Image

ජනාධිපතිවරයා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රගතිය විමසයි

ජනාධිපතිවරයා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රගතිය විමසයි

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මූලිකත්වයෙන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට සහ 2027 වසර සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන සම්බන්ධයෙන් වන අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පැවැත්විණි.

ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති එක් එක් අංශය මගින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව මෙහි දී වෙන් වෙන්ව විමසූ ජනාධිපතිවරයා, ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම රජයේ මූලික ඉලක්කය බව ද පෙන්වා දුන්නේ ය.

පසුගිය රජයන් විසින් ප්‍රාග්ධන වියදම් නතර කළ බැවින් අතරමඟ නතර වී තිබූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහාපරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් වත්මන් රජය යටතේ මේ වන විට යළි ආරම්භ කර ඇති බව මෙහි දී සඳහන් කළේ ය. රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සැපයීම සහතික කිරීම වෙනුවෙන් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පවතින ගැටලුවලට තාක්ෂණික විසඳුම් සෙවීම, ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පහසුකම් පුළුල් කිරීම මෙන්ම, UNDP, UNICEF වැනි ආයතනවල සහාය ඇතිව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී අවධානය යොමු කළේ ය.

රෝහල් පද්ධතිය තුළ සිදු කළ යුතු නව තාක්ෂණික පරිවර්තනය පිළිබඳව මෙහි දී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කර දිවයින පුරා ජනතාවට ප්‍රවේශ විය හැකි පරිදි ස්ථාපිත කිරීමෙන් සෞඛ්‍ය සේවාව ගුණාත්මකව පියවරකින් ඉහළට ඔසවා තැබීමට හැකි වනු ඇති බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය ද විමසා බලා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ තැපැල් දෙපාර්තමේන්තුව යුගයේ අවශ්‍යතාවලට අනුගතව යාවත්කාලීන වීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න