ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රපට විචාරය; ''කඩවුණු පොරොන්දුව''

ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රපට විචාරය; ''කඩවුණු පොරොන්දුව''

‘ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය (1925-2025) සහ 75 වසරක මෙරට කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් 29 වන සඳුදා (අද), සවස 4.30 ට කොළඹ 05, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ‘ඇසිදිසි මැදුර’ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය ලෙස සැලකෙන්නේ 1947 වසරේ ජනවාරි මස 21 වනදා රූගත කෙරුණු කඩවුණු පොරොන්දුව චිත්‍රපටය යි.කඩවුණ පොරොන්දුව 01

මතු පළ වන්නේ එම සිනමා නිර්මාණය පිළිබඳව එකල පැවති 'ලඞකා' නමැති සඟරාවේ පළ වූ විචාරයකි. මෙය ශ්‍රී ලංකාවේ පළමු සිනමා විචාරාත්මක ලිපිය ලෙස ද සැලකේ.

'කඩවුණු පොරොන්දුව' නමැති සිංහල චිත්‍ර පටිය බැලීම සඳහා සිනෙමා ශාලා වන්ට රැස් වෙන සෑම පඞතියකටම අයත් අති විශාල ජනකාය මේ රටේ සිංහල චිත්‍රපටි කර්‍මාන්තයට ඇති සරුසාර අනාගතයක පෙර නිමිත්තකි. ලාංකික ව්‍යාපාරයක් වූ චිත්‍රකලා මුවිටෝන් සමාගම සිංහල චිත්‍ර පටි සම්පාදනයට ඉදිරිපත් වන තුරු ඇමරිකන් බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු චිත්‍ර පටි කෙරෙහිමය අපි ගැති වී සිටියේ. සිංහල භාෂාව ජාතියේ වැඩි දියුණුව සඳහා වැඩට ගත නොහැකි භාෂාවකැයි එහි සතුරන් විසින් පතුරුවා හැර තිබූ මිථ්‍යා මතය ද 'කඩවුණු පොරොන්දුව' නමැති චිත්‍ර පටියේ සාර්‍ථකතාවෙන් සිදී ගියේ ය.

මේ අධික ජාත්‍යානුරාගයත් ජාතික භාෂාව කෙරෙහි යළිත් ආශාවක් දැක්වීමත් හේතුකොට ගෙන ලංකාවේ ගුණ වගාව හා අර්ථ ව්‍යවස්ථාව පිළිබඳ අභිවෘද්ධිය දිනෙන් දිනට ඉදිරියට යනවා වෙනුවට පස්සෙන් පස්සට යන බව මේ රටේ ඉංගිලිසි උගත් ජනයාගෙන් එක් අංශයක් හැමදාම ඇදහූ මතය විය. එහෙත් බටහිර ශිෂ්ටාචාරයෙහි හොඳ තැන් මේ රටේ ඕනෑ එපා කම් වලට සැසඳෙන සේ සාර්ථක ලෙස අනුකරනය කොට - ගත හැක්කේ කෙසේදැයි ස්ඵුට කැරෙන නිදර්ර්‍ශනයෙකි ''කඩවුණු පොරොන්දුව'.

ඩොලර් දස ලක්ෂයක් වියදම් කොට නඟනු ලබන අමරිකන් චිත්‍ර පටියක මිම්මෙන් මනින කල්හි ''කඩවුණු පොරොන්දුව'' එපමණ විශාල ධනයක් වියදම් කොට, ඒ වියදමට සරිලන පරිදි සකස් වුණු චිත්‍ර පටියකැයි කිය නොහැකියි. අමරිකන් චිත්‍ර පටියකට ඇතුළත් කළ යුතු ජවනිකාවක් දෙකක් නැඟීම සදහා ඊට අවශ්‍ය සියලු උපකරණ සහිත නළු නිළියන් හොලිවුඩ් නගරයේ සිට යම් හෙයකින් සිංගප්පූරුවට ගුවන් මගින් ගෙන ඒම අමරිකන් චිත්‍ර පටි සමාගමක් කෙරෙහි එපමණ බැරෑරුම් වැඩක් නොවේ. එහෙත් මේ රටේ චිත්‍ර පටි නිෂ්පාදනය කරන සමාගමක් සතුව පවත්නා සීමා සහිත සංස්කරණ උපායයන් ද එසේ ම සීමා සහිත චිත්‍ර පටි දර්ශකයන් ද ගැන සලකන කල්හි ''කඩවුණු පොරොන්දුවේ'' සමහර ජවනිකාවල පසුබිම කථාවට සරිලන්නේ නැතියි හෝ ඒවායේ ඉන්දියානු ගතිය අධික ලෙස මතුවි පෙනෙත්යයි හෝ ගුණ නාශක දෝෂ දර්‍ශනයක් කිරීම උගහට ය.

එහෙත් මේ චිත්‍රපටිය බලන කල එහි ඉතා පැහැදිලිව පෙනෙන්නේ මේ රටේ අපිට ලැබී තිබෙන නාටක නිර්පුණ්‍යත්වය යි. ඇඩී ජයමාන්න විසින් විනීත ගෘහ සේවකයකුගේ චරිතය නිරුපණය කරන හැටි, ස්ත්‍රින්ගේ ගතිගුණ හොඳාකාර දන්නා ඔහු වැන්නෙක් සේවක චරිතයක් නිරුපණය කරන හැටි ''වැට් 69 යේ විස්කි'' සහ අලියා සිගරට් එක ආදිය සහාය කොට - ගෙන හාස්‍යරසය මවා පානා හැටි අතිශයින් ශ්‍රේෂ්ඨයයි කිව යුතුය. ඇඩී ජයමාන්න විසින් නිපදවනු ලබන හාස්‍ය රසය කවදත් සුමිහිරිය, විශේෂ ය. ඒ නිසා කිසි අමාරුවක් නැතුව ලෝකයේ ඉතා උසස් විකට නළුවකුගේ තත්ත්වයට ඔහු සමාන කරනු ලැබිය හැකියි.

කඩවුණ පොරොන්දුව 02

විකට නළුවකු වශයෙන් චාලි චැප්ලින් සර්‍ව ශ්‍රේෂ්ඨ වූයේ හෙතෙම බකලයකුගේ ගමන නිරුපණය කරන විලාසයෙනි. ඉන්දියානු හාස්‍ය රසයෙහි ස්වාභාවික නිදර්ශනයෙකි දකුණු ඉන්දියාවේ සුප්‍රසිද්ධ ක්‍රිෂ්ණන් නළුවා. ඇඩී ජයමාන්න ද එසේම ය. ඇඩී ජයමාන්න වේදිකා වෙහි නිකම් පෙනී සිටියත් දර්‍ශකගණයා තුළ ඉබේම හිනාව පහළ වන්නේය. ලෝකයේ උසස් ලෙස විකට චරිත රඟපානා හැම නළුවකු සම්බන්ධයෙන් ම ඒ සත්‍යය එසේම ය.

''කඩවුණු පොරොන්දුව'' නමැති චිත්‍ර පටියේ කතාවෙන් කියැවෙන්නේ පොරොන්දුව කඩකිරීමේ පුවතකි. මළගිය පියාගේ සොහොන මත වැළපෙමින් කළ ස්ත්‍රියකගේ ප්‍ර‍රතිඥාවකි. ඒ කතාව ඇය හා ඇගේ මව මහත් ව්‍යසනයකට පත්ව සිටි අසීරු කාලයක දී මිත්‍ර වූ තරුණයා හා විවාහ වන්නෙමියි කරගත් ගිවිසුමය ඒ ප්‍රතිඥාව.

විරුද්ධත්වය, මනස්තාපය සහිත කලහය, ධනාශාව සහ තෘෂ්ණාව, ඉරණම පරදවන්නට තැත් කරන මිනිස්සු, අවස්ථාව සමග කරන සටන්, නරක පරදවා හොඳ ජය ගැනීම, කුමන වර්ගයක හෝ දේවාශිර්වාදයකින් සියල්ල ම අවශානයේදී වාසි අතට හැරී පෙම්වතාට පෙම්වතිය ලැබෙන බව සහතික වීම. උඩගු කමින් කැකෑරෙන අසාධාරණ කම් ද දුක්ඛ පූර්‍ණ සිදුවීම්ද  අන්‍යෝන්‍ය විශ්වාසය උසස් කොට පෙන්වන තැන් ද අහිංසක කම වංචාවට කැප වෙන අවස්ථා ද එහි බහුල ය.

මේ කථාව මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු සිද්ධීන් විදහා පාන පුවතක් නම්, මෙය විනෝදාත්මක නාටකයකැයි කීම අපහසු නමුත් ඇඩි ජයමාන්න සහ ජොසී විසින් ප්‍රධාන නාට්‍යය අතරතුර කෙරෙන රඟ දැක්වීම් නිසා ඒසේ කිය නොහැකියි. මේ දෙදෙනා ම උසස් ලෙස රඟපානා නමුත් විශේෂයෙන්, වැඩකාර කොල්ලකුගේ චරිතය රඟ දක්වනු ලබන ජොසී (ජෙමිනි කාන්තා) ටය ගෞරව සම්පන්න පුෂ්පෝපහාරය පිදිය යුතු. රුක්මනී දේවියද දුටුවන්ගේ සිත් සතන් කම්පා කරවමින් ඈට නියමිත අනුරාග පූර්‍ණ චරිතය රඟ පානා සැටි කදිමය. ඇගේ ගායනාවන් නිසාය මුළු චිත්‍ර පටිය පිළිබඳ වැදගත්කම වැඩි දියුණු වන්නේ.

images

මේ නාටකයෙහි ජවනිකාවන් චිත්‍රයට නැඟූ කැමරා රුපකාරයාගෙන් ඇගේ නිෂ්කලංක ශාරීරික සෞන්දර්යයට සාධාරණ යුතුකම ඉටු නොවී තිබීම දුකට කාරණයෙකි. මීට හේතුව, චිත්‍ර පටිය සම්පාදනය කිරීමට යොදා තිබෙන ද්‍රව්‍යවල පහත් තත්ත්වය නොවේ නම් සමහර ජවනිකාවන් නිකම්ම සුදෙන් සහ කළුවෙන් චිත්‍ර පටියෙහි මුද්‍රණය වී තිබීමය. රංජනී සහ ඇගේ මව කලා රසය උතුරන පරිසරයක රඟ පානා හැටි චිත්‍ර පටියට නගාගෙන තිබෙන ආකාරය චමත්කාර ජනකය. සාත්තුකාරියක් වශයෙන් කථාවෙහි පෙනී සිටිනා රංජනී දක්නා බොහෝ දෙනකු වශී කෘත වෙනවාට සැක නැත. මෙහි කැරෙන දෙබස් සංවාදයන් අතර හුස්ම ගන්නට පවා කිසි ඉඩක් නැතිය. තොරතෝංචියක් නැතිව කථාව ද කථා ශරීරය මතු සම්බන්ධ කැරෙන ආකාරය ද පලුදු සහිතය. එහෙත් එහි කර්‍තෘ තැන්පත්, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතා ද, අධ්‍යක්ෂ ජේ. සිංහ ද එයින් අධෛර්යයට පත්විය යුතු නොවේ.කඩවුණ පොරොන්දුව 03

 පෙම්වතකු වශයෙන් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ගේ රැගුම් කිර්තිධර නළුවකුගේ සමාන ගණයෙහි ගැනේ. නොමග ගිය ස්වාමි පුරුෂයා වූ වික්ටර් ද භයංකර කපුරාළ වූ හේමපාල ද ඔවුන්ට නියමිත චරිත නිරූපණය කරන ආකාරය රමණියයි. සංවාද හා නොගැළපෙන ලෙසය පසුබිමේ සංගිතය ගැයෙන්නේ. යම් ජවනිකාවකින් දකින්නාගේ සන්තානයෙහි පහළ කරවන්නට උත්සාහ කරනු ලබන නාට්‍ය රසය උත්සන්න අවස්ථාවට ගෙන ඒමට උපකාරයක් වනුවට එම සංගීතය ඊට අපකාරයකැයි කිව යුතු ය.

චිත්‍රපටිය මුළුමනින්ම ගෙන කියන කල්හි එය සාර්‍ථක වූ ව්‍යාපාරයකැයි කීම සුදුසු ය.   

 

අයිවන් බී. දසනායක

 

මෙම ලිපිය උපුටා ගත්තේ ඇසි දිසි නව කලා රස face book පිටුවෙනි. එම පිටුවෙහි පළ කර තිබුණේ පිංතූරයක කතාව - The Story of a Picuture face book පිටුවෙන් උපුටාගෙන ය.

අවස්ථාවට අනුව මෙම ලිපිය ලබාගැනීමට හැකිවන්නේ එම face book පිටු හිමිකරුවන් ගේ පිහිටෙනි. එබැවින් එම දෙදෙනාට ම අපගේ ස්තුතිය පළ කරමු.

සැලකිය යුතුයි:- මෙම ලිපිය පරිගණක අකුරුකරණය කරන ලද්දේ ම'විසිනි. ලිපියේ අන්තර්ගත වියමනෙහි: භාෂාව, පද බෙදීම, විරාම ලකුණු අක්ෂර වින්‍යාසය යනාදිය ලිපියෙහි අන්තර්ගත පරිදි ම ය.

 

සටහන - ජයසිරි අලවත්ත

 

75වන සංවස්තරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න