Language Switcher

V2025

චේ උපන් නිවස විකිණීමට ඇත !

විසිවෙනි ශතවර්ෂයේ ලෝක වාමාංශික විප්ලවීය ව්‍යාපාරයේ සංකේතය බවට පත්වූ අර්නස්ටෝ චේ ගෙවාරා ජන්මලාභය ලද නිවස විකිණීමට ඇති බව ප්‍රසිද්ධියට පත්කරනු ලැබ ඇත.

චේ' උපත ලද නිවස පිහිටා තිබෙන්නේ ආර්ජන්ටිනාවේ 'රොසාරියෝ' (Rosario) නගරයෙහිය.

එම නිවසේ වර්තමාන අයිතිකරු ෆ්‍රැන්සිස්කෝ ෆරුගියා (Francisco Farruggia) නමැත්තෙකි. වර්ග අඩි 2,580 ක් පමණ ඉඩකඩක් සහිත එම නිවස ෆ්‍රැන්සිස්කෝ විසින් මිලට ගනු ලබ තිබෙන්නේ 2002 වසරේදීය. එසේම එම නිවස 18 සහ 19 ශතවර්ෂවල දී නවීකරණයට ලක්වූ සම්භාව්‍ය ගෘහනිර්මාණ ශිල්පය අනුව ඉදිකරන ලද තට්ටු නිවාසයකට ඇතුළත් කොටසකි.

'චේ' උපත ලද නිවාසය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම තම අභිලාශය වූ බව ෆ්‍රැන්සිස්කෝ පවසා තිබිණි. එහෙත් ඔහුගේ එම අරමුණ කිසිදාක ක්‍රියාවට නංවනු නොලැබීය.

'චේ' ජන්මලාභය ලද, දැන් තමා සන්තකයේ පවතින එම නිවස වෙනුවෙන් අපේක්ෂා කරන මුදල් ලන්සුව කුමක්ද යන්න ආර්ජන්ටිනා ජාතික ව්‍යාපාරිකයා ප්‍රකාශ කොට නැත.

'රොසාරියෝ' නගරයේ 'Urquiza' සහ 'Entre Río' යන මාවත් දෙක අතර පිහිටි එම ගොඩනැගිල්ල වසර ගණනාවක් තිස්සේ බොහෝ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ද වේ.

එම ස්ථානය නැරඹීමට පැමිණි විශේෂ පුද්ගලයන් අතරට උරුගුවේ හිටපු ජනාධිපති හොසේ පෙපේ මුහිකා (José Pepe Mujica) සහ කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ ගේ දරුවන් ද ඇතුළත් බව සඳහන් වේ.

චේ ගෙවාරා

ඡායාරූප මූලාශ්‍රය,AFP/GETTY IMAGES

 ඔවුන් අතරින් ද වඩාත් වැදගත් සංචාරකයා වන්නේ ඇල්බර්ටෝ ග්‍රැනදෝස් ය. 1950 දශකයෙහි දකුණු ඇමෙරිකානු රටවල් ඔස්සේ 'චේ' යෙදුණු ඓතිහාසික ''මෝටර්සයිකල් සංචාරයේ'' දී ඔහුගේ ගමන් සගයා වූයේ ඇල්බර්ටෝය. එම දීර්ඝ සහ දුෂ්කර අත්දැකීම් සහිත සංචාරයේ නිරතවන අවධියෙහි තරුණ ''චේ'' වෛද්‍යවරයකු විය.

පසුබිම් කතාව

'චේ' 1928 වසරේ උපත ලබා ඇත්තේ ආර්ජන්ටිනා මධ්‍යම පන්තික පවුලක දරුවකු ලෙසය.එහෙත් දකුණු ඇමෙරිකාව පුරා පැතිර තිබූ දුප්පත්කම සහ මහජනයා පීඩා විඳි කුසගින්න දැකීමෙන් 'චේ' සටන්කාමියකු බවට පත් විණි.

අනතුරුව ඔහු 1953-59 කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝට එකතුව එවක කියුබාව පාලනය කළ 'ෆුල්ජෙන්සියෝ බැටිස්ටා'ගේ ආණ්ඩුව පෙරළා දැමීමේ අරගලයට ඉතාම තීරණාත්මක දායකත්වයක් සැපයීය.

කියුබානු විප්ලවය ජයගැනීමෙන් අනතුරුව 'චේ' ගේ අභිලාෂය ලෙස ප්‍රකාශයට පත් වූයේ දකුණු ඇමෙරිකානු රටවල සහ සෙසු දුප්පත් රටවල විප්ලවය ජයග්‍රහණය කිරීමය.

එම අභිලාෂයෙන් ඔහු ජනාධිපති 'රෙනේ බරියෙන්ටෝස් ඔර්ටුනෝ'ගේ බ් පාලනයට එරෙහිව සටන් වදිමින් සිටි විප්ලවීය හමුදාවන්ට නායකත්වය දීම සඳහා කියුබාවේ සිට බොලීවියාව කරා ගමන් ගත්තේය.

එම සටනේ දී ඇමෙරිකානු හමුදාවන්හි ආධාරය ද ඇතිව බොලීවියානු ආණ්ඩුවේ හමුදා විසින් ''චේ'' සහ ඔහු සමඟ සිටි සටන්කාමීන් අල්ලා ගන්නා ලදුව 1967 ඔක්තෝබර් මාසයේ 09 දා මරා දමනු ලැබීය. එම ඝාතනය සිදුකරනු ලැබ තිබෙන්නේ 'ලා හිගේරා' (La Higuera) නම් ගම්මානයේ දීය. දේහය රහසිගත ස්ථානයක වළ දමා ඇත.

එහෙත් 1997 වසරේ 'චේ' ගේ දේහය ගොඩගනු ලැබ කියුබාවට ගෙන ආ අතර, යළි එහි මිහිදන් කෙරිණි.

'චේ' ජීවමාන අවධියෙහි වූවාක් මෙන් අද ද විප්ලවය මතවාදී සංවාදයට ලක්වෙමින් පවතින මාතෘකාවකි.

ඔහුගේ අරගලය විවේචනය කරන්නන්ට 'චේ' කුරිරු මිනිසෙක් ලෙස පෙනී ගියත්, ඔහු ගත්මග අනුව යන්නන්ට අද ද 'චේ' යනු 'අධිෂ්ඨානයේ සහ ආත්ම පරිත්‍යාගයේ' මාහැඟි පරමාදර්ශය වේ.

බීබීසී