සමූහ ඝාතකයකු නිදහස් කළ ලේඛන ප්‍රසිද්ධ කරන්න : TISL ඉල්ලයි !

සමූහ ඝාතකයකු නිදහස් කළ ලේඛන ප්‍රසිද්ධ කරන්න : TISL ඉල්ලයි !

පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකාර හමුදා සෙබලාට ජනාධිපති සමාව දීමට අදාළ සියලු ලියකියවිලි හෙළිදරව් කරන ලෙස පාරදෘශ්‍ය භාවය වෙනුවෙන් පිහිටුවා ඇති ජාත්‍යන්තර ආයතනයක් ඉල්ලා තිබේ.

 එසේ කිරීමට අපොහොසත් වුවහොත්, විධායකය හා අධිකරණය අතර බලය බෙදීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපත්තියට සුව කළ නොහැකි හානියක් සිදුවනු ඇති බව ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය (TISL) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පරිපාලන බලාධිකාරියට පෙන්වා දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් යොමු කරමින් එම ආයතනය ඉල්ලා ඇත්තේ 2000 වර්ෂයේ දෙසැම්බර් මස සිදු වූ මිරුසුවිල් සංහාරයේ  වැරදිකරු වු රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක හමුදා නිලධාරියාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව දීමට අදාළ සියලු ලේඛන ප්‍රසිද්ධියට පත් කරන ලෙසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තියෙනවා !

ඥානපාලන් රවිවීරන්, සෙල්ලමුත්තු දේවකුලසිංහම්, විල්වරාජා ප්‍රදීපන්, සින්නයියා විල්වරාජා, නඩේසු ජෙයචන්ද්‍රන්, කදීරන් ඥානචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් ශාන්තන් සහ පස් හැවිරිදි විල්වරාජා යාපනයේ මිරුසුවිල් හිදී 2000 දෙසැම්බර් 19 දා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ලබා දුන් දඬුවම, 2019 වර්ෂයේ අප්‍රේල් මස, බුවනෙක අලුවිහාරේ,නලින් පෙරේරා,සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන හා මුර්ධු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සනාථ කර ඇති බැවින් මෙම තත්වය වඩාත් බරපතල බව එමගින් පෙන්වා දී තිබේ.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය මඟින්, ඕනෑම වරදකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට බලය පවරා ඇත ද, එම වගන්තිය තුළම උක්ත බලයට යම් සීමා පනවමින් දක්වා ඇත්තේ එසේ වූ යම් වරදකරුවෙකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේය," යි TISL විධායක අධ්‍යක්‍ෂ අසෝක ඔබේසේකර ජනාධිපති ලේකම් වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.

"එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමඟ එය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේය."

"ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශද සමඟ එම වාර්තාව ජනාධිපතිවරයා වෙත යැවිය යුත්තේය”

 ජනතාවට සෘජුව බලපාන කරුණක් !

තව ද, තොරතුරු දැනගැනීමේ පනත යටතේ, 2017 පෙබරවාරි මස ප්‍රකාශයට පත් කරන ලද ගැසට් අංක 2004/66, රෙගුලාසි අංක 20/1/iv අනුව,සියලුම රාජ්‍ය ආයතන,”තීරණ හා ක්‍රියාකාරකම් – තීරණ හා විශේෂයෙන්ම පොදු ජනතාවට බලපාන සේ ගත් ක්‍රියාමාර්ග, ඒවාට පදනම් කරගත් දත්ත ලියවිලි සමඟ ප්‍රගාමිව ප්‍රසිද්ධියට පත් කිරීම අවශ්‍ය  වන බව ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය  වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

මරණ දඬුවම නියම වූ වැරදිකරුවකුට සමාව දීම සහ සමාව දීමට අදාළ ලේඛනයන් යටපත් කිරීම ජනතාවට ඍජුවම බලපාන බවට ඔප්පු කරන සාධකයන් වන බවට TISL ආයතනය විශ්වාස පළ කරයි.  

TISL ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අසෝක ඔබේසේකර පෙන්වා දෙන්නේ සමාව ලබාදීමේ නිසි ක්‍රියාවලියට අදාළ ලිපි ලේඛන ප්‍රසිද්ධියට පත් නොකර ජනාධිපති සමාව දීමේ බලය ක්‍රියාත්මක කළ අවස්ථා දෙකක් මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලාංකිකයන්  අත්විඳ ඇති බවයි.

අධිකරණය ගැන ජනතා විශ්වාසය !

මෙලෙස අධිකරණ ක්‍රියාපටිපාටිය යටපත් කරමින් විධායක බලතල ක්‍රියාවට නැංවීමේ ප්‍රවණතාව ඉතා බාධාකාරී තත්වයක් ඇති කිරීමට හැකියාව පවතින බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

"මක් නිසාද යත්, පවතින නිතිය යටතේ යුක්තියේ බේරුම්කරුවා ලෙස අධිකරණය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය බිඳ වැටීමට එය හේතුවක් වන බැවිනි "

TISL ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අසෝක ඔබේසේකර වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෑත කාලින සිදුවීම් දෙක සඳහාම රාජපක්‍ෂ සහ සිරිසේන ජනාධිපතිවරුන් සඳහා ලබා දුන් උපදෙස් ලේඛනයන් වහාම ප්‍රසිද්ධියට පත් කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

එලෙස තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ “තාක්ෂණික රාජ්‍ය පාලනය” ට ඇති කැපවීම ද ඉස්මතු කරනු ඇති බව අසෝක ඔබේසේකරගේ විශ්වාසයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ RTI පනතේ විධිවිධාන වලට අනුකූලව, නඩුව විභාග කල විනිසුරුවරයාගේ වාර්තාව, නීතිපතිවරයාගේ උපදෙස් සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය ප්‍රසිද්ධියට පත් කරන මෙන් TISL ආයතනය ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරගෙන් වැඩි දුරටත්  ඉල්ලා  තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න