Language Switcher

V2025

කොවිඩ් සමග සෘජුව ගැටෙන්නන් නිසිලෙස ආරක්ෂා කළාද ? සාහිත්‍යවේදියා අසයි !

"චීනය වූහාන්හී ව්‍යසනය ආරම්භ වූ අවස්ථාවේ එහි සේවයට කැඳවූ පිරිස් වෙත උපරිම ආරක්ෂක පහසුකම් සැපයූ අතරම තවත් දුර දක්නා පියවරක් ගත් බව අප වටහා ගත යුතුය. ඒ සෘජුවම ආසාධිතයන් සමග ගැටෙනා සේවකයන් කෝවිඩ් සටන නිමවන තුරුම ආන්ඩුවේ අධීක්ෂණය යටතේ උපරිම පහසුකම් සහිතව අදාල පෙදෙස තුළ රඳවා ගැනීමයි. එමගින් අපේක්ෂා කරන ලද්දේ වෛරසයට නිරාවරණය වීමට ඉඩ ඇති, වෛරසයට එරෙහි සටනේ නියමුවන් ආරක්ෂා කරගන්නා අතරම යම් හෙයකින් ඔවුන් වාහකයන් වීමට ඇති ඉඩද අවුරා තැබීමයි." යනුවෙන් සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක පෙන්වාදෙයි.
 
ඒ සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින්ය.
වැලිසර නාවික හමුදා සෙබළුන් 60ක් පමණක් කොවිඩ් 19 වෛරසය ආසාදනයවූ රෝගීන් වීම සහ ඒ සමග ප්‍රධාන ධාරවේ මාධ්‍ය හැසිරීම , කොවිඩ් මැඩීමට ගනුලැබූ තීන්දු තීරණ වල තිබූ බරපතළ අඩුපාඩු ඉතා සංයමයකින් පෙන්වා දීමට එඑහිදී ඔහු කටයුතු කර ඇති අතර එම සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.
මෙතෙක් ඇඳි සියළු සිතුවම් බොඳවී යයිද ? 
 
මෙතෙක් අඳින ලද සියළු සිත්තම් බොඳව යන සෙයකි. මේ දක්වා කෝවිඩ් 19 ලංකාවට පාලනය කළ හැකි යයි පවසන ලද කතා ගැන නැවත බැරෑරුම්ව සිතන්නට මොහොත එළඹ තිබේ. මැතිවරණයක් වෙනුවෙන් රටක් උගසට තැබීම වෙනුවට දේශපාලකයාගේ සිට පුරවැසියා දක්වා සියළු දෙනා යථාර්තයට මුහුණ දිය යුතු අවස්ථාවකට අපි අභිමුඛව සිටිමු.
 
මාධ්‍ය හැසිරීම වගකීම් සහගතද ?
 
මෙහිදී ලංකාවේ මාධ්‍යයන්හී හැසිරීම වගකීම් සහගත විය යුතුව තිබේ. කෝවිඩ් 19 පිලිබඳ තර්ජනයේ මුල් අවස්ථාවේ සිට සිය නාළිකාවන්හී විකාශය වූ ප්‍රවෘත්ති වලින් පටන්ගෙන සියළු වැඩ සටහන් සමාලෝචනය කරන්නට මාධ්‍යයයන් අවංක වන්නේ නම් ඉතා හොඳය. එසැනින් පුවත් ගෙන ඒමට වඩා අපේ මාධ්‍යයන් කටයුතු කළ යුත්තේ සබුද්ධික සමාජයක් බිහි කිරීමටය. එහෙත් තමන්ගේම දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරනා මාධ්‍යයන්හී හැසිරීම විටෙක ඔක්කාරය දනවන සුළුය.
 
ජඩමාධ්‍ය හැසිරීම !
 
එක් මාධ්‍යයක් ආසාධිත නාවුක සෙබලා නිවෙස බලා ගිය මාර්ගය සහ ඔහු ගේ ගමන් මාර්ගයෙහි ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීමට සැලකිය යුතු කාලයක් වැය කරනු දක්නට ලැබිණි. ඒ අතරම මේ නාළිකාවම ඇඳිරි නීති කඩ කරනා පුද්ගලයන් පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක්වන අවස්ථාවන් වාර්තා කිරීමේදී මුස්ලිම් ජාතිකයන් සිටිනා වාහන වෙත කැමරා වැඩි වෙලාවක් අල්ලන ආකාරයද දක්නට ලැබිණි. 
 
මෙතෙක් කෝවිඩ් පාලනය වෙනුවෙන් සෞඛ්‍ය අංශ, පොලිසිය, සහ ත්‍රිවිධ හමුදාව විසින් දරන ලද උත්සාහයන් කාගේත් අගය කිරීමට ලක්විය යුතුය, එහෙත් !
 
එහෙත් මේ සියල්ල මැද අපට මග හැරෙනා කනගාටුදායක තත්වයන් තිබේ.
 
මෙතෙක් කෝවිඩ් පාලනය වෙනුවෙන් සෞඛ්‍ය අංශ, පොලිසිය, සහ ත්‍රිවිධ හමුදාව විසින් දරන ලද උත්සාහයන් කාගේත් අගය කිරීමට ලක්විය යුතුය. එහෙත් මේ ඇගයුම් මැදම අපේ දැඩි අවධානය යොමු විය යුතු තැන්ද තිබෙන බව අප අවධාරනය කළ යුතුව ඇත්තේ සෘජුවම ආසාධිත පුද්ගලයන් සමග ගැටෙනා මේ පාර්ශව ආරක්ෂා කරගැනීම අතිශය වැදගත් වන හෙයිනි. එය නාවුක හමුදා කඳවුරේ සිදුවීම මගින් හොඳින් පැහැදිලි වෙයි.
 
නාවික සෙබළා ආසාදිතවූයේ ආසාදිතයින් සෙවූ මෙහෙයුමකදී !
 
පැහැදිලි කිරීම්වලට අනුව නාවුක සෙබලා ආසාදනයට ලක්වනුයේ ආසාධිත පුද්ගලයන් සොයා කරන ලද මෙහෙයුම් හරහාය.  අමනෝඥ ලෙස කටයුතු කරනා ඇතැම් පිරිස් මැද රෝගය වැලැක්වීම පිණිස මේ පාර්ශව කරනා මැදිහත්වීම ඉතා වටී. එහෙත් රූපවාහිණිය නරඹන අපට දක්නට ලැබෙන කටුක සත්‍යය වනුයේ පොලිසිය සහ හමුදාවන් මෙන්ම සෞඛ්‍ය අංශ සාමාජිකයන් සැලකිය යුතු පිරිසක්ද තවමත් සිය රාජකාරි වල නිරත වනුයේ අවම ආරක්ෂණ ආම්පන්න සමග බවයි. ආසාධිතයන් සොයා යන පිරිස් උපරිම ආරක්ෂණ ආම්පන්න වලින් සන්නද්ධව සිටියේ නම් නාවුක සෙබලා මේ කනගාටුදායක ඉරණමට ලක්වන්නේ නැති. සෞඛ්‍ය අංශයේ ඇතැම් සාමාජිකයෝ දැනටත් තම දෛනික රාජකාරිවලට අමතරවතම තමන්ට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් මැසීමේ ව්‍යාපෘතිද පවත්වාගෙන යති.  
 
කොවිඩ් මැඩීමට සෘජුව දායකවන්නන් කෝවිඩ් සටන නිමවන තුරුම ආන්ඩුවේ අධීක්ෂණය යටතේ උපරිම පහසුකම් සහිතව අදාල පෙදෙස තුළ රඳවා ගැනීම වැදගත් නේද ? 
 
අඩුපාඩු ගැන මැසිවිලි නොනගා මේ කරන කැපවීම මහත්සේ අගය කළ යුතු අතර අප වටහාගත යුතු සත්‍යය වනුයේ කෝවිඩ් 19ට එරෙහි සටන සඵලදායී ලෙස කරගෙන යාමට නම් ඊට සෘජුවම දායක වන සියළු පිරිස් සියල්ලටම පළමුව ආරක්ෂණ උපාංගයන්ගෙන් සංතෘප්ත කිරීම අත්‍යවශ්‍ය බවයි. ඔවුන්ට අදාල උපාංග සැකසීමේ කටයුත්තට සහභාගි නොවන්නට ඉඩ සැලසෙන අයුරින් සහ සිය රාජකාරිය පූර්ණ ලෙස ඉටු කිරීමට ඔවුන්ට අවශ්‍ය පසුබිම සැකසෙන අයුරින් ආණ්ඩුව සහ වගකිව යුතු පිරිස් ඊට අවශ්‍ය පියවර ගත යුතුය. රට පුරා ඇඟලුම් කම්හල් ඇති අපට නිසි වැඩ පිලිවෙලක් හරහා කෝවිඩ් සටනට දායක වන්නන්ට අවශ්‍ය ඇඳුම් සපයන්නට හැකි නම් නාවුක සෙබලා මෙන් මහමග රාජකාරි කරනා පොලිස් සහ හමුදා සාමාජිකයන් මෙන්ම සෞඛ්‍ය අංශ වෛරසයට නිරාවරණය වීම අවම කළ හැකිය. 
 
නාවුක හමුදා සෙබලා පොලොන්නරුව බලා ගිය ගමන විස්තර කරනා නාළිකාවන් අමතක කරනා කරුන වනුයේ වෙහෙසකර රාජකාරියක් හමාර කළ සෙබලා දුර පිහිටි සිය නිවෙසට යන්නට දරන ලද වෙහෙසයි. අවම ප්‍රවාහන පහසුකම් ඇති අවස්ථාවක ඔහු නිවෙස බලා යාමට ගත් උත්සාහය බෙහෙවින් අනුවේදනීය එකකි. සේවා මුර හමාර කර නිවෙස් බලා යන අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත පිරිස් හට ප්‍රවාහන පහසුකම් සැපයීම ගැන අපට වඩා ගැඹුරින් සිතන්නට සිදුව තිබේ.
චීනය වූහාන්හී ව්‍යසනය ආරම්භ වූ අවස්ථාවේ එහි සේවයට කැඳවූ පිරිස් වෙත උපරිම ආරක්ෂක පහසුකම් සැපයූ අතරම තවත් දුර දක්නා පියවරක් ගත් බව අප වටහා ගත යුතුය. ඒ සෘජුවම ආසාධිතයන් සමග ගැටෙනා සේවකයන් කෝවිඩ් සටන නිමවන තුරුම ආන්ඩුවේ අධීක්ෂණය යටතේ උපරිම පහසුකම් සහිතව අදාල පෙදෙස තුළ රඳවා ගැනීමයි. එමගින් අපේක්ෂා කරන ලද්දේ වෛරසයට නිරාවරණය වීමට ඉඩ ඇති, වෛරසයට එරෙහි සටනේ නියමුවන් ආරක්ෂා කරගන්නා අතරම යම් හෙයකින් ඔවුන් වාහකයන් වීමට ඇති ඉඩද අවුරා තැබීමයි. 
 
සියල්ලටම පළමුව අප කළයුතු වන්නේ කෝවිඩ් මර්ධනය සඳහා දායකවන පිරිස් හී ආරක්ෂාව තහවුරු කිරීම බව අප නැවත නැවතත් අවධාරණය කරගත යුතුය. කෝවිඩ් 19 යනු අතිශය භයානක කොහොල්ලෑ බබෙකි.