Language Switcher

V2025

ළමා ගිණුම් බද්දෙන් නිදහස් : කතුවරුන්ටත් ඉල්ලූ සහනය ලැබෙයි

ළමා ගිණුම්වල පොළිය මත  පනවා තිබූ බදු මුදල මුළුමනින්ම අහෝසි කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කළ බව වාර්තා වෙයි.

ඒ අනුව වයස අවුරුදු 18 ට අඩු බැංකු ගිණුම් හිමි දරුවන්ගේ තැම්පත් මුදලෙහි පොලිය රුපියල් 5000 ට වැඩි නම් එම පොළිය මත පනවා තිබූ 2.5%ක බදු අයකිරීම මින් ඉදිරියට සිදුනොවන අතර එය බදු රහිත තත්ත්වයට පත්වේ.

එසේම ග්‍රන්ථ කතුවරයන්ගේ කර්තෘ භාගය සඳහා පනවා තිබූ බදු මුදල් සංශෝධනය කර එය මසකට රුපියල් 50000ක් දක්වා සහ වසරකට රුපියල් ලක්ෂ 5ක් දක්වා බද්දෙන් නිදහස් කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර ඇත.

මේ බව අනාවරණය වුයේ ඊයේ (10) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ළමා ඉතුරුම් සහ ගත්කතුවරයින් සම්බන්ධව ලැබුණු ජනතා පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තීරණ ගැනීමට කටයුතු කළ බව එහිදී අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටියේය.

එසේම ගත්කතුවරුන් සම්බන්ධව සිදුකළ බදු සංශෝධනයේ ප්‍රතිලාභය මෙරට පොත් ලියන අති බහුතරයකට හිමිවන බවත් අදාළ ප්‍රශ්න සම්බන්ධව තමන් දැනුවත් කළ සැමට ස්තුති කිරීමටද මෙය අවස්ථාව කරගන්නා බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

මේ අතර  නව බදු ක්‍රමය යටතේ වැට් බද්ද ක්‍රමයෙන් පහත හෙලීමට අවස්ථාව ලැබෙනු ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර තිබෙන අතර ඒ දේශිය ආදායම් කොමසාරිස් සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින්ය.

එහිදී  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  2020 වසර වන විට වක්‍ර බදු අඩු කිරිම රජයේ සැලසුම වී ඇති බවත් ඒ තුළ අති බහුතරයක් ජනතාවට බදු මත ඇතිවන පීඩනයෙන් සහනයක් ලැබීමට අවස්ථාව උදාවන බවත්ය.