Language Switcher

V2025

කොවිඩ් ආසාදිතයින් 420 යි : වැලිසර ප්‍රශ්නය විෂය දැනුම සහ පුහුණුව නැතිකමේ ප්‍රශ්නයක් !

අද (25) මේ  වන විට කොවිඩ් 19 වෛරසය  ආසාදිත රෝගීන් සංඛ්‍යාව 420ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම මේ වන විට වෛද්‍ය  අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් ප්‍රමාණය ද ඉහල ගොස් ඇති අතර එම ගණන 304ක් ලෙස වාර්තා  වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශාල පිරිසකට එකවර කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඔවුන්ගේ දරුමල්ලන් ඇතුළු දහස් ගණනක් නිරෝධායනයට යොමු කිරීමට සිදුවුයේ ආරක්ෂක අංශ නිලධාරීන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නිසියාකාර පිළිපදින්නේ නැති නිසාදැයි බිය පලවෙමින් පවතී.

වසංගත මර්දනය සඳහා මෙහෙයුම් භාරකාරත්වය පවරා දී තිබෙන හමුදා අංශ වලට විෂයානුබද්ධ දැනුම හා පුහුණුව නොමැති වීම මෙවැනි ව්‍යසන වලට මග පාදන බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාධාරීහු පෙන්වා දෙති.

කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම  යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන පරිදි දින දෙකක් තුළ එම වෛරසය ආසාදිතයන් 60 දෙනකු වැලිසර නාවික හමුදා කඳවුර තුලින් වාර්තා වී තිබේ.

මේ එකම ආයතනයක රාජකාරි කරමින් සිටියදී එකවර කොරෝනාබාධිත වූ වැඩිම පිරිස මෙන්ම සංඛ්‍යාවක් එකම දිනයක නිරෝධායනයට යොමු කරන ලද විශාලතම සංඛ්‍යාව ලෙසත්  සැලකේ.

ඒ සමගම වැලිසර පිහිටි නාවික හමුදා  කඳවුරු පරිශ්‍රය හුදෙකලා කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙන අතර එහි සිටින 4000 ආසන්න නාවික පුද්ගලයන්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් මෙන්ම  කඳවුර තුල පදිංචි අයත් ඇතුළත් ලෙස  හුදෙකලා කර ආයතනික නිරෝධායන කටයුතු සදහා යොමු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් හැට දෙනකු ට කොරෝනා ආසාදනය වීමත් සමග පොලිසියේ හා හමුදා සාමාජිකයන් ආරක්ෂිත ඇඳුම් හැඳීම ඇතුළු සෞඛ්‍යාරක්ෂක විධිවිධාන නිසියාකාර පිලිපදින්නේදැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න මතුවී තිබේ.

බොහෝ ආරක්ෂක අංශ සාමාජිකයන්ට  නිසි දැනුමක් නෑ !

කොවිඩ් 19 වෛරසය මැඩ පැවැත්වීමේ රාජකාරි වලදී  ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ වලට ප්‍රමුඛත්වය ලබා දුන්නද ඔවුනට ඒ සම්බන්ධ විද්‍යා හා තාක්ෂණික ඥානය නොමැති වීමෙන් මෙවැනි අවදානම් තත්වයක් මතුව ඇති බවයි හෙද ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සහ ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය පවසන පරිදි මෙවැනි වසංගත තත්වයකදී ආරක්ෂක අංශ විසින් සිදු කළ යුත්තේ මර්දන මෙහෙයුම් සඳහා  ප්‍රමුඛත්වය ගැනීම නොව සෞඛ්‍ය අංශ සදහා අවශ්‍ය සහාය ලබා දීමයි.

වසංගත තත්වයකදී රෝගීන් සමග මෙන්ම සැක සහිත පුද්ගලයන් සමග  කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍රමවේද මෙන්ම ආරක්ෂිත උපක්‍රම පිළිබදවත් බොහෝ ආරක්ෂක අංශ සාමාජිකයන්ට  නිසි දැනුමක් නොමැති කමින් ඔවුන්ද වෛරසයට ගොදුරු වන බව හෙද  සංගම් නායකයාගේ අදහසයි.

මුඛ ආවරණයක් හෝ අත් ආවරණයක් පැලඳු පමණින් මෙවැනි වසංගත වලින් ආරක්ෂා වීමට නොහැකි බව පවසන සමන් රත්නප්‍රිය මාධ්‍යවේදීන් හා කියා සිටියේ ඇතැම් හමුදා සහ පොලිස්  නිලධාරීන් අනාරක්ෂිත ලෙස කටයුතු කරන අවස්ථා ද දක්නට ලැබෙන බවයි.

එපමණක් නොව ආරක්ෂක අංශ නිලධාරීන් ඇතැම් අවස්ථා වලදී අනවශ්‍ය මැදිහත්වීම් පවා සිදු කරන ආකාරයක් නිරීක්ෂණය වී ඇති බව ඔහු පවසයි.

මෙවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබා දීමට හෝ මෙය අවස්ථාවක් නොවන බව පවසන වෘත්තිය සමිති නායකයා අවධාරණය කරන පරිදි මතුවී  ඇති තත්වයට වගකිව යුතුතේ ආරක්ෂක අංශ නිලදාරීන් නොව ඔවුන් වෙත ප්‍රම්‍රඛ රාජකාරි බාර දුන් ආණ්ඩුවයි.