Image

පිකාසෝ ගේ 'චිත්‍ර හොරා' සහ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ගේ ඉතිහාස දැනුම

පිකාසෝ ගේ 'චිත්‍ර හොරා' සහ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ගේ ඉතිහාස දැනුම

(Ajith Amarasinghe) : මා විසින් මහින්දාගමනය පිළිබඳ ඓතිහාසික සාධක මත ලියූ ලිපි පෙළ අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමා ගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි.

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි; (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) අවසාන ලිපිය

1.     දැනට ඇති ඓතිහාසික සාධක මත ක්‍රි පූ 3 වෙනි සියවසේ දී අශෝක අධිරාජයා විසින් ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බව පිළිගන්නේ ද? මේ පිරිසගේ නායක හිමිනමගේ නම මහින්ද යැයි ද, ඒ වනවිට ලංකාවේ රජුව සිටියේ දේවානම්පිය (තිස්ස) යැයි ද පිළිගන්නේ ද?

2.     මේ ධර්මදූත පිරිස විසින් එකල ලංකාවේ සිටි ප්‍රධාන රජු සහ ඔහු ගේ සහපිරිවර බෞද්ධයින් බවට පත්කළ පසු ඉතා කෙටිකලක් තුළ ලංකාවේ බුදුදහම පැතිරගිය බව  පිළිගන්නේ ද?

3.     එනිසා මේ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස පිළිගන්නේ ද?

එසේම මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන එතුමා ගෙන් ප්‍රබුද්ධ සාකච්ඡා සිදුවන මාධ්‍යය වන ලිඛිත මාධ්‍යයෙන් පිළිතුරක් බලාපොරොත්තු වීමි. විද්‍යාර්ථියෙකු ගේ මාධ්‍යය වන ලේඛණගත සම්ප්‍රදාය වෙනුවට යූ ටියුබ් වීඩියෝවකින් පිළිතුරක් එතුමා මාගේ ලිපි පෙළට ලබාදී ඇත. එතුමා ගේ ඒ දීර්ඝ දේශනය අසා සිටි මා හට මා එතුමාට යොමු කළ නිශ්චිත ප්‍රශ්නවලට කිසිම පිළිතුරක් ලබාදුන් බව නම්  වැටහුනේ නැත. මා  ඇසූ ප්‍රශ්ණ බොහොමයකට එතුමා පවසන්නේ “May be, May be not” වැනි පිළිතුරු ය.

මා මහාචාර්ය නිර්මාල් මැතිතුමා ගේ මුල් වීඩියෝ දෙකට දීර්ඝ ලිපි පෙළක් ලියුවේ එතුමා, සහ එතුමා මෙන්ම “මහාවංශය මිථ්‍යා ප්‍රබන්ධ කථා පොතකි. එහි ඇති මිථ්‍යාවලින් සිංහලයින් මුළා වී ඇත” යන මතය දරන ලංකාවේ අතළොස්සක ගේ අදහස් වෙනස් කිරීමට නොවේ. මූලාශ්‍ර සහ සාධක මත පදනම්ව කෙතරම් කරුණු  ඉදිරිපත් කළත් ඔවුන් තම මතය වෙනස් නොකරන බව මම දනිමි. ඒ නිශ්ඵල කාර්‍යයට මාගේ කාලය වැය කිරීමට මා සූදානම් නැත. මා, මාගේ ලිපි පෙළ ලියුවේ මහින්දාගමනය සත්‍යයක් යැයි විශ්වාස කරන සුවහසක් දනන්ට එය මිථ්‍යාවක් නොවන බවට ඇති ඓතිහාසික සාධක ඉදිරිපත් කර, එතුමා ගේ වියවුල් සහගත වීඩියෝ නිසා ඒ විශ්වාසය කඩ නොකරගන්නා ලෙස කීමට පමණි. මා විශ්වාස කරන්නේ මාගේ ශක්ති ප්‍රමාණයෙන් මා ඒ කරුණ ඉටුකළ බවයි.

එලෙසින් ම එතුමා ඔහු වීඩියෝවේ ප්‍රදර්ශනය කරන පොත් මා කියවා නැති බවට පූර්ව නිගමනයකට එලඹ ඇත. මා එතුමා ලියූ පොත ඇතුළු බොහෝ පොත්වල පිටකවර පමණක් නොව, අන්තර්ගතය ද කියවා ඇත. එතුමා ලියූ පොතේ නම් මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු නැත. එසේම එතුමා තම වීඩියෝවේ දී මහාචාර්ය සෙනරත් පරණවිතාන තමන් මෙන් ඉතිහාසඥයෙක් වැනි නොවේ යනාදි අභීත ප්‍රකාශ රැසක් කරයි. 

එතුමා ගේ පොත කියවා තිබූ මා හට, පැයකට අධික කාලයක් තිස්සේ දිගහැරෙන අවසාන වීඩියෝව බැලූ විට විහිළු කථාවක් සිහියට නැගිනි. එය මෙසේය.

ලෝක පූජිත චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ ගේ නිවසට හොරෙක් පැන චිත්‍රයක් හොරකම් කළේ ය. පිකාසෝ පැන යන හොරා ගේ මුහුණ දිටීය. පිකාසෝ හමුවට පැමිණි පොලිස් නිලධාරීන් ඔහු ගෙන් හොරා ගේ මුහුණ අඳින ලෙස ඉල්ලී ය. පිකාසෝ හොරා ගේ මුහුණ ඇඳීය. පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට පිකාසෝ ගේ මේ චිත්‍රය පෙන්වා හොරා අල්ලාගන්නා ලෙස නියෝග කෙරිණි. එක නිලධාරියෙක් පිරිමි යෙකු අල්ලාගෙන ආ අතර අනෙකා ගැහැනියක අල්ලාගෙන ආවේ ය. තුන්වැන්නා බල්ලකු අත් අඩංගුවට ගත් අතර හතරවෙනි නිලධාරියා ගේ මතය වූයේ චිත්‍ර සොරකමක් සිදුනොවූ  බවයි.

පිකාසෝ ගේ චිත්‍ර ගැන දන්නා අයට මේ විහිළුව තේරුම් යනු ඇත. ඒ චිත්‍රයකින් යමෙකු හඳුනාගැනීම තැතනී ම උමතුවකි. මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා ගේ පොත් ද, වීඩියෝ ද එලෙස ය. එතුමා ඒවායේ යමක් කියයි; ලියයි. ඒවායේ පවසන්නේ කුමක්දැයි තේරුම් ගන්නට උත්සාහ කරන අයට සිදුවන්නේ පිකාසෝ ඇඳි චිත්‍රයෙන් හොරා අල්ලාගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට වූ වින්නැහිය යි. එතුමා ගේ වීඩියෝ අසන්නෝ ඒවායේ එතුමා පවසන දේ තම තමන්ට වැටහෙන අයුරින් තේරුම් ගනිති.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ගේ පිළිතුරේ මා ඇසූ නිශ්චිත ප්‍රශ්නවලට පිළිතුරු නැත්තේ, මා හට එතුමා ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නත්, මා හට ඒ බව නොවැටුහුණු නිසා වන්නට ඇත.

එසේම මා සිතන්නේ මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමා මූලාශ්‍ර, සාධක  මත නිගමනවලට එලඹිය යුතු ඉතිහාසය බඳු විෂයයකින් ඉවත්ව ස්වයංභූ ඥාණයෙන් (තම සිත තුළින් පමණක්ම පැනනගින මතවලින්) මත ප්‍රකාශ කිරීමේ නිරතවුවහොත්, එතුමාට කෙටි කලක් තුළ දාර්ශනිකයෙකු විය හැකි බවයි. තමන් ම නිකුත් කරන වීඩියෝ නරඹමින් ස්වයං වින්දනයක් ලබනවාට වඩා, එතුමාගේත්, ලාංකික ඉතිහාස අධ්‍යයනයේත්,  රටේත් යහපතට හේතුවනු ඇති ඒ යෝජනාව කරමින්, මම මේ විවාදය සුහදව අවසන් කරමි.

සබැඳි ලිපි -  මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි; දෙවන කොටස (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්)

 

dr ajith amarasinghe 1 1

 

 

 

 

වෛද්‍ය අජිත් අමරසිංහ  <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>;

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් සහ ලිපි සම්පාදනය කර  ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උලෙළෙහි දී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.) 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න