි තත්ත්වය කරා පැමිණීමේ අපේක්ෂාව ඉටු කරගන්න පුලුවන් වේවි. එතනින් මේ ගමන නවත්තන්නට බැහැ. නව ආර්ථිකයක් නිර්මාණය කරගැනීම දක්වා අප මේ ගමන ඉදිරියටම යා යුතු වෙනවා. 
 
අන්තර්කාලීන අයවැය මගින් මේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය  පසුබිම සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
මම අගමැති වගකීම් භාරගත් අවස්ථාවේ විපක්ෂයේ පක්ෂ වෙතින් ලිඛිතව ඉල්ලීමක් කළා, මේ අසීරු හා අර්බුදකාරී අවස්ථාවේ රට වෙනුවෙන් එක්ක කටයුතු කරන්නට ඉදිරිපත් වෙන්න කියා. ඒ අවස්ථාවේ ඊට ලැබුණු ප්‍රතිචාර ගැන ඔබ හැමදෙනාම දන්න.
මේ එකමුතු වීමේ වැදගත්කම, එකට එක්ව මේ දුෂ්කර අවදියෙන් ගොඩ ඒමේ වැදගත්කම, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් විටින් විට පෙන්වා දී තියෙනවා. 
ඒ බවත් සිහිපත් කරමින් මම යළිත් මේ සභාවේ සිටින සියළුම පක්ෂ නියෝජිතයන් ගෙන් යළිත් ඉල්ලා සිටින්නේ මේ අභියෝගය ජයගැනීමට එකට එක්වෙන ලෙසටයි.  
 
 
අපේ අවසාන ඉලක්කය ඉහළ තරගකාරීත්වය කින් යුතු සමාජ වෙළඳපොල ආර්ථිකයක් නිර්මාණය කරගැනීමයි.  මෙතැනදී අපට වින චීනය සහ වියට්නාමය වැනි රටවලින් ගතයුතු ආදර්ශයන් ද තියෙනවා. ඔවුන් තරඟකාරී සමාජවාදී වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයන් සාර්ථකව පවත්වාගෙන යන රටවල්.
 මා දන්නා තරමට අපේ ඉලක්ක ජය ගැනීම සදහා කෙටි පාරවල් නැහැ. මැජික් හෝ විශ්ව විශ්වකර්ම ක්‍රම නැහැ. ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රී තුමියත්  පසුගිය දිනෙක ඒ බව අවධාරණය කළා. එතුමිය මෙසේ ප්‍රකාශ කළා. "අපිට හිස් බඳුනක් ලැබෙන්නේ  .ලේසි නෑ මේක.  අපි හිතන්නේ නෑ අපි බලයට ආපු ගමන් සියල්ල විසඳෙනවා කියලා. බලයට ආ පමණින් සියල්ල විසඳෙන්නේ නැහැ. කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා. කාලයක් යනවා මේක හරි තත්ත්වයට ගන්න. ඒ කාලය දුෂ්කර කාලයක් වෙයි. අපි සියලු දෙනාටම කැපවීම් කරන්න වෙනවා. ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා."
 
 
හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය පැවසුවා වගේ මේ අර්බුදය දවසින් දෙකෙන් මාස කිහිපයකින් විසඳන්න පුළුවන් මට්ටමේ එකක් නොවෙයි. ඊට වඩා බරපතල එකක්.  
 
හැබැයි අප ඉදිරිපත් කළ මේ ගමන් සැලසුමට වඩා ඵලදායි සැලසුමක් තියෙනවා නම්, කඩිනම් සැලසුමක් තියෙනවා නම්, එය ඉදිරිපත් කරන්න.  අපට පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න. වඩාත් ප්‍රතිඵලදායක  දායක නම් එය ක්‍රියාත්මක කරන්න. 
 
අනුර මාස 6 සැලැස්ම අරගෙන එන්න : අගමැති ධූරය දෙන්න !
 
තමන්ට බාර දුන්නොත් මාස හයකින් රට යථා තත්ත්වයට පත්කරන බව  අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ප්‍රකාශ කර තියෙනවා. ඇත්තෙන්ම එසේ කළ හැකි නම් එය ඉතා යහපත් වැඩක්.  ඍන හයක් හතක් දක්වා  ආර්ථික වර්ධනය වේගය ඇද වැටුණු රටක් මාස හයක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන යාම  මෙතෙක් ලෝකයේ කිසිම රටක සිදුවී නැති ක්‍රියාවක්. හැබැයි මෙතෙක්  එහෙම වෙලා නෑ කියා අපිට අනුර කුමාර දිසානායක මහතාගේ අදහස බැහැර කරන්න බැහැ. මාස හයක් තුළ රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් එතුමා ළඟ ළඟ තියෙනවා නම් ඉතා හොඳයි. එවැනි සැලැස්මකින් කෙටි කාලයක් තුළ ආර්ථිකය යථා තත්ත්වයට  පත් කර ගැනීමට අපට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයටත් කදිම පූර්වාදර්ශයක් වෙනවා.
ඒ නිසා මම අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ මේ සැලැස්ම ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන ලෙසයි. ජනාධිපතිතුමා ළඟට යන්නට කැමති නැත්නම් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි එය මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු. ඒ වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කරන සැලැස්මට වඩා යහපත් සහ ප්‍රතිඵලදායි වැඩපිළිවෙළක් නම් අපි එය ක්‍රියාත්මක කරමු.  එවැනි සැලැස්මක් ආර්ථිකය පිළිබඳ නොබෙල් ත්‍යාග ලැබීමට තරම් විශිෂ්ට එකක් වෙනවා. 
 
ඉතින්  එවැනි සැලැස්මක් තියෙනවා නම් මම එතුමාට ඉඩදී තනතුරු අත්හරින්න සූදානම්. තනතුරු අත්හැර ඒ වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට සූදානම්. මොකද මම මේ දරන තනතුරු මට අලුත් දේවල් නෙමෙයි. රට අරාජික වෙලා තියෙන වෙලාවක කිසි කෙනෙක් වගකීම භාරගත්තේ නැති වෙලාවක මම මේ තනතුර භාර ගත්තේ පුටුවට ආසාවෙන් නෙවෙයි. 
 
ඒ අවස්ථාවේ රට පත්වී තිබුණේ අරාජික සහ අනතුරුදායක තත්වයකට. ඒ තත්ත්වය තවත් වර්ධනය වුනා නම් රට ලේ විලක් බවට පත් වෙන්නට තිබුණා. ලෝකයේ කිසිදු රටක් අප දිහා මිත්‍රත්වයෙන් නොබලන වටපිටාවක් උදා වෙන්න තිබුණා .
 
 මේ තනතුර භාර ගත්තේ ඒ තත්ත්වයෙන් රට මුදවා ගැනීමේ අරමුණ ඇතිව. මම වගකීම්  භාරගත්තේ රට වෙනුවෙන් .මගේ අත්දැකීම් හා සම්බන්ධතා භාවිතා කරමින් රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමේ අරමුණින්. අන්න ඒ නිසයි කිසිදු කොන්දේසියකින් තොරව මම මේ අරාජික රට භාර ගත්තේ රට ප්‍රපාතයට ඇද වැටීම වලක්වා ගන්න දැන් අපට පුළුවන් වුණා. දැන් තියෙන්නෙ සෙමෙන් සෙමෙන් යළි රට ඉහලට ඔසවා තබන්න. 
 
 මට මූලික වුණේ බලය නොවෙයි, රටයි. ඒ නිසා මට බලය පිළිබඳ ආසාවක් හෝ අවශ්‍යතාවයක්  නෑ. මට තියෙන්නේ රට ගොඩ ගැනීම සඳහා වන අවශ්‍යතාවයක් විතරයි.  ඒ අවශ්‍යතාවය සපුරා ගැනීමේ මාර්ගයේ අප සැලසුම් සහගතව සහ ස්ථාවරව දැනට ඉදිරියට යමින් සිටින බව මම මේ සභාවට දන්නා සිටින්නට කැමතියි. 
 
අප මේ යන ගමන මෙතෙක් අපේ රටේ අනුගමනය කෙරුණු ක්‍රමය වෙනස් කිරීම සඳහා යහපත් පදනමක්. පුද්ගලයන් හෝ චරිත මාරු කිරීමෙන් ජයක් හෝ ප්‍රගතියක් ලබා ගත නොහැකි බව අතීත අත්දැකීම් අපට පෙන්වා දී තියෙනවා. පොදු ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරලීමේ කරවීමේ වැදගත්කම අතීත අත්දැකීම් ඔස්සේ තහවුරු වී තියෙනවා.  
ඉතින් දැන් අප අනුගමනය කරන ක්‍රමවේදයටත් වඩා යහපත් මාර්ග ඇත්නම් කරුණාකර පෙන්වා දෙන්න. ඉදිරිපත් කරන්න. රට ඉහළට ඔසවා තැබීමේ වෑයමට අපි සියල්ලම එකතු වෙමු. වැටුණු තැනින් යළි නැගී සිටීමේ ගමනට එක් සත්ත්ව එක්සත්ව එක්සිත්ව එකතු වෙමු. සාමූහික අදහස් හා යෝජනා ඔස්සේ මේ ගමන් මඟ වඩාත් නිවැරදි කර ගනිමු.

Page 310 of 465