Image

සෑම ශ්‍රී ලාංකිකයකු ම කියවිය යුතු ම ලිපියක්

සෑම ශ්‍රී ලාංකිකයකු ම කියවිය යුතු ම ලිපියක්

පසුගිය දා ඉන්දියාවෙහි පැවති ප්‍රාන්ත මැතිවරණයේ දී එරට ජනප්‍රිය නළුවකු වන ජෝෂප් විජය හෙවත් තලපති විජය ජයග්‍රහණය කළේ ය; මේ වන විට ඔහු එම ප්‍රාන්තයේ මහ ඇමති ලෙස ද දිවුරුම් දී අවසන් ය. ඔහු ගේ ජග්‍රහණය වෙනුවෙන් මෙරට: ජනපති අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු නොව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සුබ පැතූහ.

ඔවුන් එසේ විජයට සුබ පැතුව ද විජය ලංකාව කෙරෙහි දක්වන්නේ ඊට සපුරා ම වෙනස් ආකල්පයකි. එම ආකල්පය කෙරෙහි මෙරට පාලකයින්, විපක්ෂ දේශපාලකයින් අවධානය යොමු නොකළ ද ඉන්දියාවෙහි වෙසෙන: මාධ්‍යවේදියකු මෙන් ම ගවේෂණාත්මක ලේඛකයකු වන ආර්. එම්. නාරායන් විශේෂ අවධානයක් යොමු කර තිබුණි; එපමණක් නොව ලංකාව කෙරෙහි විජය දක්වන ආකල්ප විවේචනයට ලක් කරමින් ඔහු වෙත ලිපියක් ද යවා තිබුණි. මෙම ලිපිය ලංකාවේ පාලකයින්; දේපාලකයින් මෙන් ම සෑම පුද්ගලයකු ම කියවිය යුතු ලිපියකි.

මතු පළ වන්නේ එම ලිපියෙහි සිංහල පරිවර්තනයකි.

එම්. ආර්. නාරායන් විසින් රචිත ''THE TIGER VANQUISHED LTTE'S STORY'' කෘතියෙහි ද උතුරේ ජනතාව ගේ අර්බුදය පිලිබඳ පුළුල්ව විග්‍රහ කර ඇත. ''ලංකා කොටින්ගේ පරාජය'' යන මැයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කළ ඒ. චානක තිලකරත්න ය.

book

මතු පළ වන්නේ එම්. ආර්. නාරායන් ගේ ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය යි.  

ආදරණීය විජේ,

තමිල්නාඩුවේ මහ ඇමති වීම ගැන ඔබට මගේ හෘදයාංගම සුභ පැතුම්!

ඉන්දියාවේ විශාලතම සහ ආර්ථික වශයෙන් වඩාත්ම දියුණු ප්‍රාන්තවලින් එකක් පාලනය කිරීමට ඔබ දැන් පටන් ගත් පසු, විවිධ ගැටලු මතු වනු ඇත. දිවුරුම් දීමෙන් පසු ඔබ දැනටමත් තමිල්නාඩු ප්‍රාන්තයේ මූල්‍ය අංශයේ වියවුල් ගැන සඳහන් කරනු දුටුවෙමි.

ඔබ කළ යුතු පළමු දෙය

ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තවල මහ ඇමතිවරුන්ට මෙන් නොව, ඔබට ඉඳහිට අසල්වැසි රටකට බලපාන හෝ සම්බන්ධ වන කාරණාවලට මුහුණ දීමට සිදුවනු ඇත. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උද්ගතවන ගැටලුයි. මෙහි දී ඔබ අතිශයින් ම ප්‍රවේශම් විය යුතුය. ඊට හේතු ගණනාවකි. තමිල්නාඩුවේ ඉපදී හැදී වැඩුණු අයෙකු ලෙස, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම, විශේෂයෙන් එම රටේ දෙමළ සුළුතරය අත්විඳින ගැටලු පිළිබඳව ඔබ පුළුල් ලෙස දැනුවත් නැතැයි සිතිය නොහැකි ය.  එහෙත් අවාසනාවකට මෙන්, තමිල්නාඩුවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයින්, විශේෂයෙන් ඔබ විසින් පරාජය කළ ද්‍රවිඩ අනන්‍යතාව සහිත දේශපාලනඥයන්, බොහෝ විට ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට වැඩි හානියක් සිදු කරන ආකාරයෙන් හැසිරී ඇති බව මාගේ විශ්වාශයයි.

බොහෝ කාරණා සම්බන්ධයෙන් ඔවුන් ගේ 'මෙගාෆෝන් සටන්කාමීත්වය' එක් අතකින් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට උදව් කර නොමැති අතර අනෙක් පැත්තෙන් පෝක් සමුද්‍ර සන්ධියේ දෙපස සිටින දෙමළ ජනතාව බෞද්ධ ශ්‍රී ලංකාව ගිල දැමීමට සූදානම් බවට සිංහල ජනතාව තුළ ඇති වැරදි විශ්වාශය පෝෂණය කර ඇත. නව ඇරඹුමක් සටහන් කරන මහඇමතිවරයකු ලෙස, ඔබ කළ යුතු පළමු දෙය නම්, ඉන්දියානු මධ්‍යම රජයේ ඉදිරි පියවර හා ස්ථාවරය නිවැරදිව සොයා බැලීමෙන් තොරව, ශ්‍රී ලාංකාව සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවලට අනවශ්‍ය  ලෙස මැදිහත් නොවී සිටීමය.

අනුර දිසානායක ගේ දෑත් හදිසියේ ම විලංගු දමා ඇත...

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සැබෑ අභියෝග රැසකට මුහුණ දෙන අතර, ඉන් හතරක් මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. ඉන් දෙකක් හා තමිල්නාඩුව සෘජුවම සම්බන්ධය.

කොළඹ රජය විසින් පොරොන්දු රාශියක් ලබා දී තිබුණද, 2009 දී බෙදුම්වාදී යුද්ධය අවසන් වුව ද, දීර්ඝ කාලීන සන්නද්ධ ගැටුමේ දී අත්පත් කරගත් දෙමළ ජනතාවට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් හමුදාව ආපසු ලබා දී නොමැත. යුද්ධය අවසන් වීමෙන් පසු අතුරුදන් වූ සහ ඝාතනයට ලක් වූ බවට පුළුල් ලෙස විශ්වාස කෙරෙන දහස් ගණනක් තරුණ දෙමළ ජනතාව සම්බන්ධයෙන් විශ්වාසදායක ප්‍රතිචාරයක් ද පෙනෙන්නට නැත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ කාන්තාවන් තවමත් තම අතුරුදන් වූ ස්වාමිපුරුෂයින්, පුතුන් සහ සහෝදරයින් වෙනුවෙන් යුක්තිය පතති. අතුරුදන් වූවන් අතර කාන්තාවන් කිහිප දෙනකු ද සිටිති. මාක්ස්වාදියකු වන ජනාධිපති අනුර දිසානායක ගේ නායකත්වයෙන් යුත් නව රජයක් 2024 දී කොළඹ දී බලයට පත් වූ අතර, ශ්‍රී ලංකාව පුරා පැතිරී ඇති ඓතිහාසික වැරදි බොහොමයක් ඉවත් කරන බවට පොරොන්දු විය. නමුත් දිසානායක ගේ දෑත් හදිසියේම විලංගු දමා ඇති බව පෙනේ.

ඉන්දීය ධීවරයින් සහ ශ්‍රී ලංකා රාජ්‍යය අතර ඇති වූ ආරවුල

යුද්ධයෙන් බේරීමට තම රටින් පලා ගොස් වසර ගණනාවකට පසුවත්, ශ්‍රී ලංකාවෙන් පැමිණි දෙමළ සරණාගතයින් 87,000 ක් තවමත් තමිල්නාඩුවේ සිටින බවට ගණන් බලා ඇත. ඉන්දීය සහ තමිල්නාඩු රජයන් සරණාගතයින්ට මූල්‍ය ආධාර ලබා දුන්න ද, එය සීමාසහිත ය. ඔවුන් ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා බොහෝ දේ කළ හැකි ය. බොහෝ දෙනෙක් ශ්‍රී, ලංකාවට නැවත පැමිණීමට කැමති බව කියවේ. ඔවුන්ට උදව් කළ යුතු යි. බොහෝ දෙනෙක් ඉන්දියාවේ ඉපදී හැදී වැඩී ඇති අතර ඉන්දියානු පුරවැසියන් වීමට කැමති ය. මෙම ගැටලුව දශක ගණනාවක් තිස්සේ ඇදී ගොස් ඇති අතර එය ඉක්මනින් විසඳා ගත යුතු ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ බරපතළම ගැටලුවක් වන්නේ තමිල්නාඩුවේ දෙමළ ධීවරයින් සහ ශ්‍රී ලංකාව අතර නොනවතින ආරවුලයි. තමිල්නාඩු දේශපාලනඥයින් මෙය ඉන්දීය ධීවරයින් සහ ශ්‍රී ලංකා රාජ්‍යය අතර ඇති වූ ආරවුලක් බවට හැඟීමක් ඇති කිරීමට උත්සහ දරති. එහෙත් සැබෑ කතාව එය නොවේ.

අවලස්සන සත්‍යය නම්, ඉන්දියාව අවට සාගර ජීවීන් හා පරිසර පද්ධති විනාශ කිරීමෙන් පසු තමිල්නාඩුවේ පාරිසරික වශයෙන් විනාශකාරී ‘බොටම් ට්‍රෝලර් යාත්‍රා‘ දැන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ වැඩි වැඩියෙන් මසුන් ඇල්ලීමයි. මෙය ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළ තීරයේ ජීවත් වන දෙමළ ධීවරයින්ට අයිති සාගර සම්පත් සොරකම් කිරීමක් පමණක් නොව, තමිල්නාඩු ධීවරයින් බොටම් ට්‍රෝලින් කිරීම තහනම් කර ඇති ශ්‍රී  ලංකාවේ නීතියක් ද උල්ලංඝනය කරමින් සිටිති. මෙනිසා බොහෝ විට ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට හේතු වේ. බොටම් ට්‍රෝලර් යාත්‍රා හිමියන්ගේ බලපෑමට ලක් වූ තමිල්නාඩු දේශපාලන නායකයින්, අත්අඩංගුවට ගත් අය වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටී.

කලකිරීමට පත් ශ්‍රී  ලංකා රාජ්ය ය දැන් ඉන්දියානු බොටම් ට්‍රෝලර් අල්ලාගෙන අවසානයේ ඒවා අපද්‍රව්‍ය ලෙස බැහැර කරමින් සිටී. ශ්‍රී ලංකාවේ වයඹ දෙසින් සිටින දහස් ගණනක් දෙමළ ධීවරයින්ට තමිල්නාඩුවෙන් එල්ල වන බොටම් ට්‍රෝලර් ආක්‍රමණය කිසිදා අවසන් නොවන නිසාවෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති අතර එමගින් ඔවුන්ගේ වටිනා සාගර සම්පත් වැඩි වැඩියෙන් ඔවුනට අහිමි වේ. ධීවර කර්මාන්තය ඔබට පෙත්සමක් ඉදිරිපත් කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ බොටම් ට්‍රෝලර් තහනම ගැන ඔවුන්ට පැවසිය යුතු ය. ඔවුන් පකිස්ථාන හෝ බංග්ලාදේශ මුහුදු තීරයේ එතරම් නිර්භීතව මසුන් ඇල්ලීමට එඩිතර වේදැයි විමසිය යුතුය. ශ්‍රී ලංකාවේ බොටම් ට්‍රෝලර් කර්මාන්තයෙන් වැඩිපුරම පීඩා විඳින ප්‍රජාව ශ්‍රී ලංකාවේ දෙමළ ධීවර ප්‍රජාවයි! කරුණාකර මෙම ගැටුම සරල “සිංහල (නරක මිනිසුන්) සහ දෙමළ (හොඳ මිනිසුන්) යන ආඛ්‍යානයට සීමාවූ පටු තමිල්නාඩු දෘෂ්ටිකෝනයෙන් නොබලන්න.

නාට්‍යවලින් ඈත් වන්න

ඔබේ මැතිවරණ ප්‍රචාරක කතාවක දී, හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීමෙන් වසර 18 කට පසු, 2009 දී ඝාතනය කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ඔබ ප්‍රශංසා කළේ ය. ප්‍රභාකරන් දෙමළ ප්‍රජාව වෙනුවෙන් ආයුධ අතට ගත් නමුත්, ඔහු ගේ කොටි සංවිධානය දේශපාලනඥයන්, සටන්කාමීන් සහ සිවිල් වැසියන් ඇතුලු සිය ගණනක් දෙමළ ජනතාව ඝාතනය කළේ ය. විශේෂයෙන් යුද්ධය අවසන් වන විට එල්ටීටීඊ පාලනය යටතේ තිබූ ප්‍රදේශයෙන් පැන යෑමට උත්සාහ කළ අය ඔහු මරා දැමුවේ ය. එල්ටීටීඊය ද සිය ගණනක් දෙමළ දරුවන් බලහත්කාරයෙන් බඳවා ගත් අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දුප්පත් පවුල්වල අය වූ අතර, ඔවුන්ට මරණය නියත වූ යුද්ධයකට සටන් කිරීමට බල කළේය. නමුත් යුද්ධය අවසන් වූ විට, ඇස්තමේන්තුගත එල්ටීටීඊ සටන්කාමීන් 12,000 ක් - ළමයින්, තරුණ වැඩිහිටියන් සහ සමහර ප්‍රවීණයින් - හමුදාවට යටත් විය. යටත් වීමට උත්සාහ කරන අතරතුර සමහර ප්‍රමුඛ කොටි සාමාජිකයින් සුදු කොඩි ලෙළවූහ; බොහෝ දෙනෙක් සැබෑ යුද අපරාධයක් ලෙස සලකන පරිදි ඔවුන් වෙඩි තබා ඝාතනය කිරීම තවත් කාරණයකි.

එල්ටීටීඊ අරමුණ සමග බද්ධවී සිටින ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ “දෙමළ ජාතිවාදීන් ගෙන්” කරුණාකර ඈත්වී සිටීම බුද්ධි ගෝචරය. පරාජය කරන ලද දෙමළ කොටින්ගේ මතකය ජීවමානව තබා ගැනීමේ 'සංකේතවාදය' කෙරෙහි මෙම  පිරිසට දැඩි විශ්වාසයක් ඇත. මැයි 19 වන දින ඔහු මිය ගිය බව හමුදාව අවධාරණය කළත්, ප්‍රභාකරන් මිය ගිය බව කියන මැයි 18 දිනය තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ දී නිල යෝජනාවකින් "මුල්ලිවයික්කාල් ජන සංහාර අනුස්මරණ දිනයක්" ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යාපනයේ එවැනි දෙමළ දේශපාලනඥයකු ඔබෙන් ඉල්ලා සිටීම ගැන මම පුදුම නොවෙමි. කරුණාකර එවැනි නාට්‍යවලින් ඈත් වන්න.

සත්‍යයට මුහුණ දෙන්න

ඔබේ ප්‍රධාන කාර්යය තමිල්නාඩුවේ සංවර්ධනය සඳහා කටයුතු කිරීම බව සියලු දෙනාට ම පැහැදිලි කිරීම අවශ්‍යය.  අසල්වැසි රටවල් සමග සම්බන්ධ ගැටලු මධ්‍යම රජය සමග සාකච්ඡා කිරීමෙන් පමණක් විසඳා ගත යුතු ය. ජනවාර්ගික හැඟීම් උච්චතම අවස්ථාවේ දී, 1987 දී තමිල්නාඩු ප්‍රාන්ත සභාව එල්ටීටීඊයට සහ තවත් දෙමළ සටන්කාමී කණ්ඩායමක් වන ඊරෝස් වෙත මූල්‍ය  ආධාර ප්‍රදානය කළේ ය. ඇත්ත වශයෙන් ම, ඉන්දියාව දෙමළ සටන්කාමීන්ට ලබා දුන් විශාල රහසිගත සහයෝගය සලකා බැලීමේ දී එය කුඩා කාරණයක් විය. නමුත් සත්‍යයට මුහුණ දිය යුතුයි. පකිස්ථාන පාර්ලිමේන්තුව ඉන්දීය මුස්ලිම් කණ්ඩායම්වලට මූල්‍ය ආධාර ප්‍රකාශ කළහොත් ඉන්දියානුවන් සතුටු වේවිද? නැතහොත් සෞදි අරාබිය, පකිස්ථානය, තුර්කිය හෝ මැලේසියාව ඉන්දීය මුස්ලිම්වරුන්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් ඉන්දියාවට දේශනා කළහොත් තත්ත්වය කෙසේ වේවිද? ද්විපාර්ශ්වික ගැටලුවලට අමතරව, ඉන්දියා-ශ්‍රී  ලංකා සබඳතා අද පුළුල් පරාසයක සහ සමෘද්ධිමත් ආර්ථික සබඳතා මගින් සලකුණු කර ඇත. මෙහි ප්‍රධාන ක්‍රීඩකයකු වනු ඇත්තේ පටු මුහුදු තීරුවකින් ශ්‍රී  ලංකාවෙන් වෙන් වූ තමිල්නාඩුව යි.

මෙය,  ශ්‍රී  ලංකාවේ සහ තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ යහපත සඳහා ඔබේ රජය ගවේෂණය කළ යුතු එක් කෂේත්‍රයකි. ආර්ථික බලවතකු වන තමිල්නාඩුව සමග ආර්ථික සබඳතා තීව්‍ර කරන ලෙස ඉල්ලා සිටින හඬවල් එම රටේ වැඩි වැඩියෙන් ඇසෙමින් තිබේ.  ඔබ ශ්‍රී ලාංකික නායකයින් හමුවූ විට, ඔවුන් ගේ දෙමළ ප්‍රජාවට බලපාන ගැටලු පිළිබඳව ඔබේ කනස්සල්ල ප්‍රකාශ කළ හැකි ය. නිහඬ රාජ්‍ය තාන්ත්‍රිකභාවය බොහෝ විට සාක්ෂාත් කරගන්නේ ඝෝෂාකාරී, ආක්‍රමණශීලී මාතෘකා අල්ලා ගන්නා දෙමළ ජාතිකවාදී කතිකාවට කළ නොහැකි දේ ය.

ඔබගේ විශ්වාසි,

M. R. Narayan swami

 

 

 

 

එම්.ආර්. නාරායන් ස්වාමි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න