V2025

පුවත්

යුගදනවි ඩීසල් බලාගාරයේ 52%ක් ඇමරිකානු සමාගමකට !

යුගදනව් ඩීසල් බලාගාරයෙන් 51% කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම කැබිනට් පත‍්‍රිකාව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එම බලාගාරයේ කොටස් වලින් 23.9%ක් ඇති සේවක අර්ථසාධක අරමුදල තම කොටස් මෙරිකානු සමාගමකට පැවරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරය සතු ව ඇති කොටස් 51% මෙසේ පැවරීම සඳහා රජය අනුමැතිය ඉල්ලා ඇත.

බැසිල්ට මොළ 07 යි !

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ‘මොළ හතක්’ ඇති නායකයෙක් බවත් ඔහුට දුරදක්නා නුවණක් ඇති බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වූ ආසන්නයේදීම මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට භාරදී බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස ඉල්ලා සිටි බවත් පැවසීය.

නමුත් තමන් දැම්ම පාර්ලිමේන්තු නොඑන බව කියමින් බැසිල් රාජපක්ෂ ඒ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කළ බවද ඔහු පැවසීය.

නමුත් කොරෝනා අර්බුදය හමුවේ ආර්ථිකය බරපතළ තත්ත්වයකට පත්ව ඇති නිසා බැසිල් රාජපක්ෂ මේ මොහොතේ පාර්ලිමේන්තුවට පැමිණීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කරයි.

බැසිල් ගැන තීන්දුවක් නැතුවම : රාජපක්ෂ ෆැමිලි මීටිම අවසන් !

අද (03) සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක බැසිල් රාජපක්ෂ ගේ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධව රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර සාකච්ඡාවක් ගැන තොරතුරු වාර්තා කර තිබුණා.

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධව රාජපක්ෂ පවුලේ පැවති සාකච්ඡාව කිසිදු තීරණයක් නොමැතිව අවසන්ව ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එසේම මේ සාකච්ඡාව පැවති කාලය පුරා බැසිල් රාජපක්ෂ කිසිදු අදහස් දැක්වීමක් සිදුකර නොමැති බවත් වාර්තා වනවා.

ලැබී ඇති තොරතුරු අනූව අද ජූලි 3 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහාන නිවසේදී මේ සාකච්ඡාව පැවැත්ව තිබෙනවා.

දිවා භෝජනයත් සමග රාජපක්ෂ පවුලේ පිරිස පමණක් මීට සහභාගීව ඇති අතර වෙනත් කිසිදු පාර්ශ්වයක සහභාගීත්වයක් සිදුව නෑ.

සාකච්ඡාව ආරම්භයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ , චමල් රාජපක්ෂ , නාමල් රාජපක්ෂ , ශෂීන්ද්‍ර රාජපක්ෂ , මාලක චන්ද්‍රසේන සහ නිපුණ රණවක සිට ඇති අතර බැසිල් රාජපක්ෂ ගේ සහභාගීත්වය සිදුව ඇත්තේ පසුවයි.

පිරිස අතර සාකච්ඡාව ඇරඹීමට පෙර ජනාධිපති ආර්‍යා අයෝමා රාජපක්ෂ වෙත ගොස් තිබෙන අමාත්‍ය නාමල් රාජපක්ෂ " බාප්පට කැමති තීරණයක් ගන්න .. ඕන එකක් වෙනුවෙන් බාප්පා එක්ක ඉන්නවා " යැයි පවසා ඇති බවත් වාර්තා වනවා.

ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට බැසිල් රාජපක්ෂ පැමිනි අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය " මොකද මේ වෙන්නේ ?" කියා මදක් උස් හඬින් අසා ඇති නමුත් බැසිල් රාජපක්ෂ ඊට කිසිම ප්‍රතිචාරයක් දක්වා නෑ.

අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කතාබහ ආරම්භ කරමින් පවසා ඇත්තේ , " මෙන්න දැන් බැසිල් පාර්ලිමේන්තු එන්න ඕන කියනවා" යනුවෙන් පවසමින්.

නමුත් ඒ අවස්ථාවේ ද බැසිල් රාජපක්ෂ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි වාර්තා වන්නේ.

පසුව ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මාලක චන්ද්‍රසේන පවසා ඇත්තේ නිහඬව නොසිට මේ ගැන සාකච්ඡා කල යුතු බවයි.

ඒ අනුව ශෂීන්ද්‍ර කතාව ආරම්භ කරමින් " දැන් පාර්ලිමේන්තු ආවහම බැසිල් බාප්පට මොකක්ද ලැබෙන ඇමතිකම යනුවෙන් විමසා තිබෙනවා.

මාලක චන්ද්‍රසේන අසා ඇත්තේ බැසිල් මාමට පාර්ලිමේන්තු යන්න කවුද ඉල්ලා අස්වෙන්න යන්නේ , යනුවෙන්.

නමුත් මේ කිසිම අවස්ථාවක බැසිල් රාජපක්ෂ කිසිම ප්‍රකාශයක් සිදුකර නැති බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ .

ඒ අනුව අද රාජපක්ෂ පවුලේ මේ සාකච්ඡාව අවසන්ව ඇත්තේ කිසිදු තීන්දුවක් නොමැතිවයි.

කෙසේ වුවත් මේ සාකච්ඡාව සහ එහි සංයුතිය සම්බන්ධව මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් මතුවෙමින් ඇති බවත් වාර්තා වෙනවා.

රටේ අනාගතය සහ ආණ්ඩුවේ ඉරණම සම්බන්ධ තීන්දු පවුලේ දෙතුන් දෙනෙකු ගන්නා 2010-2014 සමයට නැවත ගොස් ඇති බව දක්වමින්.

මේ වන විට කැබිනට් මණ්ඩලය තුළ පමණක් රාජපක්ෂ පවුලේ 4 ක් නියෝජනය කරන අතර සමස්ථ අමාත්‍ය මණ්ඩලයේ රාජපක්ෂලා 5 ක් සිටිනවා. බැසිල් රාජපක්ෂ ගේ පාර්ලිමේන්තු පැමිණීමත් සමග කැබිනට් මණ්ඩලය තුළ රාජපක්ෂලා 5 වන අතර අමාත්‍ය මණ්ඩලය තුළ 6. මේ වන විට සමස්ථ රාජ්‍ය ආයතන වලින් ද 60% ක් මේ රාජපක්ෂ පවුලට නතුව තිබෙනවා.

ආණ්ඩුව අභ්‍යන්තරයේ ව්රෝධය මතුව ඇත්තේ තනි පවුලක් රට පාලනය කිරීමේ පැරණි පුරුද්ද මතුව ඇති බව සඳහන් කරමින්.

දේශපාලන වාර්තාකරු

විහිළු සහගත අමාත්‍යාංශ හැදුවෙත් බැසිල් : ශ්‍රිලනිපයෙන් නොනවතින ප්‍රහාර ?

බැසීල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණියා කියා රටට සුරබි දෙන පහළ නොවන බව ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

වත්මන් අමාත්‍ය ධුර නිර්මාණය කළේත්, ඒවාට පුද්ගලයන් පත් කළේත්, මැටිවැඩ සහ බතික් ආදී ලෙසින් විහිළු සහගත අමාත්‍යංශ නිර්මාණය කළේත් බැසිල් රාජපක්ෂ බවත් ඔහු පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයක් අද නොමැති බවත් දයාසිරි ජයසේකර, ශ්‍රී ලනිපය පසෙකට තබා තිබීම ගැන කනගාටු වන බවත් ඔහු පැවසීය.

ශ්‍රිලනිප ස්ථාවරය මෙන්ම බැසිල් විරෝධී විමල් පාර්ශ්වය ඇතුළු පක්ෂ 8 කණ්ඩායමේ ස්ථාවරය ලෙස පෙන්නුම් කරන්නේ බැසිල්වාදීන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනි කිරීමට උත්සහකරන මේ අවස්ථාවේදී ඔහුව දේශපාලනික වශයෙන් ශක්තිමත් කළ යුතුය යන්නයි.

කෙසේ වුවත් සාමාන්‍යයෙන් රාජපක්ෂ කඳවුරක සිට ප්‍රධාන පෙළේ රාජපක්ෂවරයෙකු විවේචනය කිරීම සහ එයත් මෙතරම් බරපතළ ලෙස සිදුකිරීම සිදුනොවන්නකි. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මේ සඳහා එක්කෝ ප්‍රබල රාජපක්ෂවරුන්ගේම හෝ නැත්නම් වෙනත් විශ්වාසවන්ත දේශපාලන උපක්‍රමයක් තිබිය යුතු බවයි.

වඩාත් විශේෂ සිදුවීමක් ලෙස පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හැර එම පක්ෂයේ ප්‍රමුඛ පෙළේ නායකයන් කිහිපදෙනකුම බැසිල් විරෝධී සහ ආණ්ඩුවේ සමහර ව්‍යාපෘති ප්‍රසිද්ධියේ විවේචනය කිරීමය.

GSP නැතිවෙයි කියා ආණ්ඩුව බයවෙයි : යුරෝපා බලවතුන්ට කොළ කොඩි දායි !

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා යුරෝපා පාර්ලිමේන්තුව විසින් පසුගිය මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාව පරිදි ආණ්ඩුව කටයුතු නොකළොත් ලංකාවට GSP+ බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධි කටයුතු සඳහා ලබාදෙන ආධාරද අහිමිවීමේ අනතුරක් මතුව තිබේ.

මෙසේ බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුර මතුවීමත් සමග ශ්‍රී ලංකාණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට පියවර ගන්නා බව යුරෝපයට දැනුම් දී තිබේ.

පනත “සමාලෝචනය කිරීම සඳහා” ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බව සහ “ප්‍රතිසන්ධානයේ නිශ්චිත ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය” සම්බන්ධයෙන් යුරෝපා සංගමයට දැනුම් දුන් බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් කොට දඬුවම් නියම කරනු ලැබ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දහසය දෙනෙකු ජනාධිපතිවරයා විසින් නිදහස් කර යැවීමද එහිදී ප්‍රධාන වශයෙන් දැනුම් දී ඇත.

දෙමළ සිරකරුවන් නිදහස් කළ දාම විශේෂ සමාවකින් මුදා හරිනු ලැබූ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් යමක් සාකච්ඡා කළේ දැයි විදේශ අමාත්‍යාංශය හෝ යුරෝපා සංගමය හෝ ප්‍රසිද්ධියට පත් කර නැත.

"ඒ අනුව, ජුනි 25 වැනි දින විදේශ අමාත්‍යාංශය විසින්, දැනට පවත්නා නීති සම්පාදනය, අතීත භාවිතයන් සහ ජාත්‍යන්තර විශිෂ්ට පරිචයන් අධ්‍යයනය කිරීමත් සමඟ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීම සඳහා සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දී ඇත."

සදහම් යාත්‍රාවේ ගිය තිස්ස : යටිනුවරදී කන පිරෙන්න අහගෙන : සජිත්ගේ නමත් හැලිලා !

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම වරදක් බව දැන්වත් තේරුම් ගෙන අඩුපාඩු සකසා ගන්නා ලෙස මහනුවර - යටිනුවර ආසනයේ කුරුඳුවත්ත ශ්‍රී සුදර්ශනාරාමාධිපති යටිවැල්දෙනියේ මේධංකර හිමියන් සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට අවධාරණය කර ඇත.

ඒ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ආශීර්වාද ලබාගැනීමට " සදහම් යාත්‍රා " වැඩසටහනට අනුව පන්සල ගිය අවස්ථාවේය.

එහිදී එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර දුර්වල කිරීම හේතුවෙන් ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටිම දුර්වල වී ඇති බවත් එහි සම්පූර්ණ වගකීම ඔබලා ගතයුතු බවත් උන්වහන්සේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ට සඳහන් කර ඇත.

එසේම "ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදුන්නෙත් ඔබලා. දැන් එහෙනම් ජනතාව ගැන මීට වඩා වැඩි වැඩකොටසක් ඉටුකරන වගකීම තිබෙනවා" යනුවෙන් ද පවසා ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සමග මේ ආශීර්වාද ලබාගැනීම සඳහා කඩුගන්නාව නගර සභාවේ විපක්ෂ නායිකාව වන ෆවයිනා මොහිදීන් සහ යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත ද ඊට එක්ව ඇත.

කඩුගන්නාවේ ෆවයිනා සහ යටිනුවර චම්පිකත් හොඳට අහගෙන !

ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රී ධූර ලබා මේ වන විට සමගි ජනබලවේගය ට එක්වූවන්ය.

.මෙහිදී මේධංකර හිමියන් ඔවුන්ට පවසා ඇත්තේ , එක් පක්ෂයකින් ජන්දය ගෙන මන්ත්‍රී ධූර ලබා වෙනත් පක්ෂයකට පැණීම ශිෂ්ට සමාජයට ගැලපෙන දේශපාලනයක් නොවන බවයි.

පක්ෂය මාරු කිරීමට අවශ්‍ය නම් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන්න තිබූ බවත් ඒ හැර මේ සිදුකරන ක්‍රියාව ශිෂ්ට සමාජය පිළිකුල් කරන බවත් පවසා ඇත.

එබැවින් දේශපාලනය කිරීමේදී නින්දිත වැඩ වෙනුවට යහපත් මනුස්සයෙක් වී සමාජයට යහපතක් කරන්න වෙහෙසෙන්න කියාත් උන්වහන්සේ පවසා ඇත.

මේ ආකාරයට තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකම පන්සල් වෙත ගිය විට එජාපය දෙකඩ කිරීම හේතුවෙන් විපක්ෂය දුර්වල වී ඇති බවට චෝදනා එල්ලවූ බවත් වාර්තා වෙයි.

තිස්ස : හැළුවාද ? හැළුනාද ? සජිත්ව ?

මේ අතර සදහම් යාත්‍රා වැඩසටහන අතර තුර තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා උපුටා දක්වමින් ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ "ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබල සංධානයක් ලෙස විපක්ෂය ඒකරාශී කිරීමට කටයුතු කර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඊට එක්සත් ජාතික පක්ෂයද දායකත්වය ලබාදිය හැකි බව" පැවසූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,”සමගි ජන බලවේගය විහාරස්ථාන සමඟ ගනුදෙනු කරන්නේ කිසිවකු අනුකරණය කිරීමට නොවේ. අපේ රටේ කිසිවකුට පන්සල පල්ලිය කෝවිල අමතක කර ගමනක් යා නොහැකියි.සමගි ජන බලවේගය සදහම් යාත්‍රා වැඩපිළිවෙළ ක්‍රියාත්මක තියෙන්නෙත් ඒ අනුවයි. අපේ ගමන පන්සල පල්ලිය කෝවිල ආදී සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කරගෙන ගමනක් යමින් සිටිනවා.” යනුවෙන් පවසා සිටියේය, යනුවෙන් එම පුවතේ සඳහන් කර ඇත.

වඩාත් විශේෂ කරුණ වන්නේ සජබ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ගේ නම තිස්ස මන්ත්‍රීවරයා සඳහන් කළ බවක් සඳහන් නොවීමය.

පොහොර අවුලත් ශ්‍රිලනිපය හීනියට අදියි !

රට තුළ රසායනික පොහොර ආනයනය එක්වරම නතර කිරීම හේතුවෙන් ගොවියා දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා සඳහන් කරයි.

අම්බලන්ගොඩ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර කාබනික වගාවකට රට සූදානම් කළ යුත්තේ ක්‍රමානුකූලව බවත් එය එක්වරම සිදුකිරීම හේතුවෙන් ගොවි අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකි බවත් පැවසීය.

කාබනික පොහොර භාවිතයෙන් වගාව පවත්වාගෙන යාමට හැකි නම් තමා මෙන්ම රටට ආදරය කරන සියලු දෙනා කැමැති බවත් පැවසූ ඔහු එනමුත් එය එකවර කළ හැකි දෙයක් නොවන බව බොහෝ දෙනෙකුගේ හැඟීම් වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත්තේ රටවැසියාට ඇති ආදරය නිසා වුවත් එම වැඩපිළිවෙළ කළ යුත්තේ කාලානුරූප යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

රට තුළ මේ මොහොතේ මතු වී ඇති ගොවි අර්බුදය ගැන අවධානය යොමු කර රජය ඒ පිළිබඳව යම් සහනදායී ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

මීට පෙර අමාත්‍ය මහින්ද අමරවීර පොහොර හිඟය සම්බන්ධව ජනතාව වෙතින් සමාව ඉල්ලීය.

ඇති ඓශ්චර්යයක් නෑ : බැසිලාගමනයට ශ්‍රිලනිපයෙන් දැඩි ප්‍රහාරයක් !

වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඈත්කර වීමේ ප්‍රධාන වගකිවයුත්තා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

”කවුරුත් විශ්මකර්මයෝ ඇවිල්ලා කරන්න දෙයක් නෑ. බැසිල් රාජපක්ෂ තමයි මේ සන්ධානේ යම් අර්බුදයක් නිර්මාණය කරන්න පදනම් වෙච්ච පුද්ගලයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබිය යුතු ජාතික ලැයිස්තු, ඒ වගේම නිලතල ඒ කාරණා, ඒ වගේම පක්ෂය කොන් කිරීමේ කටයුතු ආරම්භ වුනේ ඒ අවස්ථාවලදී.

එතුමා මං හිතන්නේ මේ අර්බුද සහ සියල්ල මැද එතුමාට පුළුවන් කළමනාකරණය කරගන්න. ඇමති මණ්ඩලයට ආවත්, නාවත් මේ ක්‍රියාවලිය තුළ බලවත්ම පුද්ගලයා එතුමා. ඉතින් මං හිතන්නේ එතුමා හිටියා කියලා එතුමා අතින් වෙච්ච මහා ආශ්චර්යමත් දේවල් පේන්න නෑ. ඒ වගේම එතුමා ඇවිල්ලා මං හිතන්නේ දැන් කිව්වා වගේ තෙල් මිල අඩු කරයිද ? එතකොට බඩු මිල අඩු කරයිද ? අපි බලන් ඉමු. ආශ්චර්යමත් සිදුවීම් ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා ද කියලා.

ජනතාව විචාරශීලිව බලන් ඉන්නවා මේ දිහා. අපි හිතන් හිටියා මේ ආණ්ඩුවට අපිත් සහයෝගය දීලා මහා විශාල දේවල් කරයි කියලා. අඩු ගානේ පාරදෘශ්‍යභාවයෙන්. මං හිතන්නේ තරුණ පරම්පරාව අතරෙ කලකිරීමක්, ඉච්ඡාභංගත්වයක් වෙහෙසකාරී බවක් ඇති කරලා තියෙනවා.

මහමැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පක්ෂය සමඟ වෙනමමත්, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟත් වෙනම ගිවිසුම් ඇති කර ගත්තා. මේ ගිවිසුම්, එකඟතාවයන් කඩා බිඳ දමමින් තමයි ආණ්ඩුව පිහිටුව්වේ. පිහිටුව මුල් අවස්ථාවේදී ම, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකඟ වෙච්ච ඇමතිකම් ලබා දීම විවිධ ආණ්ඩුකාර ලබා දීම ජාතික ලැයිස්තුව සම්පූර්ණ ලබා නොදීම. මේ වගේ කෙනෙහෙළිකම්වලින් තමයි ආණ්ඩුව ආරම්භ වුනේ. කෙනෙහිළිකම්වලින් ආරම්භ වෙච්ච ආණ්ඩුව අද වන විට බරපතල අර්බුදයක් දක්වා ගමන් කරමින් තිබෙනවා.

මේ වන විට විශේෂයෙන්ම අපේ සහෝදර, සන්ධානයේ ඉන්න සහෝදර සෙසු පක්ෂවල නායකයින්ට විරුද්ධව මත වාදයන් අදහස් ඉදිරිපත් වෙනවා. මේකේ තීරණාත්මක අවස්ථාව තමයි උදය ගම්මන්පිල ඇමතිතුමා වහාම එතනින් ඉවත් කිරීමට තිරණය කර ගනු ලබනවා. මේ සමඟම ඇති වෙලා තියෙනවා ආර්ථික අර්බුදය සමඟ දේශපාලන අර්බුදයක්”

WHO හී ලංකා නේවාසික නිත්‍ය නියෝජිත අලාකා සහ පවිත්‍රා අතර හමුවක් !

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන ආකාරයට මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා ඇත්තේ කොවිඩ් මර්දන වැඩපිළිවෙලේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහය ඉතා අගය කොට සලකන බවයි.

විශේෂයෙන් එන්නත්කරණ වැඩසටහනේදී ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය දී කොවැක්ස් ව්‍යාපෘතිය මගින් එන්නත් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස,ශ්‍රී ලංකා ජනරජයේ කෘතවේදී ස්තූතිය පලකරන බවය.

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං පවසා ඇත්තේ ,ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත්කර ඇති වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා අගය කරන බවයි, එබැවින් ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය ලෙස කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය සියලු සහය ලබාදීමට කැපවෙන බවද ඇය සඳහන් කල බවය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇලන් ලුඩෝවයිඩ් සහ අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න ද සහභාගී වූ බවව සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයේ සඳහන් කර ඇත.

මාධ්‍යවේදියාට දේශබන්දු කළේ තර්ජනයක් : මාධ්‍ය සංවිධාන පොලිස්පතිට ලියයි !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ෆේස්බුක් ඔස්සේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද තර්ජනාත්මක ප්‍රතිචාරයක් සම්බන්ධව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.

මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ "මෑත කාලීන සිදුවීම් දෙස බලන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදු කර ඇති 'Borumai kiyanne soba dhahama jayagani - Aniwarwen see prbakaran and other Criminals' යන ප්‍රකාශය ඇතුළත් ප්‍රතිචාර දැක්වීමෙහි බරපතළ අනතුරු ඇඟවීමක් ගැබ්ව ඇති බව" ය.

එසේම මෑත සිදුවීම් සැලකිල්ලට ගෙන මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් අදාළ ලිඛිත දැනුම්දීම හරහා සිදුකර ඇත.

මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පති වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

2021-07-02

චන්දන වික්‍රමරත්න මහතා,

පොලිස්පති,

පොලිස් මූලස්ථානය,

කොළඹ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ෆේස්බුක් ඔස්සේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද තර්ජනාත්මක ප්‍රතිචාරය සම්බන්ධවයි.

පොලිස්පතිතුමනි,

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඊයේ (01) ඔහුට අනියම් ආකාරයට කර ඇති තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුවේ දැඩි අවධානය යොමු වී ඇත.

අදාළ ප්‍රවෘත්තිය සඳහන් ෆේස්බුක් පෝස්ටුව - https://m.facebook.com/story.php?story_fbid=4804876112874609&id=100000568041748

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ලද බවත්, ඒවාට අදාළව සොබාදහම දඬුවම් කරනු ඇති බවත් දිගින්-දිගටම සඳහන් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙස අවධාරණයෙන් කියා සිටී. මාධ්‍යවේදියා මෙහිදී තමන් ලියන ලද අසත්‍ය පුවත් මොනවාදැයි විමසා සිටියද, ඊට නිශ්චිත පිළිතුරක් දේශබන්දු තෙන්නකෝන් විසින් ලබා දී නැත. එක් අවස්ථාවකදී පමණක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියක් පිළිබඳව ඔහු සඳහන් කරයි.

තරිඳු ජයවර්ධන ප්‍රධාන කර්තෘ ධුරය දරන www.medialk.com පුවත් වෙබ්අඩවිය එම ප්‍රවෘත්තිය සඳහන් කර ඇති ආකාරය - https://medialk.com/archives/5653

එම ප්‍රවෘත්තියේ මූලාශ්‍රය වන්නේ 2021 ජුනි 29දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තරිඳු ජයවර්ධන යොමුකරන ලද ප්‍රශ්නයකට ජනමාධ්‍ය ඇමැති සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල විසින් ලබාදුන් පිළිතුරයි.

මෑත කාලීන සිදුවීම් දෙස බලන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදු කර ඇති 'Borumai kiyanne soba dhahama jayagani - Aniwarwen see prbakaran and other Criminals' යන ප්‍රකාශය ඇතුළත් ප්‍රතිචාර දැක්වීමෙහි බරපතළ අනතුරු ඇඟවීමක් ගැබ්ව ඇති බව බව මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් අපි විශ්වාස කරමු.

එසේම, අසත්‍ය පුවත් පළකරන ලද බවට චෝදනා කරමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන මේ වනවිටත් රැඳවුම් භාරයේ සිටින බහුතරයකට එරෙහිව විධිමත්ව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකිරීමක් සිදුව නැති පසුබිමක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද ඉහත ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන ලෙසත්, ඊට අදාළව විධිමත් විමර්ශනයක් සිදුකොට, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට, විශ්වාසී,

මාධ්‍ය සංවිධාන එකතුව වෙනුවෙන්

ධර්මසිරි ලංකාපේලි,

ලේකම්,

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

සීතා රංජනී,

කැඳවුම්කරු,

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

දුමින්ද සම්පත්,

සභාපති,

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

එන්.එම්.අමීන්,

සභාපති,

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය

කනපතිපිල්ලේ සර්වානන්ද

ලේකම්

දෙමළ මාධ්‍ය සංසදය

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි,

ලේකම්,

ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

පිටපත් -

1) සභාපති- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා - අගමැති

කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇතැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ  අද (02) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

රුපියල් මිලියන 445ක් සහ රුපියල් මිලියන 127ක් වැය කරමින් ඉදි කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව සහ පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික උමං මාර්ගය විවෘත කළ අග්‍රාමාත්‍යතුමා, රුපියල් මිලියන 4999ක වියදමෙන් කොටුව ලෝටස් මාර්ගයේ  මහල් 17කින් යුතුව ඉදිකෙරෙන “සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ” වැඩ ආරම්භ කරමින් මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එහි සමරු ඵලක විවෘත කළේය.

එම ව්‍යාපෘතිය 2023 වසරේ අවසන් කිරීමට නියමිතය.

මේ අතර චීනයේ හුනාන් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් ගෘප් කෝපරේෂන් සමාගම රුපියල් මිලියන 127ක ඉදිකළ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට උමං මාර්ගය අද අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

ඉන් අනතුරුව රුපියල් මිලියන 445ක වියදමින් කැතික් චීන සමාගම විසින් ඉදිකරනු ලැබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට පත් කිරීමද සිදුවිය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 130ක් දුරින් හමුවන සැතපුම් කණුව අසල මාතර - හක්මන මාර්ගයේ කොළඹ දිශාවට ප්‍රවිශ්ට වීමට හා පිටවීමට මෙම අන්තර් හුවමාරුව විවෘත කර තිබේ.

 

වගකීමෙන් කෘෂි ඇමති මහින්දානන්ද වගකීමෙන් ද කියන්නේ ?

වර්ථමාන කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් පසුගිය අප්‍රේල් මස 12වන දින ප්‍රසිද්ධ දේශපාන වැඩසටහනකට සහභාගී වෙමින් කළ ප්‍රකාශය නම්…

"මම වගකීමෙන් කියනව,, මම කෘෂිකර්ම ඇමතිවරයා ඉන්න තුරු එක සහල් ඇටයක් පිට රටින් ගේන්න දෙන්නෙ නෑ...සීයට 3% ඒව ගැන මට කියන්න බෑ කීරි සම්බ ගැන..

මේ රටේ බහුතරයක් කන්නෙ නාඩු,, ඔබ පුදුම වෙන්න එපා අපි සහල් "ආනයනය කරනව" අපි සහල් පිටරට යවනව….සුදු කැකුලු රතු කැකුලු ගෙන්නන්නෙ නෑ…….

නිරතුරුවම පපුවට අත තබමින් වගකීමෙන් කියන සියලුම ප්‍රකාශ පාහේ දාර පුස්සක්වන අයුරු ජනතාවට අරුමයක් නොවනු ඇත…

තදියමින් බොරුකියන විට පැටලීම සමාන්‍ය තත්වයක් බව පසක් කරමින් සහල් අපනයනය කරනවා යන්න ප්‍රකාශ කළයුතුව තිබුනද අපි සහල් ආනයනය කරනවා ලෙස ප්‍රකාශ වූ බව හෝ පසක් නොවන්නේ තමා පවසන දේ ගැන නිවැරැදි අවබෝධයක් නොමැතිවීම විය හැක……

මාස දෙකහමාරක් යන්නට මත්තෙන් එම රූපවාහිනී නාළිකාවේම මහින්දානන්දලාට දිඨ්ඨ දම්ම වේදනීය කර්මයන්ට මුහුණ පෑමට සිදු උවත් වචන හරඹ වලින් සත්‍ය ජනගත වීම වැලැක්විය නොහැකි බව මහින්දානන්දලා අවබෝධ කරගත යුතු කාළය එළඹ ඇත.

මහින්දානන්ද වගකීමෙන් කළ ලෝක කුසලාන ගජබින්නාව……..!

මහජන නියෝජිතයකු, වගකිවයුතු පාර්ලිමේන්තු මංත්‍රී වරයකු අමාත්‍ය වරයකු ලෙස මැතිවරණ සමයේ තවත් මෙවැනිම ප්‍රකාශයක් සිදු කළහ…..එවක ලෝක ක්‍රිකට් කවුන්සිලයට ලෝක පූජිත ක්‍රීඩක,The Golden Cricketer නමින් විරුදාවලිය ලත් කුමාර් සංඟක්කාරගේ නම යෝජනා වූ අල්ලපනල්ලේ ඇමති මහින්දානන්ද වගකීමෙන් ප්‍රකාශ කරනවා කියමින් සඳහන් කළේ "අපි ලෝක කුසලානය වික්කා" එය ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වෙමින් සංඟක්කාරටද අනගි අවස්ථාවක් මෙන්ම රටට අත්වීමට තිබූ කීර්තියද ගිලිහී ගියහ….

අර්ඹුදය දොරකඩටම ආවිටත් වගකීමෙන් මුසා බස් පවසා කා රවටන්නේද….?

පසුගිය සමයේ අධික එලවලු මිල යාමේදී පවා විනිවිද භාවයක් විද්‍යාත්මක ක්‍රමවේදයක් රහිත වචන හරඹ වලින් මාධ්‍ය සංදර්ශන මගින් ගැටලු විසඳන මහින්දානන්දලාගේ දේශපාලන භාවිතය හා සුජාතභාවය රටවැසියන් ඉතා මැනවින් අවබෝධ කරගෙන සිටින සමයක, උද්ගතව ඇති පොහොර ගැටලුව අනාගතයේ රට භයානක ආහාර හිඟයකට ඇද දමන බවට කෘෂි හා ආර්ථික විශේෂඥයින් පෙන්වා දී ඇත……

දැවැන්ත ආර්ථික කඩාවැටීමත් ඩොලර් සංචිත සීඝ්‍රයෙන් වැය වීමත් හමුවේ නොමිලේ රසායනික පොහොර දීමට අවශ්‍ය ඩොලර් සොයාගැනීම ගැටලුවක් වී ඇති සංදර්භයක රටේ ජනතාවට සත්‍ය නොපවසා, තව දුරටත් නියමාකාරයෙන් විද්‍යාත්මක පර්‍යේෂණාත්ම අත් හදාබැලීමකින් තොරව ක්‍රියාත්මක කරන කාබනික පොහොර ගැටලුවෙන් රටත් සමස්ත ජනතාවත් තවත් දැවැන්ත අර්බුදයකට තල්ලු වනවා නිසැකය………….

එදා වේලට වගකීමෙන් බොරු කියනවා වෙනුවට ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රවීනයන් කුසලතා ඇත්තන් එක්කොටගෙන වහාම අර්බුදයට පිළියම් සෙවීමට විෂය භාර ඇමතිවරයා ලෙස වගකීමෙන් කිරීම හැර ආණ්ඩුවේ නොහකියාව වසාගැනීමට වගකීමෙන් බොරු කීම තරම් නොවනු ඇත…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය දිනයේ ක්‍රීඩා මාධ්‍යවේදියකුට මරණ තර්ජන

සිය ජීවිත ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව සදහන් කරමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ජාත්‍යන්තර ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ දිනයේදි පොලීසියට පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වී එෆ්.එම් ආයතනයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ධනුෂ්ක අරවින්ද ජුලි 2 සිකුරාදා මරදාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයට පැමිණිලි කර ඇත්තේ සිය නිවසට කිසියම් පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙකු අද (02) අලූයම් කාලයේදි නීතිවිරෝධීව ඇතුළු වී තමන්ගේ ලේඛන හා ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියා කිරීමේදි තරගාවලි ආවරණය කිරීමේදි ලැබෙන හැදුනුම්පත් සෝදිසි කර බිම දමා ගොස් ඇති බවයි.

වසර 20කට ආසන්න කාලයක් රූපවාහිනී මාධ්‍යවේදියෙක් ලෙස සේවය කල ඔහු අවසන් වරට සේවය කර ඇත්තේ ස්වර්නවාහිනි ආයතනයේයි. ස්වර්නවාහිනියෙන් අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම හේතුවෙන් ඔහු විසින් කම්කරු උසාවියට ඉදිරිපත් කල පැමිණිල්ලකට අදාලව නඩුවක්ද මේ වන විට විභාග වෙමින් පැවතින බවත්, එම නඩුවට අදාල ලියකියවිලි ද පැමිනි පිරිස අවුස්සා ඇති අතර ඇතැම් ලේඛන අතුරුදන් වී තිබෙන බවත් පැමිණිල්ලේ ඔහු ඉදිරිපත් කර ඇත.

"ක්‍රීඩා ජනමාධ්‍යවේදියෙකු ලෙස මාගේ ජිවිත ආරක්ෂාව එල්ලවී ඇති තර්ජනය ගැන වගේම සිදුවී ඇති දේ ගැන නිසි ආකාරයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මම මරදාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයට මීට ස්වල්ප වේලාවකට පෙර පැමිණිල්ලක් ද සිදු කළා. " ඔහු සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ දිනයේදි මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් ප්‍රකාශ කිරීමට සිදුවීම ගැන අතිශය කණගාටුවට පත්වන බව මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද සදහන් කරයි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ ඇගිලි සලකුණු සටහන් කරගෙන ගිය බව පවසන මාධ්‍යවේදියා වැඩි දුරටත් සදහන් කලේ නීතියෙන් සාධාරණයක් ඉටු වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

danushka

මහින්දගේ ගෝලයා ෆලීල්ට බැසිල්ගේ ගෝලයාගෙන් තගක් !

මොහොමඩ් ෆලීල් මර්ජාන් කියන්නේ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයට ප්‍රසිද්ධ කලපුවක් ආසන්නයේ ඇමති කෙනෙකුගෙන් තගක් වැටිලා.

ආරංචි හැටියට ලකුණු දාගන්න කරපු වැඩක්.

කොහොම හරි තග දාලා කියලා තියෙන්නේ "ඇතුලේ දේශපාලන කතා පිටට දෙන්න එපා, ඒවට ලෑස්ති වෙන්න එපා. ඉල්ලා අස්වෙන්න කිව්වා නම් ඉල්ලා අස්වෙනවා.. " වගේ කයිවාරුවක්.

මේ කතාව කිව්ව ආණ්ඩුවේ ප්‍රබලයා නම් කිව්වේ ෆලීල් මර්ජාන් සත පහකට ඒ ඇමති තග ගණන් අරගෙන නෑ කියලා. මොකද බැසිල්ගේ ගෝලයා කියලා හිතලා ඇඳලා ඉන්නේ කියලා තමයි ඇතුලෙත් කථාව" කියලා.

ඒ වගේම තමයි ආණ්ඩුවේ ප්‍රබලයා මෙහෙමත් කිව්වා.

"ඔය කළපු ඇමතිලා වගේ නෙවෙයි ෆලීල්ලට අගමැති තුමා සලකන්නේ පවුලේ සමීපතම අය විදියට. ඒ නිසා තමයි මුල් වතාවෙ ඉල්ලා අස්වෙන්න යෝජනාව අහපු ගමන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් වුණේ.

"ඔබතුමා අස්වෙන්න එපා.. ඕනවෙලාවක අස්කරන්න බලාගෙන බැසිල් 7 දෙනෙක් පත්කරලා තියනවා. එයින් කෙනෙක් අස්වේවි. ඔබතුමා ජාතික ලැයිස්තුවට පත්කළේ මම. අනෙක ඔබතුමා අස්කලොත් ඉන්න මුස්ලිම් මිනිස්සු ටිකත් අපි එක්ක වෛර බැඳගනිවී .. අස්වෙන්න එපා'' කියලා.

මේ කතාව අපි මීට කලිනුත් වාර්තා කලා.

බිලියන ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෆලීල් මර්ජාන් අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතෙක්. ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීකම පිරිනමා තියන්නේ කරපු උදව් උපකාරවලට කාලගුණ සැලකීමක් විදියට.

අනික තමයි 20 සම්මත කරගැනීමට වගේම විශේෂයෙන් බැසිල් රාජපක්ෂට ම අදාලවූ , ඩුවෙල් සිටිසන් වගන්තිය සම්මත කරගැනීමට මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීන් සම්බන්ධීකරණය සිදුකොට ඇත්තේ, මොහොමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රීවරයා.

ජාතික ලැයිස්තුවෙන් පත්වූ අලි සබ්රි අධිකරණ ඇමතිවරයා ඇති කාර්ය බහුලත්වය නිසා , ඒ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ දුක්ගන්නා රාළ බවට පත්වෙලා තියෙන්නේත් , මේ මොහොමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රීවරයා.

ඒ වගේ තත්වයක් ඇතුලේ ඔහුව ඉවත්කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන්, මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් පමණක් නෙවෙයි , රාජපක්ෂවරුන්ට හිතවත් මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවෙන්ද එල්ලවී ඇත්තේ බලවත් විරෝධයක්.

" බලන්නකෝ, මේ හාදයෝ ලොක්කන්ගෙන් ලකුණු දාගන්න මේ මිනිස්සුන්ට අරවා මේවා කියනවා. මේ අයත් නැතිවුණොත් කියලා වැඩක් නෑ ඉතිං. මේ මිනිස්සු මොනවා වුනත් රාජපක්ෂලා එක්ක හිටපු මිනිස්සු. අර මොනවාද මහින්ද මහත්තයා පැරදුනු වෙලාවේ ඉක්මනින් ගිහින් මෛත්‍රී හම්බුණ අය.. මොනවා නැතත් මහින්ද මහත්තයාට ඕවා මතකයි."

" මම හිතන්නේ ෆලීල් ඔය පාර්ට් දාපු සිද්ධිය මහින්ද මහත්තයාට කියයි." ආණ්ඩුවේ ප්‍රබලයා අපිට කිව්වා.

දේශපාලන වාර්තාකරු

අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කුවලට : ආණ්ඩුව දුන්න සහනය මෙන්න !

රුපියල් බිලියන එකයි දශම පහකට (රුපියල් කෝටි 150) අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවන ලද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කර මත්පැන් නිෂ්පාදනය ඊයේ (01දා) සිට නැවත ආරම්භ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත.

රජයට ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය ගෙවීමේ එකඟතාව මත මෙම අවසරය ලබාදුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් උපුටා දක්වමින් දෙරණ මාධ්‍ය ජාලයට අයත් ද මෝර්නිං සහ අරුණ පුවත්පත් වාර්තා කර ඇත.

බදු පැහැර හැරීම ​හේතුවෙන් 2018 වර්ෂය ආරම්භයේදී මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්හිටවනු ලැබූ අතර එම හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් විය.

මෙන්ඩිස් සමාගම 2011 වසරේ දී අර්ජුන් ඇලෝසියස් ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ගනු ලැබිණ. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට මැදිහත් වූයේ වෙන සමාගමක් නොව අර්ජුන් ඇලෝසියස් ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ය.

මේ ආණ්ඩුව බලය ගත්තේ බැඳුම්කර හොරු අල්ලනවා කියමිනි.

විදේශිකයන්ට අරමුදල් තම රටට යැවීමට සීමා !

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් සියරටට යැවීම සීමා කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහත දැක්වෙයි.

2c1ccb82 2234 49 s page 001 724x1024

0382e44a 2234 49 s page 002 724x1024

චීනට තිස්ස වැව හාරන්න දුන්නේ ඇයි : සම්පූර්ණ විස්තරය මෙන්න !

වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ දී සිදු වන පාරිසරික බලපෑමට සාපේක්ෂ ව අලුතින් පරිසර පද්ධති ගොඩනැංවී ඒ මත විශාල ජෛව ප්‍රජාවකට රැකවරණය හිමි වීමෙන් ඉදිකිරීම් කාලයේ දී ඇති වූ පාරිසරික බලපෑම් ඉතා කෙටි කලකින් හානිපූරණය වේ. මේ නිසා වැව යනු අවිවාදයෙන් ම තිරසර සංවර්ධනයට ඇති හොඳ ම උදාහරණය ලෙස පෙන්වා දිය හැකි ය.

වසර දහස් ගණනක් ස්වභාවීකරණයට ලක් වූ සුවිශේෂී ජෛව ප්‍රජාවකට රැකවරණය සලසන, කෘෂි ආර්ථිකයක් ගොඩනංවන වැව් කිසිදු සැලැසුමකින් තොර ව ජල ගබඩාවක් ලෙස සැකසීමට ගැඹුරු කිරීම සඳහා හෑරීම ඉතා ම හානි කර ය. නමුත් වර්තමානයේ මේ තත්ත්වයට ගොදුරු ව ඇත්තේ තිස්ස වැව හෙවත් තිස්සමහාරාම වැව යි. යන්ත්‍ර සූත්‍ර භාවිතා කර වැවෙහි පස් හා රොන්මඩ කැනීම සහ වැලි නිස්සාරණය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යංශය එක් ව නීති විරෝධී ව චීන සමාගමකට පවරා තිබේ. මෙම කැනීම් මගින් බලාපොරොත්තු වන්නේ වැවේ ජල ධාරිතාව වැඩි කර, විශාල ජල ප්‍රමාණයක් රදවා ගැනීමයි. නමුත් මෙම ව්‍යාපෘතියේ යටි අරමුණ වන්නේ හම්බන්තොට මහ නගර සංවර්ධනය යටතේ චීන සමාගම් ගණනාවක් විසින් ක්‍රියාත්මක කරන මාගම්පුර වරාය ඇතුළු ව්‍යාපෘතිවලට හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත අක්කර 15,000 ක චීන කර්මාන්තපුරයට ජලය ලබා ගැනීමට ය.

මේ ව්‍යාපෘතිය හේතුවෙන් තිස්සමහාරාම වැවෙන් වාරි ජලය සපයන කුඹුරු අක්කර 3115 ක පමණ වී ගොවිතැනේ නිරත විශාල ගොවි ජනතාවක් අවතැන් වීමට නියමිත ය. මීට අමතර ව වැවෙහි මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත ධීවර පවුල් 200 කට වැඩි ප්‍රමාණයක් දැඩි බලපෑමට ලක් වනු ඇත. නමුත් මේ පිළිබඳ ව කිසිදු අධ්‍යයනයකින් තොර ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ චීන සමාගම්වල ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඇති බාධකයන් වන ගොවීන් හා මිරිදිය ධීවරයන් මේ තුළින් පහසුවෙන් ඉවත් කිරීමට හැකි වීම නිසා ය.

වැවක් යනු හුදු ජල ගබඩාවක් පමණක් නොවේ. වැව මගින් විශාල ප්‍රදේශයක භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වාගෙන යාම සිදු කරයි. ඒ මගින් වැවේ ජලය ලබා ගෙන සිදු කරන කෘෂි කර්මාන්තයට අමතර ව වැවෙන් පවත්වාගෙන යන ඉහළ භූගත ජල මට්ටම මගින් කෘෂිකර්මාන්තයට හා ජෛව සුරක්ෂිතතාවයට ලබා දෙන දායකත්වය ඉහළ මට්ටමක පවතී.

වීරවිල – තිස්ස අභය භූමියේ ජෛව පද්ධතිය වැනසීම

දීර්ඝ කාලයක් ස්වභාවීකරණය වූ වැවක මිරිදිය ජලජ ජීවීන්ගේ විවිධත්වය ඉහළ මට්ටමක පවතින අතර එම ජීවීන් බෝවන පරිසර පද්ධති බොහොමයක් නිර්මාණය වේ. එපමණක් නොව ඒ මත දේශීය හා සංක්‍රමණික ජලජ පක්ෂි විශේෂ හා උරග විශේෂ බොහොමයක් යැපෙති. වැව් ආශ්‍රිත ව පිහිටි විශාල වෘක්ෂ බොහෝ දේශීය ජලජ පක්ෂීන්ගේ බෝවීමේ ප්‍රදේශ වේ. තිස්සමහාරාම වැවේ ද මේ තත්ත්වය ඉතා හොඳින් දැක ගත හැකි වේ. මෙම වැව දේශීය නේවාසික පක්ෂි විශේෂවලින් ගහන සුවිශේෂී තෙත් බිමකි.

මෙරට කුඩා ම නේවාසික ජලජ පක්ෂියා වන ගෙඹි සේරා (Little Grebe) ගේ සිට අළු පැස්තුඩුවා (Spot – billed Pelican), හංසකාවා (Indian Darter), දියකාවා (Indian Shag), පුංචි දියකාවා (Little Cormorant), කලපු කොකා (Grey Heron), කරවැල් කොකා (Purple Heron), ලතුවැකියා (Painted Stork), විවර තුඩුවා (Open bill Stork), බළල් සේරා (Pheasant – tailed Jacana) වැනි විශේෂ බොහොමයක් තිස්සමහාරාම වැව නිවහන කර ගෙන ජීවත් වේ. යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන සිදු කරන වැවේ පස් හා රොන්මඩ ඉවත් කිරීම හේතුවෙන් මත්ස්‍යයින්, මිරිදිය ඉස්සන්, මිරිදිය කකූළුවන් හා මිරිදිය බෙල්ලන් බෝවන ජලජ පරිසර පද්ධති සියල්ල මුළුමනින් ම විනාශ වී යන අතර ඒ මත යැපෙන ජලජ පක්ෂීන් ද කෙටි කලකින් විනාශයට ලක් වේ.

මිරිදිය ජෛව පද්ධතියක් ලෙස තිස්සමහාරාම වැවේ සුවිශේෂත්වය හේතුවෙන් 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත නීති ගත වීමෙන් පසු ව පළමුවෙන් ම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශයක් ලෙස මෙම වැව ආශ්‍රිත ප්‍රදේශය සැලැකේ. තිස්සමහාරාම වැව ඇතුළු ව ඒ වටා පිහිටි වීරවිල වැව, පන්නෙගමුව වැව හා දෙඹර වැව අයත් වන අක්කර 10290 ක් වන සමස්ත ප්‍රදේශය වීරවිල – තිස්ස අභය භූමිය ලෙස වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තියට අනුව 1938 මැයි මස 27 වන දින අංක 8370 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව තිස්සමහාරාම වැව ඇතුළු භූමි ප්‍රදේශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.

ආර්. එල්. බ්‍රෝහියර් ගේ වාර්තාවලට අනුව ක්‍රිස්තු පූර්ව 307 දී රුහුණු රාජධානියේ රජ කළ මහානාග රජු විසින් කිරිදි ඔය නිම්නයේ වාරි පද්ධතිය සකස් කර ඇති අතර ඔහු විසින් තිස්ස වැව කරවන ලද බවට සඳහන් වේ. ඉන් පසු ව 1871 වසරේ දී මෙම වැව ප්‍රතිසංස්කරණය කර කුඹුරු අක්කර 3115 කට යල හා මහ දෙකන්නයේ වාරි ජලය සැපයීම සුරක්ෂිත කොට තිබේ. නමුත් වත්මන් පාලකයින් මහානාග රජු විසින් රටවැසියන් වෙනුවෙන් ගොඩනැංවූ හා අප රට යටත් කර ගෙන සිටි ඉංග්‍රිසීන් විසින් රටේ සහල් නිෂ්පාදනය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කර මෙරට ගොවි ජනතාව වෙනුවෙන් සුරක්ෂිත කළ තිස්ස වැව චීන සමාගම්වල අවශ්‍යතා වෙනුවෙන් ජනතාවගෙන් අහිමි කිරීම රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

තිස්සමහාරාම වැව මෙරට වැව් අතර මධ්‍යම ප්‍රමාණයේ වැවකි. කිලෝමීටර 1.2 ක් දිග වැව් බැම්මක් සහිත මෙහි මතුපිට උපරිම ජල පැතිරුම් භූමි ප්‍රමාණය අක්කර 704 ක් (හෙක්ටයාර 285 ක්) පමණ වේ. වැවේ උපරිම ගැඹුර මීටර 4.7 ක් පමණ වන අතර උපරිම ජල ධාරිතාවය ඝන මීටර මිලියන 3.9 ක් පමණ වේ. කිරිදි ඔය නිම්නයේ පිහිටි තිස්සමහාරාම වැවට කිරිදි ඔය වාරි ව්‍යාපාරය යටතේ වම් ඉවුරු ප්‍රධාන ඇළ මාර්ගයෙන් ජලය සැපයේ. මීට අමතර ව බිංකෙමහෙළ හා බෙරලියහෙළ කඳුවැටි මෙම වැවෙහි ජල පෝෂක ප්‍රදේශ වේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා නොගැනීම

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන තිස්සමහාරාම වැවෙහි පස් හා රොන්මඩ කැනීම් කටයුතු සඳහා කිසිදු අනුමැතියක් හෝ අධ්‍යයනයක් හෝ සිදු කර නොමැත. මෙවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු ය. ඒ මත පදනම් ව සියලු ක්‍රියාමාර්ගවලට පිවිසිය යුතු ය. නමුත් මේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ද ලබා ගෙන නොමැත. එසේ නමුත් 2021 මැයි මස 10 වන දින කැබිනට් මණ්ඩලය විසින් මහවැලි ජලාශවල රොන්මඩ ඉවත් කිරීම සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට හා ඒ මත පදනම් ව රෙන්මඩ ඉවත් කිරීම සඳහා සුදුසු දේශීය හෝ අන්තර්ජාතික ආයතනයක් වෙත පැවරීමට වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය ලබා දී තිබේ.

එහෙත් තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ ඉවත් කිරීමට සහ එමගින් වැලි නිස්සාරණය කිරීමට මෙන්ම එම වැලි අලෙවි කිරීමට චීන සමාගම වෙත පැවරීමට මූලික ශක්‍යතා අධ්‍යයනයක් හෝ කැබිනට් අනුමැතියක් හෝ ලබා ගෙන නොමැති වීමෙන් පෙනී යන්නේ චීන සමාගම්වල සියලු ඉල්ලීම් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව නීති රීති හා අණ පනත් ඇතුළු සියල්ල මෙන් ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින් කටයුතු කරන බව ය. චීන සමාගම් සමග සිදු කරන බොහෝ ව්‍යාපෘති මේ ආකාරයෙන් නීති විරෝධී ව, නිවැරදි සැලැසුමකට අනුව සිදු නොවීම විශාල ගැටළුවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම

තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ කැනීම හා වැලි නිස්සාරණය කිරීම සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත, ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥාපනත උල්ලංඝනය කරමිනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම හා ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය යනුවෙන් සඳහන් වේ.

එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ ම 14(1)(උ) ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක නිරත වීමේ අයිතිය පිළිබඳ ව සඳහන් කර ඇත. නමුත් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කෘෂි කර්මාන්තයේ හා මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත වීමේ අයිතිය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. නමුත් වීරවිල – තිස්ස අභය භූමිය හා එහි ජෛව ප්‍රජාව වනසමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය විසින් නීති විරෝධීව සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතාවගේ මූලික අයිතිවාස්කම් හා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම පවා උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පෙනී යන්නේ චීන සමාගම් වෙනුවෙන් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාත්මක වීමේ ස්වභාව යයි.

වනජීවී ආඥාපනත උල්ලංඝනය කිරීම

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත වීරවිල – තිස්ස අභය භූමියේ වනජීවීන්ගේ පැවැත්මට හෝ පරිසර පද්ධතියේ පැවැත්මට බලපෑම් වන කැනීම් කටයුතු, වනජීවී වාසස්ථාන විනාශ කිරීම ඇතුළු ඔනෑ ම ක්‍රියාවක නිරත වීම 7(1)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී වේ. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරණු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ආඥාපනතේ 67ආ1 උප වගන්තියට අනුව අභය භුමියක ඕනෑ ම නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි සංඥේය වරදක් සිදු කරන අතර එම වැරදි සඳහා ඇප දිය නොහැකි වේ. මෙවන් නීතිමය තත්ත්වයක් යටතේ පාලනය වන අභය භූමික පිහිටි තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ ඉවත් කර වැලි නිස්සාරණය කර විකිණීම සඳහා චීන සමාගමකට අවස්ථාව ලබා දීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ වාරිමාර්ග අමාත්‍යංශයට කිසිදු නෛතික හැකියාවක් නොමැත. මෙය මෙම ආයතන මගින් සිදු කළ නීතිය අතික්‍රමණය කිරීමකි.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

චීන සමාගම්වල ජල අවශ්‍යතාවය සැපයීමට සහ 2011-2030 හා 2018-2050 ජාතික භෞතික සැලැසුම්වලට අනුව ඉදිකෙරෙන හම්බන්තොට මහ නගරය සඳහා ජලය සැපයීමට1 ගොවි ජනතාව, මිරිදිය ධීවරයින් හා විශාල මිරිදිය ජෛව ප්‍රජාවක් අවතැන් කර තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ කැනීමට කිසිදු ආයතනයකට හැකියාවක් නොමැත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව එවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම හෝ ඒ සඳහා වෙනත් සමාගමකට පැවරීම සිදු කළ හැකි වන්නේ ජාතික පාරිසරික පනතට අනුව ය. මෙම පනත උල්ලංඝනය කරමින් මෙරට නීතියේ ආධිපත්‍යය අහිමි කිරීමට කටයුතු කිරීමේ කිසිදු හැකියාවක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ වාරිමාර්ග අමාත්‍යංශයට නොමැත.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීමට ප්‍රථමයෙන් හා 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥාපනතේ අර්ථ නිරූපිත හෝ එම පනතේ 71 වන වගන්තියට යටතේ ප්‍රකාශිත පොදු වැවක ඉහළ පිටාර මට්ටමේ සිට මීටර 100 ක් ඇතුළත හෝ එම වැව තුළ යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කිරීමට ප්‍රථම පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය.

ජාතික පාරිසරික පනතේ 33(ආ) වගන්තිය යටතේ දැක්වෙන අර්ථ නිරූපනවලට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියකින් බලාපොරොත්තු වන්නේ යෝජිත ව්‍යාපෘතියෙන් වැළැක්විය හැකි හා වැළැක්විය නොහැකි හානි කර පාරිසරික බලපෑම් හඳුනා ගැනීම සහ හානි අවම කිරීමේ විකල්ප හඳුනා ගැනීමයි. නමුත් තිස්සමහාරාම වැවේ යාන්ත්‍රික පස් හා රොන්මඩ කැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් නිවැරදි පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කර නොමැති බැවින් එම ව්‍යාපෘතියෙන් සිදු වන හානි කර බලපෑම් හඳුනා ගැනීමට හෝ එම හානි කර බලපෑම් අවම කිරීමේ විකල්ප හඳුනා ගැනීමට හෝ ඉවත් කරන රොන්මඩ බැහැර කිරීමේ ක්‍රමවේදය හඳුනා ගැනීමට හෝ නොහැකි වී ඇත. මේ නිසා ව්‍යාපෘතිය චීන සමාගමට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමෙන් විශාල හානි කර තත්ත්වයන් ප්‍රමාණයකට මුහුණ දීමට සිදු වනු ඇත.

2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන 2006 අංක 01 දරන වැලි සහ මැණික් සඳහා ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය තහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව වැවක් තුළ හෝ වැවක උපරිම ජල මට්ටම් සීමාවේ සිට මීටර 100 ක් ඇතුළත වැලි ලබා ගැනීමට යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම තහනම් වේ. තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ කැනීම මගින් වැලි නිස්සාරණය කිරීම සිදු කරන බැවින් මෙම නීතිමය ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් චීන සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී හෝ ජාතික පාරිසරික නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

ඒ අනුව මෙම හානි කර හා නීති විරෝධී ව්‍යාපෘතියට එරෙහි ව කටයුතු කිරීමේ බලය ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරියට ඇත. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය බොහෝ පාරිසරික විනාශයන් හමුවේ මුණිවත රැකීම හෝ සාධාරණීකරනය කිරීමට කරුණු ඉදිරිපත් කිරීම සිදු කරන ආකාරයට ම මෙම අවස්ථාවේ දී ද කටයුතු කිරීමෙන් සිදු වන්නේ දැවැන්ත විනාශයක් මෙන් ම වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. ඒ හේතුවෙන් ඉදිරියේ දී මෙරට වැව් පද්ධතිය හා ගොවි ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණ දීම සිදු වනු ඇත.

පුරාවස්තු ආඥාපනත උල්ලංඝනය කිරීම

මෙරට ඉපැරණි වැව් අතුරෙන් එකක් වන තිස්සමහාරාම වැව පුරා විද්‍යාත්මක ව ද විශාල වටිනාකමක් සහිත ය. මෙරට වැව් තාක්ෂණයේ විකාශනය පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී ප්‍රධාන වැදගත්කමක් උසුලයි. එහි සෑම අංගයක් ම ආරක්ෂා කිරීම අවශ්‍ය වන්නේ මේ නිසා ය.

2008 ඔක්තොම්බර් 20 වන දින අංක 1572/4 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2006 ජාතික පුරා විද්‍යා ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවේ උරුමය ශ්‍රී ලාංකීය ජනතාවගේ අනුල්ලංඝනීය අයිතිවාසිකමක් වන අතර එය ආරක්ෂා කිරීම හා කළමනාකරණය කිරීම රටේ මානව සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස සැලැකේ. එපමණක් නොව ප්‍රතිලෝමනය හා ප්‍රතිස්ථාපනය නොකළ හැකි සම්පතක් ලෙස ද සැලැකේ. එවන් තත්ත්වයක් තුළ ලංකාවේ ඉපැරණි වැව් අතුරෙන් එකක් වන තිස්සමහාරාම වැව මේ ආකාරයෙන් යාන්ත්‍රික කැනීම්වලට ලක් නොකළ යුතු ය.

සංශෝධිත 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතේ 43අ සහ 47 වගන්ති යටතේ ප්‍රකාශිත 2000 ඔක්තොම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මෙම නීතිමය ප්‍රතිපාදනය උල්ලංඝනය කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යංශය චීන සමාගම් වෙත තිස්සමහාරාම වැව යාන්ත්‍රික කැනීම් කටයුතු සඳහා ලබා දී ඇත.

නීති විරෝධී හා හානි කර ක්‍රියා අඛණ්ඩ ව සිදු කිරීම

වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය කාලය තුළ මේ ආකාරයෙන් අණ පනත් උල්ලංඝනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් අවස්ථා බොහොමයකි. මෙම අණ පනත් මගින් සිදු කරන්නේ රට තුළ තිරසර ස්වාභාවික සම්පත් භාවිතාවක් ඇති කිරීම හා තිරසර සංවර්ධනයක් අත්පත් කර ගැනීමට අවශ්‍ය නෛතික යාන්ත්‍රණය ශක්තිමත් කිරීම ය. නමුත් මෙම අණ පනත් උල්ලංඝනය කිරීමෙන් සිදු වන්නේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත පරපුරට ද ජීවත් වීමට ඇති අයිතිය අහිමි කිරීමකි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස කිහිපයක් තුළ පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කරමින් වැලි, මැටි හා පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී. ඉන් පසුව රජයේ වනාන්තර ඉඩම්වලට ආරක්ෂාව ලබා දී තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කරන ලදී. ඉන් අනතුරු ව රක්ෂිත ප්‍රදේශ අනවසරින් බුක්තිවිදින පුද්ගලයන්ට ඉඩම් බුක්තිය ලබා දීමට ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් චක්‍රලේඛයක් හා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරින.

ඒ සඳහා බලපෑම් කළ පසු එම ගැසට් නිවේදනය ඉවත් කර ගැනීම සිදු කෙරින. මීට අමතර ව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් සිංහරාජ රක්ෂිතය තුළින් ලංකාගම දක්වා මාර්ගයක් සංවර්ධනය කළ අතර එය නිසි ක්‍රමවේදයට ක්‍රියාත්මක නොකිරීම නිසා වර්ෂාවත් සමග කෙටි කලකින් විනාශයට ලක් වීම නිසා නැවත සකස් කිරීමට සිදු විය. සිංහරාජ අඩවියේ මාණික්කවත්ත ප්‍රධාන අලි මංකඩේ හෝටල් ඉදි කිරීමට අවස්ථාව ලබා දීම පමණක් නොව රඹකැන්ඔය වනාන්තර හා තෘණ භූමි පද්ධතිය මෙන් ම කන්දකාඩුව වනාන්තර හා විල්ලු පද්ධතියේ අක්කර දහස් ගණනක් නීති විරෝධී ව සමාගම්වලට ලබා දීම සිදු කෙරින. එපමණක් නොව ආනවිලුන්දාව අභය භූමිය, දහයියාගල අභය භූමිය, ජලගැළුම්නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු රක්ෂිත ප්‍රදේශ විශාල ගණනක් එළිපෙහෙලි කරමින් විවිධ භාවිතාවන්ට ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී. මේ හේතුවෙන් සිදු වූ හානිය නැවත කිසිදු දිනක හානිපූරණය කළ නොහැකි ය.

මේ නිසා තිස්සමහාරාම වැවේ නීති විරෝධී කැනීම් වලට එරෙහි විය යුතු වන්නේ වනජීවී රක්ෂිත හා වනජීවී වාසස්ථාන විනාශ කරමින් කුඹුරු අක්කර දහස් ගණනකට වාරි ජලය සපයමින් ගොවි ජනතාව විශාල ප්‍රමාණයක් ජීවත් කරවන, ධීවර පවුල් විශාල ප්‍රමාණයක් යැපෙන සුවිශේෂී වැවක් විනාශ කරමින් වැරදි පූර්වාදර්ශ ලබා දීමට ය. එසේ නොමැති ව චීන සමාගමක් කැනීම් කිරීම හෝ හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී කැනීම් කටයුතු සිදු කිරීමට නොවිය යුතු ය. මෙවැනි පුවත් මැවීමෙන් අවසානයේ සිදු වන්නේ දැවැන්ත විනාශයක් ඇති කරන හානි කර ව්‍යාපෘතියක සැබෑ ස්වරූපය ජනතාවට අවබෝධ කිරීමට ඇති අවස්ථාව අහුරා දැමීමකි. මෙය නිවැරදි ව අවබෝධ කර ගත යුතු ය. එසේ නොමැති වුවහොත් හමුදා ඇඳුමට සමාන ඇඳුමට විසදුම් ලැබුණු විට මෙම නීති විරෝධී හා හානි කර ව්‍යාපෘතිය වෙනත් බොහෝ මෙවන් අවස්ථාවල දී සිදු වූ ආකාරයෙන් ම නීත්‍යානුකූල ව්‍යාපෘතියක් යැයි සමාජය තීන්දු කරනු ඇත. එවන් තත්ත්වයක් ඇති නොවීමට මෙම නීති විරෝධී ව්‍යාපෘතියට එරෙහිව සෑම පුරවැසියෙක් ම කටයුතු කළ යුතු ය.

Sajeewa Chamikaraසජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

මින්නේරියේ අලි අවුල : හමුදා මේජර් ජනරාල්ට ඇප !

මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වන ජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු යුද්ධ හමුදා මේජර් ජනරාල්වරයා අද (01) ශරීර ඇප මත මුදා හැර ඇත.

ඒ, ඔහු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මෙසේ ඇප ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි එක්වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක යන අය වන අතර මහේස්ත්‍රාත් දැනුම් දුන්නේ රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරිර ඇප දෙකක මත මුදා හරින ලෙසය.

එසේම ඔහුට 2022 වසරේ පෙබරවාරි මස 22 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කැකිරාව මහේස්ත්‍රාත්වරයා කැකිරාව පොලිසියට ඊයේ (30) නියෝගයක් නිකුත් කර තිබිණි .

ඒ සමග අදාළ මේජර් ජනරාල්වරයා ඊයේ හබරන පොලීසියට පැමිණ භාරවි තිබිණ.

මීට අදාළ සිදුවීම වන්නේ ඉකුත් 23 වනදා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ හබරණ බටහිර ප්‍රදේශයේ ගැවසෙන අලි පැටවෙකු පැහැර ගැනීමට කිසියම් පිරිසක් තැත් කරන බවට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබි ඇත.

එහිදී වාහන 02 ක් වන උද්‍යානයට ඇතුළු වී ඇති අතර ඒවා පරීක්ෂා කිරීමට උත්සහ දැරුව ද නොනවත්වා ධාවනය කළ බවට වනජීවී නිලධාරීන් චෝදනා කරයි.

ඒවා පිටුපස හඹා ගොස් ඇති වනජීවි නිලධාරීන් හා හමුදා නිලධාරීන් පිරිසක් අතර හබරන හා මරදන්කඩවල අතර ප්‍රදේශයේදී බහින්බස්වීමක් සිදුව ඇත.

එහිදී අදාළ මේජර් ජනරාල්වරයා ඇතුළු හමුදා සෙබළුන් පිරිසක් වනජීවී නිලධාරීන් ට පහරදුන් බවටත් චෝදනා පවතී. එසේම මේ සම්බන්ධව නීතිය ඉටුකරන ලෙස බලකිරීමට වනජීවී නිලධාරීන් හට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමක් ගැන පවා නිවේදනය කිරීමට සිදුව තිබිණ.

Page 384 of 391