‘සහස් කඳු තරණ මං පෙත්’ කෞෂල්‍යා ජයලත් ගේ දෙවන කාව්‍ය සංග්‍රහය යි.
2018 දී සිය පළමු කාව්‍ය සංග්‍රහය වන ‘කහට ගවුමක අයිතිකාරිය’ කාව්‍ය කෘතිය ප්‍රකාශයට පත් කරමින් කවිය කෙරෙහි තමා සතු ශක්‍යතා, සියුම් භාව ප්‍රකාශනයෙහි ලා දක්වන සමත්කම් පිළිබඳව පාඨක අවධානයට ලක් කිරීමට සමත් වූ බව සිතමි.

ඇය මෙවර සහස් කඳු තරණ මංපෙත් හි සැරි සරන්නේ කවි බැඳීමේහි ඔ් සතු අවි තව තවත් මුවහත් කරමිනි. මේ කෘතිය තුළ ඇය කාව්‍යකරණයේ දී භාෂා භාවිතය පිළිබඳව වන අවබෝධය හා නව්‍යතාවය වඩ වඩා දියුණු කරගනිමින් සිටින බව පෙන්නුම් කරයි. ඇය සිය කාව්‍ය සංග්‍රහය පුදන්නේ ආදරේ අරගලයට ය. එය දේශපාලනික ඇඟවුමකි. ඒ පිදුම තුළ ඇය අප්‍රේල් නැගිටීම, ඇසූ අට අසූ නවයේ ධවල භීෂණය, ශිෂ්‍ය දේශපාලනයේ දී රාජ්‍ය මර්දනයේ ගොදුරු බවට පත් වූ නිෂ්මිලා, ත්‍රීමලා මෙන්ම විවිධ අවස්ථාවල දී රාජ්‍ය මර්දනය විසින් ගොදුරු කර ගත් රතුපස්වල වතුර ඉල්ලා මගට බට මිනිසුන් මෙන්ම, විවිධ වෘත්තිය සමිති සගයින් ද සමග මිරිහාන සිට ගෝඨාගම දක්වා වන සියලු ම අරගලකරුවන් ඇය මෙහි දී සිහිපත් කරයි. ඒ මතු ද නොව සමරු පහන් සිළු බිඳකුදු අහිමි වූ දමිළ අරගලයේ සොයුරන් ද, කිසිදා තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් වටිනාකමක් නොලද වතුකරයේ සොයුරු සොයුරියන්ට ද ඇය ගේ මේ පිදුමෙහි ඉඩක් වෙන් වී තිබේ.
දැදුරු හදින් අරගල බට දමිළ විරූ
සමරු පහන් සිළු බිඳකුදු අහිමි කෙරූ
සඳරු පුතුන් සොයනා මුනි මෑණිවරු
මහරු පෙමින් සිපගමි ඔබ හද ගැඹුරූ
තිසරු පැහැති තේ දලු රැස මියුරු කෙරෙූ
වගුරු කදුළු දහදිය පසට මුසු කෙරෙූ
රුදුරු ලැයිම් දිවි අරගල දියත් කෙරූ
කුහුඹු මිනිසුනේ ඇට්ලස් විසිණු කෙරූ
සහස් කඳු තරණ මංපෙත්හි පිදුමේ එන කවි කිහිපයෙන් මේ කවි දෙක සටහන් කරන්නට සිත් වූයේ එහි අන්තරගතයහි වන සුපොහොසත් බව නිසාම පමණක් නොවේ. මේ කවහි එන ''සඳරු පුතුන්, මුනි මෑණිවරු, කුහුඹු මිනිසුනේ'' යනාදි යෙදුම් කාව්‍යයේ අන්තර්ගතය වෙනුවෙන් නැගී සිටින අපූරුව පිළිබඳව කියන්නට ය. එළි වැට රකින සිව් පදයක් ලිවීමේ දී බොහෝ අවස්ථාවල දී කවියේ අන්තර්ගතය සමග නොපෑහෙන සක්ක පද යොදන අවස්ථා අනන්තවත් අපට හමු වේ. නමුත් මෙහි දී තමා යොදා ගන්නා බස් වහර පිළිබඳව මනා අවබෝධයක් මෙන්ම එම බසෙහි ඖචිත්‍ය ගුණය රැකිම පිළිබඳව ද යොමු කර ඇති අවධානය ඉතා වැදගත්ය.
‘ගඟ ඉළන්දාරි වනු පිණිස’ මේ කෘතියෙහි එන අපූරු කවියකි. කවියට තබා ඇති නම පවා රූපාකර්තවත් බවින් යුතු අතර කවිය නිශ්චිත අර්ථ තලයක නොපිහටවා දාර්ශනික විඳීමක් ලෙස බහු අරුතින් කියවා ගැනීමට කියවන්නාට ඉඩ ලබා දී ඇත. ජීවිතය හෝ මේ සංසාරික ගමන තුළ අගරමග බැඳීම් කෙරෙහි ඒකායන වීම හෝ බැඳිම් අත් හැර අවසන් ප්‍රේක්ෂාව කෙරෙහි යොමු විම යන දෙකෙන් වඩා මිහිරක් තිබෙන්නේ කොතැනද යන ප්‍රශ්නය පාඨකයාට නගා ගත හැකි ය. ගඟ සයුරෙහි ගිලුණු පසු තව දුරටත් එය ගඟ ලෙස පෙනී සිටිනවා ද, නැත්නම් සයුර බවට පත් වෙනවා ද, එසේත් නැත්නම් එය තව දුරටත් ගඟ හෝ සයුර යන ද්වය ම බවට පත් නොවී වෙන යමක් ලෙස අරුත් ගැනිවිය හැකි ද?
කෙත්වතු කුඩා ගං අතු සිඹ
ගඟ ගලා ආපසු සිදු වෙත
ගඟ ද නැති සිඳු ද නම හිතවත
නමක් නැති එක කොතෙක් මිහිරි ද
(පි. 4)
වඩා මිහිර වන්නේ හෝ වඩා මිහිරි ලෙස අත්විඳිය හැක්කේ ගමන ද, ගමනාන්තය ද? මෙය බොහෝ අවස්ථාවල දී බෙහෝ වාද විවදාවලට බඳුන් වි ඇති කරුණකි. මෙය සාහිත්‍ය දාර්ශනික තලයේ සිට ආගමික තල දක්වා විවිධ සන්දර්භ තුළ කියවා ගත හැකි ය. ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස් එක්තරා සම්මුඛ සාකච්ඡාවක දි පිළිතුරක් ලෙස ගොනු කරන්නේ සතුට හෝ මිහිර රඳා පවතින්නේ ගමන තුළ අප අත් විඳින දේවල් තුළ මිස ගමානාන්තයට ළඟා වීම තුළ නොවන බවයි. සාන්දෘෂ්ටිකවාදය තුළ පවත්නා මොහොත ආලෝලනය කිරීම මිස වෙනත් සතුටත් හෝ සැනසීමක් නොදකියි. බෞද්ධ දර්ශනය තුළ ගමනාන්තය තුළ හෙවත් සියල්ල අවසන් වීමෙන් පසු ලෞකික දිවියේ අවසන ළඟා කරගත හැකි ලෝකෝත්තර තත්ත්වය (නිවන) පිළිබඳ අදහස මතු කරයි.
අල්ලා ගනු පිණිස මුතු මිණි
අත්හළ යුතුය දෑතෙහි බැමි
දුරු කර යුතු පාරු මුණි හිමි
එතෙර වු පසු නැත නැත දුක් නිමි
(පි.4)
අත්හැරීම සැබෑ අත් හැරිමක් ද, නැත්නම් අන්යමක් අල්ලා ගනු පිණිස අත් හැරීම ද? මේ කවිය තුළ අපට හමු වන ගංඟාධාර, ගංතෙර උණ පඳුරු, මවු දිය ඌල කඳු හිස, ඉළන්දාරි ගඟ, යන යෙදුම් පිටුපස නිමවා සඟවා ඇති රූපක ඔස්සේය අපට මෙහි සංවාදය පුළුල් ලෙස මතු කර ගත හැක්කේ.
කෘතියට නම දෙන 'සහස් කඳු තරණ මංපෙත්' කවිය ද ඉහත කවියෙහි ගොඩ නගන අදහස වෙතම වෙනත් ආකාරයකින් ප්‍රවේශ වීමක් වැන්න. කඳු තරණය පිළිබඳ ගොඩ නගන අදහස මෙවර “මා” නම් පැවැත්ම සමග හෙවත් පුද්ගල විමුක්තිය ගැළපීමට කරනා ප්‍රයත්නයක් සේ හැඟේ. ගඟ ඉළන්දාරි වනු පිණිසෙහි ගඟෙහි ගලා යම හෙවත් ගඟ ඉළන්දාරී විම වළක්වාලිය නොහැකි ය. මග වේලි බැඳ නතර කළ ද යළි එහි ස්වාභාවය වෙනස් කර ගලා යනු ඇත. නමුත් කඳු තරණය යන්න ස්වාභාවික නොවේ. එය පුද්ලග තේරීමකි. කවිය එක්තරා ආකාරයක ආමන්ත්‍රණයකි. එනම් කඳු මුදුණට නැග කඳු නගින අයුරු පවසන ඇදුරන්ට ය. කඳු තරණයට ඇති සහසක් මං පෙත් යන්න මගින් අප තුළ ඇති කරන අදහස වඩාත් විවෘත සංවාදයක් බවට පත් කිරීම වෙනුවට කතකයා තෝරා ගෙන ඇත්තේ සමස්ත කවිය තුළම පෙර කී ඇදුරන්ට පිළිතුරු දීම ය. සියල්ල තීරණය කිරිමට තමාට ඇයිතිය සාධනය කිරීමට ය. එමගින් සහස් කඳු තරණ මං පෙත් පිළිබඳව ගොඩනැගිය හැකිව තිබූ පුළුල් විවෘත සංවාදයක් යම් සිමාවකට පටු වූවා ද යන සංශය ඇතැම් පාඨකයකු ඇති වීමට ද ඉඩ ඇත.

ඉදිකටු වැහි බිංදු, කාබුල් නන්දිකඩාල්, වන්දනා, විහාර විවරණ, පිහි, දුම්රිය හූ කියුවේ කාටද, පසල් දනව්වක දී යනාදි කවිවල තත්කාලීන සමාජ දේශපාලන පැවතුම් පිළිබඳව යම් අදහසක් ගොඩ නැගීමට උත්සාහ කරන අතර ඒ ඒ සංස්ථා පිළිබඳව තමා තුළ වන විරෝධය ද ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම ‘පිහි’ නැමති රචනයට පාදක වි ඇත්තේ මෑතක දී තම පෙම්වතියගේ සිරුර කපා ගමන් මල්ලක දමාගෙන ගිය කතා පුවත ය. නමුත් මෙහි දී කිවිඳිය ඒ සිදුවීම ඉතා සානුකම්පිත අයුරින් ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවට අප සමාජයේ දෛනික භාවිතා තුළ උත්කෘෂ්ට මානව සම්බන්ධතා වෙනුවෙන් යමක් කිමට අවකාශය වෙන් කරයි. කෙනකුට පිහිය හෝ සැත විනාශයේ මෙවලම වන විට එයම තවකකුට ආදරයේ මෙවලමක් වන්නේ කෙසේ ද යන්න අපට පෙන්වා දෙයි. මේ කවියේ විශේෂත්වය ලෙස මා දකින්නේ අප සියලු දෙනා ම මීට පෙර ජීවිතයේ එක් අවස්ථාවක හෝ අත් දැක ඇති යමක් වෙනත් සන්දර්භයක බහා අපගේ අවධානයට යොමු කිරීම ය. වරෙක දියණිය ගේ ආශාව වෙනුවෙන් අඹ අච්චාරු සෑදීමට පියකු ගේ අත රැඳි ආදරය විසින් මුවහත් වූ සැතකි. තවත් වරෙක අපට ගමන් මගක දී හමු වන අම්මකු ගේ හෝ අත්තම්මකු ගේ අත රැඳි කොමඩු, අඹ, පේර, අන්නාසි කපනා සැතකි. කුරුම්බා කපන ගුණේ මාමා ගේ ආදරයේ මුවාතින් තියුණු වු සැතකි. ඇය අවසානයට කියවන්නාට යෝජනා කරනනේ කුමක් ද?
පිරිමැද කතන්දර
ආදරේ පිරි පිහී ඇතරේ
හද සිදුරු කළ පිහි ගැන
අමතක කරමි නිතරේ
(පි. 37)
සාහසික ඝාතන සජීවී පුවත් ලෙස විකුණමින් තම මාධ්‍ය අවකාශය පුළුල් කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙන අතරම සිනමා පටයක් හෝ ටෙලියක පෙම්වතෙකු සිය පෙම්වතිය සිප ගන්නා දර්ශනයක් කොටු දැලකින් වසා දැමීමට නීති රෙගුලාසි පනවන රටක කවියකින් කෙරෙන මේ ආමන්ත්‍රණය සුවිශේෂී වෙයි.

නපුරු යෝදයාට හිමි වූ මල් උයන, නීත්‍යානුකූල සෙරකට, හරිත තිත, ඔබට නොපෙනී පර වූ මල් ගස, මුනිවර මුහුණුවර, විල්තෙර අද්දර යනාදි කවිවල දී මානව සම්බන්ධතාවල යම් යම් කලාප පිළිබඳව සියුම් ලෙස බැලීමට දක්වන කැමැත්ත සහ සමත්කම හඳුනා ගත හැකිය. හරිත තිත බඳු කවියක දේවල් පිළිබඳව සියුම්ව බැලීමට සහ මානව පැවැත්මෙහි ඉසියුම් භාව පිළිබඳව දක්වන මෘදු විසල් හැඟීම් පිළිබඳව කියවා ගත හැකි ය.
සසල හද රළ සඟවා
නිසලව
මුනිවතිනි මා විල් තෙර
පතිත වුණි
ගල් කැබැල්ලක්
කලම්බා දිය රළ
ඉගිළුණි
සඳ විහඟ රැළ
නගා සර සර
සැඟවුණි
මීන පෙරහැර
බියව තැන තැන අඳුරු ගුල්වල
ගිලුණි
විල් ගැඹර
නටඹුන් දිරූ තුරු
නිසල වුණි
මොහොතින්
විශ්වය ම වී සුසර
හැරී බැලුවෙමි... පසුපස
දිටිමි...ගල් කැට... වීසි කළ අත
නිසලය
විශ්වය ම
මා හැර
(පි.2)
මෙය කාව්‍යමය මොහොතක් මනාව පිරිපහදු කර කාව්‍යමය ලෙස ප්‍රකාශ කරන්නේ කෙසේද යන්නට දෙස් දෙන සංරචනාවකි. සසල බවහි ප්‍රතිපක්ෂය නිසල බව යි. නමුත් එකම කවිය තුළ මෙම ප්‍රතිපක්ෂ එකිනෙකාට සම්මුඛ කර ඇති ආකාරය නව්‍යතාවයක් දනවයි. කවිය පුරා රඳවා ඇති තානය එය ත්‍රීව්‍ර කරයි. කවියේ ආධ්‍යාත්මය අපට සම්මුඛ කරයි.
කෞෂල්‍යා ජයලත්
මේ සටහන ආරම්භයේ දී ම සඳහන් කළ පරිද්දේන් ඇය මේ කාව්‍ය සංග්‍රහය තුළ භාෂා භාවිතය පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති අයුරු හඳුනාගත හැකි ය.
රිසියුරින් කුසුම් දැරියැකි
වන ගුල්මවල උකුළේ
නැළවෙනා තුරු මිතුරේ
සරන සැනසුම් සයුරේ
හද ජනිත කුසුමන් සඟවා
හස වෙස් උවන කතරේ
මියෙන හද ඔසු තවරන
වැසි ගෙන වඩින් මිතුරේ.
භාෂාව අවැසි පරිදි පෑස්සුම් කර, රූපකමය ගුණය වඩ වඩාත් ඉස්මතු වන අයුරින් තමා කීමට උත්සාහ කරන දෙය භාෂාවේ මායාවලට හසු නොවි භාවිතා කරන්නේ කෙසේ ද යන්න මනාව සනාථ කර ඇති කවි ඛණ්ඩයක් ලෙස මෙය ගත හැකි ය. මෙවැනි භාවිත රැසක් මෙම කෘතිය තුළ දී අපට හමු වේ. භාෂාව හුදු අදහස ප්‍රකාශ කිරිමට පමණක් නොව තම අදහස කාව්‍යමය ගුණය රඳවා ගනිමින්, රූපාකාරතවත්ව යොදා ගනිමින්, ඒ තුළම රිද්ම ලක්ෂණ ද රඳවා ගැනීමට දරා ඇති උත්සාහය ප්‍රශස්ත ය.
“සමබිම සිහින” බඳු කවියක පෘෂ්ටීය වියමන ඉක්මවා ගැඹුරින් කියවන්නකුට යම් දෘෂ්ටිවාදීමය නොගැළපීම් හමුවීමට ඇති ඉඩ කඩ පිළිබඳව කිවිඳියට නැවත සිතා බැලිය හැකි ය. කන්දෙන් එහා පස ඇති ලෝකයේ ඇති මිහිර විදින්නට තනිව කන්ද තරණය කළ යුතු ද, නොඑසේ නම් අන් අය සමග දුකඳුර සම සමව විඳිමින් මෙහිම නතර විය යුතු ද යන උභතෝකෝටිකයට කතකයා මුහුණ දි ඇත. අවසානයේ කතකයා යෝජනා කරන්නේ මෙවැන්නකි.
තරණය නොකර තනිවම
කපමු කඳු
බිමටම සමතලා වන්නට
එවිට හැක අප සැමට ම
සමබිමක ඇවිද යන්නට
(පි. 54)

කවිය තුළ කන්ද යන්න යොදා ඇත්තේ රූපකයක් ලෙස ය. එනම් එපිට ලෝකයේ ඇති මිහිර විඳීමට ඇති බාධාව ලෙසනි. එපිට ලෝකයේ ඇතැයි සිතන මිහිර අප අත් විඳ ඇති යමක් නොව අප මවන ෆැන්ටසියකි. ඒ ෆැන්ටසිය අත්පත් කර ගැනීම සඳහා ඇති බාධාව කන්දයි. කන්ද කපා බිමට සමතලා කර නිර්මාණය කිරීමට යෝජනා කරන සම බිම ද රුපකයකි. එය ද මෙතෙක් අත්විද නැති ෆැන්ටසියකි. ජනප්‍රිය ප්‍රචාරකවාදි තලයේ දී සමබිම යන්න සාධනීය අරුථක් ජනනය කළ ද කන්දෙන් එහා පස ඇතැයි සිතන මිහිර පිළිබඳ ෆැන්ටසිය කන්ද පැවතීම විසින් නිර්මාණය කරන්නක් විය නොහැකි ද? කතකයා මෙහි යෝජනා කරන්නේ ලෝකයේ මිහිර ලස්සන විඳින්නට සැමට ඇති සම අයිතිය අහිමි කරන බාධාව ඉවත් කිරීම බව පෙනේ. නමුත් කවියේ පෘෂ්ටීය අර්ථය අභිභවා සංදිග්ධ අර්ථයෙන් කවිය කියවන්නකුට විවිධත්වය තුළ ඇති මිහිර පිළිබඳ අදහසක් මෙන්ම එය අහෝසි කිරීම පිළිබඳ අදහසක් පිළිබඳ ප්‍රතිපක්ෂ හැඟීමක් ද ඇති වීමේ අවධානම පවතී.
සහස් කඳු තරණ මං පෙත් මගින් කවිය අත්හැරිමට සූදානමක් නැති සිය විභව කවිය ඔස්සේ සනිටුහන් කිරීමට කැමති තවත් කිවිඳියක පෙළ ගැසි සිටීමේ සුබ ලකුණු අප වෙත ගෙන ඒම ම ප්‍රහර්ශයකි. එබැවින් තවත් පාඨකයකුට මේ කෘතිය කියවන්නැයි කීමට කිසි ලෙසකින් නොපැකිලෙමි.

සෝමසිරි ඒකනායක

