Language Switcher

V2025

"ස" ඉල්ලන සහයක් දෙන්නම් : ඒත් මාරයාගේ මැතිවරණයට නම් විරුද්ධයි - හරීන්

" මාරයා කැඳවන මැතිවරණයක් මිනිස්සුන්ට ඕනේ නැහැ, මාරයාටයි මැතිවරණයක් ඕන වෙලා තියෙන්නේ.  අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නේ මේ වෙලාවේ මීට වඩා මහජනතාව පිළිබඳ සංවේදී වෙන්න කියලා"යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
 
"අපිට මේ අවස්ථාවේ ජනතාවගේ ආරක්ෂාව වටිනවා. මේ අවස්ථාවේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කියන එක සියලුම විද්වතුන් කියා සිටිනවා.. අපි කියනවා පාර්ලිමේනතුවෙන් අපට වතුර එකක්වත් එපා ආණ්ඩුවට අවශ්‍ය මුදල් අනුමත කරගන්න අපි සහයෝගය දෙනවා. ගිය අවුරුද්දේ මේ ආණ්ඩුව අපිට සලකපු විදිහට නෙවෙයි අපි මේ වෙලාවේ ආණ්ඩුවට සලකන්නේ"  යනුවෙන්ද ඔහු පැවසීය.
 
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ අදහස් දක්වා සිටියේ ඊයේ (24) සමගි ජනබලවේගය පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ය. 
මේ එහිදී ඔහු දැක්වූ අදහස් ය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය හා හමුදාපති ඇතුළු ශ්‍රී  ලංකාවේ හමුදාවන් දක්වන සේවයට ස්තූතියි !
 
සමගි ජනබලවේගය විදිහට රටට වැදගත් ප්‍රශ්න කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකෙම තියෙන ව්‍යසනයට ශ්‍රී ලංකාවේ  ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හා හමුදාපති ඇතුළු ශ්‍රී  ලංකාවේ හමුදාවන්ට රටේ පුරවැසියන් වෙනුවෙන් ස්තූතිය අපේ ආචාරය පුද කර සිටින අතර තව තවත් ඉදිරියට යන්නට එතුමන්ලාට අවශ්‍ය සහයෝගය ධෛර්ය ලබාදීමට අපි සූදානම් බව මේ අවසථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි.
 
කෝවඩි 19 ශ්‍රී ලංකාවේ මේ මොහොතේ වෙනකොට කොතනද තියෙන්නේ කියලා අපිට හිතන්න වෙනවා. පහුගිය අවසාන දින 5 අතර පමණක් කෝවිඩ් ආසාදිතයන් 114 ක් ලැබිලා තිබෙනවා. දැනට 368 ඊයේ දවසට විතරක් ආසාදිතයන් 35 ක්. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ අපි රටක් හැටියට මේකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක.  මේ අවස්ථාවේ ජනතාව විශාල කැපවීමක් කරනවා ගෙවල් ඇතුලට වෙලා ඉඳගෙන මේ කෝවිඩ් 19 කියන මාරයා පරාජය කරන්නට.
 
කොවිඩ් මාරයා වගේම කොවිඩ් අස්සේ මැතිවරණ ඉල්ලන මාරයා !
 
මෙතන කොවිඩ් මාරයා එක්ක සටන් කරන ගමන් රටේ මේ තියෙන බිහිසුණු තත්වයත් එක්ක මැතිවරණයක් ඉල්ලන තව මාරයෙක් එක්ක අපට සටන් කරන්න වෙලා තියෙනවා.
 
එතකොට ඒ මාරයා අහනවා ඇති ඡන්දෙට බය කියලා. අපි ඡන්දෙට බය නැහැ නමුත් මාරයා කැඳවන මැතිවරණයට අපි බයයි. හේතුව මේක පාර්ලිමේන්තු මහා මැතිවරණයක් ඒකට ඡන්දය දාන්න මිලියන 15 ජනතාව යන්න සිද්ධ වෙනවා. අජිත් මාන්නප්පෙරුම මැතිතුමාලට ආණ්ඩුවේ අයට මේ මිලියන 15 ක් වෙන මිනිසුන් අතරට යන්න වෙනවා.
 
මුඛවාඩමක් දාන්නේ ආරක්ෂා වෙන්න කියලා. එහෙනම් මුඛවාඩම් දාගෙන ඡන්දෙකට යන්න පුළුවන්ද? රටේ මිනිස්සුන්ට මේ වෙලාවේ ඡන්දයක්ද ඕනේ. රටේ මිනිස්සු ගැන හදවතින් හිතන්න. මාරයා කැඳවන මැතිවරණයක් අපට ඕනේ නැහැ. අපේ දරුවන් අනතුරේ දාලා ගෙවල්වලට මාරයා අරන් එන මැතිවරණයක් අපිට එපා. අපි ඉතාමත්ම කරුණාවෙන් කියනවා, ඉතාමත්ම නිහතමානීව අපි මේ ආණ්ඩුවට සහෝගය ලබා දෙනවා.
 
අවුරුද්දකට පෙර මාධ්‍ය සැලකු  විදිහ !
 
අපිට මතකයි අවුරුද්දකට ඉස්සෙල්ලා මේ කාලයේ අද ඉන්න ආණ්ඩුව අපිට සලකපු විදිහ. මාධ්‍ය නාලිකා ටිකක් අරන් බොරු නිවුස් ගැහුවා. පාරේ බැහැලා යන්න ඉඩ දුන්නේ නැහැ. අපේ රට දෙවියෝ බුදුන් අදහන රටක්. ඒ නිසා ඒ සත්‍යය කවදහරි ජයගන්නවා ගන්නවාම තමයි. ගින්නේ රස්නේ තේරෙන්නේ නැහැ තමන්ව  ගිනි ගන්නකන්. ඒ නිසා ඔය සම්බන්ධයෙන් බොරුව වපුරන්න සම්බන්ධ වුණ අර මාධ්‍ය මහත්තුරුන්ටත් එදාට ඒකේ රස්සේ දැනේවි.
 
මේ අය කො‌රියාව ඡන්දෙ තිබ්බ එක ගැන කියනවා. කොරියාව ඡන්දේ තිබ්බේ මිලියන 11 ම පෝස්ටල් වෝට් වලින්.  කොරියාව ඩිජිටල් ක්‍රමයට ඉතාමත්ම ආරක්ෂිතව ඒ ඡන්දය පැවැත්වුවේ.  26% ක් 30% අතර ඡන්දය පාවිච් කරලා තියෙන්නේ ගෙදර ඉඳලා. අපේ ජනතාව ගෙදර ඉඳලා පෝස්ටල් ඡන්දය දුන්නොත් මේ ආණඩුව ඡන්ද හූරාගෙන කයි. ඒ නිසා මැතිවරණ කොමසාරිස්ට අපි කියනවා මාරයා කරේ තියාගෙන ඡන්දයකට යන්න එපා.
ආසාදිතයන් 28 ක් ඉඳගෙන රට වහන්න මට පුළුවන්ද කියලා අහපු කෙනෙක් ඉන්න රටක් මේක !
 
සමහරු  අහනවා ඇයි සමගි ජනබලවේගය නිහඬ කියලා. අපි නිහඬ නැහැ. අපි ගල්යුගයේ ඉන්න දේශපාලඥයෝ නෙවෙයි. අපි මේ අවස්ථාවේ මුල ඉඳලම ආණඩුවට සහයෝගය දුන්නා විවේචනයන් කරන්න ගියේ නැහැ.  අපිට විවේචනය කරන් සිද්ධ වුණේ මාර්තු 19 වැනි දා වෙන තෙක්ම රට ඇරගෙන ඉඳලා නොමිනේෂන් දුන්නට පස්සේ, ඒ සම්බන්ධව සහ  රුපියල් 5000 දීමනාව දේශපාලනීකරණය කරගෙන ඡන්දය ඉල්ලන්න යන එක ගැනයි. ආසාදිතයන් 28 ක් ඉඳගෙන රට වහන්න මට පුළුවන්ද කියලා අහපු කෙනෙක් ඉන්න රටක් මේක. තව එක්කෙනෙක් කියනවා ඩෙන්ගු 190 ඉඳගෙන අපි රට වැහුවද කියලා . ඒක තමයි මේ ආණ්ඩුවේ බුද්ධිමත් මානසිකත්වය.
 
ඒ වගේම විදේශ ශ්‍රමිකයෝ මේ වෙලාවේ අන්ත අසරණ තත්වයකට පත්වෙලා මැරි මැරි ඉපදෙනවා. එයාලගේ දරු පවුල්  අන්ත අසරණ දුගී තත්වයකට පත්වෙලා. එයාලාගේ අම්ම තාත්තා දරුවන් ගෙන්න ගන්න බරුව වේදනාවට පත්වෙලා. හිටපු විදේශ ඇමති හැටියට ජනාධිපතිතුමාගෙන් මම වැඳලා ආයාචනා කරලා ඉල්ලනවා මේ ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට ඔබතුමාගේ මූලිකත්වයෙන් වැඩ පිළිවෙළක් සකස් කරන්න කියලා. මේ කොවිඩ් මාරයා පරාජය කරොත් මේ ආණ්ඩුවට ඡන්දය නිකන්ම දිනන්න පුළුවන්.  මේ අවස්ථාව අරගෙන ආණ්ඩුව විවේචනය කරමින් අපටත් ඡන්දයකට යන්න පුළුවන්නේ. ඇයි අපි ඡන්දයක් එපා කියන්නේ. අපිට මේ අවස්ථාවේ ජනතාවගේ ආරක්ෂාව වටිනවා. මේ අවස්ථාවේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කියන එක සියලුම විද්වතුන් කියා සිටිනවා..
 
වතුර උගුරක් එපා : පාර්ලිමේන්තුව විවෘත කරන්න : ව්‍යවස්ථාව රකින්න !
 
 අපි කියනවා පාර්ලිමේනතුවෙන් අපට වතුර එකක්වත් එපා ආණ්ඩුවට අවශ්‍ය මුදල් අනුමත කරගන්න අපි සහයෝගය දෙනවා. ගිය අවුරුද්දේ මේ ආණ්ඩුව අපිට සලකපු විදිහට නෙවෙයි අපි මේ වෙලාවේ ආණ්ඩුවට සලකන්නේ. ඒකයි සමගි ජනබලවේගයේ වෙනස.  
 
ඒ වගේම මෙවැනි තත්වයක් තුළ මාරයා කැඳවන මැතිවරණයක් මිනිස්සුන්ට ඕනේ නැහැ, මාරයාටයි මැතිවරණයක් ඕන වෙලා තියෙන්නේ.  අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නේ මේ වෙලාවේ මීට වඩා මහජනතාව පිළිබඳ සංවේදී වෙන්න කියලා. අපිට පුළුවන් මේ මාරයාගෙන් ජනතාව බේරාගන්න රටක් හැටියට, මිනිස්සු හැටියට, මාධ්‍යක් හැටියට සියලු දෙනාම එකතුවුණොත්. අවසාන වශයෙන් මේක කියන්නම ඕනේ, අපි කැමති නැහැ පොහොට්ටුව මළමිනී උඩ තියන ලකුණක් බවට පත්වෙනවට, පොහොට්ටුව මිනී මලක් වෙනවට. පොහොට්ටුව ජනතාවට දුන්න බලාපොරොත්තු ඉෂ්ට කරන්න අපි ජනාධිපතිතුමාට සහයෝගය දෙන්නම්, හැබැයි මාරයාගේ මැතිවරණයකට අපි විරුද්ධයි.