නිදහස්, නිවහල් ගුරුවරයෙකු ගේ නික්ම යෑම

නිදහස්, නිවහල් ගුරුවරයෙකු ගේ නික්ම යෑම

පෙරපර දෙදිග නාට්‍ය කලාව පිළිබඳ ප්‍රවීණාචාර්යවරයකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පසු ගිය දා සිය දිවි සැරිය නිම කළේ ය. අනතුරුව ඔහු පිළිබඳ විවිධ මතකාවර්ජන: මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික මෙන් ම සමාජ මාධ්‍ය පුරා ද අසන්නට කියවන්නට ලැබිණ.

ඒ අතර මෙම කරුණු අතර ''මයිකල් ප්‍රනාන්දු කියලා කවුදෝ කෙනෙක්...'' යනුවෙන් මහාචාර්ය රත්නසිරි අරංගල ලියූසටහනක් අපි පසුගිය 06වන දා මෙම වෙබ් අඩවියෙහි පළ කළෙමු. ඒ සමග ම ''මෙම කරුණ ම පාදක කරගනිමින් පළ වූ තවත් ලියවිල්ලක් මතුවට ද ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වන්නෙමු.'' යනුවෙන් ද අපි සටහන් කළෙමු.

ඒ Sudarsana Samaraweera ලියා තිබූ සටහනයි; ඔහු එම සටහන තබා තිබුණේ ද Dilanjana Madhushan Pathirana ගේ කෙටි සටහනක් නෙත ගැටීමෙන් ඉක්බිතිව ය.

මතු පළ වන්නේ එම සටහන් ද්විත්වය යි.

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු නික්ම ගිය පුවත ගැන දිලාංජන ගේ සටහන දකින විට එය බෙදාගන්නට සිත් විය. මට පේරාදෙණියේදී හමු වූ හොඳම ගුරුවරයෙකු වන අතුල සමරකෝන් සිය උසස් අධ්‍යාපනය ගැන අලුත්ම සුබ පණිවිඩ මට කියන විට ඔහු මේ ශෝක පණිවිඩය ද ගෙනාවේ ය. අප කවුරුත් ඉක්මනින් ඉක්මනින් නික්ම යන බව මා හොඳින්ම දන්නා නිසා ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ නික්ම යෑම නිසා මා වඩාත් පුදුමයට පත් වූයේ මා එය මෙතරම් ප්‍රමාද වී දැනගැනීම යි. මෙවැනි ආරංචිවල කම්පන සිසාරා විසර යන මේ ෆේස්බුක් අවකාශය ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ නික්ම යෑම භාරගෙන ඇති ආකාරය මා පුදුම කළ දෙය යි. ලංකාව ම නිදි අතරේත් ෆේස්බුක් ඉන්නා මා එය දැනගත්තේ ෆේස්බුක් ගිණුමක් ද නැති මිතුරෙකුගෙනි. පසුව මේ ලියන ඇතැම් වැදගත් සටහනක් දෙකක් දුටුවෙමි. මාගේ ඇල්ගොරිදම්!

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු තරුණ අවධියේ දී

මගේ ඉතිහාසයේ අමරණීය මිනිසා

ආචාර්ය ප්‍රනාන්දු, මා හඳුනාගෙන සිටින ප්‍රමාණික සිංහල ලේඛකයෙකු තරමට ප්‍රමාණවත් තරම් පොතපත නොලියා තිබීම ගැන මම මේ දිනවල ඔහු සිංහල නාට්‍ය කලාව පිළිබඳ ලියා ඇති Theatre in Politics and Politics in Theatre: Sri Lankan Experience Since Independence. (Sri Lanka Journal of Social Sciences 22, no. 1 & 2 (1999) වැනි ඉතා තියුණු රචනා කිහිපයක් කියවමින් සිටින අතර සිතමින් සිටියෙමි. මා සිතන්නේ ඔහු විශිෂ්ට බුද්ධිමතෙකු ලෙසයි, ඊටත් වඩා අද මේ ආරංචිය එන මාවත දිගේ අතීතයට පේරාදෙණිය වෙත ඇවිද යන විට, මුණගැසෙන ආචාර්ය මයිකල් මගේ ඉතිහාසයේ අමරණීය මිනිසෙකි.

මා තුළ වර්ධනය වූ බුද්ධිමය ආදරය

මා පේරාදේණියේ දී ඔහු ඉගැන්වූ නාට්‍ය සහ සාහිත්‍ය පාඨමාලා කිහිපයක් උගෙන ඇත්තෙමි. ඒ පන්ති පැවැත්වූ ලලිත කලා දෙපාර්තමේන්තු පන්තිකාමරවල බොහෝ විට මා සමග සිටියේ මුදිතා ධර්මසිරි, කල්පනී යනාදි දෙතුන්දෙනෙකු පමණි. බොහෝ විට අපේ වයස්වල ඔහු ගෙන් ඉගෙන්ගත් බොහෝ අය ඇතැයි මම නොසිතමි. අප පේරාදෙණියේ සිටි 2008-2013 කාලයේ ඔහු සමග එක් සෙමෙස්ටරයක් මා පමණක් එක් පාඨාමාලාවක්ද හදාරා ඇත්තෙමි. දිලාංජන ගේ සටහන දකින විට ම මට මතක් වූයේ ඒ පන්ති කාමරවල ඔහු හා මා අතර සිදු වූ ඇතැම් දේය. පැයේ දෙකේ පන්ති ඔහු කිසිදු කම්මැළිකමක් නැතිව උගන්වයි. මට මතක ඔහු, ඉතා හෙමින් (අඩු සද්දයෙන්) කතා කරන කෙනෙක් වුවත් ඔහු අපට නින්ද යනතුරු මෙන් එකදිගට කියවන අයුරුනි. ඔහුට කතාබහේ දී පුදුම සන්සුන්කමක් තිබිණි. ඔහු සරල චාම් ඔහේ ඉන්නා කෙනෙකු මෙන් පෙනෙන අතරේ මාතෘකාවට එන විට පුදුම සහගත ලෙස සීරියස්ව කතා කරන්නට ගනියි. ඔහුට එවැනි ගලාගෙන යන භාෂාවක් උරුම වී ඇත්තේ අපේ විශ්වවිද්‍යාලවල ම සිටින ඇතැම් රූපවාහිනී ආචාර්යවරුන් ගේ මුඛරිකම බඳු උද්දාල හෝ වාචාල උරුමයකින් නොවේ.myclbook1

ඔහු නිතර පරීක්ෂාකාරී ලෙස සිතමින් බැරෑරුම් ලෙස කතා කරන මිනිසෙක් බව මම දැක ඇත්තෙමි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නම මතක් නොකළ එක දවසක්වත් මගේ පත්තිවල නොතිබුණු බව මට මතකයි. මේ තරම් බ්‍රේෂ්ට් ගැන කියවන්නේ මන්දැයි ඒ දිනවල මට සිතී තිබුණත්, අද මාර්ටින් පුච්නර් වැනි විශිෂ්ට චින්තකයෙකු ලියා පළ කළ The Drama of Ideas වැනි කෘති හදාරමින්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් බඳු නාට්‍යකරුවන් සහ ප්ලෙටොනික් නාට්‍ය කලාව පිළිබඳ විකල්ප අදහස් කියවමින් සිටින අතර දැන් මයිකල් ප්‍රනාන්දු ගේ බ්‍රෙෂ්ට් චින්තනය මට වඩාත් පැහැදිලිව පෙනේ.

මයිකල් ප්‍රනාන්දු මතු කළ සරච්චන්ද්‍ර ගේ නාට්‍ය කලාවේ එන බ්‍රෙෂ්ටියානු ගති වැඩිදෙනෙක් මායිම් කළ බවක් නොපෙන්. මයිකල් ප්‍රනාන්දු වැනි අය හුදෙකලා බුද්ධිමතුන් සේ සිටීමේ අරුමය මේ ෆේස්බුක්හි පළ වන ඇතැම් නාට්‍ය විචාර නිසා ද නිතර සිහිවෙයි. ලංකාවේ නාට්‍ය කලාවේ ඇතැම් තැන් ගැන උනන්දුවෙන් බලමින් සිටින මට ඔහු ලියා ඇති ඇති රචනා ඉතා ඉවහල් වෙයි. ඇත්තෙන්ම පසුගිය වසර දෙකතුන තුළ වරින් වර ඔහු කෙරෙහි මා තුළ බුද්ධිමය ආදරය වර්ධනය විය.

නිදහස් ඇකඩෙමික් මිනිසා

දිනක් මමත් ඔහුත් පමණක් පන්ති කාමරයේ සිටින අතර මගේ දුරකතනය නාද විය. සයිලන්ස් කරන්නට අමතක වී තිබිණි. පේරාදෙණි උපසංස්කෘතික උරුමය දරාගත් ශිෂ්‍යයෙකු වූ මම හොඳටෝම බය වන අතරේ ඔහු කීවේ වහා දුරකතනයට පිළිතුරු දෙන ලෙසයි. මට නිදහසේ කතාකරන්නැයි ඔහු කීවේය. මමත් මොකක්හරි හේතුවක් නිසා එය පිළිගෙන දුරකතනය විසන්ධි නොකර පිළිතුරු දුනිමි. කතාව විනාඩි දහයක් පහළොවක් පමණ ඇදී ගිය බවත් මට මතක ය. මා දුරකතනයේ සිටි අතර ඔහු මොනවා හෝ පොතක් කියවමින් සිටි වබ මතක ය. මා දුරකතනය විසන්ධි කළ පසු ආපසු අපේ පාඩමේ කතාව පටන්ගැනිණි. දුරකතන කතාව නිකමටවත් ඇසුවේ නැත. එවැනි ආකාරයේ බොහෝ නුපුරුදු ගුරු භූමිකාවක් ඔහු ඉදිරියේ මම දැක ඇත්තෙමි. මා-තින් පන්තිකාමරයේ දී එදා වූ සදාචාර විරෝධී, අසංස්කෘතික දේ නිතර සිදුවන ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක උගෙනිමින්, ඊට දසකයකට හමාරකට පසුව ආපසු හැරී බලන විට මට මුණගැසී ඇති ඉතාම සුන්දර ගුරුවරුන් කිහිපදෙනා අතර ආචාර්ය මයිකල් සිටින බව මට දැනේ. මා කියන ඇමෙරිකානු පන්තිකාමරවල අර නිදහස් පැවැත්මේ (අසංස්කෘතිකකම්) බොහෝ ඇතත්, අපේ පන්තිකාරවල ලෙහෙසියෙන් හමු නොවන ආචාර්යධාර්මික සහ සංස්කෘතිකවත් ඇකඩමික් මිනිසුන්, ගුරුවරුන් නිතර හමුවෙයි. එහෙත් මට පුද්ගලිකව ලංකාවේ දී ඉගෙනගන්නට ලැබී ඇත්තේ ලියනගේ අමරකීර්ති, පී. බී. මීගස්කුඹුර, ආරිය රාජකරුණා, යනාදි ඒ ඒ පරම්පරාවල විශිෂ්ට ගුරුවරුන් කිහිපදෙනෙකුගෙන් පමණි. ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ඒ අතර හමුවුණ ඉතා නිදහස් ඇකඩෙමික් මිනිසෙකි.mycl3

ෆේස්බුක් අවකාශයක මෙවැනි මිනිසකු ගැන උනන්දුවක් නැතිකම මා තුළ යළි අර ප්‍රශ්නය උපදයි. අපි ඔහු ගැන උනන්දු අඩු, ඔහු ඉතා අඩුවෙන් ලියා ඇති ලේඛකයෙකු හෝ බුද්ධිමතෙකු නිසාද? එදිරිවීර සරච්චන්ද්‍ර ගැන ලියවී ඇති විශිෂ්ටතම අදහස් ඇති රචනයක් වන Sarachchandra of Sri Lanka Among 20th Century Experimental Dramatists ලියූ මෙවැනි බුද්ධිමතකු ඔහු ජීවත්වන සමාජයෙන් මෙතරම් ඈත්වීම ඔහු නික්මගිය ශෝකය අතර මා තවත් පාරවයි. නිතර මෙවැනි සිදුවීමක් වන විට ශෝකය ෆේස්බුක් නොලියන මා-තින් මේ ටික ලියැවුණේ එබැවිනි.

දිලාංජනගේ සටහන ඔස්සේ ගොස් ඔහු ලියා දේ පිළිබඳ විමසා බලන්න පුළුවන්.

ආචාර්ය මයිකල්, ඔබට සුබ ගමන්!

(ඒ ලෝකයේදීත් ඔබේ ශිෂ්‍යයෙකු වී එන්නට සදා කැමැත්තෙන්)

ආචාර්ය මයිකල් ප්‍රානාන්දු සුධීමතුනට ප්‍රාර්ථනීය සුගතියක් අත් වේ වා! (1943-2026)

sudarshana2

Sudarsana Samaraweera

* Theatre in Politics and Politics in Theatre: Sri Lankan Experience Since Independence. (මෙහි PDF පිටපත න්තර්ජාලයෙන් බාගත කරගත හැකිය - අවධාරණය අපෙන්)

* Sarachchandra of Sri Lanka Among 20th Century Experimental Dramatists (මෙහි PDF පිටපත අන්තර්ජාලයෙන් බාගත කරගත හැකි ය - අවධාරණය අපෙන්

මතු පළ වන්නේ Sudarsana Samaraweera සඳහන් කරන Dilanjana Madhushan Pathirana ගේ කෙටි සටහනයි.

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සුධීමතුනට සදාතන කෘතවේදීතාව

ප්‍රගතිශීලී සමාජ-දේශපාලනික ක්‍රියාකාරිකයකු මෙන් ම විද්වතකු වුණු ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පේරාදෙණි සරසවියේ ලලිතකලා අධ්‍යයනාංශයේ ආදි කර්තෘවරයා ය. එතුමා සම්මුඛ වීමේ භාග්‍යය පේරාදෙණියේ දී හෝ ඉන් එපිට දී හෝ මා හට හිමි වී නැත. එහෙත් මා ගේ ශාස්ත්‍රාලයීය ජීවිතය ගොඩ නැගුණේ එතුමා පදනම් දැමූ නිදහස්කාමී බුද්ධිමය පරිසරයක වග මා දැන-ගත්තේ පසු ව ය. එබැවින් ලලිතකලා අධ්‍යයනාංශයෙහි මා ගේ ආචාර්යවරුනට මා දක්වන සදාතන කෘතවේදීතාව ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සුධීමතුනට උපහාරයක් විය යුතු ය.

සිය ක්‍රියාකාරී දේශපාලනික භූමිකාව සහ සංකථන, අධ්‍යාපන පරිපාලන කටයුතු ආදිය හේතුවෙන් එතුමා ගේ ශාස්ත්‍රාලයීය මෙහෙවර බොහෝ දෙනෙකු ගේ අවධානයට ලක් ව නැත. එබැවින් පෙරදිග හා අපරදිග නාට්‍ය කලාව පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වුණු එතුමා සිය ශාස්ත්‍රීය දායකත්වය සපයා ඇති ග්‍රන්ථ කිහිපයක් මේ සමඟ අමුණමි. — "Die Singhalesische Buhne und Bertolt Brecht" (The Sinhalese Stage and Bertolt Brecht) යන හිසින් පළ වී ඇත්තේ එතුමා ජර්මනියේ බර්ලින් නුවර හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය (1978-1982) සඳහා ජර්මන් භාෂා මාධ්‍යයෙන් ඉදිරිපත් කළ නිබන්ධය යි.

 


dilanjana

Dilanjana Madhushan Pathirana

 

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න