ලොව වියළිතම කාන්තාරයේ සුපුෂ්පිත කුඩා මලෙකින් කෘෂි ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීමට විද්‍යාඥයෝ සැරසෙති. චිලී දේශයේ පිහිටි ඇටකාමා කාන්තාරය ලොව වියළිතම කාන්තාරය සේ සැලකේ. එහි පිපෙන කුඩා පුෂ්පයක් සතු ජානමය ශක්‍යතාව උපයෝගී කර ගනිමින්, ගෝලීය කාළගුණ විපර්යාස හමුවේ, ඉදිරියේ හටගත හැකි දැඩි නියඟයට වුව ඔරොත්තු දෙන කෘෂි බීජ නිෂ්පාදනයට ඇති හැකියාව පිලිබඳ පර්යේෂණ ආරම්භ කිරීමට විද්‍යාඥයින් පිරිසක් ඉදිරිපත් ව සිටිති.
ස්පාඥ්ඥ බසින් බිඳී ආ 'පාටා ඩි ග්වානාකෝ' (Pata de Guanaco) යන නමින් හැඳින්වෙන එම පුෂ්පය, ඇටකාමා කාන්තාරයට අවේනික, කලාතුරෙකින් වට වර්ෂාවෙන් පසු එක යායට පිපෙන තද රෝස පැහැති කුඩා පුෂ්පයෙකි. එම මල් පිපීම කාන්තාරයේ, සුපුෂ්පිත ආශ්චර්‍යයක් ලෙස හැඳින්වේ.
චිලී දේශයේ අන්ද්‍රෙස් බෙලෝ විශ්වවිද්‍යාලයේ (Andres Bello University) පර්යේෂකයින් පිරිසක් විසින් එම පුෂ්පයේ ජානමය රටාව වෙන්කර හඳුනාගැනීමේ නවතම පර්යේෂණයක් ආරම්භ කර තිබේ. ලොව අති දුෂ්කරම කාන්තාරයේ, අධිකතර වියළි දේශගුණයක් යටතේ එහි නොනැසී පැවැත්ම අධ්‍යයනය කර, එම ජානමය ලක්ෂණ කෘෂි බීජ වෙත මුහුණ් කිරීම එහි අරමුණයි.
කාළගුණ විපර්යාස සමග, ඉදිරියේ හට ගත හැකි දැඩි නියඟයන් චිලී දේශයට පමණක් නොව ගෝලීය වශයෙන් ද, කෘෂි කර්මාන්තයට දැඩි අභියෝග එල්ල කරනු ඇතැයි පවසන එම විශ්වවිද්‍යාලයේ, පැලෑටි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා, එරියෙල් ඔරෙලානා (Ariel Orellana), එවන් තත්ත්වයන්ට ඔරොත්තු දෙන කෘෂි බෝග හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවක් බව පෙන්වා දෙයි.
චිලී දේශය ජලය පිලිබඳ දැඩි අභියෝගයන්ට මුහුණ පා සිටින රටකි. ලෝක සම්පත් ආයතනය විසින් එය ලොව දරුණුතම ජල අර්බුද සහිත රටවල් අතරින් එකක් බවට නම් කර තිබේ. 2050 වනවිට එරට අතිශය සරුසාර මාධ්‍ය නිම්නය, දැවැන්ත තිරසර නියඟයකට බඳුන් විය හැකි බවට අනතුරු අඟවා තිබේ. එරට, අපනයනය පිණිස නිෂ්පාදනය කෙරෙන වයින්, පළතුරු මෙන්ම පශු සම්පත් රැසකට අදාළ ගොවිපොළ පිහිටා ඇත්තේ එම නිම්නය ආශ්‍රිතවය.
'පාටා ඩි ග්වානාකෝ' පුෂ්පය සතු සුවිශේෂී ලක්ෂණය වන්නේ, විවිධ කර්කෂක පරිසර තත්ත්වයන් යටතේ ප්‍රභාසංස්ලේශනයට ඇති ශක්‍යතාවය. ඒ සම්බන්ධයෙන් එය පර්යේෂණ ක්ෂේත්‍රයේ නිදර්ශක ශාකයක් බව ඔරෙලානා කියා සිටී. නියඟය, දැඩි හිරු රශ්මිය සහ ලවනතාවෙන් හෙබි විවිධ අත්‍යන්ත පාරිසරික තත්ත්වයන් යටතේ, පැවැත්ම උදෙසා ජලය රඳවා ගැනීමේ විශේෂ හැකියාවක් එම පුෂ්පය සතු වේ.
එකී පාරිසරික වෙනස්වීම් හේතුවෙන් සිදු වන බලපෑම ජානමය සාධක ඔස්සේ පාලනය කිරීමට පුෂ්පය සතු නම්‍යශීලී බව විශ්මය ජනක යැයි ඔරෙලානා පෙන්වා දෙයි. ඒ අනුව එය පැවැත්ම පිණිස ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කර ගන්නා ආකාරය සහ එහි විචල්‍ය ප්‍රභාසංස්ලේශන ක්‍රියාවලිය පිලිබඳ තව දුරටත් අධ්‍යයනය කෙරෙන බව පර්යේෂකයෝ පවසති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/9/2025