“කොළඹින් කතා කරමි” “His Master’s Voice”ට සියක් වසක්: දස වසක් මා සමග

“කොළඹින් කතා කරමි” “His Master’s Voice”ට සියක් වසක්: දස වසක් මා සමග

මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයේ මහදැනමුත්තා වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පසුගියදා සිය සියවන උපන්දිනය සැමරුවා. ඒ වෙනකොට ඔහු ස්වාභාවික මරණයකට පත්වී දශක හතරක් විතර ගත වෙලා. ඔහු ගේ රෝග ලක්ෂණ ගැන මුලින්ම විද්‍යාත්මක පරීක්ෂණයක් කලේ දෙසතිය කර්තෘ ගාමිණී විජේතුංග. ඔහු එම රෝග වාර්තාව “ කිමද වල්බිහිවන්න කාරණා” කියලා දෙසතිය සඟරාවේ පළ කළා.

මට තිබෙන සුජාත භාවය 

ගුවන් විදුලි සංස්තා​ව

ගාමිණී විජේතුංග ගෙන් පසුව මේ දැනමුත්තා ගේ ඉරණම සහ ඔහුගේ ජීවිතය බේරාගන්න කරන්න ඕන ප්‍ර‍තිකර්ම ගැන වැඩිම පර්යේෂණ ප්‍ර‍මාණයක් කරලා ඒවායේ සොයා ගැනීම් දේශීය සහ ජාත්‍යන්තර ශාස්ත්‍රීය වේදිකාවල සාකච්ඡා කළ කෙනා විදියට (එම පර්යේෂණ පත්‍රිකා මේ සමඟ අමුණා තිබෙනවා) මේ දැනමුත්තාට උන දේ ගැන යමක් කියන්න මටත් සුජාතභාවයක් තියෙනවා කියලා මට හිතෙනවා. මම මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, සහ වැඩසටහන් කළමණාකරුවෙක් වශයෙන් වසර දහයක් මේ මහා දැනමුත්තා ගේ ඇසුරේ මා ගත කර තිබෙනවා. එය තවමත් මෙරට තිබෙන විශාලම විද්‍යුත් මාධ්‍ය ආයතනය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ හිංදි භාෂාවලින් ගුවන් විදුලි නාලිකා විස්සකට වැඩි ප්‍ර‍මාණයක් ජාතික, ජාත්‍යන්තර, ප්‍රාදේශීය සහ ප්‍ර‍ජා ගුවන්විදුලි මධ්‍යස්ථාන විදියට මෙරට ජන දිවි මගේ සොඳුරු, ගැඹුරු සහ අඳුරු තැන්වල වගේම දිදුලන තැන්වල ද ඔහු සාක්ෂිකරුවෙක්.

විශේෂඥයින් සිවු දෙනකු සමග

මගේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සෑම අංශයකම ( ප්‍ර‍වෘත්ති, ඉංග්‍රීසී, සිංහල, දෙමළ, වෙළඳ, ප්‍ර‍ජා, පුහුණු, පර්යේෂණ) කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිව තිබීම.

මේ සියල්ලටම වඩා මේ මහා දැනමුත්තා ගේ භූමිකාව ගැන විචක්ෂණශීලීව අත්හදා බැලීම් කළ, එහි ව්‍යාධීන්ට බලාපොරොත්තු සහගත ලෙස ප්‍ර‍තිකර්ම කරන්නට වෙර දැරූ මෙරටින් බිහි වූ විශිෂ්ටතම ගුවන්විදුලි විශේෂඥයින් හතර දෙනා වන විජයානන්ද ජයවීර, තිලක් ජයරත්න, එම්.ජේ.ආර්. ඩේවිඩ් සහ ජනදාස පීරිස් ගේ සමීප ඇසුරේ හැදී වැඩෙන්නට මට ලැබුණු අවස්ථාව සුවිශේෂයි කියලා මට හිතෙනවා.

මේ සියළුම සුවිශේෂතා තිබුණත් සියක් වසක් පිරෙද්දී මේ මහදැනමුත්තාට වෙච්ච දේ ගැන ආපහු හැරිලා බලලා යමක් කියන්න ගුවන් විදුලියට ගොඩවෙන්න මට ආරාධනාවක් නොලැබීමේ හේතුව සහ එය ගැන අහම්බෙන්වත් විද්‍යාත්මකව සොයා නොබැලූ, අත්දැකීම් නොලැබූ තැනැත්තන් එහි ගොඩවැදී වහසිබස් දෙඩවීම මේ දැනමුත්තා ගේ රෝග ලක්ෂණ මතුපිටට පේන අවස්ථාවක්. කෙසේ නමුත් මේ සිගැන සටහන් තැබූ හිටපු ප්‍ර‍වෘත්ති කළමනාකරුවෙකු වන මහින්ද රූබසිංහ සහ කථිකාචාර්ය ටෙරෝෂානි දසනායක මගේ නම ද සඳහන් කර තිබුණා මතකයි.    

 

 පෙර ගමන්කරු ගේ භූමිකාව අහිමි වීම

“කිමද වල් බිහිවන්නට කාරණා”

ගාමිණී විජේතුංගයන්ගේ මේ ආකර්ෂණීය සිරස්තලය ඔහුට ගෞරවයක් ලෙස නැවතත් මම යොදා ගන්නවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මෙරට ජනදිවි මගේ පෙරගමන්කරු බවට පත්වීමේ ඓතිහාසික භූමිකාව අහිමි වුණේ 1966 දී ලංකා ගුවන් විදුලි සංස්ථා පනත මඟින්. ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව නිර්මාණශීලී මහජන සේවා කාර්යභාරයක් ඉටු කරන බැවින් ඊට වඩාත් නම්‍යශීලී නිදහස් කළමනාකරණ ආකෘතියක් අවශ්‍ය බව හඳුනා ගැනීමේ ප්‍ර‍තිඵලයක් විදියට එය රාජ්‍ය සංස්ථාවක් බවට පත්වුණා. එහෙත් සංස්ථා පනතේ විධිවිධාන මඟින් සැබැවින්ම සිදු වුණේ එය කාලෙන් කාලට බලයට පත්වන ආණ්ඩු වල හොරණෑවක් (His Masters’ Voice/හිස් මාස්ටර්ස් වොයිස්) බවට පත්වීම.

බලයේ බලය

ගුවන්විදුලි සංස්ථාවේ ඉහළම තීරණ ගන්නා තැන එහි අධ්‍යක්ෂ මණ්ඩලය. පණතට අනුව සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ බලය තියෙන්නේ ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරයාට. ඔහුට තිබෙන බලය අනුව තමන් ගේ ඡන්ද ව්‍යාපාරයට පෝස්ටර් අලවපු කෙනෙකු ගේ සිට පාතාල නායකයකු දක්වා තමන් කැමති ඕනෑම අයෙක් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත්කරන්න පුළුවන්. ඒ වගේම තමන් කැමති ඕනෑම වෙලාවක ඔවුන් එම තනතුරු වලින් ඉවත් කිරීමේ බලය විෂයභාර අමාත්‍යවරයාට තියෙනවා.ඊටත් වඩා තීරණාත්මක දේ තමයි ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍ර‍චාරය වන සියලු ම ප්‍ර‍වෘත්ති සහ වැඩසටහන් සඳහා මැදිහත් වෙන්න බලයේ සිටින ආණ්ඩුවට තිබෙන බලය.

රජු ගේ ඇඟේ මැස්සන් එළවීමට කඩුව අතට ගන්නා වඳුරන් ගේ භූමිකාව

නිදසුනක් වශයෙන් ගුවන්විදුලි මධ්‍යස්ථානයකට වැස්සකටවත් ගොඩ නොවැදුණ ව්‍යාපාරිකයෙකු මීට වසර ගණනාවකට පෙර මෙහි සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබුවා. තවත් විටෙක ගුවන්විදුලි වැඩසටහන්කරණය සහ කළමනාකරණය ගැන කිසිදු හැදෑරීමක්, අත්දැකීමක් හෝ පුහුණුවක් නොමැති ජනමාධ්‍ය අමාත්‍යවරයා ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ද, ටියුෂන් ගුරුවරයෙකු ද, නීතීඥයෙකු ද, ඡායාරූප ශිල්පියෙකු ද මෙම තනතුරට පත්කර තිබෙනවා. මොවුන්ගේ ප්‍ර‍ධාන භූමිකාව වන්නේ බලයේ සිටින ආණ්ඩුවේ හොරණෑවක් ලෙස මෙම ආයතනය පවත්වා ගෙන යාම. ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ තමන්ගේ පක්ෂයේ දේෂපාලන හිතවතුන්. වෘත්තීය සමිති ක්‍රියාකාරීන්. ඒ අනුව හැම මැතිවරණයක් අවසානයේ ම ඒ වන විට ගුවන් විදුලියේ වැඩසටහන් සහ ප්‍ර‍වෘත්ති අංශ වල ප්‍ර‍ධානීන් වශයෙන් කටයුතු කළ කළමනාකරුවන් ගුවන් විදුලි සංස්ථාවේ තිබෙන සයිබීරියාව වන පර්යේෂණ සහ පුහුණු අංශයට මාරුකර යවනු ලබන අතර අලුතින් බලයට පත් ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීන් එම තනතුරුවලට පත් කරනු ලබනවා. ඔවුන් ආණ්ඩුව ආරක්ෂා කිරීමේ එනම් රජ්ජුරුවන්ගේ ඇගේ මැස්සන් එළවීමේ කඩුව අතට ගන්නා වඳුරන්ගේ භූමිකාවට පණ පොවනවා. ප්‍ර‍තිඵලය වන්නේ මේ ඒකපාර්ශවීය, වෘත්තීයභාවයෙන් සහ නිර්මාණශීලීත්වයෙන් තොර ප්‍ර‍වෘත්ති සහ වැඩසටහන් අහන් ඉන්න බැරි අසන්නන් ගුවන්විදුලිය හැරගොස් පුද්ගලික ගුවන්විදුලි නාලිකා වටා එකතුවීමයි. මෙම තත්ත්වය මේ දැනමුත්තාට වැලඳුණ රෝගය උඩුදුවන්න මග පාදනවා. ඒ තමයි වෙළඳ දැන්වීම් අහිමි වීම සහ ආයතතනය පවත්වාගෙන යෑමට අරමුදල් නොමැතිවීම. ගුවන්විදුලි මාධ්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥභාවයක් නොමැති සභාපති/ අධ්‍යක්ෂජනරාල්වරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් රෝගය තවදුරටත් උත්සන්න කරනවා.

ස්වභාවික මරණයට පත් මහදැනමුත්තා

අරමුදල් නොමැති වීම සහ දේශපාලීකරණය හේතුවෙන් ඉහළ නිර්මාණශීලීත්වයක් සහ වෘත්තීයභාවයක් සහිත මාධ්‍යකරුවන්ගෙන් ආයතනයේ මානව සම්පත් සංවර්ධනය කිරීමේ අවස්ථාව ද, නවීන තාක්ෂණය අත්පත් කර ගැනීමේ අවස්ථාව ද (රෝගියාට පෝෂණීය ආහාර, විටමින්, පිරිසිදු වාතාශ්‍ර‍ය සහ ගුණාත්මක භාවයෙන් ඉහළ බෙහෙත් අහිමි වීම) අහිමි වෙනවා. ඒ හිඩැස පාලකයන් විසින් පුරවනු ලබන්නේ අඩු වැටුපට වෘත්තීයභාවයක්, නිර්මාණශීලීත්වයක් සහ අධ්‍යාපන පසුබිමක් නොමැති රැකියා සොයාගෙන එන තම දේශපාලන හිතවතුන්ගෙනි.

ප්‍ර‍තිඵලය වූයේ කවුරුත් අහන්නේ නැති රජයේ භාණ්ඩාගාරයෙන් නඩත්තු වී ස්වාභාවික මරණයට පත් වූ මහා දැනමුත්තෙකි.

ප්‍ර‍තිකර්මය

වර්තමානයේ මෙරට කුණු වී ගඳ ගසන සමාජ, දේශපාලන සහ ආර්ථික කුණුවලක සිරවී සිටිනවා. මෙම අර්බුදයෙන් ගොඩ එන්න සුවිශේෂී කාර්භාරයක් ජනමාධ්‍ය කරන්න පුළුවන්. ඒ තමයි ජනමාධ්‍යයේ වෘත්තීය භූමිකාවට පණ පෙවීම. එනම් සමාජයේ, දේශපාලනයේ, ආර්ථිකයේ අපක්ෂග්‍රාහී ආරක්ෂක මුර පල්ලෙක් (watch dog), විවෘත මහජන කතිකා සඳහා අපක්ෂපාතී විවෘත වේදිකාවක් ලෙස සහ සමස්ත තොරතුරුවලින් රටේ පුරවැසියා බලාත්මක කිරීම. රටේ පුරවැසියා ආලින්දයේ දී, වෙළඳපොළෙහි දී සහ ඡන්දපොලෙහි දී ක්ෂණික තීරණ ගැනීමට බලකරනවා වෙනුවට හොඳින් හිතා මතා තීරණ ගැනීමට පහසුකම් සැලසීම.

මේ සඳහා අපක්ෂග්‍රාහී, ස්වාධීන, දේශපාලන, වෙළඳ පොළ, සහ නිලධාරීමය බලපෑමෙන් බැහැර වූ මාධ්‍ය වපසරියක් අවශ්‍ය වෙනවා. මෙවැනි මාධ්‍ය හඳුන්වන්නේ මහජන සේවා මාධ්‍ය (Public Service Media) නමින්. බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍ර‍ධාන භූමිකාවක් ඉටු කරන්නේ මේ මහජන සේවා මාධ්‍ය. රටක පාලකයින්ට රට ගොඩනැගීම සහ ක්‍රමයේ වෙනසක් සඳහා අවංක උවමනාවක් තිබෙණවා නම් මහජන සේවා මාධ්‍ය තමන් ගේ අරමුණට යන්න ශක්තිමත් පලිහක් වෙනවා.

බලය අයථා ලෙස භාවිතය ප්‍ර‍ශ්න කරන්න, විශේෂයෙන් ආණ්ඩුවේ දූෂණ, වංචා, අක්‍ර‍මිකතා සහ අකාර්යක්ෂමතාව නැති කරන්න, ආණ්ඩුවේ කටයුතු සමීපව, අපක්ෂපාතීව සහ ස්වාධීනව නිරීක්ෂණය කරමින් ඒවා වාර්තා කරන, ඒවා ගැන මහජන කතිකාවක් ගොඩනගමින් ඒවා නිවැරදි කිරීමට මැදිහත් වෙන මහජන සේවා මාධ්‍ය භූමිකාව මෙතන දී සුවිශේෂයි.

අනිත් අතට රටට අවශ්‍ය මොන ආකාරයේ සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපනික පරිවර්තනයක් ද? අපේ සංවර්ධන ප්‍රවේශය කුමනාකාර විය යුතු ද යන්න පිළිබඳ විවෘත පුළුල් මහජන සහභාගීත්වය සහිත ගැඹුරු කතිකාවකට පහසුකම් සලසන්න පුළුවන් වන්නේ මහජන සේවා මාධ්‍යවලට. මේ සඳහා මහජන සේවා මාධ්‍ය මොඩලය මෙරටට හඳුන්වා දෙන්න ඕන. ඒ සඳහා තිබෙන පහසුම ප්‍රවේශය වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආණ්ඩුවේ ග්‍ර‍හණයෙන් නිදහස් කර ස්වාධීන මහජන සේවා මාධ්‍ය ආයතනයක් බවට පත් කිරීම යි.

මංගල ගේ උත්සාහය

මංගල සමරවීර

ගුවන්විදුලි සංස්ථා පණත සංශෝධනය කිරීමෙන් මෙය කරන්න පුළුවන්. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට මේ අවශ්‍යතාව පෙන්වා දීමෙන් පසු ඒ සඳහා කටයුතු කරන්න ඔහු විසින් විශේෂඥ කමිටුවක් පත්කළා. පැරිස්හි යුනෙස්කෝවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන විජයානන්ද ජයවීර මහතා එහි සභාපතීත්වය දැරුවා. මම ද එහි සාමාජිකයකු වශයෙන් කටයුතු කළා. අප විසින් ඒ සඳහා මූලික කෙටුම්පත් සම්පාදනය කරමින් ඉන්න අතරතුර මංගල සමරවීර මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග එම කටයුත්ත ඇණහිටියා.

නොනැසී පවතින්නට දැරූ උත්සාහ

 

මෙම මහා දැනමුත්තා තමන් ගේ සමාජීය සහ වෘත්තීය භූමිකාව නිවැරදිව හඳුනාගනිමින් එම භූමිකාවට මාරුවෙන්න දැරූ ප්‍ර‍බල උත්සාහ තුනක් හඳුනා ගන්න පුළුවන්.

නව අධ්‍යාපන සේවය

මෙරටින් බිහිවූ විශිෂ්ටතම ගුවන් විදුලි සන්නිවේදකයා වශයෙන් හැඳින්විය හැකි තිලක් ජයරත්න ගේ නායකත්වයෙන් ආරම්භ වූ “ නව අධ්‍යාපන සේවය” (සුභාරතී) ගුවන් විදුලි නාලිකාව ගුවන් විදුලි සංස්ථාව මහජන සේවා භූමිකාවට පරිවර්තනය වීමට දැරූ ප්‍ර‍බල ම උත්සහය විදියට හඳුන්වන්න පුළුවන්. මම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ නව අධ්‍යාපන සේවයේ නිෂ්පාදකවරයෙක් විදියට. ඒ කාලේ මම විශ්වවිද්‍යාලයෙන් පිට වුණා විතරයි. නව අධ්‍යාපන සේවය ගුවන් විදුලි නාලිකාව ආරම්භ කරද්දි “ මිනිස් ජීවිතයට බලපාන සෑම දෙයක්ම අධ්‍යාපනය” ලෙස තිලක් ජයරත්නයන් නිර්වචනය කළා. ඒ අනුව දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, මානව හිමිකම් වගේම සමාජ ජීවිතයත් අධ්‍යාපනයට අයිතියි. තිලක්ට අනුව අපේ රටේ අති බහුතරයට මේවා සැබෑ අර්ථයෙන් හිමි වෙලා නැහැ. ඒ වගේ ම ඔවුන් ඔවුන් ගේ මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම් පැලඳුම්, නිවාස, සෞඛ්‍ය, ආරක්ෂාව සහ භාවමය වුවමනා ඉටු කරගන්න විශාල අරගලයක් කරමින් ඉන්නේ. මේවා ආමන්ත්‍රණය කරමින් ජනතාවට මේ අරමුණුවලට යන්න පහසුකම් සලස්සන ගුවන් විදුලි මාධ්‍යට පුළුවන්. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (1898–1956 - Bertolt Brecht) නම් විශිෂ්ට නාට්‍යකරුවා වරක් මෙහෙම පැවසුවා. “ගුවන් විදුලි මාධ්‍ය හුදෙක් අසා සිටීමේ මාධ්‍යක සිට ඔහුට කතා කරන්න ඉඩ සලසන මාධ්‍යක් බවට පරිවර්තනය කරන්න පුළුවන් නම්, අසන්නා එකිනෙකා ගෙන් හුදෙකලා කරනු වෙනුවට ඔහු එකිනෙකා එක්ක සම්බන්ධ කරන්න පුළුවන් නම් ගුවන් විදුලි මාධ්‍ය කෙතරම් අසිරිමත් මාධ්‍යක් වනු ඇත්ද?

මේ තිලක් ජයරත්න ගේ වචන. ඔහු නව අධ්‍යාපන සේවය ගොඩනැගුවේ මේ දාර්ශනික පසුබිමේ ඉඳලා. ඒ දර්ශනය යථාර්ථතයක් කරන්න ඔහු විසින් මා ඇතුළු 20 දෙනකු ගෙන් යුත් උපාධීධාරී කණ්ඩායමට දැඩි පුහුණුවක් සහ සොඳුරු ආඥාදායක මගපෙන්වීමක් ලබා දුන්නා. අපේ කණ්ඩායමට අමතරව ඒ වෙනකොට ගුවන් විදුලි සංස්ථාවේ ඉතිරි වෙලා හිටිය විශිෂ්ට නිර්මාණකරුවන් කිහිප දෙනෙක් වන තිළිණ සමරසූරිය, අරුණ බාලසූරිය, නිමල් සෝවිස්, කේ. එච්. උපසේන, කුලරුවන් කුසුම්තිලක, ලක්ෂ්මි කබ්රාල් ඇතුළු කණ්ඩායමකුත් මීට නායකත්වය දෙන්න එකතු කරගත්තා.

සුභ අරුත් දෙන වචන

WhatsApp Image 2026 01 30 at 10.47.10

මෙම නාලිකාවට මුලින් යෝජනා වූ නම “ සුභාරතී”. “ සුභ අරුත් දෙන වචන” යන්න ඒ වචනයේ සරල අර්ථය යි. මහාචාර්ය සුචරිත ගම්ලත් තමයි මේ නම යෝජනා කලේ. ඩබ්. ජයසිරි විසින් ඊට ගැළපෙන තේමා ගීතයක් ලියනු ලැබුවා. අමරසිරි පීරිස් ගායනා කරන “ ඔබෙ නිවහන සොයා ඇදේ.....සුභාරතී” කියන ප්‍ර‍සිද්ධ තේමා ගීතය තමා එය. කොහොම වුණත් මෙම නාලිකාවට අරමුදල් ලබා දුන් ජාතික අධ්‍යාපන ආයතන එක්ක සම්බන්ධවෙලා සිටි තවත් මහාචාර්යවරයකු ගේ බලපෑම මත සුභාරතී නම භාවිතා කරන්න ගුවන් විදුලි පාලන අධිකාරිය අවසර ලබා දුන්නේ නැහැ. අන්තිමේට නව අධ්‍යාපන සේවය නමින් මෙම ගුවන් විදුලි නාලිකාව ආරම්භ වුණා.

එහි වැඩසටහන් සැලසුම් වුණේ සුවිශේෂී අසන්නන් ඉලක්ක කර ගනිමින්. ඔවුන්ගේ ඉටු නොවුණ අවශ්‍යතා ඉටු කරන්න ගුවන් විදුලි මාධ්‍ය පහසුකම් සලසන ආකාරයේ ආකෘතියකින්. ඒ අනුව තරුණ ප්‍ර‍ජාව, කම්කරු ප්‍ර‍ජාව, ගොවි ප්‍ර‍ජාව, කාන්තා ප්‍ර‍ජාව ආදී සුවිශේෂී අසන්නන් ඉලක්ක කරගත් වෙන් වෙන් වැඩසටහන් ඒ අතර තිබුණා. බොහෝ විට එම වැඩසටහන් වාර්තාංග, විචිත්‍රාංග සහ සඟරා ආකෘතියගත් නිර්මාණාත්මක වැඩසටහන්. වැඩසටහන්වලින් ඇහුණේ සාමාන්‍ය ජනතාව ගේ හඬ. ඔවුන් ජීවිතය ගැටගහන්න කරන අරගලය.

නව අත්හදා බැලීම

මානව හිමිකම් කඩවූවන්ට තම ගැටලුව දුරකතනයෙන් ඉදිරිපත් කර නීති උපදෙස් සහ නීතීඥ සේවය නොමිලයේ ලබා ගන්නා දුරකතන සංවාද වැඩසටහන සහ කාලීන සමාජ දේශපාලනය ගැන දුරකතනය ඔස්සේ විවෘතව සංවාද කිරීමට අසන්නාට අවස්ථාව ලැබුණ දුරකතන සංවාද වැඩසටහන නව අධ්‍යාපන සේවයේ තවත් අත්හදාබැලීමක්.

මම නිෂ්පාදනය කළ “විසම්මුතිය” වැඩසටහන තමයි නව අධ්‍යාපන සේවයට වාරණය රැගෙන ආව පළවෙනි වැඩසටහන. මෙම වැඩසටහන් මාලාවට මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය අර්ජුන පරාක්‍ර‍ම, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, දීප්ති කුමාර ගුණරත්න සහ ඩබ්. ජයසිරි යනාදින් සම්පත් දායකයින් විදියට සහභාගී වුණා.

නව අධ්‍යාපන සේවයට කණකොකා හැඬීම

එක දවසක් “විසම්මුතිය” ට “එකඟත්වයට නොපැමිණි මතිමතාන්තරවලට” තේමාව වුණේ මෙරට දේශපාලන නායකයින් බලයට පත්වීම සඳහා ආගම සහ මියගිය පුද්ගලයින් යොදාගන්නා ආකාරය. ඒ වනවිට ජනාධීපති චන්ද්‍රිකා බණ්ඩාරණායක. මේ වැඩසටහනේ දී ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මහනුවර දළදා මාළිගාවේ ඉඳන් දිවුරුම් දීම, ජනාධිපති චන්ද්‍රිකා තම මියගිය සැමියා ගේ සහ පියා ගේ නාමය බලයට පත්වීම සඳහා යොදා ගැනීමේ සිට ආණ්ඩු මාරුවන විට ගුවන් විදුලි සංස්ථාව බඳු රාජ්‍ය ආයතනවල ගසා තිබෙන රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප ඉවත් කරන ආකාරය විමසුමට ලක් කළා.

මේ වැඩසටහන නිෂ්පාදනය කරන අවස්ථාව වෙනකොට වැඩසටහන් ප්‍ර‍චාරයට පෙර ආයතනයේ ඉහළ නිලධාරියෙක් ගේ අවසරය ලබා ගත යුතු බවට අභ්‍යන්තර නීතියක් පනවලා තිබුණා. ඒ අනුව මම මේ වැඩසටහන ඒ නිලධාරියාට අහන්න සැලැස්වූවා. ඔහු ගේ තීරණය වුණේ මේ වැඩසටහන ප්‍ර‍ාරණය නොකිරීමට. නව අධ්‍යාපන සේවයට කණකොකා හඬන්න පටන් ගත්තතේ මෙතැනින්.

ඒ රටේ පාලන බලය ප්‍ර‍ධාන දේශපාන පක්ෂ දෙකට ම අයිතිවෙලා තිබුණ කාලේ. ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ ඩී.බී. විජේතුංග. අගමැති සහ කැබිනට් මණ්ඩලය චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ පොදුජන එක්සත් පෙරමුණ. ජනාධීපතිවරණයට චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ විපක්ෂනායක ගාමිණී දිසානායක ඉදිරිපත් වී සිටියා. ජනාධිපතිවරණ ප්‍ර‍චාරක ව්‍යාපාරය අතරතුර බෝම්බ ප්‍ර‍හාරයකින් විපක්ෂ නායක ගාමිණී දිසානායක ඝාතනය කරනු ලැබුවා. විපක්ෂනායකගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ නිදහස් චතුරස්‍රයේ දී.

විද්‍යුත් මාධ්‍ය මෙසේ කටයුතු කළේ මන්ද...?

විපක්ෂනායකවරයා ගේ අවමංගල්‍ය උත්සවය රජයේ මාධ්‍ය සජීවීව ආවරණය කළේ නැහැ. විද්‍යුත් මාධ්‍ය මෙසේ කටයුතු කළේ මන්ද යන්න විමසා බලන වාර්තා වැඩසටහනක් මමත් තිළිණ සමරසූරියත් එකතු වෙලා නිෂ්පාදනය කළා. නව අධ්‍යාපන සේවයේ පාලක තිලක් ජයරත්න ගේ නිර්මාණශීලී මගපෙන්වීම මේ සඳහා ලැබුණා. මෙම වැඩසටහන සඳහා රජය පාර්ශවයෙන් ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විපක්ෂය වෙනුවෙන් අවමංගල්‍ය උත්සවය සම්බන්ධීකරණය කළ හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග, රූපවාහිනී සංස්ථාවේ සභාපති වසන්ත රාජා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මනෝරංජන්, ආරියනන්ද දොඹගහවත්ත, ආචාර්ය සරත් අමුණුගම, කථිකාචාර්ය එම්.ජේ.ආර්. ඩේවිඩ් යන අය සමග කළ සම්මුඛ සාකච්ඡාවල උපුටා ගැනීම්, පුවත්පත් වාර්තා සහ මේ සම්බන්ධයෙන් හුවමාරු වූ ලිපි ලේඛණ ඇතුළත් වී තිබුණා. මෙම වැඩසටහන ප්‍ර‍චාරය කිරීමට අදාළ බලධාරියාට යොමු කළ විට එය ප්‍ර‍චාරය කිරීමට අනුමැතිය දීම ද ඔහු විසින් ප්‍ර‍තික්ෂේප කරනු ලැබුවා. සති කිහිපයකට පස්සේ මේ වැඩසටහනේ අන්තර්ගතය ඇතුළත් පිටපත යුක්තිය පුවත්පතේ සුනන්ද දේශප්‍රිය විසින් පළ කරනු ලැබුවා. මින්පසු නව අධ්‍යාපන සේවය වසා දැමීමේ කටයුතු බලධාරියා විසින් සූදානම් කරමින් සිටි බවට පෙනෙන්න තිබුණා. එය සිදුවුණේ එක්තරා දවසක උදෑසන සජීවී වැඩසටහනක් ප්‍ර‍චාරය වෙමින් තිබෙන අතරතුර.

ගුවන් විදුලි බලපත්‍රය අහෝසි කළ හේතුව

balapathraya ගුවන් විදුලි බලපත්‍රය

එදින උදෑසන සජීවීව ප්‍ර‍චාරය වෙමින් තිබුණේ ''කම්කරු ප්‍ර‍ජාව'' නම් වැඩසටහන. වැඩසටහනින් රත්මලාන ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක් වසා දැමීම පිළිබඳ සාකච්ඡා වෙමින් තිබුණා. වැඩසටහන සඳහා කම්හල් සේවිකාවන්, වෘතීය සමිති නායකයින්, කම්කරු කොමසාරිස් සහ කම්කරු අමාත්‍යවරයාගේ අදහස් ඇතුළත්ව තිබුණා. වැඩසටහන ප්‍ර‍චාරය වෙමින් පවතින අතරතුර ප්‍ර‍චාරක මැදිරියට දුරකතන ඇමතුමක් ලබාදුන් බලධාරියා එම වැඩසටහන ප්‍ර‍චාරය වහාම නවත්වන ලෙස නියෝග කළා. ඊට පසු අසන්නන්ට නව අධ්‍යාපන සේවය නැවත ඇසුණේ නැහැ.

පුද්ගලයකු ගේ නිවසේ ගුවන්විදුලි යන්ත්‍ර‍ක් තියෙනවා නම් ඒ සඳහා ගුවන් විදුලි සංස්ථාවට ගාස්තුවක් ගෙවා බලපත්‍ර‍ක් ලබා ගන්න ඕනෙ. මේ වගේ බලපත්‍ර‍ක් ලබා ගෙන තිබූ ගුවන්විදුලි අසන්නකු වන විමල් ප්‍ර‍නාන්දු නව අධ්‍යාපන සේවය තහනම් කිරීම නිසා තමන් ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට තර්ක කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරනු ලැබුවා. ඔහු ගේ තර්කය වුණේ තමන් ගුවන්විදුලි බලපත්‍ර‍ක් ගාස්තුවක් ගෙවා ලබා ගෙන තිබෙන නිසා නව අධ්‍යාපන සේවයට අඛණ්ඩව ඇහුම්කම් දීමට තමාට අයිතියක් තිබෙන බවයි. මෙම නාලිකාව වසා දැමීම නිසා තමන්ගේ අදහස් දැනගැනීමේ නිදහස අහිමි වූ බවට ඔහු වෙනුවෙන් නීතීඥයින් තර්ක කළා.

මෙම නඩුව විභාග කල ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල පිළිගනිමින් ගුවන් විදුලි සංස්ථාවේ තීරණය වැරදි බවත් ඊට වන්දි වශයෙන් පැමිණිලිකාර විමල් ප්‍ර‍නාන්දු යන අයට රු. 50,000 ක වන්දියක් ගෙවන ලෙස ගුවන් සංස්ථාවට නියෝග කළා.

මේ නියෝගයෙන් පසුව ගුවන් විදුලි සංස්ථාව කළේ මෙතෙක් තිබූ ගුවන් විදුලි යන්ත්‍ර‍ සඳහා බලපත්‍ර‍ ගාස්තුවක් අයකිරීමේ ක්‍ර‍මය අහෝසි කිරීමයි. බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බී.බී.සී) මෙම බලපත්‍ර‍ ගාස්තු අය කිරීමේ ක්‍ර‍මය අද ද පවත්වාගෙන යනු ලබනවා. එහි අරමුණු වන්නේ ගුවන්විදුලි මාධ්‍ය වාණීජ අරමුණුවලින්, ලාභ ලැබීමෙන් තොරව අධ්‍යාපනය, සෞඛ්‍ය යනාදි මහජන යහපත සහ මහජන උනන්දුව වෙනුවෙන් මහජන සේවයක් ලෙස පවත්වාගෙන යාමයි.

ගුවන්විදුලි සංස්ථාවේ පාලන අධිකාරියේ ඉහත තීරණයක් සමග ගුවන් විදුලි සංස්ථාවට ලැබුණ විශාල ආදායම් මාර්ගයක් අහිමි වූවා පමණක් නොව රටේ පුරවැසියන් ගේ පොදු යහපත සඳහා වැඩසටහන් ප්‍ර‍චාරය කිරීමේ වගකීමෙන් සහ බැඳියාවෙන් ද එම ආයතනය නිදහස් වුණා.

ප්‍ර‍ජා ගුවන්විදුලි සේවා

WhatsApp Image 2026 01 30 at 10.47.30

WhatsApp Image 2026 01 30 at 10.47.28

යුරෝපයේ, ලතින් ඇමෙරිකාවේ, අප්‍රිකාවේ, බංගලිදේශය සහ නේපාලය යනාදි රටවල ජනතාව ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ක්‍රියාවලියට සහ සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී කර ගැනීමේ යාන්ත්‍ර‍යක් ලෙස ප්‍ර‍ජා ගුවන්විදුලි මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. ප්‍ර‍ජා ගුවන්විදුලි මධ්‍යස්ථානයක් කියන්නේ ප්‍ර‍ජාවට අයිති, ප්‍ර‍ජාව විසින් කළමනාකරණය කරනු ලබන සහ ප්‍ර‍ජාව විසින් වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන ගුවන් විදුලි මධ්‍යස්ථානවලට. මේවායේ තේමා පාඨය වන්නේ “ හඬක් නැති මිනිසුන්ගේ හඬ” යන්නයි.

ඉහත ගති ලක්ෂණ මුළුමනින් ම දක්නට නොලැබුණ ද ගුවන් විදුලි සංස්ථාව, යුනෙස්කෝව සහ මහවැලි සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මහවැලි ජනපද ආශ්‍රිතව ආරම්භ වූ ප්‍ර‍ජා ගුවන් විදුලි මධ්‍යස්ථාන මෙරට ගුවන් විදුලි ඉතිහාසයේ පමණක් නොව ලොක සංවර්ධන සන්නිවේදනයේ ද වැදගත් සංධිස්ථානයක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙම ප්‍ර‍ජා ගුවන් විදුලි මධ්‍යස්ථාන පිහිටවනු ලැබුවේ ගිරාඳුරුකෝට්ටේ, මහඉලුක් පල්ලම සහ කොත්මලේ මහවැලි ජනාවාස ආශ්‍රිතවයි.

මහවැලි ව්‍යාපාරයට මහවැලි ජනපදිකයින් සක්‍රීයව සම්බන්ධ කර ගැනීම මෙම ප්‍ර‍ජා ගුවන් විදුලි මධ්‍යස්ථානවල මූලික අරමුණ වුණා. ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූ මෙම ගුවන්විදුලි භාවිතය ගුවන් විදුලි සංස්ථාවේ බලධාරීන්ගේ නොසැලකිල්ල සහ දේශපාලනීකරණය හේතුවෙන් දශකය ඇවෑමෙන් අභාවයට පත්වුණා. කොත්මලේ ප්‍ර‍ජා ගුවන් විදුලි මධ්‍යස්ථනයේ මෙරට පුරෝගාමී ප්‍ර‍ජා ගුවන්විදුලි සන්නිවේදකයින් වන සුනිල් විජේසිංහ සහ හරිස්චන්ද්‍ර‍ පෙරේරා ගේ අත්දැකීම් බෙදාගනිමින් ගතකල කාලය ප්‍ර‍ජා ගුවන් විදුලි පිළිබඳ සුවිශේෂී අත්දැකීම් සම්භාරයක් මට එකතු කළා. ඒ අත්දැකීම් සහ මගේ අධ්‍යන භාවිතයට ගනිමින් පසුකාලයේ ඌව ප්‍ර‍ජා ගුවන්විදුලි මධ්‍යස්ථානය ආරම්භ කරන්න මට පුළුවන් වුණා. ඌව ප්‍ර‍ජා ගුවන්විදුලි මධ්‍යස්ථානය මුල් අර්ථයෙන් නොවුණත් අදත් ක්‍රියාත්මකයි.

විශ්ව ශ්‍රවණී

මෙරට සිටි ජාත්‍යන්තර දේශපාලන විචාරකයකු සහ දේශපාලන සන්නිවේදනය පිළිබඳ විශේෂඥයෙකු වන ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ජනදාස පීරිස් ගේ මැදිහත්වීමෙන් ආරම්භ වූ විශ්ව ශ්‍ර‍වණී ගුවන් විදුලි නාලිකාව ගුවන් විදුලි සංස්ථා ඉතිහාසයේ තවත් සංධිස්ථානයක්. වෙනස්වන ගෝලීය ප්‍රවෘත්තිකරණයට රටාවට අනුගත වෙමින් ජගත් තොරතුරුවලින් මෙරට අසන්නන් සන්නද්ධ කිරීමේ අරමුණින් ඇරඹුණ මෙම ගුවන් විදුලි නාලිකාවෙන් මුළුමනින්ම ප්‍ර‍චාරය වුණේ ප්‍ර‍වෘත්ති සහ කාලීන පුවත්. ජනදාස පීරිස් විසින් මෙම නාලිකාවේ කළමණාකාර තනතුරකට මාවත් තෝරා ගත්තා. මගේ කළමණාකරණ භූමිකාවට අමතරව විදේශ විත්ති විචාරකයින් සම්බන්ධ කරගනිමින් ප්‍රවෘත්ති විශේෂාංග ආකෘතියෙන් මා නිෂ්පාදනය කරමින් දිනපතා ඉදිරිපත් කළ “ජගත් පුවත් විමසුම” වැඩසටහන මගේ ගුවන් විදුලි දිවියේ සුවිශේෂී මතකයක්.

වානම්පාඩි ගුවන්විදුලිය

සඑල්

“වානම්පාඩි” කියලා දෙමළ භාෂාවෙන් කියන්නේ කිරලාට. අනතුරක් ගැන ඉක්මනින්ම ඉව වැටෙන සහ ඊට ක්ෂණිකව ආරක්ෂා වීමේ අනතුරු ඇඟවීම් කරන කුරුල්ලෙක් විදියට කිරලා හඳුන්වන්න පුළුවන්.

දවසක් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජනදාස පීරිස් ගෙන් ඔහු ගේ නිල කාමරයට එන්න කියලා මට දුරකතන ඇමතුමක් ලැබුණා. මම එම ස්ථානයට යනකොට ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් සහ දෙමළ භාෂා ගුවන්විදුලි නාලිකා භාර ප්‍ර‍ධානීන් කිහිප දෙනෙක් එහි සිටියා. උතුරු නැගෙනහිර ජීවත්වෙන දෙමළ ජනතාව ගේ තොරතුරු සහ විනෝදාස්වාද අවශ්‍යතා ඉටු කිරීමටත් ජනවාර්ගික ගැටලුව පිළිබඳව උතුරු නැගෙනහිර ජනතාව අතර සංවාදයක් ඇති කිරීමටත් ගුවන්විදුලි මඨ්‍යස්ථානයක් ආරම්භ කර එයට නායකත්වය දිය හැකිදැයි ජනදාස පීරිස් මහතා මගෙන් විමසා සිටියා. මෙම නාලිකාවේ වැඩසටහන් අන්තර්ගතය සඳහා ආණ්ඩුව හෝ හමුදාව අතපොවන්නේ නැත්නම් මේ වගකීම භාරගන්න මම එකඟ බව දැනුම් දුන්නා. එහි සිටි බලධාරීන්ට මම කළ කරුණු පැහැදිලි කිරීම හමුවේ මගේ කොන්දේසිවලට එකඟ වුණා. පුළුල් අධ්‍යනයකින් පසුව මම ඒ වගකීම භාර ගත්තා.

අන්තර් ක්‍රියාකාරිත්ව සහභාගිත්ව ශෛලිය

WhatsApp Image 2026 01 30 at 10.47.56 1

ඒ වනවිට උතුරු නැගෙනහිරට ජනතාවට කොළඹින් ප්‍ර‍චාරය වන ගුවන්විදුලි නාලිකා හොඳින් ශ්‍ර‍වණය වුණේ නැහැ. මේ ගැටලුවට විසඳුමක් විදියට FM තාක්ෂණය සමග මධ්‍ය තරංග (MW) තාක්ෂණය යොදාගන්න තීරණය වුණා. මේ සඳහා අලුතින්ම දෙමළ සන්නිවේදකයින් කණ්ඩායමක් මා තෝරාගත් අතර ඔවුන් සහ දෙමළ භාෂාමය ගුවන් විදුලි නාලිකාවල සේවය කිරිමින් සිටි නිවේදකයින් කිහිපදෙනෙක් මෙම කාර්ය සඳහා විශේෂයෙන් පුහුණු කර “වානම්පාඩි” ගුවන්විදුලි සේවය පටන්ගත්තා. පිටකොටුව වෙළඳපොළට තමින්නාඩුවෙන් ගෙනෙන ලද නවතම දෙමළ ගීත “වානම්පාඩි” වැඩසටහන් සඳහා යොදාගත් නිසාත් වැඩසටහන් ඉදිරිපත් කිරීමේ දී අධිපතිවාදී ඒකපාර්ශ්වික සන්නිවේදන ප්‍රවේශය වෙනුවට අන්තර් ක්‍රියාකාරිත්ව සහභාගිත්ව ශෛලිය භාවිතා කිරීම නිසාත් උතුරේ ජනතාව ගේ අවධානය මේ නාලිකාව සඳහා යොමුවෙන්න පටන්ගත්තා. එහෙත් ප්‍ර‍ධානතම වැඩසටහන් අන්තර්ගතය වුණේ යුද්ධය සහ තමන් අද ගෙවන ජීවිතය පිළිබඳ අත්දැකීම් ගැන උතුරු නැගෙනහිර අසන්නන් ලියා එවන ලද ලිපි සහ නිර්මාණ. කතන්දර, චිත්‍ර‍, කාටුන්, දෙබස්, කවි සහ කටු සටහන් විදිහට ඔවුන් තැපෑලෙන් එවන ලද ලේඛන යුද්ධයේ යථාර්ථාය මනාවට පිළිබිඹු කළා. ඒවා මාගේ භාෂා පරිවර්තකයා මට සිංහල භාෂාවෙන් පරිවර්තනය කරද්දී මා තුළ ඇතිවුණ තිගැස්ම අදත් මතකයි.

වානම්පාඩි මළගම

“වානම්පාඩි” “උදා සැරිසර” සැඳෑ සැරිසර” සහ “රාත්‍රී සැරිසර” උතුරේ අසන්නන්ට වගේම අපිටත් අලුත් ගුවන්විදුලි අත්දැකීමක් ගෙන දුන්නා.

එහෙත් මාස හයක් ගත වෙන්න ආසන්න වෙද්දී කිසිම හේතු දැක්වීමකින් තොරව මා මගේ පුරුදු සේවා ස්ථානයට මාරු කර යැව්වා. මගේ ස්ථානය ගත් දෙමළ භාෂාමය කළමනාකරුවාට නැගෙනහිර දී වෙඩි තබා තිබුණා. එහි සිටි පැරණි ජනප්‍රිය දෙමළ නිවේදිකාවකට බම්බලපිටියේ දී වෙඩි තබා ඝාතනය කර තිබුණා. “වානම්පාඩි” ගුවන්විදුලියට පසු කාලයේ කුමක් වූවේදැයි මා දන්නේ නැහැ.

මෙරට ජනවාර්ගික ගැටලුව පිළිබඳව පුළුල් මහජන කතිකාවත් සඳහා විවෘත වේදිකාවක් සකස් කරදීමේ සුවිශේෂී ශක්‍යතාවක් අදත් ගුවන්විදුලි මාධ්‍යට තිබෙන බවට “වානම්පාඩි” ගුවන්විදුලි අත්දැකීම හොඳ සාක්ෂියක්.

(මේ අතීත කතා මතක් කරගන්න උදව් වුණ බන්දුල සමන් වතුරේගම, ජයම්පති ගම්ලත්, අරුණසිරි ජයවික්‍රම මිතුරන්ට බෙහෙවින් ස්තුතියි)

මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න