Language Switcher

V2025

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට : ඉන්දීය කොටස් වෙළඳපොල පසුබැස්මක !

සෞදි අරාබියට  සහ රුසියාවට  බොර තෙල්  නිෂ්පාදනය ඉහළ නංවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම එම රටවල්  ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ඉක්මවා තිබෙන  අතර එයා තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල වසර හතරකින්, එනම් 2014 නොවැම්බර් මාසයෙන් පසු ඉහළම අගය සළකුණු කරමින්, පසුගිය 24 වනදා  ඩොලර් 81 යි ශත 16 ක් ලෙස සටහන් වූ අතර ඒ දිනක් තුළ තෙල් මිල 3% කින් ඉහළ යාමක් බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 ඔපෙක් හෙවත් තෙල් අපනයන කරන රටවල සංවිධානයේ විශාලතම නිෂ්පාදකයා වන්නේ සෞදි අරාබිය වන අතර රුසියාව, ඔපෙක් සංවිධානයෙන් පිටත විශාලතම තෙල් නිෂ්පාදකයා වෙයි.

මෙම තත්ත්වය යටතේ තෙල් බැරලයක මිල ලබන වසර මුල භාගයේදී ඇමරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉන්දීය කොටස් වෙළඳපොලේ වාර්තාගත පසුබෑමක !

මේ අතර 24 වනදා වන විට ඉන්දියාවේ කොටස් වෙළෙදපොළ මාස 06කින් පසු දරුණුතම කඩා වැටීම වාර්තා කර ඇති බව දැනගන්නට ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව 24 වනදා  දිනය තුළ එරට කොටස් වෙළෙදපොළ අගය 01%ට වඩා පසුබෑමක් පෙන්නුම් කර ඇති අතර එරට කොටස් වෙළෙදපොලේ BSE දර්ශකය 1.4%කින් සහ  NSE දර්ශකය 1.58%කින් පහළ ගොස් තිබේ.

NSE දර්ශකය  මාර්තු මස 16 වැනිදාට පසුව එතරම් අගයකින් පහළ වැටුණු පළමු අවස්ථාව ලෙස මෙය සැළකෙන අතර ඉන්දීය කොටස් වෙළෙදපොළ විශේෂඥයින් සඳහන් කර ඇත්තේ  ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගම් කිහිපයක කඩාවැටීම,  ලෝක වෙළෙඳපොළේ ඇති අර්බුදකාරී තත්ත්වය සහ  බොරතෙල් මිල ඉහළ යාම ද මීට බලපා ඇති බවය.