ආණ්ඩුවේ උවමනාව මළමිනී මතින් හෝ බලය තහවුරු කර ගැනීමයි - SJB චෝදනා කරයි !

ආණ්ඩුවේ උවමනාව මළමිනී මතින් හෝ බලය තහවුරු කර ගැනීමයි - SJB චෝදනා කරයි !
ව්‍යසන අවස්‍ථාවේ ස්වකීය බල ව්‍යාපෘතිය උදෙසා ආණ්ඩුව නිරර්ථක සහ පහත් පන්නයේ ක්‍රියාවලියක යෙදී සිටින බවත්   මළමිනී   මතින් හෝ දේශපාලන බලය තහවුරු කර ගැනීමේ ආණ්ඩුවේ  අශිෂ්ට උවමනාව දැඩිව  බැහැර කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අවධාරණය කරයි.
 
මානව ජීවිත කෙරෙහි හැඟීමක් ඇති ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර සියල්ල එකී මතයේම සිටින බව විශ්වාස කරන බවත් ඔහු පවසයි.
 
ඔහු මේ බව සඳහන් කර සිටින්නේ සමගි ජන  බලවේගය වෙනුවෙන් "ජීවිත බිල්ලට නොදෙන තීන්දුවක් ගන්න." යන ශීර්ෂයෙන් යුතුව අද (24) නිවේදනයක් නිකුත්කරමිනි.
 
අද වන විට රටෙහි පවත්නා තත්ත්වය මැතිවරණයක් පවත්වන්නට සුදුසු වාතාවරණයක් ද යන්න නොදරුවෙක් පවා තේරුම් ගන්නා තත්ත්වයක් බවත් 
හිතුවක්කාරී මැතිවරණයක් තුළින් සමස්ත රටට ම ලැබෙන අනර්ථකාරී, මාරාන්තික අවදානම සුළුකොට තැකිය නොහැකි බවත්  සඳහන් කරන එම නිවේදනය මේ වන විට ලංකාව තුළ හා සාහිත්‍යයන් වර්ධනය වන ආකාරයේ ඇති අවදානමත් පෙන්වා දී ඇත.
 
එම නිවේදනය පහත දැක්වෙයි.
 
මේ පවත්නා දැඩි ව්‍යාකූල  තත්ත්වය තුළ මැතිවරණයක් පැවැත්වීම සමස්ත ජන ජීවිත සහමුලින්ම බියකරු අවදානමකට ඇද දැමීමක් බව අපි අවධාරණය කරමු.
 
 මැතිවරණ පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාව පිළිබඳව අපි කිසිවිටෙකත් ප්‍රශ්න නොකරන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිතභාවය උදෙසා මැතිවරණ අත්‍යවශ්‍ය බව අපි උදක්ම විශ්වාස කරමු.
 
 නමුත් එකී අවශ්‍යතාව සහතික කිරීම සඳහා කිසිදු සාධනීය වටපිටාවක් අපට නොපෙනේ.
 
 මෙරට පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වන විටත් මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගනිමින් සිටි අතර උදා වෙමින් තිබූ අනතුර කෙරෙහි කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත.
 
 ඊයේ (24) වන විට කොරෝනා ආසාදිතයන් 420ක් වාර්තා වූ අතර වඩාත් අවධානයට ගතයුතු කාරණය වන්නේ රණවිරුවන් සහ සුව විරුවන් රැසකටද මේ වෛරසය ආසාදනය වී තිබීම ය.
 
මුල් කොරෝනා ආසාදිතයන් 100 වාර්තා වීමට දින 54ක් ගත වූ අතර දෙවැනි ආසාදිතයන් 100 වාර්තා වීමට ගතවූයේ දින 19කි.
 
තුන්වන ආසාදිතයන් 100 දින 8ක් තුළ වාර්තා වීම සහ අවසන් 100 දින 3ක් තුළ වාර්තා වීම තුළින් අපට සන් කරන අනතුර සහමුලින්ම නොසලකා හැර මැතිවරණ ගැනම සිතීම තුළින් ගම්‍ය වන්නේ ආණ්ඩුවේ "බල උමතුවේ" තරම ය. 
 
 
මීට පෙර මැතිවරණ කොමිෂන්  සභාවේ සභාපතිවරයා හමුවූ අවස්‍ථා දෙකේදී ම විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් අවධාරණය කළේ පවත්නා තත්ත්වයේ බැරෑරුම් ස්වභාවය පිළිබඳව ය.
 
මේ ව්‍යසන අවස්‍ථාවේ ස්වකීය බල ව්‍යාපෘතිය උදෙසා ආණ්ඩුව නිරර්ථක සහ පහත් පන්නයේ ක්‍රියාවලියක යෙදී සිටින බව අපි දනිමු. මළමිනී මතින් හෝ දේශපාලන බලය තහවුරු කර ගැනීමේ ආණ්ඩුවේ  අශිෂ්ට උවමනාව සමගි ජන බලවේගයේ අප දැඩිව  බැහැර කරන අතර මානව ජීවිත කෙරෙහි හැඟීමක් ඇති ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර සියල්ල එකී මතයේම සිටින බව අපි විශ්වාස කරමු.
 
රට පුරා දින නියමයකින් තොරව ඇඳිරිනීතිය පනවන තත්ත්වයක් තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් අනතුරු අඟවා ඇති තත්ත්වයක් තුළ මැතිවරණයක් උදෙසා දින නියම කිරීම සමාජය තුළ බලවත් තිගැස්මකට හේතු වී ඇත.
 
අද වන විට රටෙහි පවත්නා තත්ත්වය මැතිවරණයක් පවත්වන්නට සුදුසු වාතාවරණයක් ද යන්න නොදරුවෙක් පවා තේරුම් ගන්නා තත්ත්වයකි. 
 
කොරෝනා ව්‍යසනකාරී තත්ත්වය සහමුලින්ම තුරන් කොට ඒ බවට දේශීය සහ විදේශීය සෞඛ්‍ය විශේෂඥයන්ගේ සහ ආයතනවල පූර්ණ සහතිකයක් ලැබුණු විට මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව අප සියලු දෙනා එකඟය.
 
එසේ නොමැතිව පවත්වන හිතුවක්කාරී මැතිවරණයක් තුළින් සමස්ත රටට ම ලැබෙන අනර්ථකාරී, මාරාන්තික අවදානම සුළුකොට තැකිය නොහැකි ය. කොරෝනා මර්දනය වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහාය දක්වන තත්ත්වයක් තුළ ස්වකීය බල ව්‍යාපෘතිය කෙරෙහි අරගලයක යෙදෙනවා වෙනුවට ආණ්ඩුවට කළ යුතු වැඩ බොහෝ තිබේ. එහෙත් ඒ සියල්ල පසෙක දමා ආණ්ඩුව මිනිස් ජීවිත බිල්ලට දෙන තැනකට තල්ලු වී සිටින අතර ස්වාධීන යැයි සම්මත මැතිවරණ කොමිසම ගනු ලබන සෘජු තීන්දුව කෙරෙහි සමස්ත ජනතාව අපේක්ෂාසහගතව බලා සිටිති.
 
 
රංජිත් මද්දුමබණ්ඩාර ,
 
මහලේකම් 
 
සමගි ජන බලවේගය 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න