ශ්‍රී ලංකාව එහි මහජන සෞඛ්‍යය ක්ෂේත්‍රයේ අත්පත් කරගෙන ඇති තත්වය සහ එහි අනාගත සංවර්ධනය පිළිබඳව ගැඹුරු කතාබහක් සඳහා වන ශක්‍යතාව කොවිඩ් 19 වෛරසය මෙරට ද ආක්‍රමණය කරන පසුබිමේ දී පැහැදිළිව දර්ශනය වනබවක් පෙනේ. එවන් කතා බහක් පරමාදර්ශීය ලෙස සිදුවිය යුත්තේ ව්‍යවස්ථාදායකය තුළ දී වුවත් මහජන තළයේ මත දක්වන්නන් සහ සෞඛ්‍යය කෙෂ්ස්ත්රයේ බුද්ධිමතුන්ගේ දායකත්වය නොමැතිව එය සිදුකළ නොහැක.
එසේ වුවත්, ලොව වඩාත් දියුණු සෞඛ්‍යය පද්ධතීන් පවතින කළාප වන ඇමරිකාව සහ යුරෝපය ද කොවිඩ් 19 වසංගතය විසින් දරුණු අර්බූදයකට යවා තිබෙන තත්වයක දී අපගේ සෞඛ්‍යය පද්ධතිය පිළිබඳව අප එතරම් කලබල විය යුතු නොවන වගට ද යමෙකුට සර්වදෝෂදර්ශීයව සිතීමට හැකියාව තිබේ.
නමුත් තාක්ෂණික හා පර්යේෂණ, ආර්ථික සහ මානව සම්පත් යන සියළු අංශයන් ගෙන් එම කළාපයන් සමඟ කිසිදු ආකාරයකින් සම නොවන, ඉතාමත් දරිද්‍ර අඩියක සිටින අපට අපගේ රාජ්‍යය සතු සීමිත සම්පත් ප්‍රමාණය පොදු මහජන සෞඛ්‍යය සඳහා තවදුරටත් කැපකළ යුතු ආකාරය පිළිබඳව ප්‍රත්‍යවර්තනීය කියවීක් සඳහා එය බාධාවක් නොවෙයි. මන්ද, වත්මන් අර්බූදයට අප දැනට මුහුණ දෙමින් සිටින ආකාරය විසින් වඩවඩාත් පැහැදිළි වන්නේ 'පොදු' නැතිනම් 'රාජ්‍යමය' විසඳුම් වලට සෞඛ්‍යය වැනි අතිශය තීරණාත්මක විෂයක් තුළ විශාල මුලෝපායික අවකාශයක් පවතින බවයි.
සරළව පැවසුවහොත් ජාතික ආරක්ෂාව සඳහා පවතින ග්‍රස්තිමය පෙළඹීම 'සෞඛ්‍යය, පෝෂණය හා අධ්‍යාපනය' වෙතට කඩිනමින් පරිවර්තනය කරගත යුතුව තිබේ. ඊනියා 'ජාතිය' වනසන්නට ත්‍රස්ත්‍ර ප්‍රහාර දහසකට වඩා නොපෙනෙන වෛරසයකට හැකිබව සියළු දෙනාටම වඩාත් හොඳින් දර්ශනය වෙමින් පැවතීම අපගේ මෙම සාකච්චාවට ආශීර්වාදයකි.
සෞඛ්‍යය පොදු භාණ්ඩයක්ද?
පොදු භාණ්ඩ යනු සියළු දෙනාටම පොදුවේ පරිභෝජනය කළ හැකි භාණ්ඩය. නමුත් වර්තමානයේ අපගේ ආර්ථිකය, දේශපාලනය සහ සංස්කෘතිය හසුරුවණ ප්‍රධාන චින්තන ව්‍යුහය වන නවලිබරල් දර්ශනයට අනුව පොදු භාණ්ඩ වශයෙන් යමක් නොපවතී. නැතිනම් ඉතාම සීමිතය.
උදාහරණයක් ලෙස තනිව මුදල් ගෙවා පෞද්ගලිකව පරිභෝජනය කළ නොහැකි විථි ලාම්පු ආලෝකය වැනි සේවාවක් සඳහා රජය මැදිහත්විය යුත්තේ 'නොමිළේ එය ලබන අය' වැළක්විය නොහැකි නිසා පමණි.
මේ අනුව නවලිබරල් දර්ශනයට අනුව රාජ්‍යය මැදිහත්විය යුත්තේ 'නොමිළේ පරිභෝජනය' කිරීමට සිටින පිරිස පිළිබඳ ගැටළුව විසඳීමට ය. නමුත් සෞඛ්‍යය වැනි සේවාවක් පොදු භාණ්ඩයක් වියයුත්තේ එය 'නොමිළේ ලබන පිරිසක්' සිටින නිසා නොව එක් රෝගියෙක් යනු සමස්ථ මහජනතාවගේම සෞඛ්‍යයට තර්ජනයක් නිසාය. වසංගත පැතිර යාමේ තීව්‍රතාව වැඩි යුගයක දී මෙම තත්වය වැඩි වශයෙන් පැහැදිළි වෙයි. එබැවින් අද දවසේ අභියෝගයට ලක්වී ඇත්තේ රාජ්‍යයේ සෞඛ්‍යය ප්‍රතිපත්තියයි. පෞද්ගලික සෞඛ්‍යය මධ්‍යස්ථාන හතු පිපෙනසේ සංඛ්‍යාත්මකව වර්ධනය වී පැවතියත් කොවිඩ් 19 මර්දනයට එයින් ලැබෙන දායකත්වය අවමය.
මෙම තත්වය තුළ දුර්වල කෙරුණ රාජ්‍යය සෞඛ්‍යය යාන්ත්‍රණයට පණ දීමට මිලිටරිය කැඳවීමට සිදුව තිබේ. එහි පවතින අහිතකර බලපෑම සමස්ථ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියේ දෙදරීමකට හේතු නොවීමට වගබලා ගැනීමට සිදුවීම අනෙක් අභියෝගයයි. එබැවින් දුර්වල, පරිධියේ රාජ්‍යයක් වශයෙන් අප මුහුණ දෙමින් සිටින්නේ ඉතාමත් සංකීර්ණ 'පද්ධතිමය' ගැටළුවකටය.
චීනය වැනි බලගතු රාජ්‍යයක් වර්තමාන අර්බූදය විසින් ගෝලීය දේශපාලන ආර්ථික පර්යායේ ඇතිකළ හැකි වෙනස් කම් පිළිබඳව අවධානය යොමුකරන විට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පද්ධතිමය වශයෙන් මුහුණ දියහැකි අණතුර ගැන සිතීම 'කොරහේ කිඹුලන් දැකීමක්' ලෙස බැහැර කළ නොහැක. එම සංදර්භයේ දී අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවනු ලැබූ (මාර්තු 24 දින) පක්ෂ නායක සමුළුව මිලිටරි මන්ත්‍රයම මතුරන විධායකයකට සහ එහි දැඩිපාලනවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජාති(ක)වාදී බලමුළුවට එල්ල කරන ලද අභියෝගයක් ද වෙයි. පක්ෂ නායක සමුළුවේ දී ඉදිරිපත්වූ අදහස්වල සාරය වන්නේ රජය මැදිහත්වී සෞඛ්‍යය සැපයුම් සේවා ජාලය කළමනාකරණය කරමින් වසංගතය පාලනය කළ යුතු බවයි.
රෝහල් ධාරිතාව
කොවිඩ් 19 වැනි ගෝලීය වසංගතයක ප්‍රහාරය ට මුහුණ දෙන විට මෙරට ද ඇතුළු කළාපීය රාජ්‍යයන් ගණනාවක් මුහුණ දෙමින් සිටින ප්‍රධාන ගැටලුව වන්නේ පවත්නා රෝහල් වල දැඩි සත්කාර ඒකකයන්ගේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම හා කඩිනමින් විශේෂ රෝහල් ඉදිරි කිරීමට ඇති අපහසුතාවයි. දැනට ශ්‍රී ලංකාව මෙම ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටින්නේ වසංගත හා බෝවන රෝග පිලිබඳ රෝහල (අයිඩීඑච්) ඇතළු රෝහල් කිහපයක් තුළින් හා කඩිනමින් අත්පත් කරගෙන රෝහල් බවට පරිවර්තනය කරගත් ආයතනික ගොඩනැඟිලි, පරිත්‍යාගශීලින් විසින් ලබා දුන් ගොඩනැඟිලි භාවිතා කරමිනි.
ඉන්දියාවේ දැනට පවතින රෝහල් ධාරිතාව සහ සම්පත් පිලිබඳ අධ්‍යනයක නිරතවෙන වෛද්‍ය තරුන් කේ. ජෝර්ජ් දක්වන ආකාරයට ජනගහණයෙන් ලක්ෂයකට ඉන්දියාවේ පවතින්නේ රෝහල් ඇඳන් හැත්තෑවක් (70) හා දැඩිසත්කාර ඒකක වල ඇඳන් දෙකයි දශම තුනක් (2.3) පමණි. චීනයේ/ඉතාලියේ මෙම තත්වය පවතින්නේ පිළිවෙලින් සාමාන්‍ය රෝහල් ඇඳන් 420/320 සහ දැඩිසත්කාර ඇඳන් 3.6/12.5 වශයෙනි. රනිල් වික්‍රමසිංහ මාර්තු 24 පක්ෂනායක හමුවේදී ප්‍රකාශ කළ ආකාරයට ලංකාවේ දැඩි සත්කාර ඇඳන් ඇත්තේ 600ක් පමණි. එනම් ලංකාවේ ජනගහණයෙන් ලක්ෂකට දැඩිසත්කාර ඒකකයන්හි පවතින ධාරිතාව ඇඳන් තුනකට වඩා අඩු අගයක් ගනී.
කොවිඩ් 19 අසාධිතයන්ගෙන් සියයට පහක් පමණ දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට සිදුවන බව සමීක්ෂණ මඟින් පෙන්වාදෙයි. මාර්තු 24 වන විට මෙරටින් වාර්තාවූ අසාධිතයන් ප්‍රමාණය 102ක් විය. එපරිදිම මෙරට පවතින රෝගීන්ට අවශ්‍යය වෙන්ටිලේටර් (ස්වශන ආධාරක යන්ත්‍ර) ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීමත්, ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් සහ සහාය කාර්ය මණ්ඩල විසින් ඇඳිය යුතු ආරක්ෂක ඇඳුම් අවශ්‍ය පරිදි නොමැතිවීම ද විශාල අර්බුදයක් බව එම උපකරණ සමහරක් වෛද්‍යය කාර්යමණ්ඩල විසින්ම ආදේශක වශයෙන් නිපදවා ගැනීමෙන්ම පෙනීයයි. අනෙක් අතට ජනතාවට අවශ්‍යය මුව ආවරණ සහ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග සඳහා සුලභව වෛද්‍ය නිර්දේශ ඇතුව හෝ නැතිව මිළට ගතහැකි බෙහෙත් වර්ග පවා පෞද්ගලික අංශය විසින් අධික මිළකට අළවි කිරීමද පසුගිය සතිවල පැවති විශාල ගැටලුවකි.
සෞඛ්‍යය සහ වෙළඳපොල බලවේග
නිදහස් වෙළඳ පොළ යනු දේශීයව මතු නොව ගෝලීයව ද මිනිස් ප්‍රජාව අර්බූදයට පත්ව ඇති මොහොතක තවදුරටත් වලංගු යාන්ත්‍රණයක් ද යන්න අනුභූතිකව හා න්‍යායිකව ගැටලු ගත වෙමින් පවතින ප්‍රපංචයකි. අපට ආසන්නම උදාහරණ වන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය ආරම්භයේදීම වෙළඳපොල යාන්ත්‍රණය විසින් සැපයුම් වල මිළ අතිශය අසාධාරණ ලෙස වැඩිකිරීම හා සැපයුම් ප්‍රමාද කිරීම හෝ තොග සැඟවීමයි. සාමාන්‍ය වෙළඳපොලේ රුපියල් 10 කට අඩුවෙන් තිබු මුඛ ආවරණ මිළ කිහිප ගුණයකින් වැඩිවීම, රසායනාගාර පරීක්ෂණ මිළ ඉතාමත් ඉහළට ගෙන ඒම ආදිය සරළ උදාහරණ වියහැකි මුත් ඒ වා මඟින් පෙන්නුම් කළේ ඉල්ලුම්/සැපයුම් බලවේග වලින් පමණක් ක්‍රියාත්මක වීමට හා ලාබය පිණිස පමණක් වෙළඳපොල නොපැවතිය යුතුබවය. එමනිසා මෙරට ආණ්ඩුවට වෙළඳපොළට මැඳීහත්වීමට සිදුවූ අතර භාණ්ඩ හා සේවාවන් ගණනාවක මිළ පාලනය කිරීමට සිදුවිය.
අනෙක් අතට කොවිඩ් 19 වසංගතය සමඟ මෙරට සුපර් මාර්කට් ජාලය කොතරම් ලාබයක් ලැබුවේද? ගොවියන් සහ ධීවරයන් වැනි සැපයුම් කරුවන් කොතරම් අලාබයක් ලබන්නට ඇත්ද? යන්න සමීක්ෂණය කල යුතු ගැටලුය. ජනතාව අතර පවතින විශාල ඇතිනැති පරතරය නිසාම රාජ්‍යයට මෙවන් අර්බුදයක දී විශාල වශයෙන් සැපයුම සහ බෙදා හැරීමට දායක වියයුතු බව ප්‍රත්‍යක්ෂ වී තිබේ. ලොව පුරා විශාල නගරවල ඇතිවූ 'පැනික් බයින්' නැතිනම් කළබලයට පත්වී භාණ්ඩ ගොඩගසා ගැනීම නිසා වසංගතය සමඟ ඉදිරියට දුර්භික්ෂ තත්වයන් ඇතිවිය හැකිබවට පෙනීයයි. ඉන්දියාව දින 21 ලොක් ඩවුන් තත්වයකට යාම තුළ දැනටමත් දරිද්‍ර ජනකොටස් ආහාර පාන අර්බූදයකට ගමන් කරමින් සිටින බව බීබීසී වාර්තා පෙන්වා දෙයි. මෙවන් තත්වයන් තුළ රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදීව සහ මානුෂවාදී ලෙස ක්‍රියාත්මකවීම අනිවාර්යවෙයි.
විවෘත විශ්වවිද්‍යාලයේ - ජේෂ්ඨ කතිකාචාර්ය
ආචාර්ය අතුල සමරකෝන්

