ජවිපෙ එළියට විදාහළ 'උගත් වලිප්පුවට' රංවල ද ගොදුරු විය

 ජවිපෙ එළියට විදාහළ 'උගත් වලිප්පුවට' රංවල ද ගොදුරු විය

මේ වනවිට අශෝක රංවල සහෝදරයා සමාජ මාධ්‍ය ගංවතුරේ ගසාගෙන යන කුණු මාළු කෑල්ලක් බවට පත් වී තිබෙයි.

ජවිපෙ දේශපාලනයේ ඉතා අසීරු කාලවල සිට මේ මොහොත දක්වා ම තමා විශ්වාස කළ සමාජ ව්‍යාපාරය වෙනුවෙන් ඓන්ද්‍රීයව පෙනීසිටි ඔහුගේ ක්‍රියාකාරී ඉතිහාසය ඩිජිටල් වේදිකාවේ සදාතනික වර්තමානය තුළ අතුරුදන් වී ඇත.

වේශ නිරූපණ වැඩසටහන් දියත් කිරීම


Ashoka
බොහෝ නරඹන්නන් සිතන්නේ රංවල නමැති පිස්සකු පැමිණ අනුර ගේ ජනප්‍රිය ආණ්ඩුකරණයට කෙළවමින් ඇති බව ය. රංවල ගේ සුජාතභාවය කිලිටි වී තිබීම ඔහුගේ පුද්ගලික අවුලකට ඌනනය කිරීමට වඩා තත්ත්වය සංකීර්ණ ය. රංවලව අපකීර්තියට පත් කෙරුණු කතානායක-උපාධි සිදුවීම යනු ජවිපෙ මහජන දේශපාලනය වෙනුවෙන් ඉස්සරහට දැමූ 'උගත්කම' පිළිබද ප්‍රචාරණයේ මෝඩ ප්‍රතිවිපාකයකි. වාමාංශික දේශපාලනයේ ඕල්ඩ් ස්කූල් නියෝජනයක් වූ රංවල ද ජවිපෙ එළියට විදාහළ 'උගත් වලිප්පුවට' ගොදුරු විය. රංවල කතානායක පදවියක් ඉල්ලා ගත්තේ නැත. එය පිරිනැමීම පක්ෂය ගත් තීරණයකි. රංවලට අදාළ උපාධිය ඇත්ද නැද්ද යැයි මා දන්නේ නැත. රංවල තමාට උපාධියක් ඇතැයි ජවිපෙ පක්ෂය ඇන්දුවායැයි මා සිතන්නේ නැත. ජවිපෙ (හා පෙසප වැනි) ආකෘතියේ වාමාංශික ව්‍යාපාරවලට උපාධි වර්ගයේ තානාන්තරවල ඇති ලබ්බක් නැත. එවැනි ආකෘතියේ වාමාංශික පක්ෂයක කාර්‍යභාරය විය යුත්තේ සමාජය විප්ලවීය ලෙස පරිවර්තනය කිරීම අරමුණු කරගත් බුද්ධිමය සහ සංස්කෘතික ප්‍රතිසංස්කාරක භූමිකාවක් ප්‍රදර්ශනය කරමින් නව සාමූහික වටිනාකම් පිළිබද අධ්‍යාපනයක් සමාජය වෙත රැගෙන යාම යි. එහෙත් මැතිවරණ දෘෂ්ටිවාදයට අනුගත වීම පමණක් ප්‍රමුඛ කරගත් ජවිපෙ විසින් සිදුකරනු ලැබුවේ තමන් අනෙකුත් පක්ෂ නියෝජනයන්ට වඩා 'උගත් පොරවල්' ටිකක් බව ජනතාවට පෙන්නුම් කිරීමේ වේශ නිරූපණ වැඩසටහන් දියත් කරලීම යි. අවසානයේ අන්තර් ජාල ජනතාව තුළ සහතික වූයේ රංවල ලෝකයා රවටා කතානායක පදවිය අත්කර ගත්තා බඳු අදහසකි. ජවිපෙ බලයට පත්වීමෙන් පසු ඩිජිටල් ජනතා වේදිකාව මත සිය 'ශුද්ධවරය' යම් කෙලෙසා ගැනීමකට ලක් කළ පළමු අවස්ථාව වූයේ රංවලගේ 'උපාධි සිදුවීම'යි. එමගින් සිදුවූයේ සමාජ ව්‍යාපාරයක් තේරූ ('උගත් බුද්ධිමත්' කෙරුමන් පිළිබද) මෝඩ දේශපාලන අදහසක වන්දිය සඳහා රංවල බඳු තනි පුද්ගලයකු බිලිවීමයි. ඉන් අනතුරුව එකී බිලිපූජාවේ ලැයිස්තුව හදුන්නෙත්ති, හේවගේ, වටගල ඇතුළු තවත් පුද්ගල නාම කිහිපයකින් දිගුවිය.

ශ්‍රී ලංකා පොලිසීයට සුපුරුදු නිවට සහ නරුම අවස්ථාවාදී ලක්ෂණ
download

රංවල ගේ හදිසි වාහන අනතුර සිදුවන්නේ ඔහුව කලකට පෙර ම ‘වංචනිකයකු’ ලෙස හංවඩු ගසා තිබූ පසුබිමකය. පැහැදිළිවම මෙම හදිසි අනතුර වනාහී සාමාන්‍ය දෛනික ජන ජීවිතයේ සිදුවිය හැකි වරදකි. එහෙත් 'රංවල නම් වූ වංචනිකයා' වෙත යළිත් ඩිජිටල් වේදිකා ජනතාව ගේ ටෝච් එළි දැවැන්ත පරිමාණයෙන් එල්ල වන්නට විය.

එය වඩාත් තීව්‍ර වූයේ ඔහු සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ දී ආණ්ඩුවේ ප්‍රවේශය තුළ සෘජු විනිවිදභාවයක් දක්නට නොලැබීමයි. එහෙත් තාක්ෂණිකව ගත් කළ එහි දී මන්දගාමී ලෙස අක්‍රීය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පොලීසිය යි. ජාජබ ආණ්ඩුව අලුත් පොලිස්පතිවරයකු පත්කර තිබුණ ද තවමත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇත්තේ ප්‍රභූ පරාධීන මානසිකත්වයෙන් කටයුතු කරන ජරපත් වැඩ ශෛලියකි. මෙම රංවල සිදුවීමේ දී පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත්තේ එම පක්ෂග්‍රාහීත්වයට නැඹුරුව බව අපැහැදිලි නැත. ශ්‍රී ලංකා පොලිසීයට සුපුරුදු මෙම නිවට හා නරුම අවස්ථාවාදී ලක්ෂණ වෙනස් කිරීමේ ධෛර්‍යයක් ජාජබ ආණ්ඩුවේ බලධාරීන් විසින් තවම පෙන්නුම් කර නැත.

ඒ අනුව සිය දේශපාලන සගයා අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටිය දී ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට බලකිරීමක් ආණ්ඩුවේ ඉහළ ජවිපෙ නියෝජිතයන් අතින් විශේෂයෙන් සිදුවීමට ඉඩක් නැත. සියල්ලේ අවසාන නිරූපණය වූයේ ජවිපෙ ආණ්ඩුව විසින් පොලිස් දෙපාර්තමේන්තුව ලවා අශෝක රංවලව ආරක්ෂා කරලනවා වැන්නකි. එහෙත් සූක්ෂමව බැලූ විට දක්නට ලැබෙන්නේ එවැනි පැහැදිළි චිත්‍රයකට වඩා ආණ්ඩුවේම යම් ව්‍යාකූලත්වයකි.

as1

එනම් පැරණි දේශපාලන බලවේග කළ ලෙසින් සිය දේශපාලන සගයන් හදිසි අර්බුදයන්ට ලක්වූ විට ඔවුනව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව බඳු රජයේ ආයතනයන්ට බලපෑම් කිරීමේ සිරිත පණ ගැන්වීමට ද ජවිපෙ ආණ්ඩුව ධෛර්‍යමත් නැත. එසේම පොලීසිය බඳු රජයේ ආයතන නීතියේ ආධිපත්‍යය සහ අපක්ෂපාතීත්වය මත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් නෛතික දණ්ඩනයේ පටිපාටිය වඩා ක්‍රමවත් කිරීමේ අධිෂ්ඨානයක් ද තවමත් මෙම ආණ්ඩුවෙන් පළවන්නේ නැත.

රංවලගේ හදිසි අනතුරු සිදුවීමෙන් කියවෙන්නේ ආණ්ඩුව පත්ව ඇති මෙම දෙබිඩි චංචල ස්වාභාවය යි.

ආණ්ඩුව කළ යුත්තේ කුමක් ද...?

අශෝක රංවල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම (ඉවත් කිරීම) මේ මොහොතේ ඩිජිටල් වේදිකා ජනතාවට යම් සංකේතාත්මක සහනයක් විය හැකි මුත් එම ජනතා ප්‍රේක්ෂාවේ කේන්ද්‍රීය මනෝභාවය වන්නේම 'අසහනය' යන්න බව ද මෙහිදී සිහිතබා ගත යුතු වේ. ඉදිරියට කී දෙනෙකු කියා ඉල්ලා අස්වෙන්න ද...?

ඒ අනුව මෙම සිදුවීම තීරණාත්මක අවස්ථාවක් කරගනිමින් නීතියේ ආධිපත්‍යය වඩා පැහැදිළිව ජීවමාන කිරීමටත්, රාජ්‍යයේ අතිශය වැදගත් පුරවැසි ආයතන පෙරළිකාරී වෙනසකට ලක් කිරීමටත් ජවිපෙ ආණ්ඩුව අධිෂ්ඨාන සහගත විය යුතු වේ. රංවල ප්‍රශ්නය යනු මේ වනවිට සමාජ මාධ්‍යන්ගේ ලුබ්ධිමය කැසිල්ලක් වන මුත් නොවැළැක්විය ලෙස අද යුගයේ වෙනස් කිරීමේ දේශපාලනය මුණගැසෙන්නේ ද එම කැසිල්ලෙන් මතු වන තුවාල හා බිබිලි හරහාය.

(සටහන - විදර්ශන කන්නන්ගර)

උපුටා ගත්තේ Vidarshana Kannangara ගේ face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න