Language Switcher

V2025

ඉන්දු - චීන ගැටුම කෙතරම් භයානකද ?

කාශ්මීර කලාපයේ ලදාක් හි චීන හමුදා සහ ඉන්දීය හමුදා අතර පවතින මතභේදය මාරාන්තික ගැටුමක් දක්වා උත්සන්න වී ඇත.

හිමාලයේ මෙම භූමි තීරය පිළිබඳව පවතින මතභේදය කුමක්ද? එය ගැටුමක් බවට පත් වුණේ ඇයි? එහි ඉතිහාසය සහ ඊට පාදක වූ කරුණු මොනවාද?

ආසන්නතම ගැටුමේදී සිදු වූයේ කුමක්ද?

පසුගිය සඳුදා රාත්‍රියේ සිදුවූ මෙම ගැටුමෙන් අවම වශයෙන් ඉන්දීය සොල්දාදුවන් විසි දෙනෙකුවත් මරණයට පත්විය.

එය සිදුවූයේ මතභේදයට තුඩු දී ඇති ලදාක් හි ගල්වාන් නිම්නය මතය.

ඉන්දීය භට කණ්ඩායම් දේශ සීමාව පසුකර දෙවරක් පැමිණ චීන සොල්දාදුවන් "කුපිත කළ" බවටත් "තම සේවක පිරිසට පහර දුන්" බවටත් චීනය චෝදනා කරයි.

කෙසේ නමුත් කිසිදු වෙඩි තැබීමක් සිදු නොවුණු බවට දෙපාර්ශවය ම අවධාරණය කරති.

ඉන්දියානු බලධාරීන් පවසන පරිදි මෙම ගැටුමේදී ගල්මුල් සහ යකඩ පොලු වලින් මෙන්ම අතින් පයින් පහර දීම් සිදු වී තිබේ.

මෙහිදී චීන සොල්දාදුවන්ට ද තුවාල සිදුවී ඇති බවට වාර්තා ලැබෙන නමුත් ඒ පිළිබඳව නිල වශයෙන් කිසිවක් නිවේදනය කර නැත.

ඉන්දීය යුද හමුදාව කියා සිටියේ "තත්ත්වය සමනය කිරීම සඳහා" දෙරටේම හමුදා බලධාරීන් හමුවී සාකච්ඡා කළ බව ය.

මොවුන් සටන් කරන්නේ ඇයි?

ජනශූන්‍ය පෙදෙස් වලින් ගහන මෙම කඳුකර කලාපයට දශක කිහිපයක් තිස්සේ රටවල් දෙකම අයිතිවාසිකම් කියති.

කිලෝමීටර 3440ක් දුර විහිදෙන මෙම දේශසීමා කලාපය තුළ චීන හමුදාව මෙන්ම ඉන්දීය හමුදාව ද ස්ථානගත කර සිටිති. අවස්ථාා කිහිපයකදීම මෙම හමුදාා සොල්දාදුවෝ මුහුණට මුහුණලා සටනට සැරසුණහ.

මෙම මතභේද පසුගිය මාස කිහිපය තුළ උත්සන්න වූයේ දේශ සීමා කලාපය ඔස්සේ මාර්ගයක් ඉදි වීමෙන් අනතුරුවය. මෙම මාර්ගයේ ඉදි කරන ලද්දේ ඉන්දියාව විසිනි.

අනතුරුව තමන්ගේ බල ප්‍රදේශය තුළ ද යටිතල පහසුකම් දියුණු කරමින් චීනය ඉදිකිරීම් ආරම්භ කළේය.

එමගින් දෙරටේ හමුදා ඉතා සමීපව ස්ථානගත වුනු අතර කොයි මොහොතේ හෝ දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවීමේ අවදානම ද ඉහළ ගියේය.

එම කලාපය මෙතරම් වටින්නේ ඇයි?

රටවල් දෙකම මෙම කලාපය දෙස බලන්නේ ආර්ථිකමය මෙන්ම යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙසිනි.

එක් පාර්ශවයක් විසින් හෝ එම ප්‍රදේශය අවහිර කරනු ලැබුවහොත් මුළුමහත් කලාපයටම අස්ථාවර තත්වයක් උදා වීමේ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවේ.

China India

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

තත්ත්වය සමනය කිරීම සඳහා දරන උත්සාහයන් අසාර්ථක වුවහොත් ඉදිරියේදී මෙය භයානක විය හැක

කෙසේ නමුත්, පවතින තත්වය හමුවේ ජීවිත හානි ගෙන දීමේ අවදානම ඉහළ ගොස් ඇත.

ඉන්දියාව හා චීනය අතර පවතින දේශසීමා ගැටුම් වලින් මෙවර ජීවිත හානි වාර්තා වූයේ වසර 45 කට පමණ පසුව ප්‍රථම වතාවට බව විශ්වාස කෙරේ.

ඉන්දියාව සහ චීනය යුද ගැටුමකට අවතීර්ණ වූයේ එක් වතාවක් පමණි. ඒ 1962 දීය. එහිදී ඉන්දියාවට අන්ත පරාජයක් හිමිවිය.

මේ තත්ත්වය කෙතරම් භයානකද?

තත්ත්වය සමනය කිරීම සඳහා දරන උත්සාහයන් අසාර්ථක වුවහොත් ඉදිරියේදී මෙය භයානක විය හැක.

දේශසීමාව ආසන්නයේ හමුදා සොල්දාදුවන් අතර සිදුවන කෝලාහල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෑත භාගයේ දී චීන සහ ඉන්දීය හමුදා ජනරාල්වරුන් ද සම්බන්ධ විය.

නමුත් සංහිඳියාව සඳහා ගත් මෙවැනි උත්සාහයන් අතීතයේදී ද ඇනහිට ඇත.

මෙම උත්සාහයන් සාර්ථක නොවුන හොත්, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රටවල් දෙක අතර ගැටුම් උත්සන්න වීමේ අවදානම ඉහළ යන අතර මේ බලවතුන් දෙදෙනාටම න්‍යෂ්ටික අවි බලය හිමි බව ද අමතක නොකළ යුතුය.

"මෙය අතිශය බරපතළ තත්ත්වයක්. මේතාක් පවත්වාගෙන එන සාකච්ඡා බිඳ දැමීමට එය ප්‍රමාණවත්," පසුගිය සඳුදා ඇති වූ ගැටුම පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියාවේ හිටපු හමුදාපති ඩී එස් හූදා ප්‍රකාශ කළේය.

(බීබීසී )