ඉන්දියාව භාරත් වීම...

ඉන්දියාව භාරත් වීම...

ඉන්දියාව ඒ රටේ නම වෙනස් කරන්න යනවා කියල කසුකුසුවක් යනවා. ඒ ගැන කතාව ඇවිල්ල තියෙන්නේ ඉන්දීය ජනාධිපති කාර්යාලෙන් G20 සමුළුවට ගිය ආරාධනා පත්‍රයකින්. ඒ වගේම අගමැති කාර්යාලේ අළුත් ලේඛනවලත් මේ වෙනස දකින්න පුළුවන් ඊයේ පෙරේදා ඉඳල.

අලුත් නම (ඇත්තටම මේක අලුත් නැහැ) ඇවිල්ල භාරත් (Bharath). මේ නමත් ඉන්දියා, හින්දුස්ථාන් කියන නම් වගේම සියවස් ගණනක් මාරුවෙන් මාරුවට පාවිච්චි වෙලා තියනවා. හැබැයි ඉන්දියා කියන නම ග්‍රීක ව්‍යුත්පත්තියක් සහිතව ඉන්දු නදිය එක්ක පවතින මහා නිම්න භූගෝලීය කලාපයම (Indus basin) ආවරණය කරන්නක්.

මේකේ යටත් විජිත පංගුව තමයි ඉන්දීය නිදහසට ඔන්න මෙන්න තියල ජවහල් ලාල් නේරු විසින් මවුන්ට්බැටන් සාමිවරයාට යෝජනා කරන නම ''ඉන්දියා'' වීම. ඒක මවුන්ට්බැටන් පිළිගත්තා. එයාලටත් හුරු නම. ග්‍රීක සම්භවයකුත් තියන නම. ලංකාවේ සිලෝන් වගේ එයාල ඒ රටට ඉන්දියා කියල නමක් දාල ගියා. උච්චාරණයට පහසු සහ දැන් ලෝකේ පුරා පාවිච්චි වෙන නමක්.

අපි නම් සිලෝන් ශ්‍රී ලංකා කරගත්ත. ඉන්දියා නම ඉන්දියාව ඒ විදියටම තියා ගත්ත.

මීට පස්සේ ඉන්දියන් ක්‍රිකට් වෙනුවට භාරත් ක්‍රිකට්, එයා ඉන්දියා වෙනුවට භාරත් එයා වගේ නම් එන්න පටන් ගනියි.

මේකේ නිර්යටත්විජිතකරණ (decolonizing element) කෑල්ල තමයි මවුන්ට්බැටන් - නේරු සංකලනයෙන් දාපු නම වෙනුවට මහාභාරත් වගේ එකක් එක්ක එකට නැගල යන භාරත් වගේ රෝමෑන්තික නමක් වෙත ආපසු ගමන් කිරීම. ඒ කියන්නේ 'ජරා' යටත්විජිත කාලෙට ඉස්සර තිබ්බ ශුද්ධ ඉන්දියානු නමක් වෙත ආපසු ගමනය.

මෝදිට එරෙහිව පොදු විපක්ෂය ප්‍රභල වෙමින් තියන මේ වගේ වෙලාවක රටේ නම වගේ ඉතාම සංවේදී දෙයක් රෝමෑන්තිකකරණය කිරීමේ ජාතිකත්ව වාසිය ගැන ආණ්ඩු පක්ෂය සිතමින් සිටිනවා වෙන්න පුළුවන්.

අනික තමයි ඉන්දීය කොංග්‍රසය ඇතුළු පොදු විපක්ෂය සංවිධානය වෙලා ඉන්නේ INDIA කියන නමින්. ඒ නම එන්නේ Indian National Development Inclusive Alliance කියන පොදු සන්ධානයේ මුල් අකුරුවලින්.

හුඟක් ඉන්දියානුවෝ නම් කියන්නේ නම නෙවෙයි දැන් ඕනි මේ රටට වැඩ කියල.

කොහොමත් ඉන්දියානු ජාතිකවාදය රෝමෑන්තිකකරණය කරලා ඒකෙන් දේශපාලනය කරන එක අලුත් දෙයක් නම් නෙවෙයි ඉන්දියාවට. මේ වැඩේ ඇතුලේ ඉන්දු නිම්නය පිරෙන්න මහා ලේ ගංගාවක් ගලා ගියේ නැත්නම් ඇති. ඉන්දියාව ඉන්දියාව වෙන්න ගිහිල්ල වෙච්ච විනාසේ වගේම එකක් ආයේ නොවුනොත් ඒක ලොකු දෙයක්.

මේ කලාපේ ගොඩක් වැඩකරන්නේ ඇත්ත නෙවෙයි. ඇත්ත වගේ තියන ජිමික්.

ඒ ජිමික් වල සමකාලීන විනාශය මෙතෙකක් කියල ගණන් හදන්න බැරි තරම්.

ඒ නිසා ඉන්දියාව...පරිස්සමින්.

Image@ India-Pakistan Partition

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න