අනාදිමත් කාලයක සිට රත්නපුරේ සෑම ප්‍රදේශයක ම මැණික් පතල් බහුල ය. එහෙත් එකම මිණිරන් පතලය තිබුණේ කිරිඇල්ලේ දුම්බර ය. එය 1880 ගණන්වල දී ආරම්භ කළේ එකල ප්‍රකට ව්‍යාපාරිකයක පවුලක් වූ ඩවුන්දසේකරලා ගේ මැදිහත්වීමෙනි.
මැණික් කර්මාන්තය පුරාතනයේ සිට අද දක්වා තිබුණ ද එය කැපී පෙනෙන ලෙස රටේ සමාජ දේශපාලන පරිවර්තනයක් සඳහා හේතු වූ ආර්ථික සාධකයක් වුයේ නැත.
මිනිරන් කර්මාන්තය ක්‍රියාත්මක වූ ආකාරය
නමුත් 19වන සියවස අගභාගයේ දී මෙරට මතුවූ මිනිරන් කර්මාන්තය, යටත් විජිත ස්වදේශික ධනපති පංතියේ ආර්ථික අනන්‍යතාවක් බවට පත් විය. ඩී.සී. ආටිගල, ස්පේටර් සේනානායක යනාදි මේ ඉහළ ධනපති පවුල්වල දෙවැනි පරපුර දේශපාලනයට එක්විය. ප්‍රථම අගමැති ඩී. එස් සේනානායක එවැනි මිනිරන් ධනේෂ්වරයේ උරුමකරුවෙකි.
ඇහැලියගොඩ ඩවුන්දසේකරලා ජාතික දේශපාලනයට නොගියද රත්නපුරයේ ප්‍රාදේශීය දේශපාලනයට පවුල් ඥාති ජාල ඔස්සේ සම්බන්ධ වුහ.
එකල මේ මිනිරන් කර්මාන්තය ක්‍රියාත්මක වූ ආකාරය, එහි ප්‍රාග්ධන- ශ්‍රම- හා වෙළඳ පොල සම්බන්ධතා නිර්මාණය වු ආකාරය මහාචාර්ය පී. වී. ජේ ජයසේකර තම Social and Political Change in Ceylon 1900-1919 කෘතියෙහි විස්තර කරයි.

.......In the mines, the authority of the 'Bass' or the 'Kangani' acted as a buffer between the absentee owner and the labourer........however, the first signs of organised resistance against working conditions began to emerge.
(...පතල් වලදී, 'බාස්' හෙවත් 'කන්ගානි' හි අධිකාරිය, නොපැමිණෙන හිමිකරු සහ කම්කරුවා අතර බෆරයක් (බැම්මක්, ආවරණයක්) ලෙස ක්‍රියා කළේ ය. කෙසේ වෙතත්, සේවා කොන්දේසිවලට එරෙහිව සංවිධානාත්මක ප්‍රතිරෝධයේ පළමු සලකුණු මතු වීම ඇරඹුණේ ය.)
මේ මිනිරන් පතලයේ සිදුවූ කම්කරු අරගලයක් ඇසුරින් "ගිරන්බාස් සටන" නමින් ජනකාව්‍ය කෘතියක් බිහිවී තිබේ. 1880 දශකයේදී පමණ මුද්‍රණය වු එය අද සොයාගැනීමට දුෂ්කරය.
ගිරන්බාස් යනු...
එහෙත් එම පොතේ කවි රත්නපුරයේ පොදු පතල් කවි අතරට මිශ්‍ර වී රත්නපුර ජනශ්‍රැතියේ අංගයක් බවට පත්ව ඇත. මේ කවි ඇසුරින් මෙකී කම්කරු අරගලයත් එයට නායකත්වය දුන්නේ යැයි කියන ගිරන්බාස් නමැති වැඩ කණ්ඩායම් නායකයා පිළිබඳවත් වැදගත් තොරතුරු අනාවරණය වෙයි.
ගිරෝනිස් නමින් හඳුන්වන ලද ගිරන්බාස් යනු බෙන්තර සිට ඉංගිරිය ඔස්සේ දුම්බරට පැමිණ සටන්කාමී පුද්ගලයෙකි. ඔහු දුම්බර මිනිරන් පතලයට බැඳී එහි වැඩ කණ්ඩායම් නායකයා හෙවත් 'බාස්' බවට පත්විය.
දුම්බර මිනිරන් පතල
කම්කරුවන් සුරාකමින් වැඩගන්නා පාලකයින්ට එරෙහිව ඔහු නැගී සිටි බව ගිරන් බාස් සටන් කවිවලින් කියැවේ. නමුත් සමහරුන් කියන්නේ ගිරන්බාස් පෙනී සිටියේ හාම්පුතුන් වෙනුවෙන් බව ය. කවිවලින් එය අනාවරණය නොවේ.
එහි කවි කිහිපයක් මෙසේය.
දුම්බර කන්ද පාවුල මිනිරන් පතලේ
ගිරන් බාස් අණ දී වැඩ ද ඇල්ලුවේ
කළුගල් පළාගෙන මිණිරන් මතු කෙරුවේ
අපේ බඩවියත රැකුනේ ඒ පින් බලේ.
රන් මැණික් වන් මිනිරන් බිමට බැසලා
කම්කරු පිරිස එක මිටකට රොක් වීලා
ගිරන් බාස් පතලේ අණ පතුරාලා
සටනට වැදුණි සිංහ වෙසක් ආරුඪ කරලා
කම්කරු සටනට නායකත්වය දුන් ගිරන් බාස් අභිරහස් ලෙස මිය ගිය බව සමහරු පවසති. එය ඇඟවෙන ජනකවියක් මෙසේය.
කාලා ගියේ දුම්බර මැද පොළේ දී
නාලාගියේ ඇල්ලේ තොටුපොළේ දී
යනවා දුටිමි ඉංගිරියේ හලේ දී
යනවා මිසක එනු නැත මේ කපේ දී
බෝගල සවුන්දිරිස්
නිරන් පතල් කර්මාන්තය ඇසුරින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට එක් වූ ප්‍රභු පිරිසකුත් සමසමාජ ව්‍යාපාරයට එක් වූ නිර්ප්‍රභූ කම්කරු නායක පිරිසක්ද පසුව දැකගත හැකි විය. බෝගල මිනිරන් පතලයේ කම්කරු නායකයකු වූ සවුන්දිරිස්, සමසමාජ නායකයකු වූ රොබට් ගුණවර්ධන සමග දේශපාලනයට එක් වූ අයුරු සමසමාජ ඉතිහාස පොත්වල ලියැවී ඇත. දයාරත්න රටගෙදර "බෝගල සවුන්දිරිස්" නමින් ඉතා සාරවත් ටෙලිනාට්‍යයක් ද කළේය.

ගිරන් බාස්ගේ චරිතය ද එබඳු ඓතිහාසික චරිතයකි. ඔහු නියෝජනය කරන්නේ සවුන්දිරිස්ලාට පෙර කම්කරු පරපුරය. එහෙත් මේ චරිතය ශාස්ත්‍රීය ඓතිහාසික පර්යේෂණවලට හෝ කලාත්මක නිර්මාණ වලට ප්‍රමාණවත් වස්තු විෂයයක් බවට පත්ව නැති බව මගේ වැටහීම ය.
කවුරුන් හෝ මේ චරිතය ප්‍රතිනිර්මාණය කරමින් කලා කෘතියක් කරන්නේ නම් මා සතුව තිබෙන තොරතුරු කැමැත්තෙන්ම ලබා දෙමි.
කරු පරණවිතාන


