සුදර්ශි රණබාහු දෘශ්‍යකලා ශිල්පිනියගේ කලා ප්‍රදර්ශනය 2025 දෙසැම්බර් 20-21කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානයේ හැරල්ඩ් පීරිස් කලාගාරයේ දී පැවැත්වුණා.
තරුණ දෘශ්‍යකලා ශිල්පිනියක ලෙස ඇගේ එම ප්‍රදර්ශනයේ කලාකෘතිවල ගැබ්ව පැවති පරිසමාප්ත බව අගය කළ යුතු වූවක්. විශේෂයෙන් එම ප්‍රදර්ශිත සිතුවම් තුළ දැකිය හැකි වූ නිම කෘතියක් බවට පත්කිරීමේ කලා කුසලතාව සහ එම තීරක එළඹුම වැදගත් වූවක්. එනම් සිතුවම් පෘෂ්ඨය තුළ පළමු ප්‍රවේශී නිමේෂයේ සිට එහි අවසන් නිමකිරීමේ මොහොත තෙක් පැවති දැනුවත් බව හඳුනාගත හැකි වීම වටිනා කරුණක්.

ශිල්පීය කලාත්මක ජයග්‍රහණයේ ප්‍රකාශනය
කැන්වසය මත මිශ්‍ර මාධ්‍යයෙන් වූ එම සිතුවම් හි මුඛ්‍ය රූපික අංගයේ රූපික පිහිටුවීමේ ස්වරූපය තුළ රසික හැඟීම් ආමන්ත්‍රණයේ දී මතුවන්නේ කරුණා රසයක්. සිතුවම් හි දැවමය රාමු තුළ ද සිදුකර තිබූ සියුම් කැටයම් අංග පෙනී සිටිනුයේ සිතුවමේ ම කොටසක් ලෙස.
එම සංරචන උපක්‍රමය එහි තේමාත්මක අර්ථය තුළත් එහි කලාත්මක අර්ථය තුළත් මෙන්ම සිතුවමේ ද්‍රව්‍යාත්මක වටිනාකම තුළත් සහ සිතුවම් හි තේජමානී නිර්-උපයෝගී වටිනාකම තුළත් එකවිට මනාව ගළපාගැනීමක්. එමෙන්ම,සිතුවම් හි වර්ණ ස්වකීය අභිමතයට නතු කර ගැනීම යනු ශිල්පීය කලාත්මක ජයග්‍රහණයේ ප්‍රකාශනයක්.

දෘශ්‍යමානී අවස්ථාව ඉක්මවන රසික පරිකල්පනය
මෙම කලා වියමන් විසින් රසික සක්‍රීය ප්‍රවේශයෙන් ඉල්ලා සිටින අර්ථ තල ගණනාවක් වෙනවා. අපගේ නැරඹුම් ඇස ඉදිරියේ විද්‍යමානිත කලා කෘතියේ අවසන් පෙනීසිටීම දක්වා සිදුවුණු ගැහැනුමය ජීවිත ගනුදෙනුදෙනුව එනම් එහි ආත්මීය ප්‍රදේශය පිළිබඳව පරිකල්පනය එහි එක් ප්‍රබල අර්ථාන්විත ඉල්ලා සිටීමක්. ඒ අනුව නිශ්චල සිතුවමේ සිවු රාමු සීමාවට ඔබ්බෙන් සිතුවමේ ඇතුළාන්තමය තත්ත්වය තුළ වූ චලනමය මිනිස් පැය ගණනාවක් දෙස බැලීමට අපව පොලඹවනවා. ගෙතුම්, මැහුම්, සියුම් ඇලවීම් සහ අත්කම් ආදි ක්‍රියාකාරකම් එහි දැකියහැකි වෙනවා.එකී ක්‍රියාකාරකම් යම් විටක වේදනාකාරී මනෝභාවයන් කල්දැමීමක් වෙනුවට එම මනෝගති බාරගැනීමේ සහ දරාගැනීමේ චර්‍යාමය අවස්ථා විය හැකියි. ඒ අනුව මෙම සිතුවම් මතුපිට දෘශ්‍යමානී අවස්ථාව ඉක්මවා රසික පරිකල්පනමය හා සියුම් කියවීමේ ගුණාත්මකතාව ඉල්ලා සිටිනවා.

ඉදිරිපත්වූ ස්ථාපනමය ප්‍රකාශනයේ රූපික අංගයක් වූ කටුසු සත්ව රුව විසින් ද මතුකරනු ලැබුවේ අපූර්ව දෘශ්‍ය අත්දැකීමක්. ස්වභාවික විද්‍යා කෞතුකාගාරයක ප්‍රදර්ශිත සත්ව රුවක් සේ තාත්වික එම සත්ව අනුරුව සංකල්පිත කලාත්මක සංදර්භයක් මත පිහිටුවීම තුළින් එම සංජානනමය අවස්ථාව සැකසෙනවා.

තරුණ දෘශ්‍යකලා ශිල්පිනියක ලෙස සුදර්ශී රණබාහු ශිල්පිණිය ගේ මෙම අනලස් කලා ක්‍රියාකාරකම් රැගත් The Light of Garnets ප්‍රදර්ශනය කලා රසික ප්‍රජාවට නැවුම් සෞන්දර්යාත්මක අත්දැකීම් රැගෙන ඒමක්. එමෙන්ම බුද්ධිමය සහ භාවමය ලෙස එම සමාජ ස්ථර වෙත දැක්වූ වටිනා තිළිණයක්. සංස්කෘතික නිෂ්පාදනමය සහ ප්‍රවර්ධනීය ප්‍රවේශයක්.
සිසිර කුමාර මහගම
උපුටා ගත්තේ Sisira Kumara Mahagamaගේ face book පිටුවෙන්

