මත් පැන් සහ දුම්වැටි පිළිබඳ රාජ්‍යයේ අවධානය යොමු කළ යුත්තේ කෙසේ ද...? - වසන්ත සිරිවටගොඩ ගේ පැහැදිලි කිරීමක්

මත් පැන් සහ දුම්වැටි පිළිබඳ රාජ්‍යයේ අවධානය යොමු කළ යුත්තේ කෙසේ ද...? - වසන්ත සිරිවටගොඩ ගේ පැහැදිලි කිරීමක්

වසන්ත සිරිවටගොඩ යනු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උගත් පුද්ගලයෙකි; මේ වන විට හෙතෙම නීතිඥයෙකි; නීතිඥයකු වුව ද සරල පුද්ගලයෙකි. හෙතෙම රටේ: සමාජයීය, දේශපාලන, ආර්ථික මෙන් ම ආගමික පසුබිම සම්බන්ධයෙන් ද නිරන්තර අවදියෙන් සිටින්නෙකි; ඒ සම්බනධයෙන් සිය අදහස් ඍජුව පවසන්නෙකි; සරල භාෂාවෙන් ලියන්නෙකි.


මතු පළ වන්නේ මත්පැන් මිනිසකුට අවශ්‍ය වන්නේ ඇයි සහ ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශ්වය කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ඔහු දරන අදහස් අන්තර්ගත අටකින් යුත් ලියවිල්ලකි.


01.රජය කළ යුත්තේ කුමක් ද...?

මිනිස්සු ලෙඩ වෙනවයි කියලා, අරක්කු , බියර් සිගරට් ගනං අස්ප ගණවලිං උස්සනවා. බොන එකා කොහොමත් බොනවා. අරක්කු බීව එකා කසිප්පු ගහන්ඩ ගන්නවා. සිගරට් බීපු එකා බීඩි ගහන්ඩ ගන්නවා. ජරාව බීලා අවුරුදු පනහෙං මැරෙන්ඩ හිටපු එකා අවුරුදු තිහෙං වළකජ්ජ ගහනවා.

 

alcohol and tobacco min

මේ දොස්තර මාත්තුරු කියන ඔය හතලිස් දාහෙං තිස් නව දහක්ම ඔන්න ඔය කසිප්පුයි, බීඩියි ගහන ගොඩට අයිති අය කියලා සරල සමීක්ෂණයක් කළොත් හොයා ගන්ඩ පුළුවං.

එතකොට හරි හමං රජයක් කරන්ඩ ඕනෑ, නිසි ප්‍රමිතියකිං යුක්ත, මත් පැන් හා සිගරට් අඩු මිලට දීලා, අර කසිප්පු බීඩි ගහන ගොඩ ඒවට හුරු කරලා, ඒ ගොඩ අඩු කර ගන්න එක නෙවෙයිද?



02.  අරක්කු සහ දුම් වැටි මිල වැඩි කළ විට පවුලේ ආර්ථිකය

පවුල් ආර්ථිකයට හෙණයක් කියලා අරක්කු, සිගරට් නවත්තන්ඩ කියලා ගනං උස්සනවා. වෙනදා කාලක් බාගයක් ගහලා ගෙදෙට්ට කිරිපිටි පැකට්ටෙකක් අරං යන එකා, වෙනදා පුරුද්දටම ගසලා, ගෙදෙට්ට සැසේ පැකට් දෙකක් සාක්කුවේ දාගෙන යනවා.

බොන්ඩ කියලා කසිප්පු පැකට්ටෙක ඉනේ ගහං ගෙදර යන එකා, කුදලගෙන ගිහිං උසාවි දැම්ම ම දහ පාළොස් දාහක දඩයක් කෙළිනවා. ගෙදර එවුං මාස ගාණක් බඩ ගින්නේ හූල්ලනවා.

ඕං අරක්කු සිගරට් අස්ප ගාණෙං උස්සපුවම පවුල් ආර්ථිකේ හැදෙන විදිය...



illegal liquor 3

03. ගම ම ලෙඩ වෙන වැඩක්

කසිප්පු වඩියක් ගහලා මාට්ටු වුණ එකාට පනස් දාහක විතර දඩයක් කෙළියම, එක්කෝ ඒ දඩේ ගෙවා ගන්ඩ බැරුව ඒකා හිරේට යනවා. ගෑනි ළමයි හිඟමනට වැටෙනවා.

ඒම නැත්තං දඩේ ගෙවා ගන්ඩ හිතාන අරකා තව වඩි දෙක තුනක් ගහලා ගම ම ලෙඩ කරනවා.



04. මතට තිත තැබුවා නම් දඩ ආදායම් වැඩි වන්නේ කෙසේ ද...?

මතට තිත තියනවා කියලා පහු ගිය ආණ්ඩුත් හෙන පම්පෝරි ගැහුවා. වැටලීම්වලිං කෝටි ගාණක දඩ අය කර ගත්තා කියලා සුරා බදු එකේ උනුයි, පොලිසියයි ලොකුවට ඇඩ් දානවා. මේ වසරේ දඩ ආදායම ගිය වසරට වඩා අච්චරකිං වැඩියි කියලත් ලොරි ටෝක් දානවා. ඒවා බල බලා කට්ටිය අත්පුඩි ගහනවා.

මතට තිත තිබ්බනං අවුරුද්දෙං අවුරුද්ද දඩ ආදායං වැඩි වෙන්නේ ඇයි කියලා එකෙක්වත් අහන් නෑ. ඒම වෙන්නේ පොලිසියේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව හින්දා කියලා කට්ටිය මාර ආතල් ගන්නවා.


05.  රට තුළ පවතින සමාජ විද්‍යාඥයින් ගේ අඩුව

මේ පිළිබඳ හරි හමං සමාජ විද්‍යාත්මක හැදෑරීමක් කිරීමට තරම් ප්‍රමාණික හා විවෘත මනසකින් යුක්තව කතා කළ හැකි සමාජ විද්‍යාඥයින් රට තුළ පහළ නොවීම.

මුං දන් නෑ මත්වීමට ඇති අභිප්‍රේරණය ශිෂ්ටාචාරය තුළ එදා ඉදංම තිබුණ බව. දුක, සතුට, කාංසිය, ශාරීරික තෙහෙට්ටුව සහ මහන්සිය, හුදෙකලාව, ප්‍රිය සම්භයෝගය හා විප්‍රයෝගය ධාරණය කර ගැනීම, බෙදා හදා ගැනීමේ දී වගේම සාහිත්‍ය කලා රසාස්වාදය, බුද්ධිමය සංවාදය, දොඩමලුවීම හා ඇහුම්කන් දීම වගේ සමාජයීය කාර්‍යයන්හි දී මත් පැන් හා දුම්වැටි උත්ප්‍රේරණයක් ලබා දෙන්නා වගේම සාධනීය මැදිහත්වීමක් කරනවා.

 

www.everlopezblog.com

උදාහරණ ලෙස මගෙං ඔය අතිශය පවුද්ගලික කාරණා ගැන උපදෙස් ගන්ඩ එන එවුං කවදාවත් තමංගේ ප්‍රශ්නේ සරලව, පැහැදිලිව, කෙටියෙං කවරමදාකවත් කියන් නෑ. ඇඹරෙනවා, තටමනවා, වටේ යනවා. මටත් එපා වෙනවා. අත්දැකීමෙං මං දන්නවා, මුං මගෙ ඉස්සරා ඉඳගෙන දොඩවන විනාඩි පහ ඇතුළෙ දි ප්‍රශ්නෙයි උත්තරෙයි. හැබැයි ඒ උත්තරේ මෙයාලට සැටිස් නෑ. මුං ගොඩකට ඕනෑ හැබෑ උත්තරේ හොයා ගන්නවට වඩා අර ප්‍රශ්නේ ගැන සෑහෙන වෙලාවක් කතා කර කර ඉන්න එක. ඕකට මං මටත් ඉසේ කැක්කුමක් නොවෙන, මෑන්ගේ අසනීපෙත් සනීප වෙන විසඳුම් කීපයක් හොයාන තියෙනවා.

එකක් තමයි...උපරිම ගාස්තුවක් නියම කිරීමේ සිට පවුල් උපදේශකයෙකුට, මානසික රෝග වයිද්‍යවරයෙකුට යොමු කිරීම දක්වා දිවෙන එක් විසඳුමක් තමා මේ මනුස්සයා කන බොන මිනිහෙක්නං, සහ කොලිටියක් තියෙන මිනිහෙක්නං, බොන්ඩ කැමති දෙයක් අරං මං තනියම බොන වෙලාවක එතෙන්ඩ එන්න කියන එක.

ෂොට් දෙක ගහනකොට මෑන් ඇත්ත සිද්ධිය ආපහු ආපහු වමාරනවා. මං කරන්නේ වට පිටාව දිහා බලාන හෙමීට බියර් උගුරක් තොල ගාන ගමං ඌට හූ මිටි තියන එක. මිනිහෙකුට ඇහුංකම් දෙනවා කියන්නේ පිං සිද්ධ වෙන වැඩක්., හැබැයි මාරම අමාරු වැඩක්...

 

smoke and beer

ගල් බෝතලේකට, බියර් හුණ්ඩුවකට, සිගරට් දෙක තුනකට ඒ අමාරු වැඩේ සුමට කරන්ඩ පුළුවන්. ලෝයර්ස්ලාට වඩා මේ සමාජ විද්‍යාත්මක දැනුම දෙන්ඩ ඕනෑ දොස්තර මාත්තුරුන්ට... කරුමේ කියන්නේ අපි වාගේ නාට අහන් නැති එකෙක් දෙන්නෙක් මැද්දට පැනලා ගේම ඉල්ලුවත්, මට දැනෙන හැටියටනං මේ ඔක්කෝම ලෙඩේ වවාගෙන කනවා.

අණෙක් අතට ඔය සරල සමාජ විද්‍යාව ගැන මෙලෝ අලබෝලෙක දැනුමක් නැති දොස්තර මාත්තුරුයි, පූජකයොයි කියන ගොං පාට් කතන්දර උස්සං යන වැදගත් පුන්‍යවන්ත මහත්තුරු ගැන හොයලා බලන්ඩකෝ... එක්කෝ ඉඩම් නඩුවක පැටලිලා, නැත්තං බස් එකක යද්දි ගෑනියෙක්ගේ පස්ස මිරිකලා. නැත්තං ගෙදර උන්න ගෑනි කන බොන එකෙක් එක්ක පැනලා ගිහිල්ලා. ඒමත් නැත්තං අසූචි ටිකත් වේලගෙන කන එකෙක් හින්දා සමාජෙං කොන් වෙලා.

අරක්කු සිගරට් නොබොන මගේ යාළුවෝ ඕනැ තරං මට ඉන්නවා. හැබැයි උං නොබොන එක වීරකමක්වත්, බොන එක බේබදුකමක් ( මදි කමක්වත්) කියලා උං හිතන් නෑ.


06. ආගමික සංස්තාවේ මැදිහත් වීම

ආගමික වහන්තරාව. පන්සල් පල්ලි කෝවිල්වලට වෙලා විස්කි බ්‍රැන්ඩි ගහන පූජකයෝ කියන උන්ට තියෙන මේ මත්පැන් හා දුම්වැටි විරෝධය ගැන කතා කරලා ම වැඩක් නැත. ගුත්තිල කාව්‍ය නම් මෙරට බිහි වූ අග්‍රගණ්‍ය කාව්‍ය ග්‍රන්ථයේ කතුවර වෑත්තෑවේ හිමියන් උදේනී පුර සැණකෙළිය වර්ණනා කරන්නේ මෙලෙසිනි.

" රැගත් සුරා පිරුණු විතින්
සුරත් තඹරු පෙති නෙතසින්...
පුවත් නොදැන බඹර ගතින්
නටත් අයෙක් සුරා මතින්.."



උං බීලා පිස්සු කෙළින විදිය උපහාසයට ලක් කරමින් හා හාස්‍ය රසය මෙන්ම ශෘංගාරාත්මක රසය ද මතු කරමින් අගනා කාව්‍ය ප්‍රබන්ධයක් කළා විනා, දුෂ්කර දිවි පෙවතක් ගත කළ වෑත්තෑවේ හිමියන් මේ මත් පැන් සාදය හෙළා දුටුවේ නැත. ඒ මත් පැන් අකැප වී ඇත්තේ දායකයින් අගු පිල්වල ලගිද්දී, කන්ඩ බොන්ඩ නැතුව උං හූල්ලද්දී, කසිප්පු බීඩි ගගහා උං දවසිං දවස කෘශ කෙසඟ වී, මරණ මංචකයට යන එක ඇහින් දකිද්දී, උංගේ දානයෙන් ආධාරයෙන් ඒසී කාමරවල ඉඳගෙන විස්කි බ්‍රැන්ඩි ගහන උන්නාන්සෙලාට ය.


07.  බදු අඩු කර මිල අඩු කළොත්...?

අරක්කු සිගරට්වලට ගහන බදු අඩු කරලා ගාණ අඩු කළාම රජයේ බදු ආදායම අඩු වෙනවා කියලා තව සමහරු බයිලා ගහනවා. ඒ වුනාට වෙන්නේ අනිත් පැත්ත. පහු ගිය ආණ්ඩුව රාජපක්ෂලාගේ කීම අහලා අරක්කු සිගරට් හිටි පැයට දෙගුණකින් විතර වැඩි කළා. එහෙමනං සුරා බදු ආදායම දෙගුණයකින් වැඩි වෙන්ඩ එපැයි? මොකක්ද වුණේ? සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ආදායම දරුණු විදියට පහළ ගිය එක විතරයි.


08. වත්මන් රජයේ කශේරුකාව

පහුගිය ආණ්ඩුව රට පුරා බියර් බාර් ඇති කළා. මං දන්න තරමින් මැදවච්චියට බියර් බාර් 05 ක් ලැබුණා. ඒකටත් සමාරු සරං උස්සං උද්ඝෝෂණ කළා. මංනං කියන්නේ බියර් පර්මිට් තව දහයක්වත් දෙන්ඩ ඕනෑ. ප්‍රධාන නගරවලිං පිටට බාර් පර්මිට් දුන්නම දින පතා නගරවලට එන පිරිස අඩු වෙනවා. එතකොට නාගරික වාහන තදබදය අඩු වෙනවා. නිකරුණේ පුච්චන තෙල් ටික ඉතිරි වෙනවා. රිය අනතුරු අඩු වෙනවා.


bar
 බාර් විතරක් නෙවෙයි, මේ හරහා විශේෂයෙන් දේශීය සංචරක කර්මාන්තය දියුණු කරලා, ගම් ඇතුළේ රැකියා කර්මාන්තය දියුණු කරන්ඩත් පුළුවන්. ඒකට ඉතිං පොතේ පතේ උගත්කම නැතත්, ප්‍රාදේශිය සභාවේ ඉඳන් ජනාධිපති පුටුවට යනකල් නිර්මාණාත්වකව හිතන්ඩ පුළුවන් මිනිස්සු පාලක පන්තිය තුළත්, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය තුළත් බිහි වෙන්ඩ ඕනෑ.

ආගමික රාජ්‍යක් ගොඩ නංවන එක පැත්තකින් තියලා, මිනිස්සුන්ගේ හැබෑ අවශ්‍යතාවලට සංවේදී පුද්ගල කේන්ද්‍රීය රාජ්‍ය යාන්ත්‍රණයක් බය නැතුව ක්‍රියාවේ යොදවන්ඩ ඕනෑ. මෙච්චර කල් බිහි වුන කිසිම රජයකට ඔය කශේරුකාව තිබ්බේ නෑ.

මත් පැන් දුම්වැටි විතරක් නෙවෙයි... ඔය ගබ්සාව නීති ගත කිරීම, සමලිංගිකත්වය ගැන තියෙන දුර්මත හා නීතිමය බාධා ඉවත් කිරීම, කොන්දේසි සහිත නිසි නියාමනයක් යටතේ ගණිකා වෘත්තිය නීති ගත කිරීම, ගංජා සහ අබිං ගැන තියෙන දැඩි නීතිමය කොන්දේසි ලිහිල් කිරීම වැනි ඔය ආගමික හා සංස්කෘතිකයි කියන අසංස්කෘතික වහන්තරාව අයිං කරලා, මිනිස් නිදහසට ගරු කරලා මිනිස්සුන්ට මිනිස්සු විදියට ජීවත් වෙන්ඩ පුළුවං රටක් හදනවනම්, ඒකට මේ ආණ්ඩුව තාමත් පරක්කු නෑ.



(උපුටා ගත්තේWasantha Siri Watagoda ගේ face book පිටුවෙනි)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න