තෙල් ඉවරයි කියා නවසීලන්තයේ ජසින්ඩා ඉල්ලා අස්වෙන්න තීන්දු කරයි !

තෙල් ඉවරයි කියා නවසීලන්තයේ ජසින්ඩා ඉල්ලා අස්වෙන්න තීන්දු කරයි !

ලබන මාසයේ දී ඇය නවසීලන්ත අගමැතිධුරයෙන් ඉවත්වනබවට ජසින්ඩා ආඩන් නිවේදනයකර තිබේ. ඒ, නායකත්වය දීම සඳහා ඇති තරම් [ඉන්ධන] තව දුරටත් තම "ටැංකියේ ඉතිරිව" නැතිබව පවසමිනි.

රැකියාවේ යෙදී සිටි "අභියෝගාත්මක" වසර හය නිසාවෙන් තමාට ගෙවීමට සිදුවූ දෑ විස්තර කරන විට ආඩන්ගේ කටහඬ හිරවිය.

ඇය පෙබරවාරි 7 වනදාට පෙර කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වනු ඇත. ඇය වෙනුවට තනතුරට පත්වන්නා කවුදැ යි තීරණය කෙරෙන ඡන්දයක් නුදුරු අනාගතයේ දී පැවැත්වීමට නියමිත ය.

නවසීලන්තය සිය මහ මැතිවරණය ඔක්තෝබර් 14 දා පවත්වනු ඇත.

42-හැවිරිදි ආඩන්, ඇය ඇගේ අනාගතය පිළිබඳව සලකා බැලීම සඳහා ගිම්හාන විවේක කාලය ගතකළබව පැවසුවා ය.

"මට ඉදිරියට [තනතුරේ] වැඩකටයුතු කරගෙන යන්න අවශ්‍ය දේ ඒ කාලෙ ඇතුළත හොයාගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වුණාට, අවාසනාවකට වගේ මට බැරිවුණා. ඉතින් [තනතුරේ] ඉදිරියටත් හිටියොත් මම නවසීලන්තයට කරන්නේ අනර්ථයක්," ඇය වාර්තාකරුවන්ට පැවසුවා ය.

2017 දී 37-හැවිරිදිව සිටිය දී අගමැතිධුරයට තේරී පත්වූ විට, ආඩන් ලොව ලාබාලතම රාජ්‍ය නායිකාව බවට පත්වූවා ය.

ඉන් වසරකට පසු ඇය, තනතුරේ සිටිය දී දරුවෙකු බිහිකළ දෙවන ප්‍රජාතන්ත්‍රවාදී ලෝක නායිකාව බවට පත්විය.

ඇය කොවිඩ්-19 වසංගතය හා ඉන්පසු පැමිණි ආර්ථික අවපාතය, ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් පල්ලියේ වෙඩිතැබීම් සහ වයිට් දිවයිනේ ගිනිකඳු පිපිරීම වැනි සිදුවීම් අතරේ නවසීලන්තයට නායකත්වය දුන්නා ය.

"සාමකාමී කාලයක දී ඔබේ රටට නායකත්වය දීම එක දෙයක්, අර්බුද කාලයක දී නායකත්වය දීම තව දෙයක්," ඇය පැවසුවා ය.

"මේ සිද්ධි... ඒවයේ බර, ඒවයේ මහා බර සහ ඒවායේ අඛණ්ඩ ස්වභාවය නිසා දැඩි වෙහෙසක් ගෙන ආවා. අපි නිකම්ම රාජ්‍ය පාලනය කරනවා කියලා හැඟුණු එක මොහොතක්වත් ඇත්තටම තිබුණේ නැහැ."

2020 දී ආඩන් කම්කරු පක්ෂය විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් කරා ගෙන ගියමුත්, මත විමසුම්වලට අනුව, මෑත මාසවල දී රට තුළ ඇගේ ජනප්‍රියත්වය කිසිදා නොවූ අන්දමේ පහත් මට්ටමකට වැටී ඇත.

කෙසේ වෙතත්, ඇය කියා සිටියේ, ඇය ඉල්ලා අස්වන්නේ කම්කරු පක්ෂයට මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකියැ යි ඇය විශ්වාස කරනා නිසා නොව, එය ජයග්‍රහණය කරනු ඇතැ යි සිතූ නිසා බව යි.

"ඒ අභියෝගය සඳහා අපට අලුත් මුහුණක් අවශ්‍යයි ," ඇය පැවසුවාය.

නියෝජ්‍ය නායක ග්‍රාන්ට් රොබට්සන්, ඉරිදා පැවැත්වීමට නියමිත නායකත්ව ඡන්දයට තමන් තරග නොකරන වග පැවසීය. පක්ෂයේ තුනෙන් දෙකක සහයෝගය ලබාගැනීමට එක් අපේක්ෂකයෙකුට නොහැකි නම්, ඡන්දය කම්කරු පක්ෂයේ සාමාජික මණ්ඩලය වෙත යයි.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, ආඩන් බුද්ධියේ, ශක්තියේ සහ සහකම්පනයේ නායිකාවක් ලෙස ඇයට උපහාර දැක්වීය.

"ජසින්ඩා නවසීලන්තය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි තැනැත්තියක්, බොහෝ දෙනෙකුට අනුප්‍රාණයක් සහ මට හොඳ මිතුරියක් වුණා," ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

ආඩන් ඇගේ රජය ලැබූ ජයග්‍රහණ ලැයිස්තුගත කරමින්, ඇය විශේෂයෙන් ආඩම්බර වන ඒවා ලෙස දේශගුණික විපර්යාසය, නොමිලේ නිවාස ලබාදීම සහ ළමා දරිද්‍රතාවය අඩු කිරීම සම්බන්ධයෙන් ලද ජයග්‍රහණ නම්කළා ය.

නමුත්, නවසීලන්ත වැසියන් ඇය, "හැමවිටම කරුණාවන්ත වෙන්න උත්සාහ කළ කෙනෙක් විදියට" මතකයේ තබාගනු ඇතැ යි ඇය බලාපොරොත්තු වන බව ආඩන් පැවසුවා ය.

"මම ප්‍රාර්ථනා කරනවා, මම [තනතුරින්] නික්ම යන්නේ තමන්ට කාරුණික නමුත් ශක්තිමත්වෙන්න පුළුවන්, සංවේදී නමුත් තීරණාත්මකවෙන්න පුළුවන්, සුබවාදී නමුත් ඉලක්ක ගත වෙන්න පුළුවන් කියන විශ්වාසය නවසීලන්ත වැසියෝ අතරේ ඉතිරිකරලා කියලා. ඒ වගේම, ඔබට ඔබේම ආකාරයේ නායකයෙකු වෙන්න පුළුවන් කියලා - යන්න කාලේ ආ බව දන්නා නායකයෙක් [වෙන්න පුළුවන් කියලා]," ඇය පැවසුවා ය.

බීබීසී - සිංහල

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න