පසුගිය දෙවසර පුරා අපේ දේශපාලන දහරාවේ අමුතුම පෙරළියක් සිදු විය.
අනෙක් දේශපාලන පක්ෂ වේදිකා දෙදරවමින් හිස් පොරොන්දු සහ කටපාඩම් කළ සටන් පාඨ වපුරද්දී, "සර්වජන බලය" නිහඬවම නමුත් අතිශය ශක්තිමත්ව මහපොළොවේ වැඩ කළේ ය. ඒ මැතිවරණ ජයග්‍රහණයක් ගැන හිතමින් නොවේ. අපේ දේශපාලනය තුළ මියැදී ගිය "අවංක සාමූහික අරමුණ" නැවත පණ ගැන්වීමට ය. මෙය බලය ලබාගැනීමට වෙස්ගන්වා ගත් එක් පුද්ගලයෙකුගේ තනි සිහිනයක් නොවේ.
මෙය නායකයෙකු වටා ගෙතුණු පුද්ගල වන්දනාවක් හෝ ලස්සනට අච්චු ගැසූ ප්‍රතිපත්ති පොතක් පමණක් ද නොවේ. ඒ වෙනුවට, මෙය සැබෑ ලෙස ම ජනතාව කේන්ද්‍ර කරගත් දේශපාලන බලවේගයක් ගැන අභීතව හීන දැකපු මිනිසුන් පිරිසකගේ හෘද ස්පන්දනයයි.

"සර්වජන බලය" යනු නමක් පමණක් නොවේ. එය අපේ මතු පරපුර වෙනුවෙන් ලියවුණු දර්ශනයකි. ජාතිය, ආගම, කුලය සහ සමාජ පන්තිය ලෙස පරම්පරා ගණනාවක් තිස්සේ අපව බෙදා වෙන් කර තිබූ කෘතිම තාප්ප මේ ව්‍යාපාරය හමුවේ දිය වී යයි. දේශපාලනය විසින් මිනිසුන්ගේ අනන්‍යතාව ආයුධයක් කරගත් රටක, මොවුන් ඒ වෙනුවට තෝරා ගත්තේ සියල්ලන් එකම මවක ගේ දරුවන් සේ එකමුතු කිරීමේ උතුම් මාවතයි.
මොවුන්ව සෙසු අයට වඩා වෙනස් කරන්නේ කිසියම් පටු මතවාදයක් නොව, ඔවුන් සතු නිවැරදි දැක්මයි. එහි කටපාඩම් කිරීමට දහමක් හෝ මුරණ්ඩු ලෙස ආරක්ෂා කිරීමට නීති මාලාවක් නැත. ඇත්තේ එකම එක පිවිතුරු මෙහෙවරකි. එනම්, ලෝකය ඉදිරියේ මගේ මාතෘභූමියට හිමි විය යුතු අභිමානවත් සහ ගෞරවනීය ස්ථානය ලබා දීමයි. විභවතාවයන් පිරුණු අපේ රටේ මිනිසුන් මධ්‍යස්ථභාවයෙන් මිදී විශිෂ්ටත්වය කරා මෙහෙයවීම ඔවුන් ගේ ඒකායන අරමුණ යි.
මේ දේශපාලනය උපන්නේ කොළඹ වායුසමීකරණය කළ කාමරවල සිටින, කිසිදා ගමේ පස් පෑගුවේ නැති ප්රභූන්ගේ හිසින් නොවේ. මෙය ගොඩනැඟුණේ බිම් මට්ටමේ සාමාන්‍ය මිනිසුන් සමඟ කරන ලද කතාබහෙන්, ඔවුන්ගේ කඳුළට සවන් දීමෙන් සහ ඔවුන්ගේ සැබෑ වේදනාවන් තේරුම් ගැනීමෙනි. දේශපාලඥයන්ට අවශ්‍ය දේ ජනතාව මත පැටවීම වෙනුවට, ජනතාවගේ හදවතේ තැන්පත් වූ අරමුණු දේශපාලනයට ගෙන ඒම මෙහි පදනම යි. සර්වජන බලවේගය අයුක්තියට එරෙහිව සටන් කිරීමට බිය නැත. පාලකයන්ගේ වැරදි දුටු විට අනෙක් අය පසෙකට වී රහසින් මැසිවිලි නගද්දී, මොවුන් ප්‍රසිද්ධියේ අකාර්යක්ෂමතාවයට අභියෝග කළහ. වත්මන් රජය මහා පරිවර්තනයක් පොරොන්දු වී පැරණි දූෂිත ක්රමයම ඉදිරියට ගෙන යද්දී, මොවුන් පෙන්වා දුන්නේ හුදු විවේචන පමණක් නොව, රට ගොඩනැඟීමට අවශ්‍ය සැබෑ විසඳුම් ය.
අවසානයේ ඔවුන්ගේ මේ ඒකාබද්ධ මෙහෙවර අතිශය ගැඹුරුය. එනම්, සතුටු දැයක් වෙනුවෙන් මිනිසුන් ඒකරාශී කිරීමයි. තමන් සමඟම යුද්ධ කරන බෙදුණු දේශයක් වෙනුවට, දක්ෂතාවයට නිසි තැන ලැබෙන, කිසිවෙකු ගේ අනාගතය දේශපාලන පැවැත්ම වෙනුවෙන් උකස් නොකරන, සිනහව පිරි දේශයක් නිර්මාණය කිරීම ඔවුන් ගේ සිහිනය යි. වසර දෙකක නොපසුබට කැපවීම, දහස් ගණනක් ක්‍රියාකාරීන්ගේ අසීමිත වෙහෙස සහ මිලියන ගණනක් මිනිසුන් සමඟ කළ සංවාදවල ප්‍රතිඵලය අද අප ඉදිරියේ ඇත.

දේශපාලන ව්‍යාපාරයක් එක් පුද්ගලයෙකු ගැන නොව, "අප සැම ගැනම" වන විට එය කෙතරම් බලවත් දැයි සර්වජන බලවේගය ලොවටම පෙන්වා දී ඇත.
සර්වජනයාව නවත්වන්න පුළුවන් සර්වජනයාට පමණි.
නවම් මීගොඩ

