V2025

පුවත්

සේවකයින් රැක ගනිමින් කොරෝනා වංසගතය හමුවේ ඇති අභියෝගවලට මුහුණ දෙන්න – අගමැති

සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ඊයේ (30) සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය (SLABA) හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය (SLRA) මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳා ගැනීම, ඇඟළුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශ වලට අනුව නිමි ඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයෝ අදහස් දැක්වූහ.

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන කාර්යය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් හඳුන්වාදීම සම්බන්ධව ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති ලලන්ත වතුදුර  මෙහි දී අග්‍රාමාත්‍යතුමාට සිය සංගමයේ ප්‍රණාමය පිරිනැමුවේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් මෙම නියෝජිත පිරිස ව්‍යාපාර හා වෙළඳාම් පවත්වාගැනීම සඳහා මුදල් අමාත්‍යංශය ඔස්සේ හදිසි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියහ.

ව්‍යාපාර නඩත්තු කරමින් සේවකයන් තවදුරටත් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇති නිසා ඔවුන් ඉවත් කිරීමට සිදුවන අවස්ථා හැර වෙන විකල්පයක් නොමැති බව කී මෙම සංගම්වල නියෝජිතයෝ එසේ සේවකයන් ඉවත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දුන්හ.

ආණ්ඩුවේ වැඩ නිසා පරිප්පු කන්නේ ජනතාව - බිමල්

තමන්ගේ දේශපාලන බංකොළොත්කම වහගන්න විවිධ පුද්ගලයන් දඩයම් කිරීමෙන් සිද්ධ සිදුවීමට යන්නේ GSP + අහිමිව ලංකාව තියන තැනිනුත් පහළට වැටීම බවත් ආණ්ඩුව තමන්ගේ දේශපාලන ජාමය බේරාගන්න මේ රටේ නීති කඩමින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් ජාතිවාදය ඇතිකරමින් කරන කටයුතු නිසා පරිප්පු කන්න වෙන්නේ පොදු ජනතාවට බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (ජූලි 01) පැලවත්ත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින්ය.

එහිදී ඔහු දැක්වූ අදහස් මෙසේය.

නීතිය සහ යුක්තිය ඉටුකර ගැනීම අහුරා දමා තිබෙනවා !

ජනාධිපති සහ ආරක්‍ෂක ඇමති හැටියට ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාත් අධිකරණ ඇමති අලි සබ්රි මහතාත් 2021 ජූනි 18වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් පත්‍රිකාවේ තේමාව “1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත නැවත සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කිරීම” වශයෙනි. මේ කැබිනට් පත්‍රිකාවට අනුව අප විසින් බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණු ගණනාවක් තිබෙනවා. මේ පත්‍රිකාව ඉදිරිපත් කරන දේශපාලන වටපිටාව පැහැදිලි කරගෙන කැබිනට් පත්‍රිකාවේ කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම වැදගත්.

පසුගිය ජූනි 10වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධව සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කරගත්තා. මේ පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු වෙනුවෙන් වගේම ඉතාම දුර්දාන්ත අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් බවත් අපි දන්නවා. මෙවර යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරිපත් කර තිබෙන යෝජනාව තුළ මේ රටේ යථාර්තයක් වන කරුණු රාශියක් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ පාලනය විසින් රටේ පවත්වාගෙන යන අර්ධ මිලිටරි පාලනය, මේ රටේ ධනවතුන්ගේ සහ බලවතුන්ගේ වුවමනාව අනුව මෙහෙයවන නීතිය, විරුද්ධ අදහස් දරන අයට විරුද්ධව කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීම ආදිය පැහැදිලිව දකින්න ලැබෙනවා. 20වැනි සංශෝධනය හරහා සහමුලින්ම අධිකරණ විනිශ්චයකාරවරුන් පත්කිරීම ඇතුළු බලතල ගණනාවක් ජනාධිපතිවරයා නතුකර ගැනීමෙන් නීතිය සහ යුක්තිය ඉටුකර ගැනීම අහුරා දමා තිබෙනවා.

යුරෝපා පාර්ලිමේන්තුවේ විශේෂ අවධානයක් !

යුරෝපා පාර්ලිමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මේ පනත අහෝසි කරලා වෙනත් පනතක් ගෙන්න කියලා ඔවුන් යෝජනා කරනවා. රනිල්-මෛත්‍රී පාලනය මෙවැනි පනතක් ගේන්න උත්සාහ කළා. යුද්ධයෙන් පස්සේ විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධවත්, ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ගේ දූෂණ සහ වංචාවන් විමර්ශනය කරන නිළධාරීන් කොටු කිරීම සඳහාත් යොදාගෙන තිබෙනවා. ඒ ගැන ඔවුන් පැහැදිලිව අවධානය යොමුකර හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා, අවුරුදු 26ක් වයස අහ්නා ජසීම් කියන තරුණ ලේඛකයා වගේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයා ඇප නොදී රඳවාගෙන සිටීම ගැනත් විශේෂයෙන් අවධානය යොමුකර තිබෙනවා.

සිවිල් ක්‍රියාකාරීන්, සමාජ මාධ්‍ය තහනම් කිරීමේ ගැසට් එක, වගේ කරුණුත් යුරෝපා පාර්ලිමේන්තුව සැලකිල්ලට ගෙන තිබෙනවා. යුද්ධ කාලයෙත් නොතිබුණු දරුණු නීති එකතු කර සහ අනික් පැත්තෙන් නීති නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙනුත් කරුණු දක්වා තිබෙනවා. දැන් වෙන දේවල් අනුව සුවිශාල යුද්ධයකදී පාවිච්චි කරන ආයනත සහ නීති මොවුන් පාවිච්චි කරමින් ඉන්නවා. මේ තත්වය යටතේ යුරෝපා පාර්ලිමේන්තුව ජී.එස්.පී. ප්ලස් සහනය තාවකාලිකව හෝ ඉවත් කරන්න යෝජනා කරනවා. මේ සහනය නිසා යුරෝ මිලියන 2.3ක පමණ ලංකාවේ අපනයන වෙළඳපොළ අහිමි වෙනවා. ලංකාවේ දෙවන වැඩිම අපනයන වෙළඳපොළෙ යුරෝපා සංගමය. මහර හිරගෙදර 11දෙනෙකු ඝාතනය කිරීම සහ 150කට වැඩි පිරිසකට පහර දීම, අඟුණකොලපැලැස්ස හිර ගෙදර පහර දීම ඇතුළු තිරස්චීන ක්‍රියා සම්බන්ධයෙන් දීපිකා උඩුගම මැතිණියගේ කාලයේ මේ රටේම මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. යුරෝපා සංගමයේ යෝජනාව සම්මත කරන්නේ මෙවැනි වටපිටාවක.

ලංකාව දැන් විශාල විදේශ විනිමය හිඟයක ඉන්න බව අගමැතිවරයාම කියනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ වගේම මේ රටේ වැඩකරන පංතියේ ආර්ථිකය විශාල වශයෙන් බිඳ වැටිලා තියෙන්නේ. ඒ තත්වය යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් කරන්නාවූ දේවල් නිසා යුරෝපා සංගමයේ වෙළඳපොළත් අහිමිකර ගන්නත් යනවා. ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව මාතෘභූමියේ ස්වෛරීත්වය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග නිසා ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කරන්න යනවා නෙවෙයි. මේ දුර්දාන්ත පාලනයේ අවශ්‍යතා වෙනුවෙන් කර තිබෙන දේවල් නිසා රටක් වශයෙන් වන්දි ගෙවන්න සිදුවී තිබෙනවා. කොවිඩ් මරණ භූමදානය කරන්න ඉඩ නොදී මුළු ලෝකයම රටවල් ඉස්සරහ විහිළුවට පත්වී අපට හිතවත්ව සිටි මුස්ලිම් රටවල්වල ඡන්ද ටිකත් ජිනීවාවලදී නැතිකර ගත්තා. අවසානයේ ජිනීවාවලදී පොල්ලෙන් ගහද්දී ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව දණ ගහලා සයින්දමරුදුවල කොවිඩ් සිරුරු වළදාන්න ඉඩ දුන්නා. මිත්‍ර රටවල් රාශියක් නැතිකරගෙන මානව හිමිකම් කොමිසමෙන් පොල්ලෙන් ගැහුවාම භූමදානය කරන්න ඉඩ දුන්නා. ලංකාවේ ජනතාව අඬලා, දොඩලා, වැඳලා, පුදලා කීවාට නොකරන දේවල් ජිනීවාවලින් පොල්ලෙන් ගැහුවාම ඉටුකරනවා. ශානි අබේසේකර මහත්තයාට ඇප දීමත් එහෙමයි. අවුරුද්දක් තිස්සේ රිමාන්ඩ් භාරයේ තබාගෙන ඉඳලා අභියාචනාධිකරණයෙන් තීන්දු කළේ ඔහුව රඳවා තබාගන්නවත් පසුබිමක් නැහැ කියලා. මේ අනුව අපට පේනවා වර්තමාන පාලකයන් යටතේ දෙපාර්තමේන්තු ක්‍රියා කරවමින් ඉන්නේ විදේශ බලකිරීම් කැඳවා ගැනීමේ වටපිටාවක බව.

ඡන්දයේදී පෝස්ටර් ගැහුවේ “හතරයි විසි එක මතකද?” කියලා !

රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා මාස ගණනාවක් තිස්සේ රැඳවුම් භාරයේ තබාගෙන සිටිනවා. පාස්කු ඉරිදා එල්ල කළ තිරස්චීන ප්‍රහාරය එල්ල කර අවුරුදු දෙකකට වැඩියි. ඒකට සම්බන්ධ සියලු දෙනාටම රටේ පවතින නීතිය අනුව දඬුවම් දිය යුතුමයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට අමතරව රටේ සිටි ඉහළ හමුදා නිලධාරියෙක්. ඒ නිසා ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක තිබෙන බව හිතනවා. හැබැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු බලයට පත්වූ පසු අලුතින් කළේ මොනවාද? සාමාන්‍ය දැනීමට තිබෙන කරුණු මත මම මේ ප්‍රශ්න කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්කළ පාස්කු කොමිසමම තමයි වර්තමාන පාලනය යටතෙත් දිගටම පවත්වාගෙන ගියේ. එයින් අදහස් කරන්නේ ඒ කොමිසම හරි කියලා ආණ්ඩුව පිළිගන්න බවයි. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තිබෙන කොමසාරිස්වරු පත්කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබුණා. අවශ්‍ය නම් පස්දෙනාම අයින් කරලා වෙන අය දාන්නත් තිබුණා. ඒ කිසිවක් කළේ නැහැ. අඩුම තරමේ මේ කොමිසමට අමතරව විශේෂ පරීක්‍ෂණ ඒකකයක් පිහිටුවන්නවත් උනන්දු වුණේ නැහැ. නමුත් ඡන්දයේදී පෝස්ටර් ගැහුවේ “හතරයි විසි එක මතකද?” කියලා. අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වුණාම 23 වැනිදා එතුමා කීවේ ඡන්දය ඉල්ලනවා කියලා. හැබැයි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් ආරක්‍ෂක හමුදාවේ හිටපු නිලධාරියෙක් හැටියට මැදිහත් වෙනවා අපි දැක්කේ නැහැ.

කාදිනල්තුමා විවිධාකාරයේ චෝදනා ආණ්ඩුවට ඉදිරිපත් කළා. පාස්කු ප්‍රහාරයට අවුරුදු දෙකක් පිරීමත් සමග ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය එල්ල වෙන අවස්ථාවේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තා. හැබැයි ඔහුට පාස්කු කොමිසමෙන් චෝදනා ගොණුවුණේ නැහැ. පොදුවේ ජනතාවගේ විරෝධය එල්ල වෙමින් “අවුරුදු දෙකක් මොනවද කළේ?” කියලා අහනකොට ඒක වෙනස් කරන්න රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීවරයා අත්අඩංගුවේ තබාගෙන ඉන්නවා. ඔහු මෙයට සම්බන්ධද නැද්ද කියන එක විමර්ශනය කිරීම ඒ අංශවල කටයුත්තක්. නමුත් පාස්කු ප්‍රහාරය කියන්නේ මේ ආණ්ඩුවට සොහොන ළඟින් යනකොට හැංගිලා යනවා වගේ තත්වයක්. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඡන්දය වෙනුවෙන් දොස්තර සාෆිලා වගේ මාතෘකා ගෙනාවා. ඒ ඔක්කොම කරලත් සොහොන්පොළ ළඟින් යනකොට වගේ ආණ්ඩුව හැසිරෙන්නේ. ඊළඟ ජිනීවා යෝජනාවත් ගෙනාවාට පස්සේද රිෂාඩ් බදුර්දීන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ?

ත්‍රස්දවාදය එන්නේ සමාජ මාධ්‍යවලින් බව තහවුරු කරන්න උත්සාහ කරනවා !

තමන්ගේ දේශපාලන බංකොළොත්කම වහගන්න විවිධ පුද්ගලයන් දඩයම් කිරීමෙන් සිද්ධ වෙන්නේ. ජී.එස්.පී.ප්ලස් නැතිවෙලා ලංකාව මේ තියෙන තැනෙනුත් පහළ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවට අනතුරු අඟවන්නේ මේ තියෙන තත්වය අවබෝධ කරගන්න කියලා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන ජාමය බේරාගන්න මේ රටේ නීති කඩමින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් ජාතිවාදය ඇතිකරමින් කරන කටයුතු නිසා පරිප්පු කන්න වෙන්නේ පොදු ජනතාවට. අන්න ඒ දේශපාලන සූදුවට ඉඩ දෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ වටපිටාවක ඉදිරිපත් කර තිබෙන මේ කැබිනට් පත්‍රිකාවේ හැම තැනම සඳහන් කර තිබෙන්නේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුති, රෙගුලාසි මෙන්ම නඩු තීන්දු අනුව යමින් ශ්‍රී ලංකාවේ නීතිය සංශෝධනයට ලක්කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ත්‍රස්තවාදය වැළැක්වීමේ දේශීය නීති පද්ධතිය සංවර්ධනය වී ඇත.” කියලයි. එහෙම කියන ගමන්ම කැබිනට් පත්‍රිකාවෙන් ඉලක්ක කරන්නේ සමාජ මාධ්‍ය පාලනය කරන්න. ත්‍රස්දවාදය එන්නේ සමාජ මාධ්‍යවලින් බව තහවුරු කරන්න උත්සාහ කරනවා. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අදහස් හා ආකල්ප සමාජ මාධ්‍ය හරහා පුළුල් කර ගැනීමක් ගැන සඳහන් කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නමින් මේ කැබිනට් පත්‍රිකාවේ මුළු අවධානයම යොමු කර තිබෙන්නේ සමාජ මාධ්‍ය හා සයිබර් අවකාශය සම්බන්ධයෙන්.

ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය දිගටම තිබෙන්නේ විශේෂ මර්දන නීති මේ රටට අවශ්‍ය නැහැ කියන එක. මේ මර්දන නීතිවලින් මුළු රටම කැරකොප්පුවක් බවට පත්කළා. ජනතාව, මාධ්‍යවේදීන්, ස්වාමින් වහන්සේලා සහ සිවිල් ජනතාව මුළුමනින්ම කැරකොප්පුවකට දැක්කෙව්වා. රටතුළ ත්‍රස්තවාදයක් තියෙනවා නම් මැඩ පවත්වන්න සාමාන්‍ය නීති සංවර්ධනය වෙලා තිබෙන බව ආණ්ඩුවම කියනවා. ඒ නිසා නව මර්දන අනපනත් අවශ්‍ය නැහැ. දැනට තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් පාවිච්චි වෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවා. රාජ්‍ය දේපොළ වංචා කර බැරල් දාලා පාරක් කාපට් කළ සිද්ධියකට රිදීමාලියද්දේ ජනතාව විරෝධය පෑවා. ලංකාවේ දුප්පත්ම දෙවැනි තැන ගන්නා ජනතාවක් ඉන්න ප්‍රදේශයක වංචාවන්ට විරුද්ධව ජනතාව හඬ නගනකොට තක්කඩි දේශපානඥයන් මැර ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි දැක්කා. ඔහුව අත්අඩංගුවට නොගැනීම ගැන ජන මතයක් ගොඩනැගුණහම අත්අඩංගුවට ගෙන ඇප දෙනවා. ඒ සභාපතිවරයාම ගිහින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළා කියලා පොලීසියේ පැමිණිලි දානවා. අර පාරේ වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? සාමාන්‍ය තරුණයෙන් මුහුණු පොතේ පෝස්ට් එකක් දැම්මාම සී.අයි.ඩී. එකෙන් යන්නේ රංචු පිටින්. නමුත් වංචාවක් ගැන ප්‍රධාන මාධ්‍යවල පෙන්නූ කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද? දැනට තිබෙන නීතිය මේ මට්ටමින් අවභාවිතා කරන පාලකයන් ත්‍රස්තවාදය වළක්වන්න කියලා යුරෝපා සංගමය දෙන ලණු කාල ක්‍රියාත්මක වුණොත් හිට්ලර්ගේ, මුසලෝනිගේ දෙදෙනාම එකතු වූ පාලනයක් බවට පත්වෙනවා. ඒ තරම් තක්කඩි ආකාරයට දැන් පවා නීති ක්‍රියාත්මක වෙන්නේ.

සමාජ මාධ්‍ය සම්බන්ධව ආණ්ඩුවේ ලොකු කතාවක් තියෙනවා. සමාජ මාධ්‍ය සර්ව සාධාරණ එකක් නෙවෙයි. ඒවා මෙහෙයවන්නේ අති විශාල සමාගම් සහ අතිවිශාල දේශපාලන පක්‍ෂ. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය බහුතරයක් දේශපාලන පක්‍ෂවලට ගැතිකම් කරනවා වගේම සමාජ මාධ්‍යයත් එහෙමයි. නමුත් ජනතාවට තමන්ගේ අදහස් කියා ගන්න යම් කිසි ඉඩක් ගොඩනැගිලා තියෙනවා. ත්‍රස්තවාදය අල්ලගෙන දඩයම් කරන්න හදන්නේ මේ පොඩි ඉඩකඩයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට විරුද්ධව ගෙනගිය මඩ ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි රාශියක් කළා. මේ මඩ ප්‍රහාර ගෙනගිය පොහොට්ටු මඩ බළකායට සම්බන්ධ එකසිය තිස් ගණනකගේ සම්පූර්ණ විස්තර ලබාදුන්නා. මේවා සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ කෝ? නීතිය සම්පූර්ණයෙන්ම පක්‍ෂග්‍රාහීව යොදා ගන්නා පාලක කල්ලියක් දැන් ඉන්නේ. මේ දේශපාලන ප්‍රභූන්ගේ වාහනවලට හැප්පිලා පහුගිය කාලේ පොලීසියේ ගණනාවක්ම මැරුණා. බොරැල්ල පොලීසියේ ට්‍රැෆික් ඕ.අයි.සී. මහත්තයා මැරුණා. ඒ වගේම කොල්ලුපිටිය ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් මහත්තයෙක් මැරුණා. මේ වගේ කල්ලි ආරක්‍ෂා කරන්න පොලීසියේ සමහර නිලධාරීන් ක්‍රියා කරන ගමන් මඩ බළකායට විරුද්ධව පැමිණිලි කරන ඒවා පරීක්‍ෂා කරන්නේ නැහැ. වංචා-දූෂණ සම්බන්ධයෙන් කරුණු පරීක්‍ෂා කරන්නේ නැහැ.

රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ධනවතුන්ට, බලවතුන්ට වගේම ආණ්ඩු පක්‍ෂයට සම්බන්ධ අයට පක්‍ෂග්‍රාහීව. මෑතකදී සිරකරුවන් නිදහස් කිරීමත් මේ වගේමයි. පෙබරවාරි 04වැනිදා මේ රට ඉතිහාසයේ පළමු වරට මරණීය දණ්ඩනය නියමවී සිටින සිකරුවන් නිදහස් කළා. ඊට පස්සේ ජූනි මාසේ මුල් සති දෙක තුළ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයා එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ටත් ජනාධිපති සමාව දෙන බව කීවා. ඊට පස්සේ පොසොන් පොහොයදා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකුගේ සහෝදරයෙක් නිදහස් කළා. පෙබරවාරි මාසේ ඉඳලා ආවේ මේකට. මේ පිරිස අතර එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 16ක් හිටියා. එක් කෙනෙක් අත්අඩංගුවට ගන්නේ 2011දී. අධිකරණයෙන් සිර දඬුවම් නියම කළේ අවුරුදු 7ක්. 2012දී අත්අඩංගුවට ගත් කෙනෙකුගේ දඬුවම අවුරුදු 7යි. 2009 ජූලි මාසේ අත්අඩංගුවට ගත් කෙනෙකුගේ දඬුවම් කාලය අවුරුදු 2යි මාස 6යි. ඒ වගේම හැබැයි නිදහස් කරනකොට අවුරුදු 12කට ආසන්න කාලයක් සිර දඬුවම් විඳ තිබෙනවා. මම පැහැදිලි කරන්නේ අධිකරණයේ නීතිමය ක්‍රියාමාර්ගවලට ගතවන කාලයත් එක්ක ඒ ලැබෙන දඬුවම් කාලය එකතු වුණාම විශාල දඬුවම් කාලයක් සිරගත කර සිට තිබෙනවා. නිදහස් කළ 16 දෙනාගේම නීත්‍යානුකූල සිර දඬුවමට වඩා විශාල කාලයක් බන්ධනාගාරවල රඳවලා සිටියා. ආණ්ඩුව මේ සියල්ල කිරීමේ අරමුණ ඕනෑම නීතියක් තමන්ගේ දේශපාලන වූවමනා නිසා කඩන්න සූදානම් බවයි.

කොවිඩ් තත්වය ඇතුළේ රැඳවුම් බාරයේ ඉන්න සිරකරුවන් සති දෙකෙන් දෙකට උසාවියට ගෙන එන්නෙත් නැහැ. ඔවුන්ගේ ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් උසාවියට ඉදිරිපත් කරනවා. මේ නිසා තමන්ගේ පවුලේ අයට රැඳවුම් භාරයේ ඉන්න කෙනාව අවුරුදු එක හමාරකින් පෙන්වා නැහැ. රැඳවුම් භාරයේ තවමත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් දෙසිය ගණනක් ඉන්නවා. මේ අය මෙහෙම තියාගෙන හිටියාම ඒ දරුවෝ ත්‍රස්තවාදයට පෙළඹෙන්නේ නැද්ද? මේ දරුවන්ට ලැබෙන පෙළඹවීම කුමක්ද? අන්තවාදය මැඩ පැවැත්වීම අවශ්‍ය නම් ඒ සැකකරුවන්ට දෙන දඬුවම විසින් තව අන්තවාදීන් බිහි කෙරෙන ආකාරයෙන් නම් සිද්ධ වෙන්නේ මොකක්ද? අන්තවාදය පරාජයට පත්කළ යුතුමයි. හැබැයි එය කළ යුතු වන්නේ අන්තවාදය බෝ නොවන ක්‍රමවලින්. සදාම් හුසේන්ගේ ඒකාධිපති පාලනය වෙනස් කරන්න ඇමරිකාව ඊට වඩා ත්‍රස්තවාදයක් යොදවා සුන්නධුලි කළා. එහි ප්‍රතිඵලයක් තමයි විවිධ ත්‍රස්තවාදී කල්ලි බිහිවීම.

ඒ නිසා මේ රට රකිනවා කියලා වචනවලට මුවාවෙලා වර්තමාන ආණ්ඩුව ගෙනයන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ග තේරුම් ගන්න කියලා ජනතාවට කියනවා. පටු දේශපාලන වුවමනා වෙනුවෙන් ආණ්ඩුව කරන මේ කටයුතු නිසා අර්බුදයට ලක්වෙමින් තිබෙන්නේ රට. ජී.එස්.පී. ප්ලස් ලංකාවට නැති වුණොත් රට තවදුරටත් අගාධයට වැටෙනවා. එයින් තව දුරටත් රට විදේශීය බලවතුන්ගේ ග්‍රහණයට ලක්වෙනවා. එසේ නොවී සිටීමට නම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්‍ෂා කිරීම අවම මට්ටමින් හරි තිබෙන නීතියේ විධානය ආරක්‍ෂා කිරීම හරි දෙයක්. ඒකට ජාත්‍යන්තරයෙන් බලපෑම් එන්න ඕනෑ නැහැ. රට තුළ නීතිය කඩලා ඒ ගැන කතා කරනවා කියලා ලෝකයට බැනලා වැඩක් නැහැ. ඒනිසා අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ආණ්ඩුවට බල කරනවා. මේ පනත් යොදාගෙන සමාජ මාධ්‍ය සහ වෙනස් අදහස් තිබෙන පුද්ගලයන් දඩයම් කිරීම නවත්වන්න කියලා බල කරනවා. ආණ්ඩුව ඉදිරිපත්කරන බොරු තර්කවලට හසු නොවෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව මඩ ගැහීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන පැමිණිලි රාශියට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියලා හෙළිකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ශානිගේ ජීවිතේ අනතුරේ : ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලිපියක් !

වැඩ තහනම් කරතිබූ සහ ඊයේ (30) සිය වසර 35 ක පොලිස් වෘත්තීයට විශ්‍රාම දුන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. ශානි අබේසේකර ඇතුළු පවුලේ සාමාජිකයන් ජීවිත තර්ජනයට ලක්ව ඇත.

ශානි අබේසේකර විසින් 2021 ජුනි 26 වනදා  පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට යොමුකළ  ලිපියක මේ බව සඳහන් වෙයි.

පිටු තුනක දීර්ඝ ලිපියක් මගින් ඔහු පෙන්වාදී ඇත්තේ තමා විසින් යුද හමුදා, නාවුක හමුදා, සංවිධානාත්මක අපරාධ කල්ලි හා ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධ විවිධ පරීක්ෂණ සිදු කර ඇති බවත්, ඉන් ඇතැම් චූදිතයන් මේවන විට බන්ධනාගාරවල දඬුවම් විදිමින් සිටින බවත්, ඇතැම් නඩු අධිකරණවල විභාගවෙමින් ඇති බැවින්ද, තමාට හා තම පවුලට මීට පෙර ලබාදී තිබූ ආරක්ෂක පියවර ඉවත්කර ඇති බැවින්ද මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි.
 
බුද්ධි අංශය විසින් තමාට මරණීය තර්ජන ඇති බවට ලබාදී තිබූ වාර්තාවකට අනුව හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්  තම නිවසට විශේෂ ආරක්ෂවක් ලබාදී තිබූ බවත්, ඒ අනුව තම නිවසට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගේ ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට නිල රථයට අමතරව ජීප් රථයක්ද දී තිබූ බවත්, එය තමාට ගාල්ල දිසාව වෙත ස්ථාන මාරුවක් කිරීමේදී 2019-11-21 ඉවත් කළ බවද ඔහු අදාළ ලිපියෙන් පොලිස්පතිවරයාට දන්වා තිබේ.

මීට දසවසරකට පමණ පෙර තමා ලිඛිතව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර සන්තකයේ තබා ගැනීමට ලබාගත් පතොරම් තුවක්කුව හා පිස්තෝලය ද තමා බන්ධනාගාරගත කිරීමෙන් පසුව බොරැල්ල පොලිස් ස්ථානයට බාර දී ඇති බවත්, එබැවින් තමා මෙන්ම තම බිරිය හා දරු දෙදෙනාගේ ජීවිත ආරක්ෂාව නිවසේ සිටියදී පවා දැඩි අවදානමකට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් එම ලිපියෙන් පෙන්වා දෙයි.

වඩාත් අවාසනාවන්ත සිදුවීම වන්නේ ශ්‍රී ලංකා පොලිසිය සතු මේ විශේෂඥ අපරාධ විමර්ශකයාට තමන් සිදුකළ විමර්ශන ගැන පවා සිහිපත් කිරීමට සිදුව තිබීමයි.

ඒ අනුව ආන්දෝලනාත්මක අපරාධ 82ක විමර්ශන ගැන පොලිස්පති දැනුවත් කිරීමටත් ශානි අබේසේකර කටයුතු කර ඇත.

ශානි අබේසේකර විසින් 2021 ජුනි 26 වනදා පොලිස්පති වෙත යොමුකළ ලිපිය අනූව  තමන්ට සහ පවුලේ සාමාජිකයන් වෙත මරණ තර්ජන එල්ල කිරීමක් සම්බන්ධව 2020 ජනවාරි 08 වනදාත් පොලිස්පති වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇත.

501 දරණ දුරකතනයෙන් එම මරණ තර්ජනය සිදුකර ඇත්තේ 2020 ජනවාරි 07 වනදා  පැය 23:23 ට යි.

එහිදී අදාළ දුරකතන විස්තර හරහා විමර්ශනයක් සිදුකර අදාළ පාර්ශ්ව සම්බන්ධව පියවර ගන්නා  ලෙස ඉල්ලා ඇතත් දෙවැනි ලිපිය කියාපාන්නේ එවැනි විමර්ශනයක් සිදුව නැති බවයි.

මේ වන විට හෘද සැත්කමක් ද  සිදුකර සිටින ශානි අබේසේකර තවත් රෝග කිහිපයකින් පෙළෙන අතර ,
පොලිස්පති වෙත යොමුකළ ලිපියේ ඊට අදාළ වෛද්‍ය වාර්තා පවා ඇමුණුම් ලෙස යැවීමටත්  පියවර ගෙන තිබේ.

මේ අතර ශානි අබේසේකරගේ ජීවිතයට අනතුරක් වුවහොත්, එය එක්තරා ආකාරයට, ජනමාධ්‍යවේදීන්ට කළ අපරාධ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අවසානයක් නොදැකම හමාර කිරීමක් වනු ඇති බවයි, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මතය වී ඇත.

එනිසා මේ සම්බන්ධව ඔවුන් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ සභාපති වෙත *ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සම්බන්ධව " ලිපියක් යොමුකර තිබේ

මාධ්‍යවේදී පොද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදී තුවාල සිදුකිරීම, හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුලු ජනමාධ්‍යයට සම්බන්ධ සිදුවීම් ගණනාවක විමර්ශන සිදුවූයේ ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ බවත් අදාළ ලිපියේ සිහිපත් කර ඇත.

මේ අතර පසුගියදා ලංකාව සම්බන්ධව යුරෝපා පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනාව අවස්ථාවේත් ප්‍රධාන කරුණක් ලෙස ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම ගැන විශේෂ අවධානයක් යොමුකර තිබිණ.

ඒ නිශ්චිත නඩු පැවරීමක් පවා සිදුනොකර ඔහුව බන්ධනාගාර තිබීම හේතුවෙන්. යුරෝපා සංගමයේ එම යෝජනාව සම්මතවීමත් සමග මෙරටට ලැබී තිබුණු ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමට නියමිත වුනා. ශානි අබේසේකර ට ඇප ලැබීම පවා සිදුවූයේ ඉන් අනතුරුවය.

ශානි අබේසේකර මෙන්ම පසුගිය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට සම්බන්ධව ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශන නිලධාරීයකු ලෙස  කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වත්මන් ආණ්ඩුව බලය ලද විගස මෙරටින් පළාගියෙත් ජීවිත ආරක්ෂාව ඉල්ලා සිටිමිනි.

කිංස්ලිගෙන් ගේම ඉල්ලුව නාරගල ගෙදර : රූපවාහිනී DG මාරුව !

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද පත්කර ඇත.

ඔහු ඊට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස පත්ව සිටි අතර එම තනතුර සඳහා හඩ්සන් සමරසිංහ පත්කර ඇත.

රූපවහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අජිත් නාරගල එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධව සංස්ථා සේවකයන් අතර විවිධ කතාබහ මතුව තිබේ.

ඇතැමුන් පවසන්නේ පසුගිය ජුනි මස මුල ජනාධිපති මාධ්‍ය අංශය සහ රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සමඟ අජිත් නාරගල ඇතිකරගත් කතාබහක් මීට හේතුවී ඇති බවයි.

මාධ්‍ය කිහිපයක්ම වාර්තා කල ආකාරයට දෙදෙනා අතර මේ කතාබහ ඇතිව තිබුණේ ජුනි 7 හෝ ඊට ආසන්න දිනකදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය.

එහිදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක "රාජ්‍ය මාධ්‍ය මොනවද කරන්නේ ..? මොනවද රජයට දෙන සහයෝගය ..? රාජ්‍ය මාධ්‍ය එක්ක මෙහෙම කරන්න බෑ.." යනුවෙන් පවසා ඇති අතර එහිදී ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ SLRC අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගලය.  

" මෙතැන ඉන්නේ මේ රටට , මේ රජයට ආදරය කරන මිනිස්සු ... මෙතැන ඉන්නේ පහුගිය කාලේ හිරේ ගිය, FCID,CID ගිහිල්ලා දුක් විඳපු මිනිස්සු... මේ ආණ්ඩුව බලයට පත් කරන්න රට වටේ ගිය මිනිස්සු ... අපි අපේ රාජකාරිය හොඳට කරනවා...'' යනුවෙන් එහිදී ඔහු පවසා ඇත.

එම සංවාදයට එක් වෙමින් ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්  පවසා ඇත්තේ අඩුපාඩු සහ දුෂකරතා මැද රාජ්‍ය මාධ්‍ය මේවිටත් උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවය.

'අපිට ප්‍රයිවට් මිඩියාවල වගේ වැඩ කරන්න බැහැ. රජයේ මාධ්‍ය කියන්නේ විනයක් තියෙන මාධ්‍යයක්. වකීමෙන් වැඩ කරන්න වෙනවා.  පියුමි හංසමාලීගේ නිවුස් එක රජයේ මාධ්‍යයකින් පෞද්ගලික මාධ්‍යවලින් වගේ ගන්න බැහැ. රජයේ මාධ්‍යයකට ගොසිප් කියන්න බැහැ. රජයේ මාධ්‍ය තමන්ගේ වගකීම අවබෝධ කරගනිමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙල  ගැන පුළුල් ප්‍රචාරයක් ලබා දෙනෙවා....'යැයි ද ධර්ම ශ්‍රී කාරියවසම් අවධාරණය කර ඇත, 

කෙසේවුවත් මේ කතාබහ අවසානයේ කිංස්ලි රත්නායක එම ස්ථානයෙන් බැහැරව ගොස් තිබේ.

 

 

රූපවාහිනියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස හීන්කෙන්ද

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ‍ලෙස ජයම්පතී බණ්ඩාර හීන්කෙන්ද පත් කර ඇත.

ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් අද (30) පෙරවරුවේ  මෙම  පත් කිරීම සිදු කර ඇත.

මීට පෙර  ජයම්පතී බණ්ඩාර හීන්කෙන්ද ශ්‍රී ලාංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, එම තනතුරට ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ හඩ්සන් සමරසිංහ පත් කෙරිණි.

නව පත්තකිරීම සිදු කෙරුණු අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ශ්‍රී ලාංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජි‍නෝලඩ් කුරේ යන අය එක්ව සිට ඇත.

කැස්බෑ මත්ස්‍ය මරණ : වාරකන් කතාව ප්‍රෝඩාවක් බව අධිකරණයේදී හෙළිවෙයි !

කැස්බෑවන් ඇතුළු මත්ස්‍ය මරණවලට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය බව සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සත්ව මරණ "වාරකන් කාලය" හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් පවසා ඇත.

ජනතාව මුලුමනින්ම නොමග යවන මෙම වාරකන් කතාව ගෙන අදහස් දක්වනු දකින්න ලැබුණේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ය.

මේ අතර අධිකරණයට ඉදිරිපත් කර තිබූ දත්ත අනූව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු සහ තල් මසුන් 04 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට දන්වා ඇත.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ කැඳවනු ලැබූ අතර මෙම සත්ව මරණ වලට අදාලව දිවයින පුරා පිහිටි මහේස්ත්‍රාත් අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියේය.

මෙම ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයාගේ කාර්යාලයේ තිබෙන රේඩියෝ පණිවුඩ පටිගත කිරීමේ යන්ත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවත් පැවසීය.

නමුත් අදාළ රේඩියෝ පණිවුඩ පටිගත කිරිමේ යන්ත්‍රයේ තාක්ෂණික දෝෂයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ සඳහන්ව ඇති බව අතිරේක මහේස්ත්‍රාත්වරිය අවධාරණය කරනු ලැබු අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ජූලි මස 13 වෙනිදා දක්වා කල්තැබිණ.

ඇමති ජොනී : කපුටෙක් මරා තට්ට එල්ලන්නේ මොකටද ?

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි බැවින් ප්‍රශ්න වැඩිවී ඇති බවත්, එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ජුනි 29 පැවති සාකච්ඡාවකදී රැස්ව සිටි පිරිස අමතමින්ය.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ හම්බන්තොට තිස්ස වැව හෑරීමේ ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේදී ඊට විරුද්ධව ක්‍රියාකරන්නේද ආණ්ඩුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවයි.

රජය ව්‍යාපෘතියක් ආරම්භ කළ පසුව සියලුම අමාත්‍යාංශ එම ක්‍රියාව සමඟ එකට සිටගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමති ජොනීගේ කාක් තටු උපහැරණය තර්ජනයක්ද..!

ප්‍රවාහන අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු විසින් කළ ප්‍රකාශය මේවනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්වයකට පත්ව ඇත.

කාක්කන් මරා තටු එල්ලන්නේ ඇයි…?

ජනවහරේ පැවසෙන අන්දමට කාක්කන්ගෙන් ඇතිවන කරදර හා අපහසුතා වලින් වැලකීමට කාක්කෙකු මරා තටු එල්ලන්නේ අදාල ස්ථානයට කාක්කන්ගෙන් එල්ලවන කරදර වලක්වාගනු පිණිසය.

එසේ කාක් තටු එල්ලීමෙන් එම ප්‍රදේශයට කාක්කන් නොඑනු ඇත, එල්ලා ඇති සංඥාවේ භයංකර බව එය දකින කාක්කන් වටහාගන්නා නිසාවෙනි.

එසේ නම් ඇමති ජොන්ස්ටන් ගේ මේ කපුටු ප්‍රකාශයේ තේරුම කුමක්ද ?

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

බුකියේ බොරු දැම්මේ ඇයි සජිත් ?

ෆේස්බුක් හී අසත්‍ය කරුණු ප්‍රකාශ කළ බවට සමගි ජනබලවේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට චෝදනාවක් එල්ලවී ඇත.

මෙම චෝදනාව එල්ලකර සිටින්නේ "ජනතා නීතිඥයෝ" සංවිධානය විසිනි.

මෙසේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා ලබන්නේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනුනු අවස්ථාවේ ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය නීතිඥ සහාය ලබා දුන් බවට විපක්ෂ නායකයා මුහුණු පොතේ පල කළ සටහනකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

dfe cv

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් 'ජනතා නීතිඥයෝ' සංවිධානය දැනුම් දී ඇත්තේ ඔහුගේ එම පළ කිරීම හේතුවෙන් තම සංවිධානය මෙන්ම නීතිඥවරුන්ද බලවත් අපහසුතාවයකට පත්ව ඇති බවයි.

නීතිඥ නාමල් රාජපක්ෂගේ අත්සනින් යුතුව යොමු කර තිබෙන ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ අසේල සම්පත් ජුනි 26 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ඇප ලබා ගැනීම සදහා 'ජනතා නීතිඥයෝ' සංවිධානයේ සේනක පෙරේරා, මංජුල පතිරාජ, මංජුල ශ්‍රී චන්ද්‍රසේන, නාලක ප්‍රියවංශ, ලලිත් පතිරණ යන නීතිඥවරුන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඇප නියම කළ බවයි.

ජනතා නීතිඥයෝ සංවිධානය නිකුත්කළ ලිපිය පහත දැක්වෙයි.

sdfdfrt

ගෙදර මළොත් කොරෝනා පරීක්ෂණයක් නෑ : අලුත්ම චක්‍රලේඛය PHI සංගමය හෙළිකරයි !

නිවෙස් තුල දී මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ සිදු නොකර එම මෘතදේහය නිදහස් කිරීමට හදිසි මරණ පරීක්ෂක වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුනට බලය ලබා දෙමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් කොරෝනා වෛරසය සමාජගත වීමෙන් දැඩි අවදානමක් ඇති වී තිබෙන බවයි.

මීට පෙර නිවෙස්වල මිය පුද්ගලයන්ගේ මෘතදේහ නිදහස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන්, මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබාගැනීම සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.

නව තීරණය හේතුවෙන් නිවස් වල දී මිය යන කොරෝ්නා ආසාදිත පුද්ගලයන් හේතුවෙන් වෛරසය සමාජය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

නිවෙස් තුළ දී මිය යන පුද්ගලයන්ට කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් එම නිවැසියන් හා ප්‍රදේශවාසීන් නිරෝධායනයට ලක්කර වෛරසය පැතිරයාම පාලනයට මෙතෙක් කටයුතු කළ ද නව දැනුම් දීම හේතුවෙන් එසේ කිරීම නොහැකිවීම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

මීට පෙර නිවාසවල මිය ගිය බොහො දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වුවත් නව තීරණය හේතුවෙන් එම මරණ කොරෝනා මරණ ලෙස හදුනා ගැනීමට නොහැකි වනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

සෙලෙන්දිව හා ලෙෂර් සමාගම්වලට රජයට අයත් දේපළ පැවරීම හෝ බදුදීම වළක්වන්නැයි පෙත්සමක්

රජය විසින් ස්ථාපිත කර ඇති සෙලන්දිව ඉන්වෙස්ට්මන්ට් හා සෙලන්දිව ලෙෂර් ඉන්වෙස්ට්මන්ට් සමාගම්වලට, රජයට අයත් දේපළ පවරා දීම හෝ බදු දීම වළක්වන නියෝගයක් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන්නැයි, ඉල්ලා වෘත්තීය ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා  අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.

කැබිනට් මණ්ඩලයේ එකඟතාව සහිතව රජය මේ වන විට එම සමාගම් දෙකට රජයට හිමි හා රජයට කොටස් බහුතරයක් හිමි සමාගම් කිහිපයක් පවරා ඇති බවත්, සිය පෙත්සමෙන් පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

එලෙස රජය සතු දේපළ වෙනත් සමාගම් වෙත පවරා දීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රජයේ මූල්‍ය රෙගුලාසි වලට පටහැනි බව පෙත්සමේ සඳහන් ය.

එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් වන බවත්, තමන් ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත්, පෙත්සම්කරු අවධාරණය කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් සමාගම, සෙලෙන්දිවා ලෙෂර් ඉන්වෙස්මන්ට් සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, රජයේ විගණකාධිපති වරයා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු 19 දෙනෙකු නම් කර තිබේ.

ලංකාවේ කොරෝනා මරණ 3000 පනියි !

කොවිඩ් මරණ 45ක් ඊයේ (28) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන තහවුරු කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන සඳහන් කරන ආකාරයට එම මරණ 45න් 24 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 21 දෙනා පිරිමි පුද්ගලයින් ය.

මේ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා යමින් කොවිඩ් ආසාදිත මරණ 3,030ක් ලෙස වාර්තා වෙයි.

සිම්බාබ්වේ මගේ තවත් ජයග්‍රහණයක් ගැන චම්පිකගෙන් අනාවරණයක් !

ජුනි 28 වනවිට ආණ්ඩුව මුද්‍රණය කරනු ලැබූ මුලු මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය ඉක්මවන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

"සිම්බාබ්වේ මගේ තවත් ජයග්‍රහණයක්" මැයෙන් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මේ වන විට අච්චු ගසා ඇති මුලු මුදල් ප්‍රමාණය රුපියල් 1,128,000,000,000 ක් බවත් ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපති වී අදට දින 592 ක් බවත් එම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

Screenshot 20210629 201933

පරිස්සම් නොවුනොත් සති දහයෙන් ඩෙල්ටා රජවෙයි : සුදර්ශනී අනතුරු අඟවයි !

ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේ නම් තවත් සති 10ක කාලයක් තුළ ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට පත්විය හැකි බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අනතුරු අඟවයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ, විශේෂඥයින් මේ පිළිබඳ පවසා ඇති බවය.

මේ අතර, කොවිඩ් -19 වෛරසයෙන් වැඩි වශයෙන් වැඩිහිටියන්ගේ මරණ වාර්තා වීම හේතුවෙන් එන්නත්කරණයේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කළ බව ද ඇය සඳහන් කළාය.

රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, කොවිඩ් -19 වෛරසය ආසාදනය මේ වනවිටත් ගර්භණී මව්වරුන් 12 දෙනෙකු පමණ මියගොස් ඇති බවය.

“වැඩියෙන්ම මේ ඇල්ෆා ප්‍රභේදයෙන් මැරෙන්නේ 60ට වැඩි අය. ඒ නිසා තමයි රජය පැහැදිලිවම තීන්දුව ගත්තේ මේ එන්නත්කරණයේ දී 60ට වැඩි අයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියලා. ගර්භණී මව්වරු 12ක් මියගොස් තියෙනවා. ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළොත් තව සති 10ක විතර කාලයක් තුළ මෙහි ප්‍රධානතම ප්‍රභේදය වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියලා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා අවධානම පහවෙලා නෑ. අලුත් සතුරෙකුත් කැරකෙනවා.“

බැසිල් ආවත් සහන නෑ වගේ !

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීමත් සමග ඉන්ධන මිල ඇතුළු මේ වන විට ඉහළ යමින් ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ හෙළීමක් හෝ සහනයක් ලැබෙණු ඇතැයි ජනතාව තුළ අපේක්ෂාවක් ඇතත් එවැන්නක් කිරීම දුෂ්කර තත්ත්වයකට රටේ ආර්ථිකය ඇදවැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථිකය වැටී ඇති තැන තේරුම් ගන්න අමුතු විශ්ලේෂණය අනවශ්‍ය බවත් එදිනෙදා ජනතාව මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතාව විසින් එය ජනතාවට අත්දැකීමක්ව ඇති බවයි.

එසේම මහ බැංකු අධිපති ගේ ප්‍රකාශ හරහාත් ආර්ථිකය පත්ව ඇති අසීරුතාව පැහැදිලි වන බවත් ආර්ථික විශ්ලේෂකයන් පවසයි.

ඒ අනූව ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ විදෙස් සංචිත දුර්වල වී ඇති පසුබිමේ සහන ගැන කතා කරත් සහන ලබාදීම ලේසි පහසු නොවන බවයි.

ඉන්ධන මිල අඩුකරන්න බැසිල් ඕන නෑ - කෙහෙළිය

මේ අතර ඉන්ධන මිල පහත දැමීම සඳහා බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.

අද (29) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ වෙනත් කිසිදු විකල්පයක් නොතිබූ නිසා බවත් හැකි පළමු අවස්ථාවේදීම ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන බවත්.

බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරයෙකු වීමෙන් අනතුරුව ඉන්ධන මිල අඩු කරන බවට පළවන මතයන් ආණ්ඩුවේ මතය නොවන බවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මතයක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

ඉන්ධන මිල වැඩි වීමෙන් ජනතාව පීඩාවට පත්වීම පිළිබඳව ආණ්ඩුවේ සියලු දෙනා සංවේදී බවත් ඒ නිසා ඉන්ධන මිල අඩු විය යුතු බව සමස්ත ආණ්ඩුවේම අදහස බව ඔහු තවදුරටත් පැවසීය.

ආණ්ඩුව ඩොලර් මිලියන 3950 ක් ණයට ගන්න යයි !

විදේශ ආයෝජන ලෙස ණයලබා නොගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කළද විශේෂයෙන්ම ණය හුවමාරු පහසුකම් යටතේ අගෝස්තු මස අවසන් වනවිට ඩොලර් මිලියන 3,950ක් එනම් රුපියල් මිලියන හත්ලක්ෂ අනූ අටදහසක් (රු.මි. 798,000) පමණ ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩි ලක්ෂ්මන් අද (28) නිකුත්කර තිබෙන නිවේදනයකින් මෙම තොරතුරු හෙළි වේ. අධිපතිවරයා මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ මේ වනවිට රට දරුණු විදේශ විනිමය අර්බුදයක සිටින බවට මාධ්‍ය ඔස්සේ පලවන ප්‍රචාරවලට පිළිතුරු සැපයීම සඳහාය. නමුත් එම පිළිතුරු සැපයීමේදී ජූලි සහ අගෝස්තු මාස දෙක නිම වනවිට ස්වැප් ණය පහසුකම් යටතේ ඩොලර් මිලියන 3,950ක් ලබා ගැනීමට නියමිත බව හෙලි කර තිබේ.

ඒ අනුව චීනයෙන් ඩොලර් මිලියන 1,500ක් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා අවසන්ය. ජූලි මාසයේදී බංගලිදේශ මහ බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ලබා ගැනීමට නියමිතය. මුලදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණේ ඩොලර් මිලියන 200ක් ලබාගන්නා බවය. අගෝස්තු මාසය තුළදී ඉන්දීය සංචිත බැංකුවෙන් සාක් ණය පහසුකම් යටතේ ඩොලර් මිලියන 400ක්ද එරට මහ බැංකුවෙන් ඩොලර් මිලියන 1000ක්ද ලබා ගැනීමට සැලසුම් කර ඇත. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලිටන 800ක ණය ලබා ගැනීමට සූදානමින් සිටී. මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය ස්වැප් පහසුකම් යටතේ නොව මේ වසර වෙනුවෙන් එම අරමුදල ලංකාවට වෙන්කර තිබෙන කෝටාව අනුව ලබා ගන්නා බව මෙයට පෙර සඳහන් කර තිබිණි.

ස්වැප් ණය පහසුකම් යටතේ ඉහළ පොලියට ලබාගන්නා ණය පිළිබඳව පොලී අනුපාත ජනතාවට හෙළි නොකර සඟවාගෙන සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් පසුගිය සතියේ පෙන්වා දී තිබිණ. මේ අනුව ලංකාව විදේශයන්ගෙන් ලබා ගන්නා වානිජ ණය ප්‍රමාණය තව දුරටත් ඉහළ මට්ටමක පවතින බව හෙළිවී තිබේ.

Central Bank of Sri Lanka 2021.06.28 768x213

Lanka truth

ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදකලා කෙරේ

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද (29) උදෑසන 6.00 සිට හුදෙකලා කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳ සෙවන නිවාස සංකීර්ණය හැර සෙසු ප්‍රදේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ගල්බොරැල්ල 100 වත්ත යන ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

12b96684 isolation 2021 06 28 page 001

විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය සඳහා වාර්තාවක්

විවාහ දික්කසාද නීතිය සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමති අලි සබ්රි වෙත ඊයේ අධිකරණ අමාත්‍යාංශ‍යේදී භාරදී ඇත.

යල් පැනගිය නීති සංශෝධනයකර වර්තමානයට ගැළපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩ පිළිවෙළ අනුව මෙරට තුළ දැනට පවතින විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කෙරිණි.

=මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ සිට පැවත එන අතර 1969 වසරේ සිට බ්‍රිතාන්‍ය තුළ පවා එම නීතිය භාවිතා කිරීමක් සිදුනොවන අතර වසර සිය ගණනකින් මෙම නීතිය යාවත් කාලීන වී නොමැති වීම හේතුවෙන් පොදු ජනතාවට විවිධ අපහසුතාවයන්ට පත්වන්නට සිදුව තිබු බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

විදේශයන්හිදී ශ්‍රී ලාංකිකයන් විසින් ලබාගන්නා දික්කසාද නඩු තීන්දු මෙරට ලියාපදිංචි කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත අදාළ යෝජනාවලින් ඉදිරිපත්කර ඇති තවත් වැදගත් නීතියක් ලෙස සැලකේ.

පවුල් නීති සංශෝධනය සඳහා වූ උපදේශක කමිටුවේ සාමාජිකයන් වන්නේ,

1.ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස් මහතා - සභාපති

2.ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක මහතා

3.මහාචාර්ය ශාර්යා ස්කානිවල් මහත්මිය

4.නීතීඥ චමන්තා උනම්බුව මහත්මිය

5.ආචාර්ය රමණි ජයසුන්දර මහත්මිය

6.නීතීඥ රනිල් සමරසූරිය මහතා

7.නීතීඥ එර්මිසා ටිගල් මහත්මිය

8.නීතීඥ මොක්ෂිනි ජයමාන්න මහත්මිය - කැඳවුම්කරු

9.නීතීඥ මිලානි සල්පිටිකෝරළේ මහත්මිය

10.නීතීඥ නිශාදි වික්‍රමසිංහ මෙනවිය

11.නීතීඥ ශෂේන්ද්‍ර මුදන්නායක මහතා

12.අගී සිරිවර්ධන මෙනවිය - නීති සීමාවාසික

මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ ද, ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපත=නීතීඥ මයුර ගුණවංශ සහ නීතීඥ කුෂ්ලාන් සෙනෙවිරත්න යන අය ද, අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් දිල්හාරා අමරසිංහ ද, විශේෂඥ උපදේශකවරුන් වශයෙන් ජනාධිපත නීතීඥ නිහාල් ජයමාන්න  සහ ආචාර්ය තමරා හැන්ඩි  ද මෙම කමිටුව වෙනුවෙන් සිය දායකත්වය සැපයා ඇත.

 DSC6886

එකම පවුලේ තිදෙනෙක් මිය යාම පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

පේරාදෙනිය යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ ඉලුක්තැන්න,  මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍යය ඇමතිවරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.

ඒ අනුව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීමට නියමිතය.

එම සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍යය ඇමතිවරියට වාර්තාවක් ලබාදීමටද නියමිතය.

මුරුතලාව පදිංචි සිරිපාල රාජපක්ෂ (71) මව වන චන්ද්‍රා රාජපක්ෂ (68) සහ පුතු ධම්මික රාජපක්ෂ (39) යන අයවලුන් කොරෝනා ආසාදිතව ඉකුත්දා මිය ගොස් තිබිණ.

Page 385 of 391