Image

වෙන්වීමට මෙතරම් බිය ඇයි..?

 වෙන්වීමට මෙතරම් බිය ඇයි..?

ෆින්ලන්තයට රුසියාවෙන් වෙන්වී යෑමේ ස්වයං-තීරණ අයිතිය පවතින බවත්, රුසියානු තාවකාලික ආණ්ඩුව සහ 'මෙන්ෂෙවික්' කණ්ඩායම ධනපති පක්ෂවල මතය ගනිමින් ෆින්ලන්තය බලහත්කාරයෙන් යටත් කර ගැනීමට උත්සාහ කරන බවත් ලෙනින් මෙම ලිපිය හරහා අවධාරණය කරයි. ෆින්ලන්තය වෙන්වීම වැළැක්වීමට බලහත්කාරය යෙදීම වෙනුවට, ජාතීන්ගේ ස්වාධීන අයිතිය පිළිගැනීම හරහා කම්කරු සහෝදරත්වය සහ සැබෑ එකඟතාවය ඇති කරගත හැකි බව ලෙනින් ප්‍රමුඛ බොල්ෂෙවික් මතයයි. මොකද මෙතනදී ලෙනින් කියන්නේ වෙන්වීම හරහා නැවත වටයකින් ශක්තිමත් එකතු වීමක් නිර්මාණය වන බවයි. ලෙනින්ගේ මෙම ඓතිහාසික ලිපිය (The Question of Finland and Russia) කියවීම ඉතාමත් වැදගත් ලාංකීය වාමාංශික දේශපාලනය මේ මොහොතේ පවතින ස්ථානගතවීම් තේරුම් ගැනීමට.

 

සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් සිහි තබාගත යුතු දේ

දැන් හැමෝම කතා කරන ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ ෆින්ලන්තය රුසියාව ගැන දරන අදහසයි. ඇත්තට ම ෆින්ලන්ත වැසියන්ට රුසියාවෙන් සම්පූර්ණයෙන් ම වෙන් වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඔවුන්ට ඕන වුණේ තමන්ගේ රට පාලනය කරගන්න තව ටිකක් වැඩි නිදහසක් (ස්වාධීනත්වයක්) විතරයි. හැබැයි රුසියාවේ දැන් බලයේ ඉන්න තාවකාලික ආණ්ඩුව ඒ පුංචි ඉල්ලීමවත් ඉටු කරලා දෙන්න ලෑස්ති නැහැ.

මේ තාවකාලික ආණ්ඩුව කරන්නේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැති, වෙනත් රටවල් බලෙන් යටත් කරගන්නා වැඩක්. පසුගිය දවසක 'රබෝචයා ගැසෙටා' පුවත්පත මේ වැරදි ප්‍රතිපත්තිය සාධාරණීකරණය කරන්න හැදුවා. හැබැයි ඔවුන් ආණ්ඩුව බේරගන්න ගිහින් කරගත්තේ ලොකු විනාශයක්. මොකද, ඔවුන්ගේ තර්කවලින්ම ආණ්ඩුවේ තියෙන ඒකාධිපති ගතිය මුළු ලෝකයටම එළිවුණා. මේක හැමෝම හොඳින් හිතලා බලන්න ඕන බරපතළ දේශපාලන ප්‍රශ්නයක්.

'රබෝචයා ගැසෙටා' පුවත්පතේ 42 වෙනි කලාපයේ මෙහෙම ලියලා තිබුණා:  "ෆින්ලන්තය සහ රුසියාව අතර තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන්නේ ඉස්සරහට පවත්වන මන්ත්‍රී මණ්ඩල සාකච්ඡාවලින් විතරයි කියලා සංවිධායක කමිටුව විශ්වාස කරනවා. ඒ හින්දා, ඒ සාකච්ඡා ඉවර වෙනකම් ෆින්ලන්තයේ ඉන්න අපේ සගයෝ (සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන්) එක දෙයක් මතක තියාගන්න ඕන. ෆින්ලන්තය රුසියාවෙන් වෙන් වෙන්න හැදුවොත්, ඒකෙන් වෙන්නේ රුසියාවේ ඉන්න ධනපති පාලකයෝ තවත් කෝපයට පත් වෙලා ෆින්ලන්තය තදින්ම මර්දනය කරන්න පෙළඹෙන එකයි."

මේක ඇවිල්ලා ධනපතියන්ගේ, ඉහළ පන්තියේ සහ 'කැඩෙට්' පක්ෂයේ මතය මිසක් සාමාන්‍ය කම්කරු ජනතාවගේ (නිර්ධන පන්තියේ) අදහස නෙවෙයි. හැම ජාතියකටම තමන්ගේ අනාගතය තීරණය කරගන්න අයිතියක් තියෙනවා (ස්වයං-තීරණ අයිතිය) කියලා අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 9 වැනි වගන්තියේ පැහැදිලිවම තියෙනවා. හැබැයි 'මෙන්ෂෙවික්' කණ්ඩායම මේ ප්‍රතිපත්තිය කුණු කූඩයට දාලා. ඔවුන් හැමතිස්සෙම කම්කරුවන් පාවා දීලා ධනපතියන්ගේ පැත්ත ගන්නවා.

 

ෆින්ලන්තයට වෙන් වෙලා යන්න අයිතිය දෙන්න

'කැඩෙට්' පක්ෂය ඇතුළු ධනපතියෝ කිසිම දවසක වෙනත් ජාතීන්ට රුසියාවෙන් වෙන් වෙලා නිදහස් වෙන්න තියෙන අයිතිය පිළිගත්තේ නැහැ. හැබැයි අපේ පක්ෂය 1903 දීම මේ අයිතිය නිල වශයෙන් පිළිගත්තා. ඒ නිසා, අර සංවිධායක කමිටුව ෆින්ලන්තයේ ඉන්න සමාජවාදීන්ට "රුසියාව එක්ක එකඟතාවයකට එන්න" කියලා බල කරද්දී, ඔවුන් ඇත්තට ම පෙනී සිටියේ ධනපතියන් ගේ පැත්තෙයි. රුසියාවේ ඉන්න විවිධ දේශපාලන පක්ෂ මේ ප්‍රශ්නය දෙස බලන විදිහ සැසඳුවොත් ඕනෑම කෙනෙකුට මේ සත්‍යය වැටහෙනවා:

* සාර් රජු සහ රජාණ්ඩුවාදීන්: ඔවුන්ට සාකච්ඡා වැඩක් නැහැ, ඔවුන්ට ඕන ෆින්ලන්තය බලහත්කාරයෙන් යටත් කරගෙන තියාගන්න.

* ජනරජවාදී ධනපතියන් (තාවකාලික ආණ්ඩුව): ඔවුන් 'එකඟතා' ගැන ලොකුවට කතා කරනවා. හැබැයි එකඟ වෙන්න බැරි වුණොත් කරන්නේ මොකක්ද? එතනදීත් ඔවුන් කරන්නේ පරණ සාර් රජ්ජුරුවන් ගේ ප්‍රතිපත්තියමයි, ඒ කියන්නේ බලෙන් යටත් කරගන්න එකමයි.

* සැබෑ කම්කරු පන්තිය (බොල්ෂෙවික්වරු): අපි අපේ ප්‍රතිපත්තියට එකඟව, ෆින්ලන්තයට රුසියාවෙන් වෙන් වෙන්න අවශ්‍ය නම් ඒ සඳහා තියෙන සම්පූර්ණ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා.

ඇත්තටම ෆින්ලන්තය රුසියාවට අයිති වුණේ සාර් රජවරු ප්‍රංශ විප්ලවය මර්දනය කරපු නැපෝලියන් බඳු පාලකයෝ එක්ක දාගත්ත හොර ගිවිසුම් නිසයි. ඉතින් අපි ඇත්තටම මේ වගේ බලහත්කාරී ඈඳාගැනීම්වලට විරුද්ධ නම්, අපි කෙලින්ම කියන්න ඕන: "ෆින්ලන්තයට වෙන් වෙලා යන්න අයිතිය දෙන්න!" කියලා. ඒ අයිතිය දෙනකම්, ඔවුන් එක්ක කරන කිසිම සාකච්ඡාවක් සැබෑ එකඟතාවයක් වෙන්නේ නැහැ, ඒක හුදෙක් බොරුවක් විතරයි.

 

පීඩිත ජාතීන්ට වෙන් වීමට ඇති අයිතිය

සැබෑ එකඟතාවයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ සමාන මට්ටමේ ඉන්න දෙන්නෙක් අතර විතරයි. ඒ කියන්නේ රුසියාවට වගේම ෆින්ලන්තයටත් "මේකට මම එකඟ නැහැ" කියලා අකමැත්ත ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන්න ඕන. ඒක දහවලක් වගේ පැහැදිලි දෙයක්. ෆින්ලන්තයට වෙන් වෙන්න සම්පූර්ණ නිදහස තියෙන්නෙත්, ඔවුන් ඒ නිදහස අතේ තියාගෙන රුසියාව එක්ක සාකච්ඡා කරලත් විතරයි සැබෑ එකඟතාවයකට එන්න පුළුවන් වෙන්නේ. ඒ කොන්දේසිය නැතුව 'එකඟතාව' ගැන කතා කරන එක තමන්වත් රවටාගෙන, රටේ ජනතාවත් රවටන වාචාල කතාවක් විතරයි.

සංවිධායක කමිටුව කළ යුතුව තිබුණේ තමන් ෆින්ලන්තයේ වෙන්වීමේ අයිතිය පිළිගන්නවාද නැද්ද කියලා කෙලින්ම කියන එකයි. හැබැයි ඔවුන් ප්‍රශ්නය මඟහැරලා, වක්‍රව ඒ අයිතිය ප්‍රතික්ෂේප කළා. පීඩිත ජාතීන්ට වෙන් වෙන්න තියෙන අයිතිය නැති කරන එකත් බලෙන් යටත් කරගැනීමක්ම තමයි. ඒ නිසා කමිටුව කළ යුතුව තිබුණේ රුසියානු ධනපතියන්ව විවේචනය කරන එකයි. හැබැයි ඔවුන් කරන්නේ ෆින්ලන්ත වැසියන්ට දෝෂාරෝපණය කරමින්, "උඹලා වෙන් වෙන්න හැදුවොත් රුසියාවේ ඉන්න ධනපතියෝ තවත් සැර වෙයි" කියලා තර්ජනය කරන එකයි.

ධනපතියන් දැන් රිපබ්ලිකන් (ජනරජ) මුහුණුවරක් ගත්තත් කරන්නේ පරණ සාර් රජුගේ ප්‍රතිපත්තියමයි. ඔවුන් වඩාත් සූක්ෂ්ම විදිහට 'එකඟතාවයක්' ගැන පොරොන්දු වෙන ගමන්, ඒ එකඟතාවයට අවශ්‍ය කරන ප්‍රධානම දේ, ඒ කියන්නේ 'වෙන්වීමේ අයිතිය' උදුරා ගන්නවා. සංවිධායක කමිටුව කරන්නේ මේ ධනපතියන්ගේ වල්ගය අල්ලගෙන ඔවුන්ගේ පස්සෙන් යන එකයි. (ඒකයි 'බිර්ෂෙව්කා' වගේ ධනපති පුවත්පත් මේ ලිපිය අගය කරලා, මේක ෆින්ලන්තයට දුන්නු හොඳ පාඩමක් කියලා ආණ්ඩුවට ප්‍රශංසා කරන්නේ). නමුත් අපේ 'බොල්ෂෙවික්' පක්ෂය, මහා සමුළුවේදී ජාතික ප්‍රශ්නය ගැන කතා කරලා, මේ වෙන්වීමේ අයිතිය නැවත වරක් ස්ථිරවම තහවුරු කළා. දැන් පක්ෂ බෙදිලා තියෙන විදිහ පැහැදිලියි.

 

වෙන් වීමට ඇති අයිතිය පිළිගැනීමට බිය නොවන්න

සුළු ධනපතියෝ (මෙන්ෂෙවික්වරු සහ සමාජවාදී-විප්ලවවාදීන්) කරන්නේ ධනපතියන්ගේ තර්ජනවලට බය වෙලා, වෙන්වීමේ ප්‍රශ්නයට 'බය' වෙන එකයි. හැබැයි පන්ති විඥානයක් තියෙන සැබෑ කම්කරුවෝ ඒකට බය වෙන්නේ නැහැ. 1905 දී ස්වීඩනයෙන් නෝර්වේ රාජ්‍යය සාමකාමීව වෙන් වුණා. ඒකෙන් රටවල් දෙකටම වාසි වුණා මිසක් පාඩුවක් වුණේ නැහැ. ඒකෙන් ඔවුන් අතර තිබුණු අනවශ්‍ය මතභේද නැති වෙලා, රටවල් දෙකේ කම්කරුවන් අතර සහෝදරත්වය තවත් ශක්තිමත් වුණා.

ඒ නිසා සහෝදරවරුනි, කම්කරුවනි සහ ගොවීනි, රුසියානු ධනපතියන් සහ තාවකාලික ආණ්ඩුව ෆින්ලන්තය, යුක්රේනය බඳු රටවල් සම්බන්ධයෙන් ගෙන යන මේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියට රැවටෙන්න එපා! ඒ ජාතීන්ට වෙන් වෙන්න තියෙන අයිතිය පිළිගන්න බය වෙන්න එපා! අපි වෙනත් ජාතීන්ව අපේ සන්ධානයට දිනාගන්න ඕන බලහත්කාරයෙන් නෙවෙයි, සැබෑ නිදහස් එකඟතාවයකින් විතරයි.

රුසියාව කොච්චර නිදහස් වෙනවාද, අපේ ජනරජය අනෙක් ජාතීන්ගේ වෙන්වීමේ අයිතිය කොච්චර දුරට පිළිගන්නවා ද, අන්න ඒ තරමටම අනෙක් ජාතීන් කැමැත්තෙන්ම අපේ සන්ධානයට එකතු වෙන්න පෙලඹෙනවා. එතකොට රටවල් අතර ප්‍රශ්න අඩු වෙනවා, ඇත්තට ම වෙන් වෙලා යන අවස්ථා හරිම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. දිගුකාලීනව බලද්දී, රුසියානු කම්කරු-ගොවි ජනරජය සහ අනෙකුත් ජාතීන් අතර තියෙන සහෝදරත්වයේ සන්ධානය සදහට ම ශක්තිමත් වෙන්නේ ඒ විදිහට ක්‍රියා කළොත් විතරයි.

 

438039643 1490438038219367 3811601817128584883 n 2

 

 

 

 

සටහන - Mandis Murrukkuwadura

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න