Language Switcher

V2025

ප්‍රවීණ ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස් දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ ගීත රචකයෙකු මෙන් ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ හේම ශ්‍රී ද අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 81ක් වන වියේ පසු විය.

හේම ශ්‍රී ද අල්විස් ගුවන් විදුලියේ අවුරුදු තිස් දෙකක් පුරා විවිධ තනතුරු හොබවමින් සේවය කළ මෙරට ප්‍රවීණ ගේය පද රචකයෙකි.

ඔහු ලියූ ගී අතරින් ශ්‍රීනි විභූෂිත ලංකා ගීතය ඉතිහාසගත වූ ගීතයකි.

එම ගීතයට අමතරව හේම ශ්‍රී ද අලවිස් සූරීන් ගීත හාර දහසකට අධික සංඛ්‍යාවක් ලියා තිබේ.

ඒ අතර, රසික හදවත් පිනවූ ඔහුගේ බිරිඳ අයිරින් ද අල්විස් ගැයූ, ‘දෑස පා සිනා කියන රහස තේරුණා’, සුජාතා අත්තනායක ගැයූ ‘දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා’, එච්.ආර්. ජෝතිපාල ගැයූ ‘පෙර දිනෙක එදා හමු වූයේ’ සහ ‘ඔබ දැකුමෙන් මා සිත ලැබුවේ හැකි ඉහළ ම සතුටයි මෙලොවේ’, මොහිදින් බෙග් ගැයූ ‘ඇයි බඹරෝ පෙම් මල අතහැරලා’ හා ‘පුංචි පුතේ පුංචි දුවේ ඉපැදුණු සිරි ලක්බිමේ, රැක්මණී දේවි ගැයූ ‘සඳක් නැගේ සඳක් දිලේ සාගරේ’, ඉන්ද්‍රානි පෙරේරා ගයන ‘ඔබ සොයනා කළු කෙල්ල මමයි’ ආදී ගීත වේ.

ඔහු පිළිබඳව පසුගිය දා දැඩි කතා බහට ලක් වූයේ, හේම ශ්‍රී මහතා සහ ඔහුගේ බිරිඳ වූ අයිරින් ද අල්විස් පත්ව තිබූ දුක්බර තත්ත්වය හේතුවෙනි.

අයිරින් ද අල්විස් මහත්මිය 2018 වසරේදී ජීවිතක්ෂයට පත් වූ අතර මිය යන විට ඇය 74 වන වියේ පසු වූවා ය.

හේම ශ්‍රී ද අලවිස් සූරීන් ගී පද ලියද්දී අයිරින් ද අල්විස් ගැයූ ගීත සංඛ්‍යාව දහසකට අධික ය.

හේම ශ්‍රී මහතාගේ දේහය 50/9, මැද පාර, තල්පිටිය උතුර, වාද්දුව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (දෙසැ. 5) සවස 4.00ට තල්පිටිය සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත ය.