Language Switcher

V2025

ලංකාවේ පැතිර යන කොරෝනා ගැන සිදුකළ අලුත්ම සොයාගැන්ම මෙන්න !

පර්යේෂණ කණ්ඩායමශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම
COVID-19 රෝගය නිසා දිනෙන් දින ලොවට අහිමි වන ජීවිත බේරා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යත පිරිසක් දෑස් දල්වා බලා සිටිති.

ඒ සඳහා සාර්ථක පිළියමක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ නව නිර්මාණකරුවන් ද නොයෙකුත් අත්හදා බැලීම් සිදු කරමින් සිටිති.

එහි සතුටුදායක ප්‍රතිඵලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අසන්නට ලැබිණි.

COVID-19 රෝගයේ, A කාණ්ඩයට අයත් වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර යන බවට මේ වන විට සිදු කළ මූලික පරීක්ෂණවලදී හඳුනා ගැනීමට හැකිවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය.

ශ්‍රී ලංකාවේ පැතිරෙන වෛරසය 'A' කාණ්ඩයට අයත් වේ

COVID-19 ලෙස නම් කළ රෝගය ඇති කරන නව කොරෝනා වෛරසය SARS-CoV2 ලෙස හඳුන්වනු ලැබේ.

එම වෛරසයේ A,B හා C ලෙස හඳුන්වන මූලික ආකාර තුනක් විද්‍යාඥයින් හඳුනාගෙන තිබේ.

මහාචාර්ය නීලිකා මලවිගේමේ පර්යේෂණය මගින් තමයි ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේදී වෛරසයක සම්පූර්ණ ජාන සැකැස්ම හොයාගත්තේ - මහාචාර්ය නීලිකා මලවිගේ
මේ වන විට ශ්‍රී ලංකාවේ හඳුනාගත් වෛරසයේ A කාණ්ඩයට අයත් ප්‍රභේදය ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාවෙන් වැඩි වශයෙන් වාර්තා වන අතර චීනයේ වුහාන් ප්‍රදේශයෙන් වැඩි වශයෙන් වාර්තා වන්නේ COVID-19 රෝගය ඇති කරන වෛරසයේ B කාණ්ඩයේ ප්‍රභේදය බව ද මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කළාය.

නව කොරෝනා වෛරසයේ C කාණ්ඩය වැඩි වශයෙන් යුරෝපයෙන් වාර්තා වෙමින් තිබේ.

'ඉතිහාසගත පරීක්ෂණයක්'

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය තුළ පිහිටි රසායනාගාරයේදී COVID-19 රෝගීන් හඳුනා ගැනීමට අදාළ PCR පරීක්ෂණ නීලිකා මලවිගේ මහාචාර්යවරියගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල සිදු කරනු ලැබේ.

එම පරීක්ෂණ සඳහා ලැබුණු COVID-19 රෝගය වැළඳුණු අයගේ ජෛව සාම්පලවලින් වෙන්කර ගත් වෛරසයේ RNA (Ribo Nucleic Acid) දත්ත සැකැස්ම විශ්ලේෂණය කිරීමේදී මෙම තත්ත්වය හඳුනාගැනීමට හැකි වී තිබේ.

''මේ පර්යේෂණය මගින් තමයි ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේදී වෛරසයක whole genomic sequencing (වෛරසයේ ජාන සැකැස්ම) හොයාගත්තේ. ශ්‍රී ලංකාවේදී වෛරස වලට අදාළ පරීක්ෂණ සිදු කිරීමේදී මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය වුණේ වෛරසයේ ප්‍රවේණිගත ලක්ෂණ සහිත RNA (Ribo Nucleic Acid) වෙන්කරගෙන වැඩිදුර පර්යේෂණ සඳහා වෙනත් රටක රසායනාගාරයකට යැවීමයි. COVID-19 වෛරසයේ ප්‍රභේදය අනුව සංකූලතා වෙනස් වන බවට මතයක් තියෙනවා. අපි ලංකාවේ පැතිරෙන වෛරසය නිවැරදිව හඳුනාගැනීම රටක් විදියට මේ සඳහා මුහුණ දෙන්න ඉතා ම වැදගත්,'' යනුවෙන් මහාචාර්යවරිය විස්තර කළා ය.

corona

මීට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කරන බව ද ඇය පැවසීය.

COVID-19 රෝගයෙන් පුද්ගලයන් මිය යාමේ සිද්ධි ඇමරිකාව හා යුරෝපයෙන් වැඩි වශයෙන් වාර්තා වේ. තායිලන්තය, මැලේසියාව, සිංගප්පුරුව සැලකූ විට මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන අතර එම ප්‍රදේශවල පැතිර පවතින වෛරසයේ ස්වභාවය ඊට හේතු විය හැකි බවට විද්‍යාඥයින් අනුමාන කරයි.

"මේක අලුත් වෛරසයක් නිසා විකෘති සිදුවේගන යනවා. සිංගප්පූරුවේ එන්නතක් හැදුවොත් ඒක ලංකාවටත් හරියනව ද කියල බලන්න ලංකාවේ වෛරස කාණ්ඩවල තියෙන වෙනස්කම්, අනිත් රටවල තියෙන වෙනස්කම් බලන්න ඕනා. ඒකට අපි ලංකාවේ මේ වෛරසයේ whole genomic sequencing කියන එක සොයා ගැනීම ඉතා වැදගත්," යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ කියා සිටියා ය.

COVID-19 පාලනයට විශ්වවිද්‍යාල තුළින් නව නිර්මාණ

COVID-19 රෝගය පාලනයට අවශ්‍ය නව නිර්මාණ සිදු කිරීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් වෙත මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

එහිදී කොළඹ, පේරාදෙණිය, වයඹ, රුහුණ , ජයවර්ධනපුර සහ මොරටුව යන විශ්වවිද්‍යාලවලින් සාර්ථක යෝජනා ලැබී ඇතැයි වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගහදවත නවතින්න යන කෙනෙකුට පපුවට අවශ්‍ය තෙරපුම දෙන්න කොළඹ වෛද්‍ය පීඨයේ දරුවෙක් යන්ත්‍රයක් නිෂ්පාදනය කළා - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග
කෘත්‍රිම ශ්වසනය ලබා දීමට අවශ්‍ය වෙන්ටිලේටර් යන්ත්‍ර, රෝගියාට අවශ්‍ය බෙහෙත් සහ අනෙකුත් ද්‍රව්‍ය ලබා දිය හැකි රොබෝ යන්ත්‍ර, වඩාත් ආරක්‍ෂිත මුහුණු ආවරණ නිර්මාණය එම යෝජනා අතර වේ.

ආචාර්යවරයෙකුගේ අධීක්ෂණය මත, උප කුලපතිවරයා හරහා සරසවි සිසුන්ට නව නිර්මාණ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර සාර්ථක නිර්මාණ කිහිපයක් දැනටමත් නිපදවා අවසන් බව විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග බීබීසී සිංහල සේවයට පැවසුවේය.

''හදවත නවතින්න යන කෙනෙකුට පපුවට අවශ්‍ය තෙරපුම දෙන්න කොළඹ වෛද්‍ය පීඨයේ දරුවෙක් යන්ත්‍රයක් නිෂ්පාදනය කළා. ඒවා මිලියන ගාණක් වෙළෙඳ පොළේ. නමුත් ඒ දරුවා රුපියල් පනස් දාහකින් වගේ වියදම පිරිමහලා තිබුණා. දැන් ඒවා නිෂ්පාදනය කරනවා. මුලින් ම කොළඹ ජාතික රෝහලටත් කළුබෝවිල රෝහලට සහ කරාපිටිය රෝහලට දෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විෂබීජ නාශක ගුණය සහිත තීන්ත වර්ගයක් හදලා තියෙනවා. ඒ තීන්ත ගෑවහම ඒ වාට්ටුව විෂබීජවලින් ආරක්ෂා වෙනවා. මේ වගේ හොඳ නිර්මාණ රැසක් තියෙනවා,'' යනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේය.

එක් දිනක් තුළ වාර්තා වූ වැඩි ම රෝගීන් සංඛ්‍යාව

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය අප්‍රියල් 24 වන සිකුරාදා පෙරවරු 10.00ට නිකුත් කළ දෛනික තත්ත්ව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ, තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 368කි. අප්‍රියල් 24 වන දා පෙරවරු 10.00න් අවසන් වූ පැය 24 තුළ පමණක් රෝගීන් 38 දෙනෙකු වාර්තා වී ඇති අතර එය එක් දිනක් තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩි ම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව වේ.

COVID-19 වැළඳුණු බවට සැක සහිත රෝගීන් 183 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබති. සුවය ලැබූ සංඛ්‍යාව 107කි. මරණ 07ක් වාර්තා වී ඇත.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්ක මෙසේය.

  • කොළඹ - 120
  • කළුතර - 58
  • පුත්තලම - 35
  • ගම්පහ - 33
  • යාපනය - 16

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අලුයම 5.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

දිවා කාලයේදී ඇඳිරි නීතිය ඉවත් කළ සෙසු දිස්ත්‍රික්කවලට අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00 පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා බලාත්මකව පවතී.

(බීබීසී )