නීතිඥ හෙජාස් හිස්බුල්ලා වෙනුවෙන් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම සිටියි !

නීතිඥ හෙජාස් හිස්බුල්ලා වෙනුවෙන් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම සිටියි !

ප්‍රකට මුස්ලිම් නීතිඥයකු පාස්කු බෝම්බ ප්‍රහාරයට සැකපිට අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර වශයෙන්  විරෝධය මතුවෙමින් පවතී.

වාර්තා වන ආකාරයට පසුගිය  අප්‍රේල් 14 දා රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද නීතිඥ හෙජාස් හිස්බුල්ලා (Hejaaz Hisbullah)  තවමත් ඉන්නේ සිරභාරයේ වන අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හේතුවක්ද  දක්වා නැත. 

පසුව මාධ්‍යවේදීන් අමතා පොලිස් ප්‍රකාශක ජාලිය සේනාරත්න කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “අලුත් මුහුණුවරකින්” කරන ලද පරීක්ෂණවලින් හෙළිවූ තොරතුරු අනුව නීතිඥයා ඇතුළු පිරිසක් ත්‍රස්‌තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අත් අඩංගුවට ගන්නා ලද බවයි.

එම රඳවා තබා ගැනීම සම්මත නීති ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හෙලා දැකීමට ලක්වී තිබේ.

නීතිඥ හිස්බුල්ලාට විරුද්ධ චෝදනා නිශ්චිතව දක්වා, නීතිඥ සහාය ලබා ගැනීමට ඔහුට වහාම ඉඩකඩ ලබා දී අත් අඩංගුවට ගැනීමේදී ඔහුගේ අයිතිවාසිකම් කෙලෙසන ලද්දේදැයි විභාග කරන ලෙස ලොව පුරා විනිශ්චයකාරවරුන් සහ සහ නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් මානව හිමිකම් සංවිධානයක් ආණ්ඩුවට බලකර සිටී.

ICJ විසින් නිකුත් කර ඇති නිවේදනය:

ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ -International Commission of Jurists) විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව මුස්ලිම් නීතිඥවරයා සිරගත කර ඇත්තේ මානව විරෝධී නීතියක් ලෙස ගර්හාවට ලක්වී ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ දැඩි ප්‍රතිපාදන පවා උල්ලංඝනය කරමිනි. එම පනත අනුව අත් අඩංගුවේ පැය 72ක් ඉක්ම යාමෙන් පසු රැඳවියාට නීතිඥ සහාය ලබා ගැනීමට ඉඩ සැලසිය යුතුය. නීතිඥ හිස්බුල්ලා ට අප්‍රේල් 16 දායින් පසු නීතිඥ සහාය ලැබී නැති බව ICJ සංවිධානය පවසයි.

“භයංකර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රජය සතු වගකීම කිසිවකුත් ප්‍රශ්න කරන්නේ නැත,” යි ICJ ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ ෆ්‍රෙඩ්රික් රවුස්කි කියා තිබේ. “නීති ප්‍රකාරව හිස්බුල්ලා ට රිමාන්ඩ් නියෝගයක් නිකුත් නොකිරීම සහ රහස්‍ය භාවය රැකෙන අයුරින් නීතිඥ සහාය ලබා ගැනීම වලක්වා ලීම අනුමත කළ නොහැකි අතර එය පුද්ගල නිදහස සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමක්ද වෙයි.”

අගවිනිසුරු අවධානය:

නීතිඥ හිස්බුල්ලාගේ පියා විසින් ඔහුගේ නිදහස අයැදිමින් ගොනු කර ඇති හබයාස් කෝපුස් පෙත්සමක දැක්වෙන පරිදි අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇත්තේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස් දෙනකු විසිනි. මාංචු ලා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ඔහු අත් අඩංගුවට ගෙන ඇත. නීතිඥවරයා පෙනී සිටින නඩු දෙකක ලිපි ගොනුද ඔවුන් රැගෙන ගොස් තිබේ.

පොලිසිය එසේ නඩු ගොනු රැගෙන යාම නීතිඥයකු සහ සේවාදායකයකු අතර පැවතිය යුතු රහස්‍ය භාවය රැකීමේ විශ්වසනීයත්වය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙන දේශීය ක්‍රියාධාරීන් සමූහයක් ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස අග විනිසුරුගෙන් ඉල්ලා සිටිති.

“ශ්‍රේෂ්ඨාධිකරණයේ නිලධාරියකු ට සිය වෘත්තීය නිදහසේ කරගෙන යාමට ඇති අයිතියට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් බාධා කිරීමක් සේ දිස්වන මේ කටයුත්ත සම්බන්ධයෙන් අවධානය යොමුකොට නීතිඥයන්ට සිය රාජකාරි බියෙන් තොරව කරගෙන යාම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ගරු අග්‍ර විනිශ්චය කාර තුමන්ගෙන් අපි ඉල්ලා සිටිමු,” යි පුද්ගලයන් 117 ක් සහ සංවිධාන 6ක් ප්‍රසිද්ධියට පත් කළ නිවේදනයක සඳහන් වේ.

සිංහල මාධ්‍යයේ ද්වේශය:

මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා සහ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරු ලෙස සැකකැරෙන සහරාන් හෂීම් අතර සෘජු සම්බන්ධයක් ඇතැයි පොලිසිය හෙළිකරගත් බවට සති අන්ත සිංහල පුවත්පත් මගින් පල කරන ලද පදනම් විරහිත ප්‍රවෘත්ති කිහිපයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානයට යොමු කර තිබේ.

නීතිඥ හෙජාස් හිස්බුල්ලා මෙන්ම අත් අඩංගුවට ගන්නා ලද ව්‍යාපාරිකයකු වන රියාජ් බදියුද්දීන් සම්බන්ධයෙන් අරුණ සහ ලංකාදීප යන පුවත්පත් විසින් අසත්‍ය තොරතුරු පළකර ඇත්තේ ද්වේශ සහගතව බව කොමිසමේ ප්‍රධානී ආචාර්ය දීපිකා උඩගමට ව්‍යාපාරිකයාගේ බිරිඳ වන මොහමඩ් නිසාර් ෆාතිමා ඉස්රාත් විසින් ලියන ලද ලිපියක දැක්වේ.  

අවුරුද්දකට ඉහතදී සිදුකරන ලද පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට 200 කට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසුවද මේතාක් කිසිවකුටත් නඩු පැවරූ බවක් දැනගන්නට නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න