දිලිත් නැගී සිටියේ ය. ඒ සමඟම සර්වජන බලය ද නැගී සිටියේය. ඔවුන් එසේ නැගී සිටියේ හෙට දවසේ වාසිය දෙස බලා හෝ තමන්ට පහසු මොහොතක නොවේ. වඩාත්ම තීරණාත්මක මොහොතේ දී ය;
කුරිරුකම ශක්තිය යැයි වරදවා වටහාගත්, අදූරදර්ශී පාලනයක් හමුවේ රට අසරණව තිබූ මොහොතේ දී ය. ඔවුන්ගේ දෑස්වල බියක් නොවීය. සිතේ පැකිලීමක් නොවීය. තමන්ට අත්විය හැකි පෞද්ගලික ඉරණම ගැන ඔවුහු ගණන් බැලුවේ නැත. මන්ද, ප්‍රතිපත්තියක් වෙනුවෙන් කෙළින් සිට ගැනීමට නොහැකි මිනිසකුට, ජීවිතයේ කිසිදු වටිනාකමක් නැති බව ඔවුන් දැන සිටි බැවිනි.
යුක්තිය උදෙසා කැපවීම
බලාපොරොත්තු වූ පරිදිම නින්දා අපහාස ගලා ආවේය. මුල දී ඒවා හුදු වාචික ප්‍රහාරවල පමණක් සීමා විය. නමුත් කෙටි කලකින් ම ඒ ස්වරූපය වෙනස් විය; තර්ජන දරුණු විය. ප්‍රතිපත්තිගරුක වීමේ මිල ගෙවීමට සිදුවනු ඇතැයි යන බිය වපුරන්නට පාලකයෝ වෙර දැරූහ.
එහෙත්, සර්වජන බලය ඊට පිළිතුරු දුන්නේ නිහඬ වීමෙන් නොවේ. ඔවුන් වඩාත් සක්‍රීය විය. ඔවුන්ගේ හඬ ගම් දනව් සිසාරා රැව් දුන්නේ ය. අනෙක් පක්ෂ 'දේශපාලනිකව නිවැරදි' යැයි සම්මත, කිසිවෙකුට නොරිදෙන මොළොක් වදන් පවසමින් සුරක්ෂිතව සැඟව සිටිය දී, සර්වජන බලය තෝරාගත්තේ සෘජු මාවත යි. එය හුදු අවධානය දිනාගැනීමට කරන රංගනයක් නොව, යුක්තිය උදෙසා කෙරෙන කැපවීමකි.

ජනතාවට අලුත් බලාපොරොත්තුවක්
ඔවුහු හඬක් නැති මිනිසුන්ගේ හඬ බවට පත් වූහ. ආයතන පද්ධති දිරාපත් කරන දුෂණයට එරෙහිව පවුරක් වූහ. බලවතුන් විසින් අමතක කර දැමූ රණවිරුවන් ගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටියහ. ඔවුන් සැබෑ වෙනසක් කරන්නේ කෙසේ ද? සර්වජන බලය යනු මැතිවරණ එනතුරු ප්‍රතිපත්ති ප්‍රකාශන ලියමින් සිටින පක්ෂයක් නොවේ. ඔවුන් අද දවසේ ගම් මට්ටමට ගොස් මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයයි. කොළඹට සීමා වූ නායකයින්ට නොපෙනෙන සත්‍යය ඔවුන් දනිති. සැබෑ වෙනස පාර්ලිමේන්තුවේ වායුසමනය කළ මැදිරිවලින් නොව, පොළොවේ පස් දූවිලි අතරින් මතු විය යුතු බව ඔවුහු වටහාගෙන සිටිති. දැන් ඒ ජනතා පිබිදීම දැනෙන්නට පටන් ගෙන ඇත. 'නරක' සහ 'වඩා නරක' අතරින් එකක් තෝරාගැනීමට ශාප වී සිටි ජනතාවට දැන් අලුත් බලාපොරොත්තුවක් ඇත.

තර්ක කිරීම අතහැර තර්ජනය කිරීම
ඒ, අන් අය වාඩි වී සිටින විට නැගී සිටින, අන් අය යටත් වන විට සටන් වදින මිනිසුන් ගේ බලාපොරොත්තුව යි. පාලකයෙකු තර්ක කිරීම අතහැර තර්ජනය කිරීමට පටන් ගන්නේ නම්, ඉන් අදහස් වන්නේ ඔබ ඔවුන් ගේ මර්මස්ථානයට පහර දී ඇති බවයි.
සර්වජන බලය ඒ සෑම තර්ජනයක් ම පැලඳ සිටින්නේ ගෞරවනීය පදක්කම් මෙනි. මන්ද, කරුණු මගින් පරාජය කළ නොහැකි මිනිසුන්ගේ "සත්‍යය" හමුවේ, පාලකයන් සතු එකම ආයුධය බිය ගැන්වීම පමණක් වන බැවිනි.
සර්වජනයා නිවට නැත. පාවාදෙන්නේ නැත. පල්ලම් බහින්නේද නැත.
නවම් මීගොඩ

