Language Switcher

V2025

LPL කුසලානය දෙවැනිවරටත් ජැෆ්නා කිංග්ස්ට

ජැෆ්නා කිංග්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ (2021) ශූරතාව දිනාගැනීමට ඊයේ (23) සමත් විය.

ගෝල් ග්ලැඩියේටර්ස් පිලට අනුශූරතාව හිමිවිය.

ජැෆ්නා කිංග්ස් පිල පිට පිටම දෙවැනි වරටත් ශූරතාව දිනාගැනීම මෙහිදී කැපී පෙනුණි.

ගෝල් ග්ලැඩියේටර්ස් පිලට පිට පිටම දෙවැනි වරටත් අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

LPL 2021 3සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (23) රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 23 කින් භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල පරාජය කිරීමට සමත් විය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8 න් තරග 6 ක් ජයග්‍රහණය කර තරග 2 ක් පරාජ වී තිබු අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8 න් 4 ක් ජයග්‍රහණය කර තරග 4 ක් පරාජ වි තිබිණ.

අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සමත් වූ අතර එහිදී ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 3ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 201කි.

එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 63ක් රැස්කළ අතර ටොම් කෝලර්-කැඩ්මෝර් නොදැවී ලකුණු 57ක් රැස් කළේය.

පන්දු යැවිමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර්, නුවන් තුෂාර සහ සමිත් පටෙල් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ලකුණු 202ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.

එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් රැස්කළේය.

පන්දු යැවිමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුලු 2ක බැගින් දවාගත්හ.