Language Switcher

V2025

අලුත් ගේමක් ! 'මහින්ද, රනිල්ට පණිවිඩයක් එවලා' !

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් වේ නම් ඊට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාදීමට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

දෙදෙනාගේම පෞද්ගලික හිතවතකු වන ප්‍රබල ව්‍යාපාරිකයකු හරහා එම දැනුම්දීම සිදුකර ඇතැයි පැවසේ.

කෙසේවුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට අගමැතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර මේවනවිට එකඟත්වයක් පවතින බවට පලවන වාර්තා පදනම් විරහිත බව 'සිරිකොත' ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'නිව්ස් ටියුබ්' කල විමසීමකදී පැවසිය.

'මහින්ද මට කතා කළා' - රනිල් පිළිගනී

 මේ අතර ඊයේ (16දා) මාධ්‍ය ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකථන ඇමතුමක් දුන් බව පිළිගත්තේය.

තමා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවට පාර්ලිමේන්තුවේ රාවයක් පැතිර යෑම හේතුවෙන් හිටපු ජනපති තමාට කතා කරමින් එය සත්‍යක්දැයි විමසූ බවත් එවැනි කිසිවක් නොමැති බව තමන් පැවැසූ බවත් අගමැතිවරයා එහිදී කියා සිටියේය.

ප්‍රශ්නය - ඔබතුමාට හිටපු ජනාධිපතිවරයා කතා කළාද?

පිළිතුර - පසුගිය සඳුදා දිනයේ ඔහු මට කතා කළා.

ප්‍රශ්නය - හිටපු ජනාධිපතිවරයා ඔබට දුරකතන ඇමතුමක් ලබාදෙමින් අගමැති ධූරයෙන් ඉවත් වන්නට එපා යැයි පැවසූ බව රාජිත සේනාරත්න ඇමතිවරයා පවසා තිබුණා. නමුත් පසුව හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එය අසත්‍යයක් බවයි. ඔබට හිටපු ජනාධිපතිවරයා කතා කළ බව තහවුරු කළ හැකිද?

පිළිතුර - පසුගිය සඳුදා ඔහු මට කතා කළා. එතුමා එවිට සිටියේ පාර්ලිමේන්තුවේයි. මම අගමැති ධූරයෙන් ඉවත් වන බවට පාර්ලිමේන්තුවේ රාවයක් පැතිරී යන බව පැවසූ ඔහු එය සත්‍ය දැයි මගෙන් විමසුවා. එවැනි කිසිවක් නොමැති බවත් මම මේ මොහොතේත් අගමැති කාර්යාලයේ සිට රාජකාරි කටයුතු කිහිපයක් සිදු කරමින් සිටින බවත් මම ඔහුට පැවසුවා. ඉන්පසුව සිදු වුණේ තවත් තොරතුරු කිහිපයක් කතාබහ කිරීමයි.

ප්‍රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ යම් සබඳතාවක් පවත්වා ගෙන යමින් ඔහු ආරක්‍ෂා කළා යැයි ඔබට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

පිළිතුර- මම කිසිවෙකුත් ආරක්‍ෂා කරන්නේ නැහැ. මම මහින්ද රාජපක්ෂවත් ඉතා හොදින් හඳුනනවා. විවිධ කටයුතු සඳහා කතාබහ කිරීම හැර වෙනත් කිසිඳු සම්බන්ධතාවයක් නැහැ. මම විපක්‍ෂනායක ලෙස කටයුතු කරන ලෙසත් අගමැති සහ සභානායක ලෙස කටයුතු කරන විටත් පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට මට කතා කිරීමේ හැකියාව තිබුණා.