කුප්‍රකට සංවිධානයක් ගාසා මානුෂීය මෙහෙවර නිම කරයි

 කුප්‍රකට සංවිධානයක් ගාසා මානුෂීය මෙහෙවර නිම කරයි

ගාසා තීරයේ ආධාර බෙදා දීමේ මෙහෙයුම් හි නිරත, මතභේදාත්මක ගාසා මානුෂීය පදනම ( Gaza Humanitarian Foundation) එහි සිය මෙහෙවර  අවසන් කරන බව, ඊයේ (24) දැනුම් දුන්නේය.

එය එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සහායයෙන් ක්‍රියාත්මක විය. ඊට අයත්  මධ්‍යස්ථාන වෙත ආධාර ලබා ගැනීමට පැමිණි  පලස්තීනුවන් සිය ගණනක් මරණයට පත්වීම  සම්බන්ධයෙන් පසු ගිය මාස කිහිපය පුරාවට දැඩි විවේචන පැවතිණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN)   සහ ගාසා තීරයේ දීර්ඝ කාලීනව ආහාර ඇතුළු අනෙකුත් ආධාර බෙදා හැරීමේ නියුතු   මානුෂීය කණ්ඩායම් මගහැර, ගාසා මානුෂීය පදනම සිය මෙහෙයුම්හි නිරත විය. එය, යුරෝපීය නායකයින්ගේ ද දෝෂ දර්ශනයට ලක් විය.

එම  සංවිධානය මගින්, ගාසා තීරයේ අවතැන් පලස්තීනුවන්ට  අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ඉකුත් මැයි මස ආරම්භ කෙරිණි. ඊට අයත් බොහෝ උප කඳවුරු, ජනයා බහුලව නොගැවසෙන  දකුණු ගාසා තීරයේ පිහිටියේය.  ඒ හේතුවෙන්, ආධාර ලබා ගැනීම පිණිස, පලස්තීන ජනතාවට ඒ වෙත බොහෝ දුර පා ගමනින් යාමට සිදු විය. එම මුල් අවස්ථාවන්හි දී ආධාර පතා ඒ වෙත පා ගමන් ගිය පලස්තීනුවෝ ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාරවලට ලක්ව  මරණයට පත්  වූහ. සිය හමුදා පෙරමුණු වෙත  ගමන් කළ පලස්තීනුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කළ බව, එම වෙඩි තැබීම් සාධාරණීකරණය කරමින්, ඊශ්‍රායල  හමුදා පැවසූහ.

එක්සත් ජනපද නායකත්වයෙන් ක්‍රියාත්මක,  ඊශ්‍රායලයේ පිහිටි සිය බහුජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ගාසා යුද්ධය අවසන් කිරීමේ ජනපති ට්‍රම්ප් දේ දැක්මට අනුව, නව ආකෘතියකින් ඉදිරියේදී   ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව, ගාසා මානුෂීය පදනමේ විධායක අධ්‍යක්ෂ ජෝන් ඇක්‍රී ( John Acree) කියා සිටී.  මානුෂීය ආධාර බෙදා හැරීමේ තම වැඩසටහන අවසන් කෙරෙන්නේ, එම තේමාවෙන් බව ඔහු පවසයි. මෙතෙක්, තාවකාලික හදිසි ක්‍රියාන්විතයක් සේ දියත් කළ එම වැඩසටහන, වඩාත් සංවිධිත ආධාර වැඩසටහනක් සේ, ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කරයි.

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරය වෙත ගලා ආ සියලු ආකාරයේ ආධාර, ඒ වෙත තහනම් කිරීමෙන් පසු, තෙමසකට අධික කාලයක් පලස්තීනුවන්ට අවැසි  අත්‍යවශ්‍ය මානුෂීය ආධාර අඛණ්ඩව බෙදා හැරුණේ එම සංවිධානය මගිනි.

ඉකුත් ජුනි මස ජෙරුසෙලමේ සිට මාධ්‍ය ඇමතූ ඔස්ට්‍රියානු විදේශ අමාත්‍ය, බේට් මෙයිනල්-රෙසින්ගර් (Beate Meinl-Reisinger),  ගාසා මානුෂීය පදනම විශ්වාසී පාර්ශ්ව කරුවකු නොවූ බව ප්‍රසිද්ධියේ කියා සිටියාය.

 එහි ක්‍රියාන්විතය උදෙසා,  ට්‍රම්ප් රජය, ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් විසි කළේය. එහෙත්, ඊට අනුග්‍රහ දැක්වූයේ  කවුරුන්දැයි, එම සංවිධානය සෘජුව පැවසීමට මැලි  විය. මෙම මස අවසන තෙක් ගාසා තීරයේ ක්‍රියාත්මක වීමට තරම් සිය සංවිධානයට මූල්‍ය ශක්තිය ඇති බව   පමණක්,  එය පසුගිය මස   පැවසීය. සිය ආධාර මධ්‍යස්ථාන වල සිට ගාසා තීරයේ මානුෂීය ආධාර බෙදා හරින ලෙස එය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇරයුම් කළ ද, එම ඇරයුම ප්‍රතික්ෂේප විය.

උගත් පාඩම් රැසක් එක්සත් ජනපදය සහ අනෙකුත් පාර්ශ්ව අතර හුවමාරුකර ගැනීම වෙනුවෙන් ගාසා මානුෂීය පදනමට සිය ස්තුතිය පුද කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජ්‍ය ප්‍රකාශක  ටොමී පිගොට් (Tommy Pigott) එක්ස් () පණිවුඩයක් මගින්  දන්වා සිටී.



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/25 /2025

Disputed Gaza aid distributor backed by US and Israel ends operations


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න