ටැන්සානියාවේ පසුගිය මස ජනපතිවරණ සමයේ හටගත් විරෝධතා හමුවේ සිය ගණනකට අධික පිරිසක් ඝාතනය වී ඇතැයි කරුණු අනාවරණය වන බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි.
ආරක්ෂක හමුදා එම මළ සිරුරු සඟවන බවට තොරතුරු ලැබී ඇතැයි ද, එම කාර්යාලය කියයි.
ආරක්ෂක හමුදා ටැන්සානියානුවන් 1000කට අධික සංඛ්‍යාවක් වෙඩි තබා ඝාතනය කළ බව, ප්‍රධාන විපක්ෂය සහ මානව හිමිකම් ක්‍රියාකාරීහු චෝදනා කරති.
ඔක්තෝබර් 29 දා ලද, මැතිවරණ ප්‍රතිඵලයට විරෝධය පා, විශාල පිරිසක් වීදි බටහ. පෙරදිග අප්‍රිකානු රාජ්‍යයේ, දශක ගණනකට පසු හටගත් දරුණුතම දේශපාලන අරගලය එය ය.
විපක්ෂය, ජන අරගලයේ සැබෑ මරණ සංඛ්‍යාව අතිශයෝක්තියෙන් හුවා දක්වන බව ජනපතිනි, සැමියා සුලුහු හස්සන් (Samia Suluhu Hassan) ගේ රජය කියා සිටී. එහෙත්, රාජ්‍ය පාර්ශ්වයෙන් එම මරණ සංඛ්‍යාව කෙතෙක්දැයි, මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැත.
පසුගිය මස පැවති ජනපතිවරණයෙන් හස්සන් ට ජය හිමි විය. ඇය සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 98%ක් ලබා ගත්තාය. ඇගේ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා තරගයෙන් පරාජය වූහ.
ජනපතිවරණයෙන් පසුව දින ගණනක් එරට අන්තර්ජාලය වසා දැමීමට කටයුතු කෙරිණි. ඒ හේතුවෙන්, සහ රට තුළ පැවති අනාරක්ෂිත බව කරණකොට, අරගල සමයේ ජීවිතක්ෂයට පත් සැබෑ සංඛ්‍යාව කොතෙක්දැයි සොයා ස්වාධීන නිරීක්ෂණයේ යෙදීමට හැකියාවක් නොවූ බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි.
කෙසේ වෙතත්, එම විරෝධතාහිදී, අරගල කරුවන් සහ තවත් පුද්ගලයින් සිය ගණනක් ඝාතනය වූ බවටත්, විශාල පිරිසක් තුවාළ ලබා ඇති බවට සහ අත්අඩංගුවට පත්ව ඇති බවටත්, වෙනත් පාර්ශ්ව වෙතින් ලද තොරතුරු අනුව අනාවරණය වන බව එම කාර්යාලය කියයි.
එසේ මරා දැමුණු ටැන්සානියානුවන්ගේ සිරුරු, සාක්ෂි වසන් කිරීම පිණිස, ආරක්ෂක හමුදා විසින් වීදි සහ රෝහල් වෙතින් ඉවත් කර, රහසිගත ස්ථානවල සඟවා ඇති බවට තොරතුරු ලද බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී, වෝකර් ටර්ක් (Volker Turk) කියා සිටී.
ජනපතිනි හස්සන් 2021 වසරේ සිට බලයේ රැඳී සිටින්නීය. රජය විවේචනය කරන්නන් රැසක් අතුරුදන් කළ බවට, ඇයට එරෙහි චෝදනා එල්ල වේ. හස්සන් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටී. මෙවර ජනපතිවරණය ඉතා සාමකාමී බව ඇය කියයි.
මිනිස් පැහැර ගැනීම් පිලිබඳ විමර්ශන ආරම්භ කරන ලෙස පසුගිය වසරේ ඇය විසින් දන්වා සිටියද, එහි ප්‍රගතිය පිලිබඳ කිසිත් මෙතෙක් අනාවරණය වී නැත.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

