Language Switcher

V2025

දිනෙන් දින පල්ලම් බහින ශ්‍රී ලංකා තෙලිඟු ජනතාවගේ ජීවිත

එදා රජ සමයේ සිට පැවත එන අප සිංහල ඉතිහාස වංශ කතාවේ ප්‍රමුඛස්ථානයක් හිමිව තිබූ කුල භේදය අද දක්වාම අප සමාජයේ නුහුපුරා යමින් තිබීම නිසාවෙන් සමාජයේ ඒ පිළිබද නොයෙකුත් අර්ථකතනයන් සේම විවිධ මතිමතාන්තර පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. කුල භේදයන් ගැන කතා බහේදී සමහර අවස්ථාවන් වලදී අප සමාජය භේද බින්න වන අවස්ථාද අනන්ත අප්‍රමාණය.

ඒ අනුව රජ කුලය, ගොවි කුලය, රොඩී කුලය, රදා කුලය වැනි කුල පිළිබද ජනතාව තුල එකිනෙකට වෙනස් ආකාරයේ විවිධ ආකල්ප වත්මන් සමාජයේද නිරන්තරයෙන් කතා බහට ලක්වන අවස්ථා එමටය. අප රටේ පහත් කුලයක් ලෙස සැලකෙන අහිකුණ්ටක කුලයට අද වන විට හිමිව ඇත්තේ පහත් මට්ටමේ සැලකිල්ලකි.

නමුත් අහිකුණ්ටක කුලය යැයි සලකෙන මෙම කුලයට අයත් මිනිසුන්ගේ සිය උපන් භූමිය ලෙස සැලකෙන ඉන්දියාව කේරළ ප්‍රාන්තයේ තෙලිගු ජාතිකයින් බවDSC 01471 කව්රුත් නොදන්නා කරුණක් විය හැකිය. පසු කාලීනව මොවුන් ඉන්දියාවේ සිට අප රටට සංක්‍රමණය වී මුල්ම ජනාවාසය කුඹුක්වැව ජනපදයේ පිහිටුවා ගෙන තිබේ. එහි තෙලිඟු ජාතික පවුල් 50ක් පමණ වාසය කල බවට ඉතිහාසය මනාව සාක්ෂි දරයි.

කුඹුක්වැව ජනපදයේ පදිංචිව සිටි මොවුන් එවකට ආගම ලෙස වන්දනාමාන කර ඇත්තේ වෘක්ෂ වන්දනාව, ගිනි දෙවියන් පිදීම, පර්වත වන්දනාව වැනි ස්භාවික වස්තූන්ට නමස්කාර කිරීමයි. පසු කාලීනව මොවුන්ගේ වර්ධන වේගයත් සමග මොවුන් බහුතරයක් නොයෙකුත් ආගම් සිප වැළද ගැනීමට සමත්ව ඇති බව කියයි. ඒ අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන අතර, සමහර පිරිස් කතෝලික ධර්මයද අදහමින් සිටින බව පැවසේ.

මෙම තෙලිඟු ජාතිකයින්ගේ ජීවනෝපාය වී තිබුණේ ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශනය කර මුදල් උපයා ගැනීමයි. එහිදී මොවුන් බූරුවෙකු පිට බැදි තවලමක ආධාරයෙන් ගමින් ගමට ඇවිද යන මොවුන් එක් ගම්මානයක ඉදිකරන කූඩාරමක් සිය වාසස්ථානය බවට පත්කර ගන්නා අතර, එකී කූඩාරම තුල දින හතක් රැදී සිටිමින් අවට ගම්මාන වෙත ගොස් සතුන් ප්‍රදර්ශනය කර දෛනික ආදායම සරිකර ගත් බව කියයි.

එම ප්‍රදර්ශනයන් සදහා යොදා ගන්නා විෂ ඝෝර සර්පයින් අතර, නාගයාට විශේෂත්වයක් හිමිවේ. ඒ අනුව රජ කුලය, බමුණු කුලය, ගොවි කුලය, ගැරඩි කුලය, බෙරවා කුලය වැනි කුල වලට අයත් නාගයින් වනාන්තර තුලදී අල්ලා ගන්නේද, සුදු එළවරා නැමති ඖෂධීය ශාකය උපයෝගි කරගනිමිනි.

DSC 0173ඊට අමතරව පොළගා, පිඹුරා, රිළවා වැනි සතුන්ද මෙම ප්‍රදර්ශනයට යොදාගැනෙයි. මේ සදහා යොදා ගන්නා නලාව තිත්ත ලබු ගෙඩියක ආධාරයෙන් සදා ගන්නකි. නයි පෙට්ටිය කල වැල් ආධාරයෙන් නිමවා ගන්නා අතර, සියළුම සතුන් එම පෙට්ටිය තුල බහාගෙන මෙලෙස ප්‍රදර්ශනය රැගෙන යයි.

එහිදී මොවුන්ගේ විශේෂත්ව වී ඇත්තේ විෂ ඝෝර සර්ප දෂ්ඨය සදහා ක්ෂණික ප්‍රතිකාර මොවුන් සතුව පැවතීමයි. එම ප්‍රතිකාරය මොවුන් හදුන්වන්නේ නයි ගල හෙවත් විෂ ගල ලෙසිනි. එම විෂ ගල සකස් කර ගැනීම සදහා තුන් මසක් පමණ ගත වන බව කියයි.

නමුත් පසු කාලිනව මොවුන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිත 1971 වර්ෂයේ තඹුත්තේගම කුඩාගම ප්‍රදේශයේ ජන උදාන ගම්මානයක් ඉදිවන්නේ දිවංගත ආර්.ප්රේපමදාස මහතාගේ සංකල්පයකට අනුවයි.

එහි පදිංචියට පැමිණි මොවුන් පසු කාලීනව විවිධ තරාතිරම් වල රැකියා තෝරා ගැනීමත් සමග මොවුන්ගේ පාරම්පරික සත්ත්ව ප්‍රදර්ශනය මේ වන විට සිඝ්‍රයෙන් විනාශයට ළඟා වෙමින් තිබේ.

එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රටේ ජීවත් වන අනෙකුත් ජන කොටස් විවිධාකාර ගරු බුහුමන් සහිත වෘත්තීන් සිදු කරමින් සිටීමත්, තමන් පමණක් සම්ප්‍රදායිකව සිදුකරමින් පැමිණි මෙම කර්මාන්තය පිලිබද අද සමාජය පහත් කොට සැලකීම හා එකී කර්මාන්තය පිලිකුල් කිරීම වැනි කරුණු කාරණයි. තමන්ගේ දරු පරපුර අද වන විට රටේ උසස් ස්ථාන වල විවිධාකාර නිළ තල හොඹවමින් සිටීමත්, පාසල් යන අවදියේ ළමුන්ද තම වෘත්තියට අකැමැති නිසාවෙන් තමන්ගේ පවුල් වල සාමාජිකයින්ට මෙන්ම තම පරම්පරාවටම සතුන් ප්‍රදර්ශනය කර මුදල් ඉපයීමේ රැකියාව විශාල කැළලක් වී ඇති නිසාවෙන් සිය කර්මාන්තයට සමුදෙන්නට වී ඇති බව ඔවුන් පවසයි. .

පාරම්පරික වැඩිහිටියන් පෙන්වා දෙන්නේ මේ හේතු නිසාවෙන් දැනට වසර දහයකට පෙර සිට සතුන් ප්‍රදර්ශනය කිරීමේ කලාව කුඩාගම ගම්මානයෙන් වැළලී යාමේ මං සළකුණු ඉස්මතුවෙමින් තිබෙන බවයි. තමන් මෙපණ කලක් පුරාවට පවත්වගෙන ආ මෙම පාරම්පරික රැකියාව නුදුරේදීම සම්පූර්ණයෙන් නවතින බවත්, ඉදිරි පරපුරට මෙය අහිමිව යාම අවදානමක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි .

ඒ අනුව කුඩාගම, පාඩුපංචියාව, වව්නියාව ඉරට්ටුකලම්, අක්කරෙයිපත්තුව අලිගම්පෙ, මිහින්තලේ, කලාවැව වැනි ප්‍රදේශවල පදිංචි පවුල් 10000ට ආසන් පිරිසෙන් දැනට පවුල් 200ක් මෙම වෘත්තියේ නියෙලෙමින් දැනටත් ආදායම් උත්පාදනය කර ගන්නා බව පැවසේ.

අද වන විට මොවුන් මුහුණපා ඇති ප්‍රධානතම ගැටළුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ තමන්ට වාසය කිරීමට තරම් ප්‍රමාණවත් ස්ථීර නිවසක් නොමැති කමයි. එපමණක්ද නොව සිය පිපාසය සංසිදුවා ගැනීමට ප්‍රමාණවත් පානිය ජලය නොමැතිකම, නිෂ්චිත ආදායම් මාර්ගයක් නොමැතිකම ඔවුන් මුහුණ දෙන අනිකුත් ගැටළු වේ.

"අපිව පිළිකුල් කරනවා" - කුඩාවැව පදිංචි පාරම්පරික වෘත්තිකයෙකු වන එගටංගේ පොඩි මහත්තයා මහතා

A 10"ඉස්සර මේ රස්සාවට හොද ඉල්ලුමක් තිබුණා. හැබැයි අද වෙද්දි මේ රස්සාව හැමෝම පිළිකුල් එකක් කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි. අද අපිට සත්තු නඩත්තු කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. මොකද කීවොත් රජයෙන් සත්තුන්ට බල පත්රෙයක් ගන්න ඕනෙ. ඒකට ලොකු මුදලක් දරන්න සිද්ධ වෙනවා. තව පැත්තකින් සත්තුන්ට ලෙඩ රෝග හැදුනාම වෙදකම් කරන්න ඕනෙ. එව්වටත් විශාල මුදලක් යනවා. සතෙක් ප්‍රදර්ශනය කරලා අපිට ලොකු ගාණක් අතට එන්නෙත් නැහැ. තව දෙයක් තමයි දැන් අපේ ළමයි ලොකු ලොකු රක්ෂා කරනවා. තව සමහර ළමයි ඉගෙන ගන්නවා. ඉතිං අපි නයි නටවන ඒක එයාලට ලොකු අවනම්බුවක් ඒ වගේම ලොකු ලැඡ්ජාවක්. මොකද අපේ ජාතියෙ අය එක්ක නෙමෙයි අපිට අද ගැටෙන්න වෙලා තියෙන්නෙ. එක එක අය ඉන්නවා. එයාලා රස්සාව බාල්දු කරනවා. තව සමහරු අපිට අහිකුණ්ටිකයන් කියනවා. මෙන්න මේ වගේ වැඩ නිසා අද අපිට රස්සාව එපා වෙලා තියෙන්නෙ. ඒ නිසා අපි දැන් එක එක රස්සා හොයාගෙන සමාජයේ අනෙක් අය වගේම අපිත් හොදට කාලා බීලා ජීවත් වෙනවා. දැන් ඉන්න කොල්ලන්ට කීවොත් නයි නටවලා හම්බු කරන්න කියලා උන් හිනා වෙනවා. මොකද එයාලට මේක ලොකු ලැඡ්ජාවක් තව අවුරුදු තුන හතරකින් අපිත් මැරිලා ගියාම මේ රස්සාව මෙතනින්ම සදහටම නවතිනවා."

"මුල අමතක කරන්නෙ කොහොමද?" - නොච්චිකුලම පදිංචි පාරම්පරික වෘත්තිකයෙකු වන අනංගටින්නා මහතා

අපි දන්න දා ඉදලා කරගෙන ආවේ මේ සත්තු නටවලා ජීවත්වෙන රස්සාව මම දැන් බැදලා මටත් ලොකු දරුවො ඉන්නවා. එයාල සමහර තැන්වලදී වෙනස් අනගටන මහතතීරණ අරගෙන දැන් එයාල මිශ්‍ර විවාහ කරගෙන ජීවත් වෙනවා. සමහරු කෙල්ලෝ සිංහල කොල්ලන්ව බැදලා ඉන්නවා. සමහර සිංහල කෙල්ලෝ අපේ කොල්ලන්ව බදැලා ඉන්නවා. ඔන්න ඔය විදියට තමයි අපි ජීවත් වෙන්නෙ. ඒ නිසා දරුවො අපිට නිතරම කියන්නෙ මේ රක්ෂාව නවත්වන්න කියලයි. මොකද අද එයාලට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා කියලයි කියන්නෙ. හැබැයි එයාලා දන්නෙ නෑ. එයාලා කුඩා කලේ පාසල් යැව්වෙ කැව්වෙ පෙව්වෙ මේ රස්සාව කරලා කියලා. ඔන්න ඔතනයි අපේ අයට වැරදුන තැන. අද අපි ජීවත් වෙන්නෙ අපේ තාත්තලා සීයලා ජීවත් වුණේ මේ රස්සාව කරලා එයාලා එදා හොද ආදායමක් ලැබුවා. ඒ වගේම මේ රස්සාවට හොද ඉල්ලුමකුත් තිබුණා. අද ඒ තත්ත්වය මේ සමාජයෙන් වෙනස් වෙලා මේ රස්සාව කඹයකටවත් ගණනන් ගන්නෙ නැහැ."

නොච්චිකුලම පදිංචි පාරම්පරික වෘත්තිකයෙකුගේ බිරිඳක් පවසා සිටියේ මෙවැන්නකි.

"අපිට කන්න බොන්න කියලා ලොකු ආදායමක් නැහැ ඉස්සර අපේ මහත්වරු පිට පළාත් වලට ගිහිල්ලා සත්තු නටවලා ලොකු ආදායමක් ගත්තා. හැබැයි ඒක දැන් වෙනස් වෙලා මොකද මේ රස්සාව කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අපේ දරුවො කැමැති නැහැ. තව දෙයක් තමයි මේ රස්සාව අද සමාජයෙන් පිළිකුල් කරනවා. ඉතිං ඔය හේතු නිසා අද අපිට ජීවත් වෙන්න බැරි පසුබිමක් හැදිලා තියෙනවා. අපි බළධාරින්ගෙන් ඉල්ලන්නෙ අපිට අපේ නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හැදිලා මිනිස්සුන්ට රස්සාවල් ලැබුණනම් අපිත් අනෙක් මිනිස්සු වගේ මේ සමාජයේ හොදට ඇදලා පැලදිලා කාලා බීලා වැදගත් විදියට ඉන්න පුළුවන්."

"දුක මිස සතුටක් නැති ජීවිතේ" සියඹලාගස්වැව පදිංචි කාලිඅම්මා මහත්මිය

කල අමම මහතමය"අපි යුද්ධෙ කාලේ හොදටම අසරණ වුණා. ඒ මදිවට අපි තවත් අසරණ වෙලා ඉන්නෙ මොකද කීවොත් අපිට ඉන්න ගෙයක් දොරක් නැහැ. කන්න බොන්න විදියක් නැහැ. කාටවත් ස්ථීර රස්සාවක් නැහැ. ඒ විතරක් නෙමෙයි බොන්න වතුර ටිකක් නැහැ, වැසිකිළියක් නැහැ, ළමයෙකුට ඉස්කෝළයක් නැහැ. අපි නිකන් ජීවත් වෙන්නෙ හරියට තාමත් ගල් යුගයෙ මිනිස්සු වගේ. අපිට අපේ අයිතීන් ලබා දෙන්නෙ නැති හේතුව අපි දන්නෙ නැහැ. මොකද අපිත් කැමතියි මේ සමාජයෙ අනෙක් අයට ලැබෙන අයිතිවසිකම් අපිටත් ලැබිලා අනෙක් මිනිස්සු වගේම ජීවත් වෙන්න. ඒකට මේ සමාජයෙ අපිට ඉඩක් නැහැ. කව්රුත් අදටත් අපිට කියන්නෙ අහිකුණ්ටකයො කියලා. අපි ඒ නමට කොහෙත්ම කැමති නැහැ මොකද අපි ඉන්දියාවේ ඉදලා පැවතගෙන එන ජාතියක්. ඒ තමයි තෙලිගු ජාතිකයින් ඉතිං අද අපි මේ සමාජයෙන් කොන් වෙලා ඉන්නෙ අපිට මේ ගැන දුකක් මිස සතුටක් නැහැ. "

 

සටහන සේයා රූ
පුත්තලම කේ.ප්‍රියංකර